හොලෝඩෝමර් රහස හෙළි කරන “කීව් දියණියෝ”

සාහිත්‍ය පරිවර්තනයේ දී කිසියම් භාෂාවකින් ලියැවුණ කෘතියක් එහි මුල් බසින් ම වෙනත් බසකට පරිවර්තනය කරන්නට හැකියාවක් ඇත්නම්, එමගින් එහි මුල් කෘතියට වැඩි සාධාරණයක් ඉටු කළ හැකිවාක් මෙන් ම, මුල් කෘතියේ රස නුසුන් කොට එම පරිවර්තනය පාඨකයාට වඩාත් සමීප කරන්නට ද එමගින් ඉඩකඩ සැලසේ. ඒ සඳහා එකී භාෂාද්වය අතැඹුලක් සේ දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඒ සඳහා පරිවර්තකයාට නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ මනා කුසලතාවක් සහ පරිචයක් ද තිබිය යුතු ය.

බොහෝ විදෙස් භාෂාවලින් කෙළින් ම සිංහලයට සාහිත්‍ය කෘති පරිවර්තනය කරන පරිවර්තකයන් අප අතර සිටිය ද, ස්වීඩන් බසින් සිංහලයට පරිවර්තන කාර්යයේ යෙදෙන පරිවර්තකයන් අපට සිටින්නේ අතළොස්සකි. ඇය ඉංග්‍රීසි බසින් මෙන්ම ස්වීඩන් බසින් ද පරිවර්තන කාර්යයෙහි නියැලී සිටින්නේ දීර්ඝ කාලයක පටන් ය.

එරින් ලිට්ටකේන් (Erin Litteken)

දිගු කලක් ස්වීඩන් ජන සමාජය තුළ වාසය කරමින් ස්වීඩන් භාෂාව තම මව්බස තරම් ම සමීපව ප්‍රගුණ කරගත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ කුසලතාවන්ගෙන් සහ පරිචයෙන් පිරිපුන් ප්‍රතිභා සම්පන්න සිංහල ලේඛිකාවක වන ඇයගේ පරිවර්තන ව්‍යායාමයක් පසුගිය දා අපට කියවන්නට ලැබිණි. ඒ, ලේඛිකා එරින් ලිට්ටකේන් විසින් විරචිත The Memory Keeper of Kyiv නම් අපූරු නවකතාවෙහි පරිවර්තනයයි. එය සිංහල පාඨකයා අතට පත්වන්නේ ‘කීව් දියණියෝ’ යන නමිනි.
ප්‍රියංවදා එම්. බන්දුවර්ධන ලේඛිකාව සිය ලිවිසැරිය තුළ මේ වන විට සිංහලෙන් නවකතා පහක් ද, ස්වීඩන් භාෂාවෙන් එක් නවකතාවක් ද රචනා කර තිබේ. ඇය රචනා කර ඇති ළමා පොත් ගණන අටකි. ඒ සිංහලෙන් ළමා පොත් පහක් සහ ස්වීඩන් භාෂාවෙන් ළමා පොත් තුනක් වශයෙනි. ඉන් ‘දක්ෂ දුනුවායා’ ළමා කතාව රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර විය.

පරිවර්තන කාර්යයට ඇය වැඩි අවධානයක් යොමු කර ඇති බවක් දක්නට ලැබෙන්නේ අප අද කතා කරන ‘කීව් දියණියෝ’ නවකතාව ද සමග ඇය මේ වනවිට විදෙස් නවකතා දාහතක් සහ කෙටිකතා සංග්‍රහ දෙකක් සිංහලයට පරිවර්තනය කර ඇති හෙයිනි. ඉන් ‘සෝනියා, සුල්තාන්ගේ දෙවැනි බිරිඳ’ (2017) සහ අපිරිසිදු සුරඟන (2023) යන ග්‍රන්ථ ද්විත්වය ගොඩගේ සම්මාන අවසන් වටය නියෝජනය කළේ ය. එසේ ම, ඇය ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහ දෙකක් සහ චරිත කතා දෙකක් ද රචනා කර ඇත.
ස්වීඩනයේ වෙසෙමින් ස්වීඩන් සාහිත්‍යය ඇතුළු විදෙස් සාහිත්‍යය සිංහල පාඨකයන්ට සමීප කරන ඇය, එහි වෙසෙන සිංහල ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහලෙන් පළවන වටිනා සාහිත්‍ය කෘති පරිහරණය සඳහා ඉඩ සලසනු වස් ස්ටොක්හෝම් හි ජාත්‍යන්තර පුස්තකාලය සමග සමීපව කටයුතු කරන්නීය.

