“පශ්චාත් නූතන ඩමී මනුෂ්‍යත්වයට එරෙහි ශිෂ්ට යුතුකම”

“වැඩවසම් උපාසකයා
නූතන පුරවැසියෙක්
නොවී විපරීත පාරිභෝගිකයෙක් වීම
                      නොහොත්
පශ්චාත් නූතන ‘ඩමී මනුෂ්‍යත්වයට’
          එරෙහිව ශිෂ්ට යුතුකම.”
(දළදා ප්‍රදර්ශනයට පසු  නුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ජනයා ඒකරාශී වීම තේමා කරගත් ලෞකික නාගරික සංකෘතියක් අරභයා කෙටි සටහනක්)

වාණිජ ප්‍රාග්ධනය ගොඩනගන විනෝද දෘෂ්ටිවාදයට අහුවෙලා පරිභෝජනය ප්‍රමෝට් කරනකොට අපි හිතන්න ඕනෑ පරිභෝජන සමාජයක් ඇතුළෙ මිනිස්සු දේවල් පරිභෝජනය කරන්නේ ඒවායේ ප්‍රයෝජ්‍ය වටිනාකම සලකලා නෙමෙයි.ඒවාට සංකේතීය වටිනාකමකුත් තියෙනවා.උදාහරණයකින් කීවොත් මට ෆෝන් එකක් ඕනෑ නම් ඇපල් ෆෝන් එකක් ගන්නවා.ඇත්තට ම ඇපල් ෆෝන් එක ගන්නේ කතාකරන්න කෙනෙක් ඉන්න නිසා නෙමෙයි.නැති නිසා.තමන්ට තමන් එක්කම කතාකරන්න ඕනෑ නිසා.තමන් කවුද කියන එකට උත්තරයක් නැතිවුණා ම ඇතිවෙන ක්ෂතියෙන්  ගැලවෙන්න ඇපල් ෆෝන් එක නිසා පුලුවන් වෙනවා.මොකද මට,
“මම කවුද ?”කියන එකට ඇපල් ෆෝන් එක උත්තරයක් දෙනවා.
“ඔයා මාර ස්මාර්ට් පොරක්”කියලා.

මෙතෙක් කල් කවුරුත් නොබලපු ඔයා දිහා මිනිස්සු බලන්න පටන් ගන්නවා.
ඔයාට ඔයා ඉන්නවා වගේ දැනෙනවා
ඔයාට ඇපලෝ දෙයියො පිහිට වෙලා වගේ මාර ප්‍රමෝදවත් හැඟීමක් දැනෙනවා.ගැම්මක් එනවා.
තමන්ට තමන් නැතිවෙලා වෙළඳපොළ දෘෂ්ටිවාද විසින් අපේ පැවැත්ම අපිට අහිමි කරන්නේ ඔය විදියට.

මේකෙන් කියවෙන්නේ නෑ වෙළඳාම නරකයි කියලා.පුනරුද කාලේ කලාකාරයෝ බිහිවෙන්නේ මර්චන්ට් කැපිටල් එකෙන් තමයි.ඒ යුගයේ වාණිජ ප්‍රාග්ධනය ආයෝජනය වුණා සංස්කෘතික සමාජ ප්‍රාග්ධනයක් වෙනුවෙන්.දියුණු ධනේශ්වර රටවලත් මිනිස් ශිෂ්ටාචරය දියුණු වෙලා තියෙනවා.ඒකට වෙළඳ ප්‍රාග්ධනය ආයෝජනය වෙලා තියෙනවා.
නමුත් ලංකාවේ ශිෂ්ට වෙළෙන්දා වෙනුවට ඉන්නේ අශිෂ්ට මුදලාලි කෙනෙක්.
දියුණු ශිෂ්ටාචාරවත් නිෂ්පාදන ගෙනත් විකුණන මුදලාලිලා පවා ගෝත්‍රිකයි.ලංකාවේ පොදුජන සංස්කෘතියයි ඇපල් ෆෝන් එකයි අතර සෑහෙන ගැප් එකක් තියෙනවා.
ලකාවේ මුදලාලිලා අතට රැස්වෙන මූල්‍ය ප්‍රාග්ධනය ඔවුන් ආයෝජන කරන්නේ මොනවාට ද ටිකක් ගිල්ටියෙන් මිදෙන්න මිත්‍යාවට ආයෝජන කරනවා.අනිත් ටික බලය වෙනුවෙ.වෙළඳාමෙන්
ප්‍රාග්ධනක් රැස් කරගන්න කෙනා අන්තිමේ දී ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා.
ඩඩ්ලිලා,ධම්මිකලා,සුමතිපාලලා දිහා බලන්න.

