මහාචාර්ය ටියුඩර් වීරසිංහ:
මානව වර්ගයා මුහුණ දී සිටින අර්බුදවලින් මිදීම සඳහා මග පෙන්වන කෘතියක් !
1967 දී වඩාත් ම කෙටි නමුත්, දෛවෝපගත යුද්ධයකට මැදපෙරදිග මුහුණ දුන් අතර, එය දිගු කාලයක් තිස්සේ අරාබි – ඊශ්‍රායල සම්න්බධතා සහ මැදපෙරදිග කලාපයේ භූ – දේශපාලනික සැලැස්ම හැඩගැස්වීමට තුඩු දුන්නේ ය. මෙම හය දින යුද්ධයෙන් අරාබි හමුදා ප්‍රබල පරාජයකට ලක් වී ය. ඉන් අරාබි ලෝකයේ සමාජ – දේශපාලන උද්යෝගය නැති වී ගොස් දේශපාලන පරිහානියේ අවධියක් ඇති වී ය. අරාබි ජනතාව තුළ සිය දේශපාලන නායකයන් වෙත වූ විශ්වාසය නැති වී ගියේ ය.
මෙම සංග්‍රාමික සහ දේශපාලන ව්‍යසනයට අදාළ හේතු සෙවීමට ප්‍රබුද්ධ සමාජයේ බොහෝ අය උනන්දු වූ අතර, එම නිරීක්ෂණවල ප්‍රතිඵල ලෙස ප්‍රකට වූයේ, අරාබි දේශපාලන ප්‍රභූත්වයේ දූෂණ සහ පාවාදීම් මෙන් ම, ඔවුන්ගේ අසමත්කම යි. මෙය අරාබි රටවල නූතන ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක් සනිටුහන් කළ අතර, ප්‍රබුද්ධ සමාජයේ අතිමහත් බහුතරය මෙය සලකන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය විසින් මෙහෙය වන ලද ගෝලීය අධිරාජ්‍යවාදයේ කුමන්ත්‍රණයක් ලෙස ය. ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමේ අදහස අරාබි ලෝකය තුළ සක්‍රියවන්නට වී ය. ක්‍රමානුකූලව අරාබි පාලන තන්ත්‍ර රැඩිකල්කරණයට ලක්වීම මෙම කාලය තුළ ආරම්භ වීම විශේෂත්වයකි. 1969 දී ලිබියාව බටහිරට සැලකිය යුතු පහරක් එල්ල කරමින් ලිබියාවේ පැවැති රාජාණ්ඩුව පෙරළා දමා ලිබියානු ජමාහරියාවේ ජනතා පාලනය ප්‍රකාශයට පත් කළේ ය. මුහම්මර් ගඩාෆි ඊට නායකත්වය දුන් අතර, ලිබියානු භූමියෙන් විදේශ හමුදා ඉවත් කිරීම ද, විශාල ව්‍යවසායන් ජනසතු කිරීම ද සිදු කළේ ය. මෙය ලිබියාවේ පමණක් නොව, මුළු මැදපෙරදිග කලාපයේ ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍යයේ උපායමාර්ගික අවශ්‍යතාවලට යථාර්ථවාදී පහරක් එල්ල කළේ ය.
