බම්බු ගහන්නද මේ තරම් උණ බම්බු?

(චෙන්නායි ගුවන් තොටුපළේ සිට පැය 3ක අභ්‍යන්තර ගුවන් ගමනකින් ගොඩ බසින්නේ ගුහාටි ගුවන් තොටට ය. එය ඇසෑම් ප්‍රාන්තයට අයත් ය. ගුහාටි ගුවන් තොටේ මගී පර්යන්තවල ඉදිකළ කුළුණු අලංකාරවත් කර තිබෙන්නේ උණ බම්බු වලිනි.

ඇසෑම් ප්‍රාන්තයේ වෙසෙන අහෝම් ජනයා තායි ජනවාර්ගික සම්භවයකින් පැවත එයි. මොවුන් ඉන්දියාවේ ඇසෑම් සහ අරුණාචල් ප්‍රදේශ්වලට චීනයේ සිට ගලා බසින බ්‍රහ්මපුත්‍ර ගංගා මිටියාවතේ සිට සංක්‍රමණය වූවන් ය.

ඇසෑමයේ දී දුටු ඔවුන්ගේ ජන ජීවිතයට සහ පරිසරයට ඉතා සමීප සහ ඊට ආවේණික උණ බම්බු(බට) ගැන උණ විකාරයකින් පරිකල්පිත කවියකි මේ. )

උණ බම්බු පාලමෙන්
උණ බම්බු නගරයට,
බැලු බැලූ හැමත
කෝකටත් තෛයිලයට පිරිමහන
උණ බම්බු පිළියම්ය
“නමස්තේ”
ගුහාටිය සාදරෙන් අපව පිළිගෙන
උණ බම්බු පැටවුන්ගෙ,
බටනලා මියැසි⁣යෙන් සනසන
අසිරිමත් උළෙලකි ලඹ දෙසවනට

චීන තායි මූණු ලාගත් දනෝ
සරති බ්‍රහ්මපුත්‍ර මි⁣ටියාවතේ ඇසෑම් පුරවර
ඇස් මායිමෙන් ඔබ්බටත් එක ම යායකි
හීන ගේන චීන ජාන

ෆැන්ටසි යානයෙන් ආයෙමත්
චෙන්නායි සිනෙමැටික් නගරයේ ඡේදනය
ඉන්දියන් පෑන්ටිය යට ලේ බිංඳුවට,

ගුහාටියේ ඇසෑමයේ රාත්‍රි වීදි කෑමවල,
රෙසිපිය තිබේ ශ්‍රී ජයවර්ධනපුරේ කිඹුලාවල

අසූවේ වාටියේ
පෙම්දස් උණ බම්බු ගේට්ටුව
රේල්වේ ක්‍රොසිමෙ හරහට
උණ බම්බුවල බොරු කකුල් බැඳගෙන
කසකාරයෝ විතරම යි පෙරහැර
ගිනිබෝල විතරක් කැරකෙන

මේතරම් උණ බම්බු හැඩ කරන්නේ
වක් වී ගලන ගංගාවන්ගේ කොම්බු ය
යලි යලිදු
කිමිදෙමි මා
උණ පඳුරු සෙවනක
ගංගාවක් නිසා ඈ

More From Author

මිනිස් වේදනාවෙහි ස්මාරක ස්තම්භය-නඩුගල් (ස්මාරක ශිලාවත)

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ සහ හුදකලාවේ සංකේතය “සුනඛ ආර්යා”: එරික් ඉලයප්ආරච්චි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348