ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ සහ හුදකලාවේ සංකේතය “සුනඛ ආර්යා”: එරික් ඉලයප්ආරච්චි

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ එරික් ඉලයප්ආරච්චි යනු සුවිශේෂී නමකි. දශක ගණනාවක් පුරා ඔහු විසින් රචනා කරන ලද කෘතීන්, සාම්ප්‍රදායික සාහිත්‍ය සීමාවන් ඉක්මවා යමින්, නූතන සමාජයේ සංකීර්ණ ස්වභාවය විමසීමට පාඨකයා පොළඹවයි. ඉලයප්ආරච්චි, කවියෙකු, නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම විචාරකයෙකු හා පරිවර්තකයෙකු ලෙසද සිය බහුශ්‍රැතභාවය තහවුරු කර ඇත.පද්‍ය, තිරකතා, පරිවර්තන, කෙටිකතා, නවකතා සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ කෘතීන් අසූවකට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ ලේඛකයා, සිංහල සාහිත්‍යයේ විවිධ ප්‍රභේද ඔස්සේ සිය නිර්මාණාත්මක දක්ෂතාව ප්‍රකට කර තිබේ. ඔහුගේ බගන්දරා, විතණ්ඩ සමය, ආදරයේ සිමෙන්ති, පේත වැනි නවකතා මෙන්ම ලංකා ගමන වැනි කෙටිකතා සංග්‍රහයන්ද පාඨක අවධානයට ලක් වූ කෘති අතර වේ.සම්මානලාභී ලේඛකයෙකු ලෙස, ඔහු සිය නිර්මාණ තුළින් සමාජ, දේශපාලන හා මානව සම්බන්ධතා පිළිබඳ ගැඹුරු විවරණ සිදු කරයි. සෑම කෘතියකදීම නව ආකෘතියක් හෝ වෙනස් දෘෂ්ටිකෝණයක් ගෙන ඒමට උත්සාහ කරන ඔහුගේ සාහිත්‍යය, නව අර්ථකථන සොයන බුද්ධිමත් පාඨකයාගේ ප්‍රසාදය දිනා ඇත. එබඳු සුවිශේෂී සාහිත්‍යකරුවෙකුගේ අලුත්ම නවකතාව වන්නේ “සුනඛ ආර්යා” ය. රූපක සහ සංකේතවලින් පිරි මෙම කෘතිය, ලේඛකයාගේ නිර්මාණාත්මක උපරිමය ලෙස සැලකිය හැකි බවට මෙය කියවීමේදී පෙනී යයි. මෙය හුදෙක් ආඛ්‍යානයක් නොව, නාගරික ජීවිතය, පුවත්පත් කලාව සහ මානව මනසේ සංකීර්ණ ස්ථර විමසන දාර්ශනික කෘතියක් ලෙස හැඳින්විය හැකිය.

එරික් ඉලයප්ආරච්චි

“සුනඛ ආර්යා” කතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ, මියගිය ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙකු වූ “රංජිත් ජයසිංහගේ” බිරිඳ වන “ප්‍රියා” නම් දෙමළ කාන්තාවයි. ඇය, ‘නිව් මිරර්’ පුවත්පතේ ඉංග්‍රීසි  පුවත්පත්කලාවේදිනියක ලෙස කටයුතු කරයි. බොරැල්ලේ එලියට් පාරේ පිහිටි පරණ දෙමහල් නිවසක වාසය කරන ප්‍රියා, සිය සැමියාගේ අභාවයෙන් පසු ඇති වූ හුදකලාවට මුහුණ දෙන්නේ අසාමාන්‍ය ආකාරයකිනි. ඇයගේ ජීවිතය බොරැල්ල නගරය කේන්ද්‍ර කරගෙන ගෙවී යයි. ප්‍රියාගේ චරිතය තුළින් මතු වන්නේ, නාගරික පරිසරය තුළදී පවා අන්තවාදී හුදකලාවක පැවැත්ම සහ තම වේදනාවන්ට ආදේශකයක් සොයා යන සංවේදී ආත්මයකි.