බොහෝ අරාබි රටවල පාලක දේශපාලන පාලන තන්ත්‍ර විශේෂයෙන් ජනප්‍රිය නොවූ අතර, අරාබි ලෝකය අන්ත දක්ෂිණාංශික එනම්, රැඩිකල් ඉස්ලාමීය ව්‍යාපාරවල සිට අන්ත වාමාංශික එනම්, මාවෝවාදීන්, ට්‍රොස්කිවාදීන් දක්වා වූ හැඟීම් රැල්ලකින් ගසාගෙන ගියේ ය. නමුත්, බහුතර ජනතා ද්‍රෘෂ්ටිවාදයක අවශ්‍යතාව තදින් ම අරාබි ලෝකයට දැනෙන්නට වී ය. මීට ප්‍රතිචාර ලෙස ලිබියානු නායක මුහම්මර් ගඩාෆි සිය ‘තුන්වන ලෝක න්‍යායය’ (Third Word Theory) ඉදිරිපත් කළේ ය. සියලු අරාබිවරුන්ගේ දිගු කාලීන සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා අරාබි ජාතීන් එක්සත් කිරීමේ චින්තනයක්, ද්‍රෘෂ්ටිවාදයක් ලෙස ‘තුන්වන ලෝක න්‍යායය’ ඉදිරිපත් කරමින් අරාබි අර්ධද්වීපයේ සිට අත්ලාන්තික් සාගරය දක්වා තනි අරාබි රාජ්‍යයක් නිර්මාණය කිරීමේ භූ – දේශපාලනික සංකල්පය උත්කර්ෂණය කළේ ය.
ගඩාෆි යනු විසිවන සියවසේ දෙවන අර්ධයේ සහ විසි එක්වන සියවස ආරම්භයේ ලෝක දේශපාලන ක්‍රියාවලියේ සුවිශේෂ අනන්‍යතාවක් පමණක් නොව, වර්තමානයේ මානව සංහතිය සිය සමාජ පරිණාමීය ක්‍රියාවලියෙ හි සිදු කරන භූ – දේශපාලනික, භූ – ආර්ථික පරිවර්තන සඳහා ප්‍රාරම්භක ලෝක රාජ්‍ය නායකයන්ගෙන් එක් කැපී පෙනෙන යුග පරිවර්තිත නියෝජනයකි. ඔහු සිය The Green Book (හරිත පොත) මගින් එක් අතකින් අප්‍රිකානු – අරාබි යථාර්ථයට සහ එහි මානව ද්‍රෘෂ්ටියට සරිලන ‘තුන්වන ලෝක න්‍යායය’ ඉදිරිපත් කරමින් සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ලෝක දේශපාලන න්‍යායික සංස්කෘතියට නව සංකල්පයක් හඳුන්වා දෙමින් තම ‘ජමාහිරියාව’ නම් වූ විශේෂ සමාජ සංවිධාන ක්‍රමය ස්ථාපිත කරමින් ලිබියාව නොදියුණු වැඩවසම්වාදී – රාජාණ්ඩු පාලනයේ සිට නව මාවතකට යොමු කළ අතර, අනෙක් අතින් ගඩාෆිගේ කාලයෙ හි ලෝකයෙ හි ක්‍රියාත්මක වූ ද්වී ධ්‍රැවික සහ ඒක ධ්‍රැවික ලෝක පාලන පර්යාය සහ එහි භූ – දේශපාලනික, භූ – ආර්ථික සහ භූ – සාංග්‍රමික ව්‍යූහය ප්‍රතික්ෂේප කරමින් මානව සමාජ සංවර්ධනය සඳහා වඩාත් සාධාරණ වූ ද, බහු පාර්ශ්වික වූ ද, බහු ධ්‍රැවික වූ ද ලෝක පාලන පර්යායක් සඳහා නොබියව අරගල කළේ ය.
