හේගල්ගේ දර්ශනය පිලිබද සංවාදය නැවතත්,

  • හේගල්ගේ දර්ශනය පිලිඹද සංවාදය නැවතත් කරලියට පැමිණ තිබේ. ඒ සමන් පුෂ්පකුමාර විසින් රචිත හේගල්-සවිස්තරාත්මක හැදින්වීමක් කෘතිය සමගය. බටහිර දර්ශනයේ චින්තකයන්ගේ කෘති සිංහලෙන් පලවීම ඉතාමත් අල්ප වූ යතාර්තයක සමන්ගේ මේ දුර්ලභ උත්සහය අගය කල යුතුය.

හේගල්ගේ Phemomology of Spirit (සමන් මෙය හදුන්වන්නේ සාරාත්මයේ ප්‍රපංචවිද්‍යාව ලෙසය) කෘතිය පිලිඹදව ඇලෙක්සැන්ඩර් කොජවේ (Alexandre kojeve) කල දේශන මාලාව ආශ්‍රයෙන් කලකට ඉහත පලකල ලිපි මාලාවක පලමු කොටසයි.
1 කොටස
‘මම’ යනු මොකක්ද?
What am I ? (හේගල්)
I think therefore I am
මා සිතමි එබැවින් මා සිටිමි
ඩෙකාර්ට්ගේ ඉහත ප්‍රකාශය සහ වස්තුව විෂය ලෙස මිනිස් යතාර්ථය දෙකට පැලීමත් ඒ අතර සම්බන්ධයත් පහුගිය alchemist කලාප වල අපි සාකච්චා කලා.(alchemist නොවැ/දෙසැ,ජන/පෙබ බලන්න) දැං අපි ඉහත වාක්‍යයේ ‘ I ’ ‘මම’ කොටසට වැඩි අවධානය යොමු කරමු.
ඉහත ඩෙකාර්ටියන් වාක්‍යයේ සිතීම වස්තුව මූලිකයි. එනම් හිතනවා (Think) කියන්නෙ වස්තුව ගැන හිතීමට, වස්තුව ගැන හේතුසහගත වීමට, වස්තුව වටහාගන්නට පොර බැදීමට. එනම් සිතීම ‘වස්තුව ගැන දැන ගැනීම’ (Knowing Object) එහෙම නැතිනම් දැනගැනීමේ ක්‍රියාව (Act of Knowing) තුල අභිමුඛ වෙන්නෙ වස්තුවයි.මේ දැනගැනීමේ ක්‍රියාවෙහි සීමාව තමයි මිනිස්සු මෙසේ සිතන්නේම ඔහු සිතීමෙන් උකහාගත් දේ ගැන මයි. එනම් සිතනවා යැයි අපි කරන්නෙ වස්තුව ගැන දැනුම ලෙස අපි වටහාගත් දේ ගැන නැවත නැවතත් සිතීමයි. මෙලෙස වස්තුව ගැන දැනගන්න යාමේදී ඔහුට ‘මම’ ( I) මගහැරෙයි.මේ නිසා ඩෙකාර්ටියන් මා සිතන විටම නැතිවෙන්නේම විෂය ගැන දැනගැනීමයි ( Knowing Subject) . මේ නිසා ඩෙකාර්ටියන් සිතීම තුල කිසිවිටෙකත් ‘මම’ ( I ) හෙළිදරව් වෙන්නෙ නෑ. ඩෙකාර්ට් කලේ විෂය- ‘මම’ ( I ) නිරපේක්ෂව අක්‍රියව තියාගෙන වස්තුව පරීක්ෂා කරන්න යාම.මේනිසා ‘මම’ ( I ) ගැන වටහාගන්න ( Knowing Subject) යනවිටම ඒකට අපි කියනවා මනුස්සයා පළමුවරට ඔහුගැන සවිඥාණයකට එමින් තියෙනවා කියල.
මනුස්සයා සතාගෙන් වෙනස්වෙන්නෙම ඔහු සතුව තිබෙන තමා සහ තමා අවට ගැන ඇති මෙන්න මේ සවිඥාණය නිසා. ඉතිං මේ විෂය ‘මම’ ( I ) ගැන දැනගැනීම ( Knowing Subject) අර සිතීම වස්තුව ගැන දැන ගැනීම (Knowing Object) ට වඩා මුලුමනින් වෙනස් පාරක තියෙන්නෙ.
අපි මෙතනදි සලකා බලන්න යන්නෙ හේගල්ගේ (George Wilhelm Friedrich Hegel , 1770-1831) මැදිහත්වීම තුල මේ විෂය- ‘මම’ ( I ) ගැන දැනගැනීම ගෙන තිබෙන ආකාරයයි.