ප්‍රියාට අනුව බොරැල්ල යනු සුරලොව තිබෙනා පවිත්‍ර ප්ලැටෝනියානු නගරයක් බඳුය. ඇය එය දිනපතාම දැකිය යුතු දර්ශනයක් ලෙස සලකයි. මෙම දැඩි බැඳීම, නගරය තුළින් හුදකලාවට පිළිසරණක් සොයන ඇයගේ අභ්‍යන්තර ලෝකය පිළිබඳ සංකේතයකි. ප්‍රියා යථාර්ථයෙන් මිදී, බොරැල්ල තුළ තමාටම ආවේණික වූ පරමාදර්ශී, පවිත්‍ර ලෝකයක් නිර්මාණය කරගෙන ඇති බව මෙයින් ඇඟවෙයි. නාගරික අපිරිසිදුකම, දේශපාලන අර්බුද සහ පෞද්ගලික වේදනාවන්ගෙන් පිරුණු කොළඹ නගරය තුළ පවා, ප්‍රියා තමාගේම ආත්මීය තෝතැන්නක් සොයා ගෙන ඇත. මේ තුල කතුවරයා, වචන මගින් කොළඹ නගරය මැනවින් චිත්‍රණය කිරීමට උත්සාහ කර ඇති අතර, විශේෂයෙන් බොරැල්ල අවට මං සලකුණු සහ භූගෝලීය පසුබිම, ප්‍රියාගේ ජීවිතය හා බද්ධවී ඇති අයුරු විශිෂ්ටය. ප්‍රියාගේ අසල්වැසියා ඇය වෙසෙන නිවස මිලදී ගැනීමට මාන බැලීම, නාගරික ජීවිතයේ පවතින පුද්ගලික ඉඩකඩ සහ දේපල පිළිබඳ ගැටුම් මෙන්ම, ඇයගේ ‘පරමාදර්ශී නගරය’ බිඳ දැමීමට යථාර්ථය දරන උත්සාහය ද සංකේතවත් කරයි.

සැමියාගේ මරණයෙන් පසු ප්‍රියාගේ ජීවිතයේ ප්‍රධානම අරමුණ බවට පත්වන්නේ මහමග සිටිනා වීදි සුනඛයන්ට ආහාර සැපයීමයි. සෑම දිනකම රාත්‍රිය උදාවත්ම, බොරැල්ල, ටවුන් හෝල්, රාජගිරිය, නාවල සහ නුගේගොඩ ආදී ප්‍රදේශවල ඇය පා පැදියෙන් ගොස් තනිවම සුනඛයන්ට ආහාර ලබා දෙයි. ඇයගේ සම්පූර්ණ ආත්මයම වීදිවල අනාථව සිටිනා බල්ලන් හට කෑම ලබා දීමය. කිසියම් දිනක සුනඛයන් හමු නොවුනොත් ඇයගේ සිතට හරි නැත. මෙම සුනඛයන්, ප්‍රියාගේ හුදකලාවේ සහ අසරණභාවයේ කැඩපත බවට පත්වේ. මෙම ක්‍රියාව, ඇයගේ පෞද්ගලික ජීවිතයේ සංකේතයක් ද ගෙන එයි. සුනඛයන්ට කැමට දෙන මස් සකස් කරන ඇයගේ කුස්සිය අපිරිසිදු, දුර්ගන්ධයෙන් යුතු ස්ථානයක් බවත්, එය පිරිසිදුව තබා ගැනීමට ඇයට උවමනාවක් නැති බවත් කතුවරයා පෙන්වා දෙයි. මෙය, සැමියාගේ වියෝව සහ ඔහුගේ රහස් සම්බන්ධතා පිළිබඳ දැනුම නිසා ඇති වූ ශෝකයෙන් හා අවුලෙන් පිරුණු ප්‍රියාගේ අභ්‍යන්තරය පෙන්වන සංකේතයක් ලෙස ක්‍රියා කරයි. ඇය තමාගේ පුද්ගලික අවශ්‍යතා නොසලකා හැර, සියලු ශක්තිය වීදි සුනඛයන්ට යොදවන බව මෙයින් ගම්‍ය වේ.