බටහිර අධිරාජ්‍යවාදය සහ ගෝලීය නව ලිබරල් ප්‍රචාරකවාදය විසින් ඒකාධිපතියකු, ආඥාදායකයකු, ත්‍රස්තවාදියකු බවට පත්කොට ඇති මුහම්මර් අල් ගඩාෆිගේ චරිතය, ඔහුගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය මෙන් ම, ලෝක දේශපාලන න්‍යායයේ සහ ද්‍රෘෂ්ටිවාදයේ ඉටු කළ මෙහෙය සිංහල පාඨකයාට හඳුන්වා දීම සඳහා ප්‍රවීණ ලේඛක සහ පර්යේෂක අනුර බී. සෙනෙවිරත්න ගෙන ඇති උත්සාහය ඉතා අගය කළ යුතු ය. අනුර බී. සෙනෙවිරත්න මීට පෙර මෙම ක්ෂෙත්‍රයට සම්බන්ධ ‘ලෝක අරගල ඉතිහාසය නැවත කියවමු !’ කෘතිය සම්පාදනය කරමින් ශ්‍රී ලාංකේය පාඨකයා තුළ ලෝක අරගල සහ විප්ලවීය පරිවර්තන පිළිබඳ විශාල උනන්දුවක් ඇති කළේ ය. අනුරගේ ‘ගඩාෆි ඔබ අමතයි !’ නම් මෙම කෘතිය වඩාත් විශේෂත්වයක් උසුලන්නේ එය ගඩාෆිගේ ජීවිත කතාව, විප්ලවවාදියෙක්, දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, හමුදා නායකයෙක්, දේශපාලන න්‍යායාචාර්යවරයෙක් වශයෙන් ගෙනහැර දැක්වීම තුළ නොව, විසිවන සියවස අවසානයේ සහ විසි එක්වන සියවස ආරම්භයේ මානව වර්ගයා සිය පරිණාමීය ක්‍රියාවලිය තුළ මුහුණ පා ඇති සකලවිධ අර්බුද පිළිබඳව ගඩාෆියානු විග්‍රහය සහ ඊට යෝජිත විසඳුම් මානව වර්ගයාගේ අනාගතය පිළිබඳ චිත්තාකර්ෂණීය පර්යාලෝකයක් ඇති කරන බැවිනි. මෙම ද්රෘෂ්ටිකෝණයට අනුව සලකා බැලීමේ දී ගඩාෆි යනු අප්‍රිකානු – අරාබි ලෝකයෙන් බිහිවූ සමාජ – දේශපාලනික චින්තකයකු ලෙස හැඳින්විය හැකි ය.
ප්‍රමාණයෙන් කුඩා වුවත්, සුවිශාල අදහසක් ඇති ගඩාෆිගේ The Green Book (හරිත පොත) නම් කෘතිය පිළිවෙලින් දේශපාලනය, ආර්ථික විද්‍යාව සහ සමාජ ක්ෂෙත්‍රය සඳහා වෙන් වූ සංයුක්ත කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටසේ දී ගඩාෆි තම රටේ සහ ජනතාවගේ විශේෂතා ගවේෂණය කරමින් ධනවාදී සහ කොමියුනිස්ට්වාදී සංවර්ධන දෛශික දෙක ම ප්‍රතික්ෂේප කරමින් ලිබියානු ජාතිකවාදය සහ ඉස්ලාමය මත පදනම් වූ අරාබි සමාජවාදය තෝරා ගත්තේ ය. ඒකාබද්ධ කිරීමේ සාධකයක් ලෙස ජාතිකවාදය ද, සමාජ සාධාරණත්වයේ සාධකයක් ලෙස සමාජවාදය ද, සදාචාරීය සාධකයක් ලෙස ආගම ද ගෙන සිය සමාජ සංවර්ධන සංකල්පය ගොඩ නැගී ය.
හැට – හැත්තෑව දශකවල මානව සමාජ පරිණාමය පිළිබඳව ප්‍රධාන සංකල්ප දෙකක් ලෙස ලිබරල්වාදයත්, කොමියුනිස්ට්වාදයත් පොදුවේ පිළිගත් සන්දර්භය තුළ ගඩාෆි එය ප්‍රතික්ෂේප කරමින් තුන්වන සංවර්ධන සංකල්පයකට ප්‍රවේශ වීම විශේෂයෙන් සලකා බැලිය යුතු ය. පන්ති අරගලය සමාජ සංවර්ධනයේ ප්‍රධාන එංජිම බව ප්‍රතික්ෂේප කළ ගඩාෆි, පන්ති අරගලය තුළින් සමාජවාදය ඇතිවෙනවා වෙනුවට අස්වාභාවික ධනවාදය පෙරළා දමා සමාජය එහි ස්වාභාවික සමතුලිතතාවට ගෙන ඒමෙන් සමාජවාදය සාක්ෂාත් කරගත හැකි බව විශ්වාස කළේ ය. විශ්වයට පිළිවෙලක් ලබා දෙන දෙවියන්වහන්සේගේ ‘ස්වාභාවික නීතිය’ පිළිබඳ ඉස්ලාමීය විශ්වාසයට මෙම අදහස සමානය.