                   I think therefore I am
Georg Wilhelm Friedrich Hegel

ඉහත ඩෙකාර්ටියන් වාක්‍යයහි එන ‘මම යනු මොකක්ද?
(what am I ? ) කියල අපි ප්‍රශ්ණයක් වර නැගුවොත් ඩෙකාර්ටියන් විශ්වය තුල යන්න පුළුවන් උපරිමය තමයි “මම යනු සිතන පැවැත්මකි”
(I am a thinking being) යන්න. නමුත් හේගල් මේ පිළිතුරෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඔහු කියන්නෙ “මම යනු සිතන පැවැත්මකි” කියල කිවූ පමණින් ‘මම’ ගැන කිසිදු වටහාගැනීමක් ගත නොහැකිය යන්නයි. එය මම ගැන ඉතා සීමිත වටහාගැනීමක් බවයි.
ඔහු මතුකරන කාරණය තමයි හේගල් වන මම යනු හුදු සිතන පැවැත්මක් නොවේ. එසේනම් හේගල් වන මම කුමක්ද?. මූලිකව මම ලේ මස් නහර වලින් හැදිල තියෙන ජීව විද්‍යානුකූල ශරීරයක්. ඒත් ඒකටද මේ මම කියල මාව හදුන්වන්නෙ? මේ හේගල්වන මම පවතින්නෙ හුදු හිස් අවකාශයකද? මම කොලයක් පෑණක් සහිතව යමක් ලියනවා. ඒ ලියන්නෙ මේසයක් මත පුටුවක ඉදගෙන. මේ එකක්වත් අහසින් නොවැටුනු බව මම දන්නවා. එනම් මේ භාණ්ඩ මිනිස් වැඩ (Human Work) ලෙස නිශ්පාදනය වුන දේවල්. එනම් මේ භාන්ඩ හුදු ස්වභාවදර්මය නොව මේ සියල්ලම ස්වභාවදර්මයට මිනිසා මැදිහත්වීමෙන් -මිනිස් වැඩ නිසා පැමිණි ඒවා බව. මේ නිසා හේගල් කියන්නෙ ‘මම යනු මොකක්ද? ‘ (what am I ? ) කියන ප්‍රශ්ණය වර නගපු ගමන් මම හුදු සිතන පැවැත්මකින් එහා ගිය මිනිස් වැඩ ඉතිහාසයක් පිලිඹද සවිඥාණයක් මේ ‘මම’ ( I ) තුලින් වර නැගෙන බව. කොටින්ම මෙතන මම කියන්නෙ මිනිස් වැඩබිම්වල සිදුවන නිශ්පාදනයන් තමංගෙ ඉදීම (Being) තුල දරාගත්ත මමක්.
ඩෙකාර්ට් ‘මා සිතමි ’කියල පටන් ගන්න කොටම ඔහු ‘සිතීමේ’ ගොදුරක් බවට පත් වෙනවා. මුලුමනින්ම ‘මම’ ( I ) නොසලකා හරිනවා.
‘මම’ ( I ) කියන්නෙ මිනිස් ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍ය සාධකයක්. ඒ කියන්නෙ මිනිසා ‘කතාකරන විශයක්’ (Speaking Subject) වන විටම ‘මම’ ( I ) අනිවාර්යතාවක් වෙනවා. ඒ වගේම එය විෂය ගැන එක්තරා සවිඥණිකත්වයක්ද වෙනවා. මෙය හුදු සවිඥණිකත්වයක් නොවන ස්ව – සවිඥණිකත්වයක් (Self Consciousness) ද වෙනවා. මේ හින්ද මිනිසා කියන්නෙ හුදු හිතන විෂයක් පමණක් නෙවෙයි. ඔහු සිතීම තුල ඔහුගේ පැවැත්ම එලිදරව් කරන්නට පොරබදන විෂයක්ද වෙනවා.
