චමිල් ජයනෙත්ති:
ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්රික් හේගල් 1801 දී ජෙනා (Jena) විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ ‘ග්‍රහලෝකවල කක්ෂ පිළිබඳව’ (On the Orbits of the Planets) නිබන්ධනයෙනි {හේගල්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය – Hegel PhD}.
එය දෙවියන් වහන්සේ සෞරග්‍රහ මණ්ඩලය මැවීම පිළිබඳව ඉදිරිපත් කරන අපෝහක විඥානවාදී (dialectical idealism) දාර්ශනික පදනම සහිත නිබන්ධනයක් බව පැහැදිලිය. එම නිබන්ධනයේ ඇති අපෝහක විඥානවාදී ස්වරෑපය හඳුනාගැනීමට වැදගත් වන්නේ හේගල් ඉදිරිපත් කරන කරුණු සමග විශ්ලේෂණයක් කිරීමෙන් පමණි. මේ ලිපිය එම කරුණ සම්බන්ධවයි.
අපි පළමුව යාන්ත්‍ර විද්‍යාවෙන් (mechanics) සෙයාගත් නිගමන පිළිබඳව හේගල්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් ඉදිරිපත් කරන අදහසක් බලමු:
“යාන්ත්‍ර විද්‍යාවෙන් (mechanics) ලබාගත් පර්යේෂණාත්මක විධික්‍රම මගින් සැබෑ දාර්ශනික මූලධර්මය ප්‍රතික්ෂේප කරයි, එය ස්වභාවධර්මයේ අනුකරණයන් සඳහා මළ පදාර්ථ (dead matter) පමණක් භාවිතා කරන අතර යම් අත්තනෝමතික ශරීරයක (arbitrary body) සම්පූර්ණයෙන්ම වෙනස් බලවේගවල සංස්ලේෂණයට බලපෑම් කරයි.“ {Hegel PhD – chapter I}
හේගල්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මළ පදාර්ථ ගැන සඳහන් කරයි. මේ මළ පදාර්ථ යනු කුමක්ද? යන ප්‍රශ්නය ඇතිවන්නේ එවිටය. විවිධ වර්ගයේ පරමාණු (atom) එකිනෙක එකතු වී සාදන පදාර්ථ (matter) මළ පදාර්ථ (dead matter) බව හේගල් පවසයි. උදාහරණයක් ලෙස පදාර්ථයක් නිර්වචනය කරන කාබන්ඩයොක්සයිඩ් (Co2) පරමාණු බන්ධනයක් ගනිමු. එය Co2 ලෙස විද්‍යාණුකූලව නාමකරණය කරයි. එවිට පදාර්ථයක C = කාබන් පරමාණුවක් සහ O2 = ඔක්සිජන් පරමාණු දෙකක් සමග ස්වාභාවිකව ඇතිවන බන්ධනය පදාර්ථයක් ලෙස නම් කරයි. එවිට හේගල් පවසන මළ පදාර්ථය (dead matter) යනු මැරුණු පදාර්ථයකි. එවිට යාන්ත්‍ර විද්‍යාවෙන් සොයාගෙන තිබෙන්නේ මළ පදාර්ථයකි. පදාර්ථ මැරී ඇත්නම් පදාර්ථ කියා දෙයක් විශ්වයේ නැත. නැති දෙයකින් දේවල් බිහිවන්නේ ද නැත. හේගල්ට අනුව භෞතික විද්‍යාඥයන් පවසන පදාර්ථ සංයුතියකින් දේවල් බිහිවිය යන්න ද බොරුවකි. එම අරුතෙන් බැලුව කළ මළ පදාර්ථයකින් දේවල් බිහි කිරීමට හැකියාවක් නැත. එවිට පදාර්ථ ජීවමාන ද්‍රව්‍ය නොවේ. මෙය හේගල්ගේ නිබන්ධනයේ ඇති එක ප්‍රස්තූතයක් ගැන විග්‍රහයක් පමණි.