මේ අනුව සලකා බලන විට ගඩාෆි සම්භාව්‍ය මාක්ස්වාදී දර්ශනයේ සමහර අංශ ප්‍රතික්ෂේප කරමින් එහි ආභාෂය තුළ ලිබියානු – අරාබි යථාර්ථයට සරිලන ලෙස ඒවා යම් යම් විකරණයන්ට ලක් කරමින් මාක්ස්වාදය සරලීකරණයට ලක් කරන්නේ ය. ගඩාෆිගේ සමාජ – දේශපාලන අරගලවල ස්වභාවය සලකා බැලීමේ දී ඔහු මූලධර්මවාදියකු නොව, නූතනවාදියකු හෝ පෞරාණික නූතනවාදියකු වන්නේ ය. ‘භෞතිකවාදී ධනවාදය සහ අදේවවාදී කොමියුනිස්ට්වාදය’ යන දෙක ම ප්‍රතික්ෂේප කරන සියලුදෙනාට ම නව මාවතක් ඇති බව හඟවන එම දේශපාලන ද්‍රෘෂ්ටිවාදය අපි තුන්වන ලෝක න්‍යායය යනුවෙන් හඳුන්වමු’ යැයි ගඩාෆි ප්‍රකාශ කළේ ය. ගඩාෆි සිය න්‍යාය වර්ධනය කරමින් අරාබි ලෝකයත්, එහි පාලක ප්‍රභූත්වයත් විවේචනය කළේ ය. ‘ඔටෝමාන් පාලනයත්, යුරෝපීය යටත්විජිතවාදය සහ අධිරාජ්‍යවාදයත්, දූෂිත හා මර්දනකාරී රාජාණ්ඩුවල ප්‍රතිඵල නිසා සිදුවූ එකතැන පල්වීමත් හේතුවෙන් ඇතිව තිබෙන අරාබි පසුගාමීත්වයට දොස් පැවරූ ගඩාෆි (ගඩාෆි ඔබ අමතයි ! – පිටුව 57) එය අතික්‍රමණය කිරීම සඳහා නව දේශපාලන න්‍යායයක අවශ්‍යතාව මැනවින් හඳුනා ගත් බව පෙනේ. ‘තුන්වන ලෝක න්‍යායය’ මූලික වශයෙන් ඊට දක්වන ලද ඍජු ප්‍රතිචාරය වේ.
බටහිර විසින් පසුගිය වසර පන්සියය තුළ ම විශේෂයෙන් අවසාන වසර සියය තුළ ලෝක පාලනය පිළිබඳව ක්‍රියාත්මක කළ බටහිර කේන්ද්‍රීය ලිබරල් ධනේශ්වර සංවර්ධන ආකෘතිය සිය අවසානය කරා ළඟා වී සිටිය බව ගඩාෆි හොඳින් ම දැන සිටියේ ය. ඒ අනුව, ගඩාෆි ඉදිරිපත් කරන ‘තුන්වන ලෝක න්‍යායය’ ඊට පෙර සිට සහ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින ‘පළමු ලෝක න්‍යායට’ සහ ‘දෙවන ලෝක න්‍යායට’ එනම්, ධනවාදයට සහ කොමියුනිස්ට්වාදයට වඩා මානව සමාජය සමානාත්මතාවට, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට, මානවවාදයට සහ සහජීවනයට ගෙන යාමට වඩාත් ප්‍රායෝගික බව ඔහු විශ්වාස කළේ ය.