දේශපාලනය ස්වභාවිකකරණය වීම නිසා.මේකෙ අවුලක් අපි දකින්නෙත් නෑ. ග්‍රාමීය සංවර්ධනය සහ ජාතික සංවර්ධනයේ  බොහෝ විට වුණේ දේශපාලනික බල අභ්‍යාසයක්.
ගමේ වගකීමක් පැවරෙන කෙනා ඒ සමාජ ප්‍රාග්ධනය බලය වෙනුවෙන් ආයෝජනය කරනවා.ග්‍රාමීය සංවර්ධනය පසෙකට තල්ලු වෙනවා.මේක , “පරිධියේ මිනිහෙක්” පොතේ විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙනවා.
භික්ෂුවක්ගෙන් බණ අහන්න ගියොත් ඒ භික්ෂුව ලබන ජනප්‍රියකම බලය වෙනුවෙන් පාවිච්චි කරනවා.ශාස්ත්‍රීය බුද්ධිමතා තම ප්‍රතිරූපය බලය වෙනුවෙන් ආයෝජනය කරනවා.
මේ විදියට වෙළඳාම පිළිබඳ ලංකාවේ කතාව වෙනස් එකක්.
🟨 දළදා ප්‍රදර්ශනයට පසු නුවර නගරය ශ්‍රම දායකත්වයෙන් ශුද්ධ කිරීම ගැන විවිධ අදහස් පළවුණා.
නුවර සුද්ද කරන එක නගර සභාවේ වැඩක්.බදුත් ගෙවලා ආයෙ මිනිස්සු සුද්ධ කරන්න යන්නේ මොකට ද? ඒක පුරවැසි යුතුකමක් නෙමෙයි.ඒ නිසා නගර සභාව මහජන බදු මුදල් අබාන්ස් එකට දීලා ඒක කර ගන්න ඕනේ.ඉස්කෝලවට ළමයි පහසුකම් හා සේවා ගාස්තුත් ගෙවලා පන්ති,මිදුල් අතුගාන්න ඕනෑ ද? ඒක Cleaning company එකකට භාර දෙන්න ඕනේ.
වගේ අදහස් මතුවුණා.

🟨පරිපාලන ආයතන සහ පුරවැසි යුතුකම

නගර සභාවයි ඒක ශුද්ධකරන පුරවැසි වගකීමයි ගත්තොත් ඇත්තට ම ලංකාවේ නගර සභා කියන්නේ මොනවගේ ඒවා ද? ඒවා නගරසභා කියලා හඳුන්වන්න පුළුවන් ද?ඒවායේ දියුණු සිස්ටම් තියෙනවද?නගරාධිපතිලාට නාගරික පරිකල්පනයක් හෝ නාගරික මානවිද්‍යාව පිළිබඳ අවබෝධයක් තියෙනවාද ?
පුරවැසියාගේ පැත්තෙන් ගත්තොත් අපි පරිකල්පනය කරන නාගරික පුරවැසියෙක් ඉන්නවාද? එහෙම එකෙක් බිහිවෙන නාගරික ව්‍යුහ්‍යක් නැති නිසා එහෙම එකෙකුත් නෑ.
පාරිභෝගිකයාට තියෙන පරිභෝජන සංස්කෘතිය මොනවගේ එකක් ද?
මෙවැනි පසුබිමක සාමූහික සමාජ ක්‍රියාකාරකම් තේරුම් ගන්න වෙන්නේ වෙනස් විදියකින්.

🟨පශ්චාත් නූතනත්වය තුළ පින් අතේ වැඩ.