හේගල් නැවත මෙසේ පවසයි:
“ස්වභාවධර්මයේ ජීවිතයෙන් ඈත් වූ යාන්ත්‍ර විද්‍යාවට (mechanics) මරණය හැර පදාර්ථ සංකල්පයක් ඉදිරිපත් කළ නොහැකි අතර, එය විරාමය (rest) සහ චලිතය (motion) යන දෙකටම උදාසීනත්වයේ අර්ථයෙන් “අවස්ථිතිය” (inertia) ලෙස හැඳින්වේ. පදාර්ථයේ මෙම අනුවාදය වස්තුවේ වඩාත්ම වියුක්ත සංකල්පය, පරම විරුද්ධත්වය (absolute opposition) හැර අන් කිසිවක් නොවේ.“ {Hegel PhD – chapter II}
හේගල් පවසන්නේ දෙවියන් මැවූ ස්වභාවධර්මයේ ජීවිතයෙන් ඈත් වූ යාන්ත්‍ර විද්‍යාවට (mechanics) මරණය හැර පදාර්ථ සංකල්පය ඉදිරිපත් කිරීමට නොහැකි බවයි. යාන්ත්‍ර විද්‍යාව ඉදිරිපත් කරන පර්යේෂණ නිගමන දෙවියන්ගේ ආත්මීය සංකල්පයට (පරම විරුද්ධත්වයට) විරුද්ධත්වය දක්වන බවයි. එවිට පදාර්ථයක් නැත. එවිට විශ්වයේ පවතින්නේ ශුන්‍යත්වයේය (nothingness).
හේගල් නැවත මෙසේ පවසයි:
“දෙවියන්ගේ ක්‍රියා බාහිර හෝ යාන්ත්‍රික හෝ අත්තනෝමතික හෝ අහඹු නොවේ.“ (God’s actions are not external nor mechanical nor arbitrary nor coincidental). {Hegel PhD – chapter II}
දෙවියන් වහන්සේ සියල්ලටම සර්ව බලධාරියාය. එවිට සියල්ල මැවීමෙන් නිර්මාණය කර ඇත. මේ ප්‍රස්තූත වාක්‍ය මගින් ජොහැනන්ස් කෙප්ලර්, අයිසැක් නිව්ටන් සහ ජෝන් ලොක් නැමැති භෞතිකවාදී දාර්ශනිකයන්ගේ ස්වාභාවික භෞතිකවාදී දර්ශනය විවේචනය කිරීම මෙම ආචාර්ය උපාධි නිබන්ධනය පුරාම කරගෙන යයි. මෙම ආචාර්ය උපාධි නිබන්ධනයේ අයිසෙක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පතුරු ගසා දෙවියන්ගේ මැවීම ගැන වර්ණනාවක් ද ඉදිරිපත් කරයි.

නැවත හේගල් මෙසේ පවසයි:
“එක දෙයක් පැහැදිලි විය යුතුය: දෙවියන් වහන්සේ පදාර්ථයට දැමූ බව ඔවුන් පවසන බලවේග සැබවින්ම එහි වාසය කරයි “ (One thing must be clear: the forces they claim God put into matter truly dwell therein); {Hegel PhD – chapter II}
මේ කියන්නේ ස්වාභාවික භෞතිකවාදය බොරු බවත් දෙවියන් වහන්සේ පාදාර්ථයට දැමූ චලිතය විසින් පාලනය කරන බවත්ය. පදාර්ථයක් හැදෙන පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් ඇති කරන චලිත ක්‍රියාවලිය දෙවියන් වහන්සේ මෙහෙයවන බව නේද මේ කියන්නේ, එවිට පරමාණුවේ චලිතය මෙහෙය වන්නේ දෙවියන් වහන්සේ විසින් බව ඇරිස්ටෝටල් සහ රෙනේ ඩෙකාට්ස් විසින් ඉදිරිපත් කළ අදහස නැවත පදාර්ථ ලෙස පුනරුච්චාරණය කිරීමක් ද මේ නිබන්ධනය.

