මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක්(10කොටස)

වේදයත් බමුණු දහමත් නොපිළිගන්නා සිදුහත් ජයින දහම නොපිළිගන්නේ චාර්වාකයකු නිසා යැයි ජයිනයින් කියන බව දෙව්දත් කියන විටත්,කපිල චාර්වාකයෙක් බව නන්ද හිතනවා – මා නෑ යි කිවුවා යි සිදුහත් කියන විටත්, කතුවරයාගේ අදහස ඒ ඒ චරිත එකිනෙකාගෙන් විලක්ෂණය වන්නේ හුදෙක් ඔවුන් සිය මනාපයට අනුව තෝරා ගෙන ඇති බව අනෙකාට පෙනෙන දර්ශනවාද නිසා බව ය.

මා පවසන්නේ කතුවරයා සෑම විට ම චරිතය සහ ඒ චරිතය ජිවත් කෙරෙන දර්ශනයට පරිබාහිරව පවත්නා ලෝකය ගෙනහැර දැක්විය යුතු ය යන්න නොවේ. භාෂාව තුළ පමණක් යමෙකු ‘අහවලා ලෙස’ ලකුණු කිරීම නිසා කිසියම් චරිතයක් එහි ලේබලයට පරිබාහිරව නොපවතින්නේ ය යන අදහසක් ඉන් ගම්‍යමානවන බව යි. කතිකාමය සංයුතියක් ලෙස සිදුහත් හා කපිල වැනි චරිතයක් දකින විට සාහිත්‍ය නියෝජනය( literary representation) හා ඓතිහාසික යථාර්ථය අතර සම්බන්ධය මෙන් ම එකී ආත්මීයභාවයට (subjectivity) පෙනෙන ලෝ ස්වභාවය පිළිබඳ ලු‍හුඬු දැක්මක් ද නවකථාවක් විසින් ඉල්ලා සිටිනු ලැබේ.

කෙනෙකු වේදය සහිත බමුණු දහම පිළිගන්නෙකු නම් ඔහු ලෝකය දකින්නේ කෙසේ ද? ජයින දහම පිළිගන්නේ නම් ඔහු ලෝකය දකින්නේ කෙසේ ද?චාර්වාකයකු ලෝකය දකින්නේ කෙසේ ද? මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළියේ හෝ විරාගයේ හෝ ඕනෑ ම චරිතයක් සම්බන්ධයෙන් මේ වගකීම ඉටු කළේ ය. නැඟී එන ධනේශ්වරයේ මිනිස් විෂයක් ලෙස පියල් ලෝකය දකින්නේ කෙසේ ද? ඔහු දෙස විවිධ පංතිකයින් අවස්ථානුකූලව බලන්නේ කෙසේ ද? වැනි කාරණා සාර්ගර්භ ලෙසත්, ස්ථාන හා කාල කේන්ද්‍රීය ලෙසත් එම නවකථාවෙහි කියවේ. පැරදුණු සල්ලි ලෙස පියල් රුපියලේ කාසියක් නන්දා දෙසට දික් කරයි. ඒ පියල් තම සමාජ පැවැත්මට ගැලපෙන මානයකින් තමාගේ මුදල හා නන්දාගේ පරාදය ගැන සිතන සැටි ය. ජිනදාසගේ භූමදානයටවැය කළේ තමාගේ සල්ලි බව කියා සල්ලං වන්නේ ද ඒ පියල් ම ය.

‘බව තරණය’ නවකථාවේ දී මාර්ටින් වික්‍රමසිංහ නිරූපණය කරන්නේ වෛදික ඉන්දියාව තුළ අතිශයින් ප්‍රබල වූ බමුණුවාදය තුළ බුදු සමය නම් අලු‍ත් දහම බිහි වන්නට තැත් දරන තීරණාත්මක සංක්‍රාන්තික වකවානුවකි. ඒ වෘත්තාන්තය ස්වකීය චරිත මඟින් කියාපාන්නට ඇති අපහසුවේ ගැටලුව ඔහු විසඳා ගන්නේ චරිත අතරට පිවිසනු ලබන තම දාර්ශනික කතිකාවෙනි. එහි දී කතුවරයා බ්‍රාහ්මණ ඉන්දියාව පිළිබඳව සරල නිෂේධනයක් වෙත ගමන් කරන අතරේ ඒ නිෂේධනය ඔස්සේ ම නවකථාවට පෝෂණයක් ලබා ගන්නට ද ඔහුට සිදු වේ. මෙය වික්‍රමසිංහ වෙනත් නවකථාවක් තුළ දී මුහුණ නොදුන් තත්ත්වයකි.

“ගම්පෙරළිය’ නවකථාව ගොඩනඟන විට ඔහු මහගෙදර සහිත පැරණි ආර්ථික ක්‍රමය හෝ පියල් නියෝජනය කරන අලු‍ත් ආර්ථික ක්‍රමය හෝ නිෂේධනය කළේ නැත. යුගාන්තය ගොඩනඟන විට ද ඔහු ධනේශ්වර ක්‍රමය හා සමාජවාදය යන දෙකෙන් එකක්වත් නිෂේධනය කළේ නැත. වැඩවසම් ක්‍රමය පිළිබඳ විවේචනයත්, ධනේශ්වර ක්‍රමය පිළිබඳ විවේචනයත් එන්නේ ඒවා තුළ ප්‍රතික්ෂේපයක් (denial ) ලෙස නොවේ.