‘කීව් දියණියෝ’ නමින් ප්‍රියංවදා පරිවර්තනය කළ ලේඛිකා එරින් ලිට්ටකේන්ගේ The Memory Keeper of Kyiv (කීව් හි මතක සටහන් රකින්නිය) කෘතිය කියවීම ආරම්භ කරන අපට මුලින් ම සිහිපත් වෙන්නේ දිගු කලෙක පටන් නොනිවී දැල්වෙමින් තිබෙන රුසියානු – යුක්රේන යුද්ධය යි. නමුත්, එරින් ලිට්ටකේන් සිය කෘතිය තුළ කතා කරන්නේ වර්තමානයේ දියත් වන රුසියානු – යුක්රේන යුද්ධය ගැන නොවේ. 1930 ගණන්වල මුල් භාගයේ දී ජෝෂප් ස්ටාලින්ගේ ඊනියා කෘෂිකාර්මික සාමූහිකකරණය විසින් සාගතයක් නිර්මාණය කොට යුක්‍රේන ජනතාව මරා දමන ලද ‘හොලෝඩොමෝර්’ නම් වූ සිදුවීම ගැන යි.
‘හොලොඩෝමර්’ යනු සෝවියට්වරුන් විසින් කීව් ප්‍රදේශයේ ගොවි ජනතාව රවටමින් ඔවුන්ගේ භවභෝග හා ඔවුන් සතු සියල්ල බලහත්කාරයෙන් පවරාගනිමින් මිලියන 10-14 අතර ජනතාවක් කුසගින්නේ මිය යන්නට සැලැස්වූ මහා අපරාධයකි.
තව ද, ඇය මෙම නවකතාව තුළ අතීතය විග්‍රහ කරන්නේ ‘හොලෝඩෝමෝර්’ සිදුවීමෙන් දිවි ගලවා ගත් අයගේ දරුවනට සහ මුණුබුරන්ට ඉතිහාසය හෙළි කරන ආකාරයෙනි. හොලෝඩෝමෝර් සමයේ දී, සෝවියට්වරුන් විසින් ගොවීන් සතු කෘෂිබෝග පිටරටවලට නැව්ගත කිරීම සඳහා ඔවුන්ගෙන් සොරකම් කරන ලද අතර, යුක්‍රේනියානුවන් කුසගින්නේ තබා අවසානයේ ඔවුන්ගේ ඉඩම් පවා ඔවුනට අහිමි කරමින් ඒවා ද රාජසන්තක කරනු ලැබී ය. මේ හේතුවෙන් මිලියන නවයකට ආසන්න ජනතාවක් ඝාතනයට ලක් වූහ.
ස්ටාලින් එම කාලය තුළ ළමා පුරෝගාමීන් යැයි කියමින් ක්‍රියාකාරීන් ලෙස බඳවා ගත් අහිංසක දරු දැරියන්ගේ මොළ සෝදන සැටි කතුවරිය පවසන්නේ මෙසේ ය.