භෞතිකවාදීන් විද්‍යානුකූලව පිළිගන්නේ පරමාණු යනු ස්වාභාවික භෞතිකයේ කාලය සහ අවකාශය තුළ ගමන් කරන අංශු (පරමාණු) ලෙසය. පරමාණුව අංශුවක් ලෙස ඉන්දියාවේ සහ ග්‍රීසියේ පුරාණ භෞතිකවාදීන්ගේ සිට එම මතය වත්මන දක්වා පැවත එයි. පරමාණුව පිළිබඳව ලෝකය තුළ පළමුව තම මතය ඉදිරිපත් කළ දාර්ශනිකයා ලෙස පිළිගැනෙන්නේ ඉන්දියාවේ ක්‍රි:පූ: 600-500 අතර කාලයේ විසූ වෛශේෂික දර්ශනයේ කණාඩ දාර්ශනිකයාවයි. ග්‍රීසියේ පළමුව පරමාණුව සොයාගත් දාර්ශනිකයා වන්නේ ක්‍රි:පූ: 500 දී ජීවත් වූ ලෙයුසිපස්ය. කණාඩ සහ ලෙයුසිපස් පරමාණුවෙන් විශ්වය බිහිවූ බව පැවසූ මෙළොව පළමු දාර්ශනිකයන් දෙදෙනාය. පරමාණුවේ අභ්‍යන්තර සංයුතිය සොයාගත්තේ 1897 න් පසුවය. එම මතය 1897 දී ජේ. ජේ. තොම්සන් පරමාණුවක් තුළ ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත බව සොයාගැනුනි. ඉන්පසුව 1917 දී පරමාණුව තුළ ප්‍රෝටෝන අංශු ඇති බව අර්නස්ට් රදර්ෆර්ඩ් සොයාගත්තේය. 1932 දී ජේම්ස් චැඩ්වික් නියුට්‍රෝන අංශු ඇති බව සොයාගැනීමත් සමග පරමාණුවේ අභ්‍යන්තර ව්‍යුහය සම්පූර්ණ විය. එවිට පරමාණුවක ස්වාභාවික භෞතිකවාදී මතය ඔවුන් ස්ථීර කළේය. පරමාණුවක චලිත ක්‍රියාවලිය ස්වාභාවික ක්‍රියාවලියක් හරහා සිදුවන බවද ඔප්පු විය. ඉන් පසුව විශාල භෞතිකවාදී දාර්ශනිකයන් ප්‍රමාණයක් දෙවියන් වහන්සේගේ මැවීම බොරුවක් බව භෞතිකවාදී සංකල්පය උපයෝගී කරගෙන පැහැදිලි කර තිබේ. එය ඓතිහාසික භෞතිකවාදයයි.
හේගල් ලැප්ලාස්ගේ නිහාරිකා කල්පිතය විවේචනය කිරීම:
“කේන්ද්‍රාපසාරී (centrifugal) සහ කේන්ද්‍රාභිසාරී (centripetal) බලවල විරුද්ධත්වය සහ ඒවා විචල්‍ය නැතිව (versed sine) සහ ස්පර්ශක (tangent) මගින් නිරූපණය කිරීම කොතරම් සැබෑ අර්ථයකින් තොර ද යන්න වඩාත් පැහැදිලි වන්නේ ඉලිප්සයක් (ellipse) මත එකම වස්තුවක චලිතයේදී ගණනය කළ යුතු ප්‍රවේග විචලනයෙනි. මෙම අවස්ථාවේ දී, කේන්ද්‍රාභිසාරී (centripetal) බලය නියෝජනය කරන නාභිගත කිරණ සහ කේන්ද්‍රාපසාරී (centrifugal) බලය සඳහා ස්පර්ශක අතර සම්බන්ධතාවය සෑම තැනකම එක හා සමාන නොවේ, එබැවින් ප්‍රවේගවල වෙනස බල සමතුලිතතාවයට බාධා කිරීමෙන් පැහැදිලි කළ යුතුය. 17“
මේ අංක 17 ගැන පසු සටහන්වල දැක්වෙන්නේ මෙසේය: 17. “මෙහි සහ පහත දැක්වෙන හේගල්ගේ තර්ක පදනම් වී ඇත්තේ ලැප්ලේස්, ‘ලෝක පද්ධතිය පිළිබඳ ප්‍රදර්ශනය‘ (Exposition of the World System), පැරිස් 1796 මතය.“
1796 දී පියරේ-සයිමන් ලැප්ලේස් විසින් යෝජනා කරන ලද නිහාරිකා කල්පිතය (Nebular Hypothesis), සෞරග්‍රහ මණ්ඩලය ස්වාභාවිකව නිර්මාණය වීම ගැන මූලික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ මතයකි. මෙම කල්පිතයට අනුව, සෞරග්‍රහ මණ්ඩලය ආරම්භ වූයේ නිහාරිකා ප්‍රාථමික ලෙස හඳුන්වන උණුසුමෙන්, භ්‍රමණය වන පදාර්ථ වලාකුළකිනි. ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් මෙම නිහාරිකාව සිසිල් වී ඝනීභවනය වූ විට, එහි මධ්‍යයේ සූර්යයා බිහි වූ අතර, පිටත ප්‍රදේශ සූර්යයාට වඩා දුරින් පිහිටි පදාර්ථ ඝණීභවනය වී ග්‍රහලෝක මණ්ඩලක් දක්වා පරිණාමය විය. මෙම සංකල්පය සෞරග්‍රහ මණ්ඩලයේ ස්වාභාවික ස්ථායිතාව සඳහා දෙවියන් වහන්සේගේ මැදිහත්වීමකින් නිර්මාණය කළ බවට පුරාණයේ සිට පැවත ආ අදහස් වලින් වෙන්ව ස්වාභාවිකත්වය ස්ථාපිත කළ මතයකි. ලැප්ලේස් ආකාශ වස්තූන්ගේ ස්වාභාවික බිහිවීම චලිතමය මූලධර්ම හරහා පමණක් පැහැදිලි කළ හැකි බව ස්වාභාවික සෞරග්‍රහ මණ්ඩලය නැමති අදහස ලොවට ඉදිරිපත් කළේය.