‘ගඩාෆි ඔබ අමතයි !’ කෘතිය අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා, සිංහලයට සංස්කරණය කරන්නේ ගඩාෆිගේ දේශපාලන දර්ශනය එදාටත් වඩා අදට අත්‍යවශ්‍ය අවස්ථාවක ය. අනුර එය සවිංඥානිකව හෝ අවිංඥානිකව කළත්, එය හුදු ගඩාෆිගේ ඉතිහාසය ආවර්ජනයකට වඩා වර්තමානයේ දී මානව වර්ගයා මුහුණ දී ඇති ගැඹුරු අර්බුද අවබෝධ කර ගැනීම සඳහාත්, එම අර්බුදවලින් මිදීමට ප්‍රගතිශීලී සහ මානවවාදී අදහස් වර්ධනය කර ගැනීම සඳහාත්, දේශීය වශයෙන් පවා අවශ්‍ය සමාජ සංවර්ධනය පිළිබඳ සංකතිකාවක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහාත් යොදාගත හැකි බව අපගේ අදහස යි. මේ නිසා මේ යුගයේ ගඩාෆි කියවා ගැනීම සඳහා අනුර විසින් අප සිංහල පාඨකයා මෙසේ යොමු කරනු ලැබීම වර්තමානයේ අප ද, රටක් වශයෙන් ජාතියක් වශයෙන් මුහුණ දී ඇති අර්බුද සහ අභියෝග අවබෝධ කර ගැනීමට අතිශය වැදගත් වේ

වර්තමානයේ නව ලිබරල්වාදයට සහ පශ්චාත් ලිබරල්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින වඩාත් ම සක්‍රිය සහ සජීවී ම බලවේගය ලෙස ගඩාෆි, ජාතිකවාදය හඳුනා ගනී. අනුරගේ සංස්කරණයේ 18 වන කොටසේ දක්වා ඇති ‘තුන්වන විශ්ව න්‍යායේ සමාජ පදනම’ නම් පරිච්ඡේදයෙහි ගඩාෆිගේ ජාතිකවාදී දර්ශනය මැනවින් ගෙනහැර දක්වා තිබේ. ගඩාෆිට අනුව අද්‍යතන ලෝකය සමාජ අරගලයක් හරහා දැන් ගමන් කරමින් සිටී. ඔහු සමාජ සාධකය ජාතික සාධකයට සම කරන අතර, සමාජ අරගලය හෙවත්, ජාතික අරගලය ඓතිහාසික ප්‍රගමනයේ පදනම බව පෙන්වා දෙයි. ගඩාෆිගේ ජාතිකවාදී දර්ශනය සංක්ෂිප්ත කර දක්වන්නේ නම්, මනුෂ්‍ය සමාජයෙහි ජාතිකවාදී අවකාශයත්, සත්ත්ව ලෝකයෙහි සහජාසීය අවකාශයත්, භෞතික ලෝකයෙහි ගුරුත්ව අවකාශයත් පිළිවෙලින් පුද්ගලයන්ගේ, සතුන්ගේ සහ ද්‍රව්‍යවල පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය සහතික කරයි.