එනමුත් ‘බව තරණය’ නවකථාවේ දී කතුවරයාගේ ආඛ්‍යාන අභිනය (narrative gesture) ඊට වෙනස් ය. 6 වෙනි පරිච්ජේය දෙවෙනි භාගයේ දී දෙව්දත් චරිතයේ මුවට නංවන ‘බමුණන් ඉතාම අහංකාර වර්ගයක්’ යන ප්‍රකාශයේ සිට යුධීෂ්ඨිර රජුගේ අග බිසොව අශ්වයකු සමඟ වළෙහි රැය ගෙවීම හා බිසොව අශ්වයාගේ සවිමත් ලිඟු‍ව අල්ලා ගෙන සිටීම ගැන පැවසෙන අශ්වමේධ යාගය දක්වා එය සිදු වේ. නවකථාව තුළ කතුවරයාට පවසන්නට වුවමනා සදාචාරමය යුක්තිය තහවුරු කෙරෙන්නේ කතුවරයා අයුක්තිය ලෙස දක්නා බ්‍රාහ්මණ දෙය සපුරා ප්‍රතික්ෂේප කිරීමෙනි. මෙම ආඛ්‍යාන ප්‍රතිවිරෝධය (narrative contradiction ) වටහා නොගෙන ‘බව තරණය’ නවකථාවේ ගොඩනැගීම වටහාගත නොහැකි ය.

එවැනි අසීරු මාර්ගයක ගමන් කරන නවකථාව විනාශ නොවී ඉතුරු වන්නේ ලේඛකයකු ලෙස වික්‍රමසිංහ සතු ග්‍රාහකත්වය, එනම් අනුන්ගේ දෙය උදුරා ගන්නට ඇති හැකියාව (covetous ) හේතුවෙනි. බ්‍රාහ්මණවාදයේ සිට අශ්වමේධ යාගය දක්වා දේවල්වලින් ඵලප්‍රයෝජන ගන්නට සමත් වීම හේතුවෙනි. සාහිත්‍ය විචාරයේ සාධනීය සහ නිෂේධනීය කලා විනිශ්චය (positive and negative judgment ) ගැන ලියන ප්‍රංශ පශ්චාත් – ව්‍යුහවාදී විචාරක පියරේ මැකරේ කලා විචාරය විෂයෙහි සිදුවන එවැනි උපායක් තුළ දී එය නිර්මාණශීලිත්වය උදුරා ගන්නා බව (It covets creativity) කියයි.37 වික්‍රමසිංහ ද නිර්මාණ කලාවේ දී එලෙසින් නිර්මාණශීලිත්වය උදුරා ගැනේ.

ඒ බව පෙනෙන්නේ අශ්වමේධ යාගය, බිසොව අශ්ව ලිඟු‍ව අල්ලා ගෙන වළේ සිටීම, බිලි පූජාවල දී මිනිසකු ඇතුළු සතුන් 180 ක් බිලි දීම, පංචාල බ්‍රාහ්මණයින් ගැන කීම, විශාල ශරීරයක් ඇති කොසොල් රජු කම් සැපට පමණක් නොව ආහාරයට හා මධු පානයට ගිජු වීම, ගෑනුන් 300 කට නොඅඩු අන්තක්පුරයක් තිබීම යනාදී දේවල් කී වහා කතුවරයා විසින් කියනු ලබන අනුප්‍රාප්තික විස්තරයෙනි. යසෝදරා පිරිමින්ගේ සමජ්ජ ශාලාවට පැමිණෙයි. රණකෙළිවලින් නරදත්ත පරාජය වුණු නිසා යසෝදරා තමන්ට හිමිවුණු බව සිදුහත් කියයි. යසෝදරා තම ස්වයංවර තීරණය හෙළි කරයි. තරුණයෝ යසෝදරාව හා සිදුහත් වටා යමින් නටත්. ඉනික්බිතිව සත්වෙනි පරිච්ඡේදය ඇරඹේ.

“බක් මස අවසානයේ උදාවූ සරත් ඉර්තුවෙහි විවාහ වූ
සිදුහත් යසෝදරාව සමඟ හුදෙකලාව ජීවත්වූයේ සරත් මැදුරෙහි ය. ඔවුන්ගේ සිත් පිනවනු පිණිස හැම රැයක් පාසා නළඟනෝ පැමිණ නැටුම් වැයුම් පවත්වති…”38

37 Pierre Macherey, A Theory of Production, Routledge Classics, 2006,
p. 17 38 මාර්ටින් වික්‍රමසිංහ, බව තරණය, සරස, 2005. පිටුව 64

පෙර කොටස්:

More From Author

මට හමුවූ මිනිස්සු_(1)

ඉඳහිට දැනෙන සුසුමක පපුවේ රැඳුණ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348