ඩෙකාර්ට් මම සිතමි කියල කියනකොට ඔහු මේ සිතන්නෙ තමාගෙන් බාහිර වස්තු /බාහිර ලෝකය ගැන. මෙය බාහිර ලෝකය ගැන දැනුමක්ද වෙනව. නමුත් හේගල් කියන්නෙ මිනිස්පැවැත්මක් (Human Existence) යනු බාහිර ලෝකය ගැන ඇති දැනුමට නොවන බවයි. මිනිස් පැවැත්මේ සැබෑ සත්‍ය නම් එය දාර්ශනික පැවැත්මක් (Philosophic Existence) වීමයි. උදාහරණයකට මේ ජීවිතයේ තේරුම මොකක්ද? කියල ප්‍රශ්ණයක් වර නගන විටම එහි සත්ව පැවැත්මෙන් වෙන් වීමක් සලකුණු වෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්ණය දාර්ශණික (ජීවිතය? තේරුම? ) ප්‍රශ්ණයක්ද වෙනවා. ස්ව-සවිඥාණයක් අත්පත් කරගත හැක්කේ දාර්ශණික පැවැත්මකින් බව හේගල් අවධාරණය කරනවා. එනම් හේගල් අතින් මිනිස් විෂයේ සවිඥාණය/ස්ව-සවිඥාණය ලෙස මූලික කණ්ඩණයක් සලකුණු වෙනවා.
ඒ වගේම සිතන මම (I Think) කියන්නෙම කතාකරණ විෂයක් (Speaking Subject). අපි දන්නවා “මම” කියන පදය තියෙන්නෙම උච්චාරණය තුල. මේ පදය වර්තමාණය තුල උච්චාරණය කරන්නා ලග හැම විටම නවතිනවා. මේ නිසා එය වර්තමාණය තුල පවතින්නක්. ඩෙකාර්ටියන් විෂය- සිතන මම හිතන්නෙ දේවල් ගැන
( Thing-Think). මෙසේ ඩෙකාර්ටියන් මම දේවල් (Thing) ගැන සිතන කොටම ඔහුට තමංගැන ( Self) මග හැරෙනවා. මේ නිසා ඩෙකාර්ටියන් මම වඩා සවිඥාණික ඔහුගෙන් පරිභාහිර ලෝකය ගැන. දේවල් ගැන. මේ නිසා මේ “මම” දේවල් (Thing) ගැන එහි දැනුම ගැන දොඩමළු උනාට ඔහු තමං (මම) ගැන ගොළුයි. මේ හින්ද මේ දේවල්ගැන සිතන ඩෙකාටියන් මම වඩා ක්‍රියාකාරී වෙන්නෙ ස්වභාවික වස්තු මතින්. මේ නිසා මේ මම “ස්වභාවික මම” (Natural I) එසේම එය සත්ව මමකට (Animal I) කිට්ටුයි. මූලිකව ඉන් ලැබෙන්නෙ සවිඥාණයක් මිසක් ස්ව-සවිඥාණයක් නෙවෙයි. ස්වභාවික වස්තූන් මත යැපෙන මම කට කිසිදාක ස්ව-සවිඥාණයක් අත්පත්කරගත නොහැකි බව හේගල් අවධාරණය කරනවා. ස්ව-සවිඥාණයක් අත්පත්කරගෑනීමට නම් විෂය ස්වභාවික නොවන (Non – Natural) වස්තූන් කෙරෙහි දිශානත වියයුතුය. එය දෙනලද යතාර්තයට එහායාමක් දෙසට දිශානත විය යුතුය. මනුස්සය හැදිල තියෙන්නෙ ජීව විද්‍යාත්මක යතාර්තයකින් (ලේ මස්) උනාට මිනිස් යතාර්තය කියන්නෙ ජීව විද්‍යාත්මක යතාර්තයට (ලේ මස්) නෙවෙයි. කවුරු හෝ මනුස්සයෙක් ජීව විද්‍යාත්මක යතාර්තයක පමණක් පවතිනව නම් හේගල් එය හදුන්වන්නෙ සත්ව ජීවිතයක් (Animal Life ) නමින්. එය මිනිස් ජීවිතයක් (Human Life) නොවේ.