ඉන් පසුව විශ්වය සැදුන අයුරු පැහැදිලි කරගැනීමට භෞතිකවාදීන් වෙහෙසුනේය. ඒ අනුව ස්වාභාවික භෞතික විශ්වය ගැන අදහසක් ස්ටීවන් හෝකින් “මහා විදාරණය වන විශ්වය“ (The Big Bang Universe) ගැන “කාලය පිළිබඳ කෙටි ඉතිහාසයක්: මහා විදාරණයේ සිට කළු කුහර දක්වා” කෘතිය 1988 දී ප්‍රකාශයට පත් කෙරිණ. ඒ වත්මනේ අප වසන “මහා විදාරණය වන විශ්වය“ ගැන ස්ටීවන් හෝකින් පැවසුවේ ස්වාභාවික භෞතික විශ්වය ස්වාභාවිකව නිර්මාණය වූ බවය. එම ස්වාභාවික භෞතික විශ්වය පහත රූප සටහනෙන් ඉදිරිපත් කරන්නේ එය වැදගත් නිසාය.

අප වසන විශ්වය ආරම්භ වන්නේ යම් ස්ථානයක ස්වාභාවිකව හට ගන්නා ආලෝක ධරාවකින් නිකුත්වන ඉලෙක්ට්‍රෝන – ප්‍රෝටෝන – නියුට්‍රෝන ගමන් කර යම් දුරක දී එකතු වී ස්වාභාවිකව පරමාණු නිර්මාණය වීමෙනි. ඉන් පසුව පරමාණු තවත් පරමාණු සමග එකතු වී ස්වාභාවිකව පදාර්ථ (matters) සෑදෙයි. පදාර්ථ වලාවක් ලෙස එකතු වී ස්වාභාවිකව මන්දාකිනි සෑදෙයි. එම මන්දාකිනි තුළ පදාර්ථ නිහාරිකා (nebula) වලින් සෞරග්‍රහ මණ්ඩල ස්වාභාවිකව බිහි වෙයි. එම සෞරග්‍රහ මණ්ඩල තුළ ග්‍රාහක පරිණාමයත් සමග හටගන්නා අකාබනික තත්වයෙන් කාබනික පදාර්ථ ස්වාභාවිකව ගොඩනැගුණු පසු සොබාදහම බිහිවෙයි. සොබාදහම තුළ පදාර්ථ සංකලනයන් ඇති වූ පසු ජීවය බිහිවෙයි. එවිට විවිධ ග්‍රහලෝකවල ඇතිවන ජීවයේ විවිධ ස්වරූපයන් බිහිවිය හැකිය. මේ පවසන ස්වාභාවික භෞතික විශ්වය භෞතිකවාදීන් ස්වාභාවික භෞතිකවාදය ලෙස හඳුනාගනියි. අප වසන භෞතික විශ්වය ආරම්භක ආලෝක ධාරාවේ සිට වත්මන දක්වා වර්ෂ බිලියන 13.8 ක් ගෙවා ඇත. විශ්වය ආරම්භ වී වර්ධනය වෙමින් වත්මන දක්වා පැමිණ ඇත. විශ්වයට අවසානයක් පවතින බව වටහා ගත හොත් විශ්වයට නිෂේධනයක් (අභාවයක්) ඇති බවද පැහැදිලිය. ආරම්භය – වර්ධනය – නිෂේධනය යන අපෝහක සංඝටකය භෞතිකවාදීන් හඳුනාගන්නේ අපෝහක භෞතිකවාදය යනුවෙනුයි.