‘කොමියුනිස්ට් පක්ෂය මෙතරම් දරුණු ලෙස නොමේරූ දරුවන්ගේ සිත් එදෙසට ඇද තබා ගන්නේ කෙසේ දැයි කතියාට තවමත් විශ්වාස කළ නොහැකි වී ය. වෙනකක් තබා තරුණ පුරෝගාමීන්ගේ වැඩසටහනට කුඩා පාසල් ළමුන් පවා බඳවා ගැනිණි. ඔවුනට අයත් කාර්යය වූයේ ගම්මුන් හා පවුලේ සාමාජිකයන් සඟවා ඇති දේවල් සොයා බලා වාර්තා කිරීම ය. ඔවුහු ඒ දේ කළ හ.’
මෙය අපට සිහිපත් කරන්නේ වසර තිහක පමණ කාලයක් අප රටේ ද ක්‍රියාත්මක වූ කොටි සංවිධානයේත්, තවත් බොහෝ රටවල පවත්නා එවැනි ත්‍රස්ත සංවිධානවල මේ හා සමාන ක්‍රියාකාරකම් ය.

එසේ ම, මාක්ස්-ලෙනින් බිහිකළ සමානාත්මතාවෙන් පිරි මානව හිතවාදී සමාජය ස්ටාලින්ගේ අත්තනෝමතික පාලන සමයේ අසරණයන් පීඩාවට පත් කළ ආකාරය එරින් විස්තර කරන්නේ මෙසේ ය.
‘සාමූහිකයේ ක්‍රියාකාරීන්ට ස්ටාලින්ගේ අති විශාල ධාන්‍ය කෝටාව සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිසා සෑම ගමක ම නිවෙස්වලට කඩා පැන ඒවා හිස් කිරීමට අණ කෙරිණි. ඔවුන්ගේ ආහාර, භාණ්ඩ සහ මෙවලම් ගෙවීම් වශයෙන් ගෙන යනු ලැබිණි. ගෙවතු වගාව තහනම් කෙරිණි. නිවසේ දොරෙන් පිටත වැවෙන හැම දෙයක් ම රාජ්‍ය දේපලක් ලෙස සැලකිණි.’
යුක්‍රේනයේ එවන් ව්‍යසනයක් සිදුවෙමින් තිබිය දී ලොව බලවත් රටවල් සහ ඔවුන්ගේ ජනමාධ්‍ය ලෝකයෙන් එය වසන් කළේ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර් පරාජය කිරීම සඳහා ස්ටාලින්ගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා යැයි කියනු ලැබේ. ඒ ගැන මෙම නවකතාවේ සඳහන් වෙන්නේ මෙසේ ය.
“සෝවියට් සංගමය බිඳ වැටෙනකම් සාගතය වසැංගුවා. ‘කවදාවත් එහෙම වුණේ නැහැ’ කියන අයත් තවමත් ඉන්නවා” නික් කීවේ ය. “ස්ටාලින්ගේ සාමූහිකකරණය මහා විශිෂ්ට වැඩපිළිවෙළක් බවට ප්‍රචාරයක් දුන්නා. ඔහුගේ මිත්‍ර පාක්ෂිකයින් හා ප්‍රචාරකයෝ ඒ සම්පත් මිලදී ගත්තා. සමහරු බොරු පවා කිව්වා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වෝල්ටර් ඩුරන්ටි සාගතයක් ඇති බව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරමින් ලිපි ලිව්වා. වෙන දෙයක් තබා මිනිහගේ ඒ ලිපිවලට පුලිට්සර් තෑග්ගත් දුන්නා.”
මෙම නවකතා සන්දර්භය තුළ දිගහැරෙන අතීතයත්, වර්තමානයත් ප්‍රත්‍යාවර්ත දෘෂ්ටිකෝණයන්ගෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ ‘මතක සටහන් රකින්නිය’ වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇතැයි එය රස විඳින පාඨකයකුට සිතෙන්නට පුළුවන. ඒ, 1930 ගණන්වල යුක්‍රේනයේ කීව් ප්‍රදේශයේ විසූ කතියාලාගේ ජීවිතය සහ 2004 දී උතුරු ඇමෙරිකාවේ ඉලිනොයිස්හි සිටි කැසීලාගේ ජීවිතය වෙත එම සන්දර්භය මාරුවෙන් මාරුවට දෝලනය වන හෙයිනි. එහෙයින්, මෙම කතාවේ පූර්වාපර සිදුවීම් එකිනෙකට සම්බන්ධ කර ගැනීමට නම් මුල සිට අග දක්වා ම මෙම නවකතාව වැඩි සාවධානයකින් යුක්තව කියවා ගත යුතු ය.
එසේ ම එම චරිත කෙතරම් සංකීර්ණ ඒවා වුව ද, ඒවා සත්‍යවාදී ය. ඔවුහු තම විවිධ මානසික කම්පනවලට විවිධ ආකාරවලින් මුහුණ දෙමින් ජීවත් වෙති. විශේෂයෙන් ම, මෙහි එන කතියාගේ චරිතය වඩාත් ආදරණීය චරිතයක් ලෙස අපට හැඟෙන්නේ, ඩිමෙන්ශියා රෝගය ඇතිවීම නිසා දීර්ඝ කාලයක් යටපත්ව තිබූ ‘හොලෝඩෝමෝර්’ මතකයන් මුදා හැරීම නිසා ය. තව ද, එරින් ලිට්ටකේන්ගේ රචනා ශෛලියේ විශේෂත්වය වෙන්නේ යුද්ධයත් සමග පැන නගින ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳව දීර්ඝ ලෙස විස්තර කරන්නටවත්, ඒවා සංවේදී බවට පත් කරන්නටත් නොයා ඒ වෙනුවට ඇය ඒවා සැබෑ ලෙස විස්තර කර තිබීම ය.