බාහිර වස්තූන් මත යැපෙමින් (වස්තුව ගැන දැන ගැනීම) ඇති ඩෙකාර්ටියන් මම විෂය ගැන දැනගැනීමට (ස්ව-සවිඥණිකත්වය) නැවත ලගාවිය හැක්කේ ආශාව (Desire) හරහාපමණි. උදාහරණයකට අපට බඩගින්න දැනෙන විට ආහාර පිළිඹද අවශ්‍යතාව (Need) පතුවෙයි. මේතාක් සත්ව ජීවිතය සහ මනුශ්‍ය ජීවිතය සමානය. නමුත් බඩගින්න මිනිස් යතාර්තය තුල හුදු ආහාර පිලිඹද අවශ්‍යයතාවය පමණක්ම නොවේ. එය කිසියම් ආකාරයක “හිස්බව” (Emptiness) පිළිඹද හැගීමකි. එසේම එය හිස්බව පිරවීම (Fullness) සදහා බලාපොරොත්තුවකි. ඒ පිරවීම හුදු ආහාරම නොවේ. බඩගිනි මිනිසා ආහාර තෝරනු ලබයි. ඒ යම් යම් ආහාර සදහා වටිනාකම් වෙනස්ය. එතකුදු නොනැවතී යම් යම් ආහාර පිළිඹද වෙනස් අභිරුචීන්ද වෙයි. එනම් අපි හුදු අවශ්‍යතාවට(Need) පමණක් නොවේ, අභිරුචිය තෘප්තිමත් කිරීමක් දක්වාද ආහාර සොයයි.එම අභිරුචිය තෘප්ත කරලීමක් සදහාද විෂය ක්‍රියාක්මක වෙයි. මේ අර සත්ව ජීවිතය නොවේ. මේ අර ස්වභාවික යතාර්තය නොවේ. එය මිනිස් යතාර්ථයකි.එය සත්ව ජීවිතය තුල නොව මිනිස් ජීවිතය තුල සිදුවන දෙයකි. එනම් මිනිසා අවශ්‍යතාවය මත පමණක් නොව සිය කැමැත්ත අභිරුචිය මත ආහාර ගැනීම “ වැඩිපුර” ( Excess) යමකි. මේ වැඩිපුර යම “අභිලාශාව” යි. මේ වැඩිපුර යම නැතිනම් අභිලාශාව පැවැත්ම ලෙස හදුනාගැනීමටය අපි ස්වයං (Self) එහෙම නැතිනම් “ආත්මය” ලෙස හදුන්වන්නෙ. එනම් අභිලාශාව නිතරම එලිදරව් වෙන්නෙ ‘ස්වයං-ආශාව’- මගේ ආශාව ලෙසයි. හේගල්ගේ මම (හේගලියන් විෂය) ඩෙකාර්ටියන්ගේ විශයෙන් වෙනස් වන ප්‍රධාන තැන වන්නේ මෙයයි. මේ නිසා ස්ව- සවිඥණිකත්වයක් (Self-Consciousness) හි මූලික කොන්දේසිය වන්නේ වන්නේ අභිලාශාවයි.(Desire)
ඩෙකාර්ටියන් මම බාහිර වස්තු පිළිඹදව යැපෙමින් සිතන මමක් නම් හේගල්ගේ මම අභිලාශාව අත්දකින මම කි. එනම් ඩෙකාර්ටියන් විෂය දැනුමේ විෂයකි ( Knowing Subject) (කියවන්න alchemist නොවැ/දෙසැ කලාපය) දැනුම තුල මිනිසා අක්‍රියත්වයේ (Passive ) තබයි.

