මිනිස් වේදනාවෙහි ස්මාරක ස්තම්භය-නඩුගල් (ස්මාරක ශිලාවත)

“බඩගින්නෙ හිටපු දරුවන්ට රොටි පුච්ච පුච්ච හිටපු අය.. දරුවන්ට කිරි පොව පොව හිටපු  අය.. කී දෙනෙක් නම් මැරිලා ගියාද.. මරණය කොයි වෙලාවටද… ඊළඟට මැරෙන්නේ කවුද කියලා නොදැන ගත වුණු ජීවිතේ… බෝම්බ එන්නෙ කොයි වෙලාවටද… කොහේ ඉඳන්ද කියලා නොදැන ගත කරපු ජීවිතේ…”

 දමිළ වාර්ගිකත්වට එරෙහිව දශක ගණනාවක් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය..දමිළ ප්‍රජාව මත පැතුරවූ කුරිරුමර්දනකාරී ආධිපත්‍යයක බිහිසුණු  මතකයක්දීපචෙල්වන් ‘නඩුගල්’ හරහා නිර්මාණය කරන්නට සමත්ව ඇත. එම මරණයෙහි හා යළි යළිත් අවතැන්වීමේ දරා ගත නොහැකි එම වේදනාත්මක රාවය  දීපචෙල්වන් එළිදක්වනුයේ වාර්ගික මර්දනය අවසන් වීමෙන් පසු උතුරේ ලියවෙන පළමු නවකතාව ලෙසිනි.

 දීපචෙල්වන්ගේ ඒ බිහිසුණු වේදනාවේ කතාවත ‘ස්මාරක ශිලාවත’  නමින් ජි .ජී. සරත් ආනන්ද  විසින් අපූර්ව සිංහල පරිවර්තනයක් කරමින් දකුණේ සහෝදරත්වය වෙත පිරි නමයි. මෙමගින් නවකතාවක් ඉක්මවූ සියුම් හා තියුණු දේශපාලන සංවාදයක් ගොඩ නැංවී ඇත.පාලකයන් කෲර ලෙස ජනතාව මර්දනය කරද්දී අවසාන හඩ ලෙස කලාව ඉස්මතු වෙතැයි යන්න සනාථ කරමින් දීපචෙල්වන්  සිය හඩ තම ප්‍රජාව වෙනුවෙන් අවදි කරයි.

ස්මාරක ශිලාවත ලියවී ඇත්තේ  සුවහසක් කුඩා දරුවන්ගේ ළමා විය හා ජීවිතාශාවන් බලාපොරොත්තු සපුරා කොල්ලකනු ලැබීමේ ඛේදනීය අත්දැකීමට මුහුණ දුන් දමිළ දරුවකු තාරුණ්‍යට පත්වෙනතුරු ගෙවන කටුක දිවියේ මතකයන් හරහාය. තිස් වසරක නිරන්තර අවතැන්වීම් අහිමිවීම් හා මරණය පිළිබද ස්වීය අත්දැකිම් දීපචෙල්වන් ‘විනෝදන්’හරහා ප්‍රති නිර්මාණය කර ඇත්තේ සෑම වදනකම සෑම වැකියකම ඒ වේදනාවේ කදුළු හා තම සහෝදර ජනතාවගේ අකාලයේ ගලා යාමට සැලැස්සූ රුහිරු තවරමින් යැයි මට සිතෙයි.

දීපචෙල්වන්

එම කදුලු  හා රුහිරු දකුණේ සහෝදරත්වයට ස්පර්ශ කරවමින්  මේ කදුලු හා රුහිරු සදහා යුක්තිය හා මනුෂ්‍යත්වය අත් පත් කර දීමේ නව සහෝදරාත්මක කතිකාවක්  ගොඩ නැංවීමට දීපචෙල්වන් අපේක්ෂා කරන බව ඔහු මෙහි පෙර වදනෙහි පවසන අදහස කෘතිය පුරාම ඔහු මනා ලෙස ගලා යාමට  සලස්වා ඇත..

“ප්‍රචණ්ඩත්වයෙන් තොර,යුද්ධයෙන් තොර එක් භූමියක අප මිනිසුන් ලෙස ජීවත් විය යුතුවේ.එහි මිනිසුන් හට නිදහසත් සතුටත් පැවතිය යුත‍ය” යන අප දරුවන්ගේ අහිංසක ප්‍රාර්ථනය මෙම නවකතාව තුළින් සාකච්ඡා කිරීමට මම උත්සාහ දැරුවෙමි .ගෙවී ගිය තිස් වසරක යුද්ධය තුළ ඉපදී හැදී වැඩුණු මගේ අත්දැකීම් සහ  හැගීම් සාක්ෂියක් ලෙස මෙම නවකතාව ඔබ හමුවේ තබමි.”