මේ ඔස්සේ බැලුව කළ අප වසන පෘථිවියට වයස වර්ෂ බිලියන 4.5කි. එම කාලයෙන් ඒක සෛලික ජීවීන් බිහි වී ඇත්තේ වසර මිලියන 541 කට පෙරදීය. එවිට වර්ෂ බිලියන 4 කට ආසන්න කාලයක් පෘථිවිය ස්වාභාවිකව සකස් වූ කාලය ලෙස හඳුනාගනියි. මිලියන 541 න් පසුව බිහි වූ බහු සෛලික ජීවීන්ගේ ආරම්භක යුගය වූ පැලියසොයික් යුගය (Paleozoic Era) ලෙස නිර්වචනය කරයි. එම ජීවින් වසර මිලියන 289 කින් පසු තම පැවැත්ම අවසන් වූ බව පුරාවිද්‍යාත්මක සාධක මගින් සොයාගෙන ඇත. ඉන් පසුව පෘථිවියේ ජීවීන් සිටි යුගය හඳුන්වන නාමය මොසොසොයික් යුගය (Mesozoic Era) {ඩයිනෝසිරස් යුගය} වර්ෂ මිලියන 186 කින් අවසන් වූයේ පෘථිවිය මතට ග්‍රාහකයක් කඩා වැටීමෙන්ය. ඉන් පසුව බිහිවූ සෙනොසොයික් යුගයේ (Cenozoic Era) වත්මන වන විට වර්ෂ මිලියන 66 ක් ගෙවා අවසන්ය. සෙනොසොයික් ආරම්භක යුගයේ මැමල් නැමැති ජීවී කාණ්ඩයෙන් මානවයා දක්වා පරිණාමීය වර්ධනයක් සිදු වූයේය. මානවයා පරිණාමයෙන් පරිණාමයට පත් වෙමින් වත්මන දක්වා පැමිණ ඇත්තේය. එවිට දෙවියන් වහන්සේ පෘථිවිය මවා දින හතක දී දෙවියන් වහන්සේගේ රුවට සමාන මනුස්සයෙක් මැවූ බව යුදෙව්වාදයේ සඳහන් වන්නේ මනෝමූලික බොරුවකි.
ලංකාවේදී ද මේ අසභ්‍ය විඥානවාදී මතයේ සිටි මහාචාර්ය නලීන් ද සිල්වා ‘මගේ ලෝකය’ නැමති කෘතියේ 80 වැනි පිටුවේ විශ්වය ගැන මෙසේ පවසයි: “විශ්වයේ ආරම්භය පිළිබඳ ව අද පිළිගෙන ඇති විද්‍යාත්මක මතය වන මහා පිපිරුම් ප්‍රවාදය දෙවියන් වහන්සේ ගේ මැවීම සමග සමීප සම්බන්ධයක් දරයි. එ වැනි මහා පිපිරුමක් සමඟ විශ්වය ආරම්භ විය යන අදහස යුදෙව් ආභාසය මත ඇති වූවකි. බෞද්ධයකුට එ වැනි සංකල්පයක් ඇති කර ගැනීමට හැකි යැ යි සිතිය නොහැකි ය.“
1927 දී ජෝර්ජස් ලෙමයිට්‍රේ මහා පිපිරුම් න්‍යාය ඉදිරිපත් කළ අතර, ව්‍යසනකාරී පිපිරීමකින් විශ්වය ආරම්භ වූ බවට ඔහු මතයක් ඉදිරිපත් කළේය. මෙම න්‍යායට එඩ්වින් හබල් විසින් 1924 දී මන්දාකිනි එකිනෙක එක් දෙසකට දුරස්වෙමින් විශ්වය තුළ විදාරණයක් (bang) සිදුවන වන බව සොයාගැනීමෙන් පසුව එම මතයට සමගාමීව මහා පිපිරුම් න්‍යාය ලෙමයිට්‍රේ ඉදිරිපත් කර තිබුණි. විශ්වය බිහි වූයේ කෙසේද යන්න ඉදිරිපත් වී ඇති මත නමයෙන් එකක් ලෙස මහා පිපිරුම් න්‍යාය ද පැවතුණි. මෙම මහා පිපිරුම් න්‍යායක් ලෙස ඉදිරිපත් වුවත් එය දෙවියන් වහන්සේ විසින් පිපිරුමකින් විශ්වය මැවූ බව ලෙමයිට්‍රේ ප්‍රකාශ කළේ නැත. නමුත් නලීන් ද සිල්වා ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ පිපිරුම කළ බවය. ලෙමයිට්‍රේ විශ්වයේ බිහිවීම නිශ්චිත නැති පිපිරුමකින් ආරම්භ වී මන්දාකිනි එකිනෙකට ඈත්වෙන බව මතය ගොඩනැගුවේය. එම මතය විසින් ද ගොඩ නැගුවේ පරමාණු නැත – පදාර්ථ නැත – යම් දෙයක් පිපිරීමෙන් පසුව විශ්වය බිහි විය යන උපකල්පනයක් ඉදිරිපත් කිරීමෙනි. එවිට නලීන් ද සිල්වා ද යුදෙව්වාදයේ ඒකදේවවාදය පිළිගෙන දෙවියන් වහන්සේ විසින් පිපිරීමක් කර විශ්වය බිහිකළ බව කරන ප්‍රකාශය ද සාධක නැති මනෝමූල බොරු ප්‍රකාශයක් බව පැහැදිලිය.