නව ලිබරල් ධනේශ්වර සමාජයට ප්‍රතිරෝධ බලවේගය සහ විකල්පය ලෙස ජාතිකවාදය ඉදිරිපත් වන බව පසුගිය දශකවල ලෝක ප්‍රවණතා මැනවින් පෙන්නා දෙන්නේ ය. මේ යුගයේ නව ලිබරල්වාදය සහ පශ්චාත් ලිබරල්වාද ජාතිකවාදය ඇතුළු සියලු සාමූහික අනන්‍යතාවලට එරෙහිව ගෝලීය සංග්‍රාමයක් දියත් කර තිබෙන බව අවධාරණය කළ යුතු ය. අද ලොව පුරා ජාතික රාජ්‍යයන්, ජාතික අනන්‍යතා, ජාතික සංයුතීන්, ජාතික ද්‍රෘෂ්ටිවාද, ජාතික දර්ශනවාද, ජාතික ආර්ථික ආදී සියලු ජාතික පරමාදර්ශ වටිනාකම් පරිණාමිය පරිහානියකට ලක්ව තිබේ. ලිබියානු ජාතික සමාජවාදය බිඳ වැටීමෙන් පසු; ලිබියානු ජමාහිරියාව බිඳ වැටීමෙන් පසුව ලිබියාව තුළ පරිණාමිය පරිහානි යුගයක් ආරම්භ වී ය.
ලිබියාවේ සහ අරාබි ලෝකයේ මෙම පරිණාමිය පරිහානි යුගය ඇති වීමට පෙර ලෝක මට්ටමින් ඇති වූයේ, ජාතික විමුක්ති ව්‍යාපාරයේ බිඳ වැටීමෙන්, නොබැඳි ව්‍යාපාරයේ බිඳ වැටීමෙන්, ලෝක කොමියුනිස්ට්වාදී කඳවුරේ බිඳ වැටීමෙන්, සොවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව ගෝලීය මහා පරිණාමිය පරිහානි යුගය ආරම්භ වීම ය.
වර්තමානය වනවිට සමාජය සර්වාධිකාරී ප්‍රතිගාමීත්වයකට අවතීර්ණ වී ඇති අතර, මෙම සමාජ ප්‍රතිගාමීත්වයේ සමාජ දිශානතිය වෙන්නේ සමාජවාදී විරෝධී, ජාතික විරෝධී, මානව විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ලිබරල් විරෝධී ප්‍රවණතාව යි.
වර්තමානයේ ගඩාෆි කියවන විට අප තවත් ගැඹුරු දාර්ශනික ක්‍රමවේදී පර්යාලෝකයකට ගෙන යන්නේ ය. මෙතෙක් බටහිර කේන්ද්‍රීයව පැවැති ඥාන සම්ප්‍රදාය සහ බටහිර කේන්ද්‍රීය තර්ක කේන්ද්‍රීය වාද, රේඛීයවාදය සහ වර්ගවාදය වෙනුවට ලෝකය සහ සමාජ ප්‍රපංච විග්‍රහ කිරීමේ වෙනත් සංකල්ප වෙත අප යොමු කරවයි. සමාජ පරිණාමිය සමාජ සංවර්ධන සංකල්පය ප්‍රතික්ෂේප කිරීම සමාජ සංවිධානවල ධූරාවලිගත පිරමීඩාකාර ව්‍යූහගත වීම ප්‍රතික්ෂේප කිරීම, පහළ සිට සහ තිරස්ව ජනතා ස්වෛරීභාවය ක්‍රියාත්මක කිරීම විශේෂයෙන් සඳහන් කළයුතු අතර, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන පක්ෂ ක්‍රමය, පාර්ලිමේන්තු වාද ගඩාෆි දැඩි ලෙස විවේචනය කළ අතර, එම ධනේශ්වර දේශපාලන සංස්කෘතියේ සංකල්ප සහ ආයතන ඍජු ජනතා පරමාධිපත්‍යයට සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බව අවධාරණය කළේ ය.