කතුවරයා නවකතාව තුළින් ඉතා තීව්‍ර දේශපාලනික හා සමාජ විවරණයක් ගෙන එයි. දහවල් පුවත්පත් කාර්යාලයේ පුවත් අතර ගැවසෙන ඇය රාත්‍රී කාලයේ කොළඹ නගරය පුරා අසරණ වීදි සුනඛයන් සොයා යයි. කතුවරයාට අනුව, මේ කාරණා දෙකෙහිම හරය එකක් යැයි හැගේ. සත්‍ය දැනගැනීමේ කුසගින්නෙන් සිටිනා පාඨකයන් වෙත පත්තරයෙන් උදව් කරනා ඇය, රාත්‍රියේදී අසරණ වීදි සතුන්හට ආහාර ලබාදේ. ලංකාවේ පාඨකයාද මේ වීදි සුනඛයන් මෙන් අසරණ වී ඇති සැටියක් රචකයා නොකියා කියූවා වැනිය. සත්‍යය සොයන පාඨකයාගේ දැනුමේ කුසගින්න සහ වීදි සුනඛයාගේ ආහාර කුසගින්න අතර සමානකමක් ගොඩනැගේ. තවද, ප්‍රියා සේවය කරන පුවත්පත් ආයතනයේ ප්‍රධාන කර්තෘවරයා වන “ඇල්ස්ටන් රාමවික්‍රමගේ” චරිතය තුළින්, කතුවරයා පෙන්වා දෙන්නේ පුවත්පත් කලාවේ ඉහළම පුටු පවා බලයට යටත් වී ඇති ආකාරයයි. ඇල්ස්ටන් රාමවික්‍රම, පෙරදිගට පක්ෂපාතී අයෙකි. ඔහුගේ ඇස්වල දිස්වන බියගුලු බව රජයේ අමාත්‍යාංශ ලේකම්වරයෙකුට, කොමසාරිස්වරයෙකුට ගැලපුනත් පත්තර කාරයෙකුට නොගැලපෙන බව කතුවරයා පෙන්වා දෙයි. ඔහුට ලැබුණු ප්‍රධාන කර්තෘකම නිසා, පුවත්පත් හිමිකරුවන් වූ ව්‍යාපාරිකයන් තිදෙනාට සහ බලයේ සිටින පක්ෂයට වගවීමේ නිවට ගතියක් ඔහු තුළ ගැබ්වී ඇත. මෙම විවරණය, අද බොහෝ පුවත්පත් කාර්යාලවල මුල් පුටු තුළින් සමාජයට විද්‍යමාන වන බියගුලු යටත් වීම සහ බලයට නතු වීම පිළිබඳ සංකේතාත්මක නිරූපණයකි.

නවකතාවේ, ප්‍රියා සේවය කළ පුවත්පතෙහි සේවය කළ දිනේශ් උදුල් සහ ෆරීඩා නම් පුවත්පත්කලාවේදියා සහ පුවත්පත්කලාවේදිනිය රහසේ උතුරේ දේශපාලනික කරුණු ගැන කටයුතු කර, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන විට දේශපාලන රැකවරණ පතා ස්විස්ටර්ලන්තයට පලා යෑමට සැලසුම් කරයි. මෙමඟින් කතුවරයා පෙන්වා දෙන්නේ, ඔවුන් ඒ රටේ ජීවත්වීමට උපක්‍රමශීලී ලෙසින් පුවත්පත් කලාව උපයෝගීකරගත් බවකි. එය පසුගිය කාලයේ අපේ රටේදීද ඇතැම් පත්තර කාරයන් විදේශගත වීමට යොදන ලද උපක්‍රමයකි. දිනේශ් සහ ෆරීඩාගේ චරිත දේශපාලන කූටෝපය සහ අවස්ථාවාදය නියෝජනය කරයි. රටේ අර්බුදය තම පෞද්ගලික වාසියට යොදාගෙන, පුවත්පත් කලාව “විදේශගත වීමේ මෙවලමක්” ලෙස භාවිත කරන සමහර පුද්ගලයන් පිළිබඳ විවේචනයකි.

ඒ සැලසුමේ ප්‍රතිඵලයක් ලෙස ෆරීඩා විදෙස්ගත වුවද, දිනේශ් උදුල් අතුරුදන් වීම, ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ භයානක යථාර්ථය සහ නිදහස් මාධ්‍යයට එල්ල වූ තර්ජන සංකේතවත් කරයි. එසේම, ලිබරල්වාදී අදහස් දැරූ තවත් පුවත්පත් කලාවේදියෙකු වූ මර්වින් මැතිවුස් ද ලංකාව හැරදමා යෑමට තීරණය කිරීම, රට තුළ බුද්ධිමතුන්ගේ පලායාම (Brain Drain) පිළිබඳ සංවේදී විවරණයකි. දේශපාලන සහ සමාජ පීඩනය හමුවේ නිදහස් අදහස් දරන සහ ලිබරල්වාදී චින්තකයින්ට රට තුළ ජීවත් විය නොහැකි වීම සහ ඔවුන්ගේ ඉරණම මෙමඟින් පැහැදිලි කරයි.