හේගල් ආචාර්ය උපාධි නිබන්ධනයේ ඉදිරිපත් කරන තව සටහනක් බලමු:
“එය දෙවියන් හෝ සැබෑ බලය ඵලදායී ලෙස හෝ අභ්‍යන්තරව හා අවශ්‍ය දේ ලෙස හෝ හඳුනානොගනී. යාන්ත්‍ර විද්‍යාව බාහිර හේතු පමණක් පිළිගෙන ස්වභාවධර්මය තාර්කිකව වටහා නොගන්නා බැවින්, එය තුළම වෙනස් ප්‍රකාශනයක් නිසා අනන්‍යතාවයක් සහිතව මෙම මූලධර්මයට ඉදිරියට යාමට නොහැකිය. අපට ප්‍රතිෂ්ඨාපනය වූ පසු, මෙම මූලධර්මය දර්ශනය මගින් පුනර්ජීවනය කිරීමට, යාන්ත්‍ර විද්‍යාව භෞතික විද්‍යාවෙන් වෙන් කළේය, එය යාන්ත්‍ර විද්‍යාවේ ‘ගතිකත්වය’ (dynamics) යන නාමයට වඩා වෙනස් වූ අතර, එය අවසානයේ දී දර්ශනයට ආපසු ලබා ගත්තේය.“ {Hegel PhD – chapter II}
භෞතිකවාදයෙන් සොයාගත් විද්‍යානුකූල මූලධර්ම වෙනස් කිරීමට හේගල් අපෝහක විඥානවාදය නැමති දර්ශනය වෙත පවරාගත් බව එම ප්‍රකාශයෙන් පැහැදිලිය. එම මතය සනාථ කිරීමට පදාර්ථ (matters) මළ පදාර්ථ (dead matters) ලෙස නම්කර විශ්වය නැමැති මනසින් මවාගත් දෙවියන් වහන්සේ සියල්ල කළ බව පැවසුවේය. මේ මතය තමයි විඥානවාදය ලෙස නාමකකරණය කරන්නෙ. විඥානවාදය නැමැති දර්ශනවාදය පසුගිය අවුරුදු 200 තුළ භෞතිකවාදීන් විසින් ප්‍රතික්ෂේප කළේ ඒ නිසාය. ලංකාවේදී අසභ්‍ය විඥානවාදීන් එය නැවත උස්සාගෙන ඇවිදිමින් දෙස් දෙවොල තියන්නේ විඥානවාදය පිළිගන්නා ලෙසය. එය පිළිගැනීමට භෞතිකවාදීන් කිසිසේත්ම සූදානම් නැත.
එයට හේතු වන්නේ; භෞතිකවාදීන් විශ්වයේ ආරම්භය සොයා යන්නේ ස්වාභාවික භෞතික ගතීකය තුළය. එහිදී විශ්වය – පරමාණු – මන්දාකිනි – සෞරග්‍රහ මණ්ඩල – සොබාදහම – ජීවය යන ස්වාභාවික ලෙස නිර්මාණය වූ බව විද්‍යාත්මක සොයාගැනීම් වලින් තහවුරු කරන දෘෂ්ටිවාදය භෞතිකවාදය නිසාය. නමුත් විඥානවාදීන්ට වැදගත් වන්නේ යුදෙව්වාදය නැමැති ආගමික විඥානවාදයෙන් ඇරඹි පෘථිවිය මැව්වේ දෙවියන් වන්සේය යන ප්‍රස්තූතය සනාථ කිරීමට පැරණි ගිවිසුම (Old Testament) ලිව්වා සේම, සෞරග්‍රහ මණ්ඩලය මැව්වේ දෙවියන්වහන්සේය යන හේගල් ආචාර්ය උපාධි නිබන්ධනය ලිව්වා සේම නලීන් ද සිල්වා පිළිගන්නා දෙවියන් වහන්සේ මහා පිපිරීමකින් විශ්වය මැවූ බව සනාථ කිරීමට ගත් උත්සාහයන් වැටෙන්නේ මනෝමූලික සිතුවිලි කාණ්ඩයටය. එවිට භෞතිකවාදීන් පරික්ෂණ නිරීක්ෂණ මගින් ඉදිරියට යමින් ස්වාභාවික භෞතිකය විද්‍යානුකූලව ලෙස වටහා ගනිමින් තහවුරු කරමින් භෞතිකවාදී සන්දර්භයක් ගොඩනගමින් සිටිති. නමුත් විඥානවාදය පිළිගන්නා ආගමික විඥානවාදය හා විඥානවාදය හා අසභ්‍ය විඥානවාදය විසින් ඉදිරිපත් කරන මුලින් දෙවියන් වහන්සේ පෘථිවිය මැවූ බවත් – ඉන් පසුව සෞරග්‍රහ මණ්ඩලය මැවූ බවත් – ඊට පසුව දෙවියන් වහන්සේ විශ්වය පිපිරුමකින් මැවූ බවත් සනාථ කරන්නට මනෝමූලික උත්සාහයක් තහවුරු කිරීමට පුරාණයේ සිට වර්තමානය දක්වා කරමින් සිටිති. හැබැයි දෙවියෙක් තවම හමු වී නැත. දෙවියෙක් කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකට හෝ නිරීක්ෂණයකට හෝ හසු වී නැත. ඉතින් භෞතිකවාදීන් (මාක්ස්වාදීන්) වන අපට කියන්න තියෙන්නේ අපි ස්වාභාවික භෞතිකය පිළිගන්නා අතර විඥානවාදය විසින් මවාපාන දෙවියන් වහන්සේව පිළිගන්නේ නැති බවය.