ශ්‍රමදාන වගේ ඒවත් එක්ක බැඳිලා තිබුණු මහා ආඛ්‍යාන අද ඉවර වෙලා තියෙන්නේ.මිනිස්සු පින් බලාගෙන නෙමෙයි ශ්‍රමදානවලට එන්නේ.
නූතන අර්ථයෙන් ගත්තොත් පුරවැසි යුතුකමක් කියලා හිතලත් නෙමෙයි.වෙන ම විනෝදයකට.ඇතුළෙ තියෙන හිස්කම හින්ඳා.
තමන් ළඟ සාරමය වශයෙන් මනුස්සම,වගකීම,පරිසරය…වගේ දෙයක් තමන් තුළ තියෙන හින්දා නෙමෙයි.තමන් තුළ එහෙම එකක් නැති හින්දා. එහෙම අය හොඳයි කියන දෘෂ්ටිවාදය ඇතුළෙ ඉන්න නිසා.

“මේ අපවිත්‍රකරන උන් නරකයි”
කියලා තමන් හොඳවෙන්නත්,සාහසික ලෙස ඔවුන්ව ආන්තික කිරීමටත් ය.
“මේ අශිෂ්ටයෝ ,ගැමියෝ”යැයි ප්‍රතිකේෂ්ප කරමින් විනෝද වීමට ය.
දළදාව බලන්න යන්නේත් “දළදාව බලන්න පින තියෙන්නත් ඕනේ.තොපි පවු කාරයෝ.තොපි අපායෙම පලයවු”
වගේ සාහසික විනෝදයක් ලබන්න.
එහෙම නම් පින් අතේ වැඩ =>යුතුකමේ වැඩ=>විනෝදවීමේ වැඩ  දක්වා පැරණි මෙටා ආඛ්‍යානය වෙනස් වී ඇත.

🟨විසඳුම
සඳහා නූතනත්ව සංවර්ධන කතිකාවක්

මේ සමාජය හදන්න බැරිද?
අද ඉන්නේ පුරවැසියෙක් නෙමෙයි නම්.
පාරිභෝගික විනෝද රජදනනේ ගිලුණු ආත්මීයත්වයේ ගොදුරු බවට පත්වුණු මිනිස්සු නම් මේ සමාජය සංවිධානය කළ නොහැකි ද?

පැරණි ලෝක පර්‍යාය බිඳවැටෙමින් ද ඇති සන්දර්භයක නූතනත්ව කතිකාවකට ඔබ්බෙන් ගිය පර්‍යාවලෝකනයන්ගේ ආලෝකධාරා ඔස්සේ නූතනත්ව කතිකාවක් මඟින් සමාජය සංවිධානය කිරීම අත්‍යවශ්‍යය තත්වයක් වෙයි.

මේ සඳහා ආගමික මෙටා ආඛ්‍යාන වෙනුවට ලෞකික රාජ්‍යත්ව දෘෂ්ටිවාදයක් අවශ්‍ය කෙරේ.මේ සඳහා
සහයෝගීත්වයේත් සහභාගීත්වයේත් කතිකාවක් අවශ්‍ය කර තිබේ.ආණ්ඩුවකට ඒ සඳහා අවශ්‍යතාවක් ඇත්නම්  පරිපාලනමය ආධිපත්‍යක් පමණක් නොව දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයක් ද තිබිය යුතු ය.
නමුත් අද වන විට පේන්නට ඇත්තේ ආධිපත්‍යය සඳහා පොරය ඵල රහිත බවයි.ආධිපත්‍ය ලබාගැනීම එය රැක ගැනීම නිම නොවන කරුම චක්‍රයකි.එය දේශපාලය දෛනික චාරිත්‍රයන්ට මෙහෙයවනවා මිස සමාජ සංවර්ධන කතිකාවකට මෙහෙය වන්නේ නැත.එය දේශපාලකයාගේ දවසේ ක්‍රීඩාවක් මෙන් ම ඇබ්බැහියක් ද වෙයි.පසුව එය අනෙකාට සාහසික වන ආත්මීය වින්දනයක කචාබචා දේශපාලනයක් වී රට ව්‍යාධියකට ඇද දමයි.

ආධිපත්‍ය සමබිමක අභ්‍යාස කරමු.ඒ සඳහා සහභාගීත්වයේ කතිකාවක් ඇතිකරමු.          

More From Author

ස්ත්‍රිය යනු කවුද ?

කුලාන් මෙත්සරගේ නර්තන ප්‍රතිභානය

Leave a Reply

Categories

LDM Columns