අනුර සිය කෘතියට කාලීන වශයෙන් මෙන් ම, ලෝකමය වශයෙන් වැදගත් ලිබියානු නායකයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 64 වන සැසි වාරයේ දී කළ කතාව ඇතුළත් කර තිබෙන අතර, එමගින් ගඩාෆි එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේ සිට 21 වන සියවසේ ආරම්භක දශකය දක්වා වූ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් සිදු කර තිබේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව මෙතෙක් සිදු කොට ඇති වඩාත් ම විවේචනාත්මක කතාවලින් එකකි. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වී ලෝක ක්‍රියාවලින් සමග එය පරිණාමය වූ ආකාරය සහ එම ලෝක
ක්‍රියාවලිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ පාලනය අතික්‍රමණය කරන ගෝලීය ගතික ප්‍රවණතා සහ බලවේගවල ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමකාලීන ගෝලීය ක්‍රියාවලීන් පාලනය කිරීමට, ගැටලු විසඳීමට අසමත් ආයතනයක් ලෙස ගඩාෆි පෙන්වා දෙයි. විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොවන බවත්, එම සංවිධානයේ ව්‍යූහාත්මක ක්‍රියාකාරී ගැටලු ආරම්භයේ සිට ම පවතින බවත් ඔහු අවධාරණය කරයි. ද්විධ්‍රැවික ලෝක පර්යාය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සාමාජික රටවල අවශ්‍යතාවලට වඩා ද්වීධ්‍රැවික ලෝක පර්යාය සම්බන්ධතාව තුළ ප්‍රශ්නවලට ප්‍රවේශ වූ අතර, 90 දශකයේ දී ඒකධ්‍රැවික ලෝක පර්යායයට අනුව, ලෝක ප්‍රශ්නවලට, ජාතීන්ගේ ප්‍රශ්නවලට ප්‍රවේශ වූ එය ගෝලීය උපරි සමාජයේ අවශ්‍යතාවලට අනුව ක්‍රියාත්මක වන්නට වී ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ලිබියානු නායකයා කළ කතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ කතාවක් වූ අතර, කතාවේ මූලික හරය වූයේ, අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්පූර්ණයෙන් ම ප්‍රතිව්‍යූහගතකරණයකට, ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු ය යන්න යි. එම කතාව එදාටත් වඩා අදට වලංගු ය.
අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා සංස්කරණය කර ඇති ‘ගඩාෆි ඔබ අමතයි !’ කෘතිය ලිබියානු නායක මුහම්මර් අල් ගඩාෆි පිළිබඳ කතාවක් පමණක් නොව, 20 වන සියවස අවසාන කාර්තුවේ ලිබියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ආරම්භය සහ 21 වන සියවසේ දෙවන දශකයේ ලිබියානු ස්වර්ණමය යුගයේ බිඳ වැටීමේ කතාව යි. මෙය ලෝකයේ සෑම රටක ම ඇතිවිය හැකි ඉරණමක කතාවකි.
ලිබියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ බිඳ වැටීම සංකීර්ණ ක්‍රියාවලියකි. එය ගෝලීය සහ දේශීය බලවේගවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. ලිබියාව තුළ ප්‍රභූතන්ත්‍ර අතර බල අරගලය දිගට ම පැවතිණි. විශේෂයෙන් ලිබියානු තෙල් නිධි පාදකව ඉපැයෙන ධනය ප්‍රභූතන්ත්‍ර අතර බෙදා ගැනීමේ අරගලය තුළ රටේ දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය තීරණය වී ය. වැඩවසම්වාදී යුගය අවසන් කළ ගඩාෆිගේ ජාතික සමාජවාදී විප්ලවය එක් ප්‍රභූ තන්ත්‍රයකින් තවත් ප්‍රභූ තන්ත්‍රයකට බලය මාරුවූවා පමණක් නොව, ලිබියාවේ සමාජ පරිණාමිය දිශානතිය වෙනස් කරන ලද ලිබියානු ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ලිබියාව සිය සමාජ සංවර්ධනයේ නව අවධියකට ප්‍රවිශ්ඨ වී ය. ගඩාෆියානු ලිබියාවේ අභ්‍යන්තර ප්‍රභූතන්ත්‍ර අතර අරගලයට පමණක් ලිබියා ජනතා සමාජවාදී ක්‍රමය වෙනස් කිරීමට නොහැකි වූ අතර, එය බාහිර අධිරාජ්‍යවාදයේ සහයෝගය සහ අවශ්‍යතාව ඇතිව සිදුවූ ක්‍රියාවලියක් බව අරාබි වසන්තය පෙන්වා දෙන්නේ ය. මේ අනුව, ලිබියාවේ ජනතා සමාජවාදය බිඳ වැටීම අභ්‍යන්තර සාධකවල ප්‍රකිඵලයක් නොවන අතර, එය බාහිර සාධකවල සක්‍රියතාවේ ප්‍රතිඵලයකි.