හේගල් පවසන තවත් අදහසකට නැවත යොමුවෙමු:
“විෂය සහ වස්තුවේ විභවයන්, අවකාශය පිරවීම ලෙස පදාර්ථ බව සිතීමෙන් (Thinking of matters) එය ස්වරූපයක් නොමැතිව ඉතිරි වේ; එවිට අවකාශය (space) සහ පදාර්ථය (matter) යනු අරමුණෙහි වියුක්ත සංකල්පය හැර අන් කිසිවක් නොවේ. පදාර්ථයේ භෞතික (matter’s physical) හෝ සැබෑ සංකල්පය ග්‍රහණය කරගත හැක්කේ ආත්මීයත්වයේ (subjectivity) ස්වරූපයෙන් පමණි.“ {Hegel PhD – chapter II}
හෝගල් දෙවියන් වහන්සේගේ ආත්මීය සම්බන්ධය පදාර්ථයට ගෙනවිත් ඇත. දෙවියන්ගේ ආත්මීය සම්බන්ධයක් තුළින් විශ්වය දෙස බැලුව ගමන් ඇතිවන්නේ මනෝමූලික සම්බන්ධයකි. එයට තව අදහසක් එක්කළ හැකිය – ඒ ආචාර්ය සමන් පුෂ්පකුමාරගේ ‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතියේ 35 පිටුවේ ඔහු මෙසේ පවසයි: “එය තවදුරටත් යුදෙව් ආගමේදී මෙන් දෙවියන් වහන්සේ ලෝකයට බාහිරව සිට කරන අණ කිරීමක් නොවේ. ජේසුස් වහන්සේ තර්ක බුද්ධිය හා හැඟීම අතර විභේදනය ඉවත් කර ඇත. ඔහු මානවවාදය ආත්මගත කරගත් සදාචාර ජීවිතයක් ගෙවා ඇත. හෙගල් දකින්නේ මේ නැවුම් ක්‍රිස්තියානිය තමන්ගේ කාලය වන විට පිරිහී ගිය ධර්මතාවක් වූ බවය.“
ක්‍රිස්තියානි ආගම නැවත ආරම්භ කිරීමට හේගල් පියවර ගෙන සියලු විද්‍යානුකූල සොයාගැනීම් පසෙක ලා ආගමික විඥානවාදය ස්ථාපිත කිරීමට ගත් පියවරක් බව ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් එවිට ස්ථීරව ම පැහැදිලි වන කරුණකි. හේගල්ගේ එම කරුණ සමන් තහවුරු කරමින් තවදුරටත් පැහැදිලි කර ඇත.