ප්‍රියංවදා එම්. බන්දුවර්ධන

ඇය සිය නවකතාව ආරම්භ කරන්නේ ම පාඨකයා කුතුහලයෙන් ඇද බැඳ තබා ගනිමිනි. ඒ, මාස දහතුනක්, සතියක් සහ දින තුනක් වචනයක්වත් කතා නොකරන බර්ඩි නම් දැරියත්, ඇය බොබී නමින් හඳුන්වන අනූ දෙහැවිරිදි සිය මිත්තණිය පිළිබඳව අත්තම්මා ගෙනා දුක්මුසු ආරංචියත් මගිනි. එසේ ම, අතීතයේ යුක්‍රේනයේ විසූ පවුලෝ, කතියා, තම සොයුරිය ඇලීනාගේ ඝාතනයෙන් පසු කතියා හදා වඩා ගන්නා ඇගේ දියණිය හලීනා සහ වර්තමානයේ වින්කොන්සින්වල සිටින බොබී, කැසී, ඇනා යන චරිත අතර ඇති සම්බන්ධය පිළිබඳ කුතුහලය ද දල්වාලමිනි.
දෙදහස් හතරේ මැයි මාසයේ වින්කොන්සින්වලින් ආරම්භ වන මේ මතක සටහන පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට නවසිය තිස් ගණන්වල වින්කොන්සින් හා දෙදහස් හතරේ යුක්‍රේනය, ඉලිනොයිස්, අතර වරින් වර දෝලනය වෙයි. සිංහල පාඨකයාට ආගන්තුක යුක්‍රේනයේ පැවැති මංගල සහ අවමංගල සිරිත් විරිත් ගැන මෙන් ම, ස්ටාලින්ගේ සාමූහිකකරණයේ කුරිරු හස්තයට හසුව පීඩාවට පත්වන යුක්‍රේනියානුවන් ගැන එරින් ලිට්ටකේන් සිය මතක සටහන් තුළ ප්‍රතිමාන කරන්නේ පාඨකයාට ඒවා නවමු අත්දැකීම් බවට පත් කරමිනි.
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් රුසියානුවන් දිනාගත් නිදහස් සමෘද්ධිමත් ලෝකය ජෝෂප් ස්ටාලින්ගේ කුරිරු පාලනය තුළ ඇස් පනා පිට ම සුණුවිසුණු වී යන්නේ එකී පාලනයට ක්‍රියාවකින් පමණක් නොව, වචනයකින් පවා එරෙහි වන්නන් ඝාතනයට ලක් කරමිනි.
ඒ අවිචාර සමයේ පීඩාවට පත්ව දිවි බේරාගත් බොබී වැනි චරිත ඒ කුරිරු අතීතය ගැන වදනකුදු නොකියා ඒ අඳුරු මතක සිහිපත් කරමින් හොර රහසේ තනිව ම හඬා වැලපෙන්නේ අප සිත් වඩාත් සංවේදී කරලමිනි.
එවැනි පීඩිත මිනිසුන් තුළ තවමත් ඉතිරිව පවත්නා ශක්තිය හෙළි කරන අපූරු දෙබස් ඛණ්ඩයක් මෙහි දී අපට හමුවෙයි. ඒ මෙසේ ය. “හැමෝගෙම අතීතයේ දුක්වෙන්න දේවල් තියෙනවා. ඒවාත් එක්ක ජීවත්වෙන්න ඕනෑ.”
ස්ටාලින්ගේ යකඩ සපත්තුවට පෑගී ජීවිතයත් මරණයත් අතර නොවිඳිනා දුක් විඳිමින් අහිංසක ජීවිතවලින් පවා වන්දි