René Descartes

නිහැඩියාවේ (Silent) තබයි.අභිලාශාව විසින් විශයේ නිහඩතාව බිදින අතර එය ක්‍රියාවට (Act) තල්ලු කරයි.විශය ක්‍රියාශීලී (Active) කරවයි.
මොකද අභිලාශාව උපදින්නේම ක්‍රියාවක් ලෙසය. එම ක්‍රියාව වන්නේම අභිලාශාව තෘප්ත කරලීම වෙනුවෙන් කැරලි ගැසීමයි. ආරම්භයේදී අභිලාශාවට එහිම වූ අර්ථයක් නැත. අභිලාශාව පටන් ගන්නේ හිස්කමිනි. හිස්කම පිරවීමක්‍රියාවකි. පිරවීම තෘප්ත (Satisfy) වීමකි. හේගල්ගේ අදහස අනුව මේ අභිලාශාව තෘප්තකල හැක්කේ වස්තුව නිශේධනය (Negation) කිරීමෙන් විනාශ කිරීමෙන් (Destroy) සහ එය බවට පරිවර්තනය කිරීමෙන් ( Transforms) පමණි.
මෙහිදී නිශේධනය යනු ජීව විද්‍යාත්මක යතාර්ථය(සත්ව ජීවිතය) ප්‍රථික්ශේප කිරීමකි. උදාහරණයකට “බඩගිණි මිනිසා ” ගේ අවශ්‍යතාවය ආහාරයය. මෙය ජීව විද්‍යුනුකූල යථාර්තයකි. සත්ව ජීවිතයකදී අවශ්‍යතාවය සපිරුණු පමණින් ජීවියා සෑහීමකට පත්වේ. නමුත් මිනිසා මේ ජීව විද්‍යානුකූල යථාර්ත අතහැර මිනිස් යථාර්තයට ලගාවෙන්නේ මේ දෙනලද බඩගිනි-ආහාර නැමති සම්බන්ධය ප්‍රථික්ෂේප කිරීමෙනි. එනම් අපි අර කලින් කතා කල “හිස්බව” (Emptiness) ‘විෂයට’ලැබෙන්නෙ ඒ අතර එකට එකේ සම්බන්ධය නිශේධනය කිරීමෙනි. එසේ නැතිකල ඒ ‘මම’ සත්ව මමක් ලෙස (Animal I) තෘප්ත වී හමාරය. නිශේධනය ක්‍රියාවලියේ ඇති ධනාත්මක ගතිය වෙන්නේ මේ සත්ව මමක් සිට මිනිස් මමක් (Human I) දක්වා පරිවර්තනය වෙන ගාමකයක් ලෙස ක්‍රියාත්මක වීමයි. උදාහරණයකට බඩගින්න- කෑම යන සත්ව යථාර්තයට පිටින් තමයි අභිලාශාව වැඩ කරන්නෙ. එනම් මේ සත්ව මම නිශේධනය කරන ක්‍රියාවක් සිදුවිය යුතුය. මේ නිශේධනයේ ක්‍රියාව විසින් විෂය හිස්බවකට යයි. මේ හිස්බව පිරවෙන්නේ පිටතින් ස්වභාවික නොවන මිනිස් යතාර්තයෙනි. අපි ඉහත බඩගින්නම උදාහරණයකට ගතහොත් බඩගින්න ස්වභාවික නොවන මිනිස් යතාර්තයක් වීමට නම් කෑම නැමැති අවශ්‍යතාවය නිශේධනය විය යුතුය. කෑම නැමැති වස්තුව විනාශවී යා යුතුය. ඒ වෙනුවට හිස්බව නැමැති මිනිස් යතාර්තය ඇති විය යුතුය. එම යතාර්තය පිරවෙන්නේ ආහාර නොවන දේවල් වලිනි. මේ නිසා අභිලාශාව (Desire) යනු මුලුමනින් මුලුමනින් භාහිරින් උරාගත් දෙයකි. හරියටම අභිලාශාව අභිලාශාව විදියට ගතහොත් එහි කිසිවක් නැත. එය නොපවතින හිස් බවකි. (Unreal Emptiness) එය ස්වභාවික දේට වඩා වැඩි යමකි. හරියටම ගත්තාම බඩගින්න නැමති ජීව විද්‍යානුකූල යතාර්ථය මිනිස් යතාර්ථයක් වීම යනු බඩගින්නේ අවශ්‍යතාවය ආහාර නොවන වෙනත් දෙයක් පත්වීමකි. එය ආහාර වලට වඩා වැඩි යමකි.

alchemist (මාර්තු-අප්‍රේල් 2018)

More From Author

තනිය තනිවම විදිමි,

මහනුවර “මෙරූන් මහ සටන ” අප්‍රේල් 4,5,6

Leave a Reply

Categories

LDM Columns