මෙහි එක් තැනක කතුවරයා සුනඛයෙකුගේ සිතුවිලි මගින්  මෙලෙස පවසයි:

” අපේ නපුරු කම අපිට උපතින් ලැබුනා තමයි. ඒ උනාට අපි ඔක්කොම ‘බැස්කවීල්ස්’ දඩ බල්ලෝ කියල හිතන්න එපා. අපි මේ මිහිතලයේ අසරණයෝ. පිං සිද්ධවෙයි අපිව නපුරු කරන්න එපා. නපුරුකමත් එක්ක ජීවත්වීමේ ඉරණම හරි වේදනාකාරී දෙයක්.”

මෙමඟින්, හුදෙක් සතුන්ගේ පමණක් නොව, සමාජයේ පීඩිත පුද්ගලයන්ගේද වේදනාකාරී ඉරණම කතුවරයා සංකේතවත් කරයි. ප්‍රියාට සිය අනාගතය ගැන හෝ සමාජය ගැන විශේෂ බලාපොරොත්තු නොමැති වීමද මෙම අසරණභාවයට සමීප වේ. මෙම දැක්ම තුළින්, සමාජයේ කිසිවෙකුගේ හෝ අවධානයට ලක් නොවන නොසලකා හැරීම පිළිබඳව ගැඹුරු දාර්ශනික විමසීමක් සිදු කෙරේ. තවද, එක් තැනකදී “ලංකා හොස්පිටල්” ඉදිරිපස සිටි රෝගී සුනඛයෙකු ගැන සඳහන් කරද්දී රචකයා ප්‍රශ්න කරනුයේ, රටේ ලොකුම රෝහලක් ඉදිරියේදී පවා සතෙකුගේ රෝගයකට එම රෝහල සහය නොදක්වන්නේ “මෙය මිනිසුන්හට පමණක් රෝගදුක් වැලඳෙන ලෝකයක්ද.?” කියාය. මෙමඟින් මිනිසා කේන්ද්‍ර කරගත් සමාජයේ අසංවේදී බව ඔහු විවේචනය කරයි. මෙම සමාජය, මිනිසුන්ගේ දුක් වේදනාවන්ට පමණක් සීමා වී, සමස්ත පරිසරයේ සහ සත්ත්ව ලෝකයේ දුක් වේදනා නොසලකා හරින බව පෙන්වා දෙයි.

ප්‍රියාගේ පෞද්ගලික ජීවිතයේ සංකීර්ණත්වය වඩාත් තීව්‍ර වන්නේ ඇගේ මියගිය සැමියා රංජිත්ගේ අතීතයෙනි. රංජිත්, කළුබෝවිල වාසය කරන දන්ත වෛද්‍යවරියක වූ “නිම්මි ආදිත්‍යා” සමග සබඳතාවක් පැවැත්වූ අතර එය ප්‍රියාට රහසක් නොවීය. ආදිත්‍යා ප්‍රියාගේ යෙහෙළියකදු වූවාය. දිනක් ආදිත්‍යාගේ නිවසට යන ප්‍රියා, රංජිත් ඇය සමඟ කාලය ගත කළ කාමරය දකියි. රංජිත් අවසන් වරට එහි විත් ගිය පසු ආදිත්‍යා ඒ කාමරය අස්පස් නොකර, ඔහු පැමිණ ගිය ආකාරයටම තවමත් පවත්වාගෙන යන අයුරු ප්‍රියා දකී. රංජිත් පැමිණ ගිය දිනයේ තිබූ ඇඳ ඇතිරිල්ල, ඔහු පානය කොට අඩක් ඉතිරි කළ විස්කි වීදුරුව පවා තවමත් එලෙසම තිබේ. ආදිත්‍යා එම කාමරය රංජිත්ගේ මතකය වෙනුවෙන් පවත්වාගෙන යයි. මෙම අස්පස් නොකළ කාමරය සහ විස්කි වීදුරුව, ජීවිතයේ නොනැවතී ගලා යන ස්වභාවය සහ අවසන් මොහොතක අතහැර දැමූ දේවල වේදනාව සනිටුහන් කරයි. එය රංජිත්ගේ අවසන් දිනවල යථාර්ථය සහ ඔහුගේ මතකය තුළ සිර වී සිටින ආදිත්‍යාගේ චරිතය මෙන්ම, තමාගේම මතකය තුළ සිරවී සිටින ප්‍රියාගේ මානසිකත්වයද සංකේතවත් වේ. මෙහිදී මතකය යනු සුව කරන මෙවලමක් නොව, පීඩාවට පත් කරන බරක් බවට පත්ව ඇත. මෙය දකින ප්‍රියා එම නිවසින් ආදිත්‍යා හට නොදන්වා පිටව එයි. ප්‍රියා, ආදිත්‍යා සිය සැමියාට සමීපවීම දකින්නෙ “ප්‍රසිද්ධියට පත්වී සිටින බුද්ධිමත් පිරිමින් පස්සේ දුවනා ගැහැනියකගේ විවෘත වුවමනාවකට අඩු දෙයක් නොවනා ලෙසටය.” මෙමඟින් කතුවරයා, ප්‍රසිද්ධිය සහ බුද්ධිය වටා ගෙතුණු නවීන මානව සම්බන්ධතාවල ස්වභාවය පිළිබඳ සංකීර්ණ විවරණයක් ගෙන එයි. ආදරය සහ ආකර්ෂණය හුදු හැඟීම්වලට වඩා සමාජ තත්ත්වය සහ පිළිගැනීම මත පදනම් වූ සංකීර්ණ වුවමනාවක් බවට පත්ව ඇති සැටි නිරූපණය කරයි.

එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ඇතැම් කෘතීන් පාඨකයා හට තේරුම් ගත නොහැකි ආකාරයේ ඒවා යැයි සමාජයේ ඇතැම් ස්ථරයක් අදහස් කළද, (ඔහුගේ පේත නවකතාව මෙන්) මෙම “සුනඛ ආර්යා” කෘතිය එම මතයෙන් බැහැරව රචනා කරන ලද්දක් බව පෙනේ. මෙම නවකතාව, සංකේතවලින් බර වුවද, සාපේක්ෂව සරල සහ පැහැදිලි ආඛ්‍යාන රටාවක් පවත්වාගෙන යයි. ලේඛකයා වචන මගින් කිසිදා කොළඹ නගරය නොදුටු කෙනෙකු හට උවද කොළඹ නගරය පැහැදිලිව පෙන්වීමට උත්සාහ කර ඇති අයුරු ප්‍රශස්තය. ඔහු භාවිත කරන භාෂා ශෛලිය, මං සලකුණු, උපමා, උපමේය, රූපක, ප්‍රබල සාහිත්‍ය වදන්  පාඨකයාට නිරන්තරයෙන් කල්පනා කිරීමට සහ ගැඹුරු අර්ථයන් සෙවීමට ආරාධනා කරයි. කෘතියේ සෑම පරිච්ඡේදයක්ම පාහේ, ප්‍රියාගේ අභ්‍යන්තර ලෝකයත්, බාහිර නාගරික හා දේශපාලන යථාර්ථයත් අතර ඇති සම්බන්ධය විමසයි. මෙම භාෂාමය ගුණය, රචකයාගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස මෙම කෘතිය තහවුරු කරයි.

නිම්මි ආදිත්‍යා, මුනීන්ද්‍රදාස (පරණ පත්තර එකතුකරන්නා), දිනේශ් උදුල්, ෆරීඩා, වීරසේන, ඇල්ස්ටන් රාමවික්‍රම වැනි විවිධ චරිත මගින් රචකයා, පාඨකයා රැගෙන යන්නේ වත්මන සමාජය පුරා කරන පුළුල් චාරිකාවකි. මෙම චරිත නිරූපණයන් හුදෙක් කතාවේ වර්ධනයට පමණක් සීමා නොවී, ශ්‍රී ලාංකේය සමාජයේ විවිධ ස්ථර, ආචාර ධර්ම සහ දේශපාලන ප්‍රවණතා පිළිබඳ සජීවී විවරණයක් ගෙන එයි. “සුනඛ ආර්යා” නවකතාව, හුදෙක් කතාවක් නොව, හුදකලා වූ ආත්මයක්, නගරයක යථාර්ථය සහ මානව හා සත්ව අසරණභාවය අතර ඇති සම්බන්ධය විමසන දාර්ශනික සංවාදයකි. එය සිංහල සාහිත්‍යයට එක් වූ ගැඹුරු විචාරාත්මක හා දාර්ශනික වටිනාකමක් සහිත කෘතියක් බව නිසැකය. මෙම කෘතිය කියවීම, කෙනෙකුගේ අද දවසේ ජීවිතය, පුවත්පත් කලාව සහ සමාජයේ සැඟවුණු අසරණභාවය පිළිබඳ නව ඇසකින් බැලීමට පාඨකයා පොළඹවනු ඇත.

සටහන : ජගත් ප්‍රසන්න කුරුගම.

More From Author

බම්බු ගහන්නද මේ තරම් උණ බම්බු?

හොලෝඩෝමර් රහස හෙළි කරන “කීව් දියණියෝ”

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348