ගෙවන යුක්‍රේනියානුවන්ගේ අඳුරු ජීවිත කතාව ආලෝකවත් කරන්නේ, කතාවේ ආරම්භයේ පටන් ම එරින් ගොඩනගන කතියාගේ සහ පවුලෝගේ යොවුන් ප්‍රේමය යි. ස්ටාලින්ගේ ඊනියා ක්‍රියාකාරීන් පැමිණ පවුලෝගේ පවුලේ සාමාජිකයන් වෙඩි තබා ඝාතනය කරද්දී පාඨක මනසින් ඒ ආලෝකය නිවී ගිය ද, බරපතළ තුවාල ලබා මිය ගියාක් මෙන් සිටි පවුලෝ ජීවතුන් අතර බව දැනගත් විට බොඳව ගිය ඒ ආලෝකය ඔවුන් තුළ යළි දැල්වෙයි.
කෙතරම් සංකීර්ණ කතා සන්දර්භයක් වුව ද, එය සරල සුගම බසකින් සහ කෙටි වැකිවලින් සිංහලයට පරිවර්තනය කරන්නට ප්‍රියංවදා එම්. බන්ධුවර්ධන පරිවර්තිකාව කටයුතු කර ඇති හෙයින්, ‘කීව් දියණියෝ’ නවකතාව එක හුස්මට කියවා ගත හැකි බව පැවසිය යුතු ය. මෙම පරිවර්තනයේ වැකිවල ඇති පද සංවිධානය බෙහෙවින් නිරවුල් බවත්, නිවැරදි වියරණයෙන් යුක්ත බවත් සඳහන් කරන්නේ අද මෙරට පළවන බොහෝ පොත්පත්වල එවන් උසස් ප්‍රමිතියක් දක්නට නොමැති හෙයිනි.
කෘතියේ ලේඛිකාව වන එරින් ලිට්ටකේන් යනු ඓතිහාසික ප්‍රබන්ධ පිළිබඳ ජාත්‍යන්තරව වැඩියෙන් ම අලෙවි වන කතුවරියකි. ඇගේ කෘති භාෂා දහඅටකින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇගේ මංගල කෘතිය වන THE MEMORY KEEPER OF KYIV නම් මෙම නවකතාව 2022 ඓතිහාසික ප්‍රබන්ධ සම්මානය සහ 2023 කාන්තා ප්‍රබන්ධ ලේඛන සංගමයේ තරු සම්මානය දිනා ගත්තේය.
එනිසා, සිංහල පාඨකයාට නවමු අත්දැකීම් සම්භාරයක් ගෙන එන ඇගේ එම කෘතියට ප්‍රියංවදා එම්. බන්දුවර්ධන ලේඛිකාව කළ මෙම පරිවර්තනය පාඨක විචාරක සැමගේ වෙසෙස් අවධානයට බඳුන් විය යුතු කෘතියක් බව අවසාන වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

More From Author

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ සහ හුදකලාවේ සංකේතය “සුනඛ ආර්යා”: එරික් ඉලයප්ආරච්චි

දෙදහස් විසිපහ වසරේ මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළකරන්නේ “මඳ සිනා නගන විල්දිය “නමින්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348