හේගල්ගේ තව සටහනක් තුනක් (3) ගනිමු:
(1)“සැබෑ පදාර්ථය අවබෝධ කර ගැනීම සඳහා, අවකාශය පිළිබඳ වියුක්ත සංකල්පයට පදාර්ථයේ ප්‍රතිවිරුද්ධ හෝ ආත්මීය ස්වරූපය එකතු කළ යුතුය, එය ලතින් භාෂාවෙන් අපි mens (ජර්මානු Geist, ඉංග්‍රීසි ‘මනස, ආත්මය’) යන වචනයෙන් සහ අවකාශය අනුව නම් කරමු: ‘ලක්ෂ්‍යය’ (point). මේ අනුව ලක්ෂ්‍යය හෝ කාලය, එකම ලක්ෂණ වෙනසක් සහිත ස්වරූපයක් සහ අවකාශය පදාර්ථයේ මූලද්‍රව්‍ය ජනනය කරයි, එය නිසැකවම ඒවායින් ව්‍යාජ නොවේ, නමුත් ඒවායේ මූලධර්මයයි.“ {Hegel PhD – chapter II}
(2)“එබැවින් වෙනස යනු වෙනසකින් අනන්‍යතාවය සදාකාලිකව ප්‍රතිස්ථාපනය කිරීම සහ නව වෙනසක් නිෂ්පාදනය කිරීම හැර අන්කිසිවක් නොවේ: හැකිලීම සහ ප්‍රසාරණ අවකාශයෙන් සම්පූර්ණ වියුක්ත කිරීමෙන් පසු නිරන්තරයෙන්ම ජනනය වන අනෙක් විභවය, ආත්මය/මනස (Geist/mens), කාලය වන අතර, එය තමන්ගේම නිෂ්පාදනය නැවත අවකාශයට සම්බන්ධ කරන විට, රේඛාව ජනනය කරයි. රේඛාව ආත්මයක් වන අතර එය ආත්මීය ස්වරූපයෙන් වුවද එයම ජනනය කරන අතර එහි ප්‍රතිවිරුද්ධ අවකාශයට සංක්‍රමණය වීමෙන් සම්පූර්ණ හා ස්වාභාවික ස්වරූපයක් ගනිමින් එය තුළම හෙළිදරව් වන අතර, අනෙක් වෙනස්කම් නොමැති තලය ජනනය කරයි, මන්ද අප දිගුව සහ මනස හැර වෙනත් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර එය චතුරස්‍රයකි.“ {Hegel PhD – chapter II}
(3)“නමුත් රේඛාව ලක්ෂ්‍යවලින් සහ රේඛාවෙන් තලය යනාදියෙන් පැන නගින ආකාරය, චලිතය පිළිබඳ බාහිර සංකල්පයට යොමු වීමෙන් හැර වෙනත් ආකාරයකින් එය තේරුම් ගත නොහැක, එනම් අවකාශයේ සහ කාලයේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව බව දැන් අපි දැක ඇත්තෙමු. රේඛාව පුරුෂ/භූත/ආත්මය/මනස එයට සුදුසු ආත්මීය ස්වරූපයෙන් ජනනය වන බවත්; එසේම එය වාස්තවික ස්වරූපයට සංක්‍රමණය වීම ඇත්ත වශයෙන්ම චතුරස්‍රය වන අතර, අනෙක් අතට ස්වභාවධර්මයේ එහි නිෂ්පාදනය ඝනකය වන්නේ එබැවිනි. {Hegel PhD – chapter II}
මේ අදහස් තුනෙන් ගම්‍ය වන්නේ දෙවියන් වහන්සේ අතර ආත්මීය සම්බන්ධය සහිත රේඛාවක් හරහා ජීවය සම්බන්ධ බවයි. ඒ වගේම ගණිතමය සත්‍ය මගින් දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය උපකල්පනය කර ඇති අතර භෞතික සත්‍යයන් එයට රැවටී ඇති බව හේගල් පවසන්නේ පහත වාක්‍යයෙනි:
“එහි ගණිතමය සත්‍යය (mathematical truth) සහ අවශ්‍යතාවය හුදෙක් උපකල්පනය කර ඇති අතර, එය භෞතික සත්‍යයෙන් (physical truth) රැවටේ.“ {Hegel PhD – chapter II}
මේ කරුණ ගැන පැහැදිලිව පැවසිය හැක්කේ භෞතිකවාදය රැවටීමට නොහැකි බවය. ඒ වගේම භෞතිකවාදය යනු ආගමක් නොවේ. එය ස්වාභාවික භෞතිකවාදී – ඓතිහාසික භෞතිකවාදී – අපෝහක භෞතිකවාදී දර්ශනයකි. භෞතිකාවාදී සමාජ විප්ලවකාරී දර්ශනවාදය ගමන් කරන්නේ විද්‍යානුකූල පරිපථයක් ඔස්සේය. එය ආගමික විඥාවාදය – විඥානවාදය – අසභ්‍ය විඥානවාදය විසින් පවසන මනෝමූලික හිතලු ඔස්සේ භෞතිකවාදීන් ගමන් කරන්නේ නැත.
අසභ්‍ය විඥානවාදීන්ට (කුණුහරුප විඥානවාදීන්ට) අවසාන වශයෙන් පැවසිය හැක්කේ මේ ලිපියේ සෝදුපත් පරික්ෂා කර සොයාගන්නා වැරදි පිළිබඳව ඇති තරම් බෙරිහන් දෙන ලෙසයි.

චමිල් ජයනෙත්ති-Chamil Jayaneththi