සිය එකම සොයුරා යුධ බිමේදී අහිමි වනවාට බියවූ ගුවනින් පියාසර කරන ආරක්ෂක හමුදා යානා මගින් නිරන්තරයෙන් එල්ල කරන ෂෙල් වෙඩි ප්‍රහාරයන්ගෙන් හා බෝම්බ ප්‍රහාරයන්ගෙන් පණ බේරා ගැනීමට හිස් ලූ ලූ අත බියෙන් ගැහෙමින් තම මිතුරන්ගේ සමීපතමයන්ගේ මල කදන් මතින් පලා ගිය කුඩා දරුවෙකු අවසානයේ ඔවුන්ගේ මතක වේදනාවන් බෙදා ගැනුමට සිංහල සමාජ දේශපාලනය අභිමුවට පැමිණ සිටී..

දීපචෙල්වන් ආරාධනා කරනුයේ යුද්ධය ප්‍රතිකේෂ්ප  කළ විනෝදන් මෙන්ම ළමා විය අතහැර සිය ප්‍රජාව  මර්දනයේ පීඩනයට එරෙහිව ජීවත්වීමේ  මානවීය  ලෙස ජීවත්වීමේ නිදහස වෙනුවෙන් අවිගත් සිය සොයුරා වෛල්යාන් දෙසද මානුෂිකත්වයේ දේශපාලන දෘෂ්ටියකින්  එබී බලන ලෙසය.

උතුරේ මව්වරුන්, සිය දරුවන් අතට ආයුධ ගෙන තම තුරුලෙන් වෙන්ව යාමේ සැබෑ දේශපාලන පසුබිම සොයා බලන්නැයි දකුණට කරන ඉල්ලීමද ඔවුනගේ දාරක ස්නේහයද දීපචෙල්වන් ස්තම්භක ශිලාවත හරහා සියුම්ව ඉස්මතු කරනු ලබයි..

 සිය උපන් ගම්මාන බලහත්කාරීව අත් පත්කර ගනිමින් එහි සාමකාමීව නිදහසේ දිවි ගෙවූ සුවහසක් පලවා හරිමින් මරණයේ අනාරක්ෂාවේ හා දරිද්‍රතාවේ  පතුලේ කුසගින්නේ පෙළෙමින්  අසනීපයකට ඖෂධයක් නොමැතිව එකම  මව් භූමියක දිවි ගෙවූ  ජීවිතය බලහත්කාරීව අහිමි කරන ලද සහෝදර ජනවර්ගයක ජීවිත කතාව දකුණේ අප සැම  විසින්ම  කියවිය යුතු යැයි සිතමි.

“ජනතාව පොදි පිටින් මරල දානවා. බංකර ඔක්කොම මිනී වලවල් වුණා. ඒ මිනී වළවල් ම බංකර්  වුණා…”

ලෙයින් නැහැවුණු  කුරිරු යුගයක මතකයන් බෙහෙවින් සංවේදී බස් වහරකින් නිමවන දීපචෙල්වන්ගේ ‘ස්මාරක ශිලාවත’ අපගේ හෘද සාක්ෂිය බරපතල ලෙස කළඹවමින් නැවැත මෙවන් කුරිරු  වාර්ගික හිංසනයන්.. මනුෂ්‍යත්වයට  එරෙහි ඛේදවාචකයක්  හට නොගන්නා මානවීය  දේශපාලන සංස්කෘතියක් ගොඩ නැංවීමේ  අවශ්‍යතාව පිළිබද සංවාදාත්මක පසුතලයක් සකසන්නට සමත්ව ඇත.

එසේම ‘ස්මාරක ශිලාවත’ ශ්‍රී ලංකාවෙන් ඔබ්බේ සෑම යුගයකම සෑම යුධ බිමකම ප්‍රචණ්ඩත්වයෙන් පලා යමින් ජීවිතය ඉල්ලා ඉකි බිදින කුඩා දරුවකුගේ වේදනාවෙහි රාවය ලොව පුරා නින්නාද කරන්නේ යැයි මට සිතේ. 

එක් යුගයක  ජනවර්ගයක වේදනාව ප්‍රති නිර්මිත’නඩුගල්’හි සිංහල පරිවර්තනය කියවා විදින මානුෂික වේදනාව  අපට තුනී කර ගත හැක්කේ දමිළ වාර්ගිකත්වය   මේ භූමියෙහි නිදහස්ව හා ගෞරවනීය අයුරින් ඔවුනගේ මූලික අයිතීන් භුක්ති විදිමින් ජීවත්වීමට ඔවුනට  මේ දක්වා  නොමැති නිදහසෙහි යථා ස්වභාව  පළමුව දකිමින් වටහා ගැනීමෙනි.

එසේම එයට සමගාමීව  සැබෑ සහ පූර්ණ ලෙස ඔවුන්ගේ නිදහස් අයිතීන් සත්‍ය ලෙසම සහෝදරාත්මකව පිළි ගැනීමෙන් සහ ඒප්‍රතිෂ්ඨාපනය  කිරීම සදහා වන බාධාකාරී මතවාදී සිතීම් හා සෑම ආකාරයකම ව්‍යුහාත්මක බාධාවන් අහෝසි කිරීමට දායක වීමෙන් පමණි යැයි අවසන් වශයෙන් පවසමි.

More From Author

“ගඩාෆි ඔබ අමතයි”-අනුර බී. සෙනෙවිරත්න

බම්බු ගහන්නද මේ තරම් උණ බම්බු?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348