2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව සියලු ම ගෝලීය සම්පත් සඳහා ගෙවීමේ මාධ්‍යයක් ලෙස ඩොලරයේ භූමිකාව අඩපණ වී ය. ඩොලරයේ දුර්වලතාව හඳුනා ගත් අප්‍රිකානු මහාද්වීපයේ පළමු අයගෙන් එක් අයෙක් වූයේ, ගඩාෆි ය. 2009 දී ගඩාෆි මුලින් ම ගෙවීම් සඳහා තනි මුදල් ඒකකයකට මාරුවන ලෙස අරාබි සහ අප්‍රිකානු රටවලින් ඉල්ලා සිටියේ ය. ‘රන් ඩිනාර්’වලින් අප්‍රිකාවේ සම්පත්වල වටිනාකම නියෝජනය කිරීමට අදහස් වී ය. ඊට ප්‍රබල විරෝධයක් ගල්ෆ් රටවල රජවරුන්ගෙන් ද, ඊශ්‍රායලයෙන් ද, යුරෝපා සංගමයෙන් ද, ඇමෙරිකාවෙන් ද එල්ල වී ය. ලිබියාවට සම්බාධක රාශියක් පනවනු ලැබී ය. ගඩාෆිගේ යෝජනාවට ඇල්ජීරියාව, මාලී, නයිජර් වැඩ් සහ සුඩානය එකඟ වූ අතර, එම රටවල නායකයන් 2010 – 2011 වන විට සියලු ම ලියකියවිලි අත්සන් කිරීමට නියමිතව තිබිණි. මෙය ඇමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට අරාබි ලෝකයෙන් එල්ල වූ ප්‍රබල තර්ජකයක් වූ අතර, එය මුහම්මර් අල් ගඩාෆිගේ ඉරණම පමණක් නොව, ලිබියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගය අවසන් කිරීමට බලපෑ ප්‍රබල හේතුවක් වී ය.
ලිබියාවේ ‘ඔඩෙසි ඩෝන්’ මෙහෙයුමෙන් සහ ගඩාෆි ඝාතනයෙන් පසුව රට පරිණාමිය පරිහානි යුගයකට ඇතුළු වී ය. එරට ආර්ථික වර්ධන මට්ටම අද වනවිට 1970 පැවැති මට්ටමට සමාන ය. ආර්ථික සංවර්ධනයේ දී රට ලෝකයේ 18 වන ස්ථානයේ සිට 120 වන ස්ථානය දක්වා පහත වැටිණි. ගඩාෆි විසින් ගොඩනගන ලද යටිතල පහසුකම් විනාශ වී ගොස් ඇති අතර, ඒවා ප්‍රතිසංස්කරණය සඳහා ඩොලර් බිලියන 70ක් වැයවන බව තක්සේරු කර ඇත.
මෙම කෘතිය වර්තමාන ලෝක දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින්ට ද, වෘත්තීය දේශපාලනඥයන් සහ පොදු පාඨකයාට ද වැදගත් වන බව අපගේ අදහස යි.

මහාචාර්ය ටියුඩර් වීරසිංහ-Dr.Tudor Weerasinghe
ශ්‍රීපාලි මණ්ඩපය,
කොළඹ විශ්වවිද්‍යාලය.





