හෙගල්ගේ ( මම) අනෙකා

හේගල්ගේ දර්ශනය පිලිඹද සංවාදය නැවතත් කරලියට පැමිණ තිබේ. ඒ සමන් පුෂ්පකුමාර විසින් රචිත හේගල්-සවිස්තරාත්මක හැදින්වීමක් කෘතිය සමගය.බටහිර දර්ශනයේ චින්තකයන්ගේ කෘති සිංහලෙන් පලවීම ඉතාමත් අල්ප වූ යතාර්තයක සමන්ගේ මේ දුර්ලභ උත්සහය අගය කල යුතුය.
හේගල්ගේ Phemomology of Spirit (සමන් මෙය හදුන්වන්නේ සාරාත්මයේ ප්‍රපංචවිද්‍යාව ලෙසය) කෘතිය පිලිඹදව ඇලෙක්සැන්ඩර් කොජවේ (Alexandre kojeve) කල දේශන මාලාව ආශ්‍රයෙන් කලකට ඉහත පලකල ලිපි මාලවක දෙවන කොටසයි.

ඇලෙක්සැන්ඩ්‍රේ කොජෙව්

හේගල්ගේ (මම) අනෙකා “What am I ?” මම යනු කුමක්ද? හේගල් මේ ප්‍රශ්ණය වර නගපු ගමන් ඩෙකාර්ටියන් ‘මා සිතමි එබැවින් මා සිටිමි’ වාක්‍යයේ දුහුල්ව තිබූ ‘මම’ නැමැති විිිෂය අපට වෙන්වෙලා පෙනෙන්න ගත්තා. මේ අතර මැද ඉන්න තවත් වින්තකයෙක්වත් මෙතනදි සලකුනු කරගෙන යායුතුමයි. ඒ තමයි කාන්ට්. (එම්මානුවෙල් කාන්ට් 1724-1804) කාන්ට්ගෙ වැඩබිම උනේ විශයේ කලාපය නෙවෙයි.

එම්මානුවෙල් කාන්ට්

වස්තුවේ කලාපය.හරියටම ගත්තොත් කාන්ට් අතින් දාර්ශනික වස්තුව (Philosophical Object) වෙනන් වන විට හේගල් අතින් දාර්ශනික විෂය (Philosophical Subject) වෙන් වෙන්න ගත්තා.
අපි පසුගිය කලාපය තුල හේගල්ගේ ‘මම’ (හේගලියන් විෂය) ඩෙකාර්ටියන් ‘මම’ ගෙන් වෙනස් වෙන ප්‍රධාන කාරණය විදියට හේගලියන් මම අභිලාශාව (Desire) අත්දකින මමක් ලෙස හදුන ගත්තා.ඒ අනුව ඩෙකාර්ටියන් මම හුදු “සිතන මම”ක් ලෙසත් නිශ්ක්‍රීය මමක් ලෙසත් හදුනාගත හැකි අතර හේගලියන් මම අභිලාශාව මගින් මෙහෙය වෙන ක්‍රියාවන් කරන , බාහිරින් ගොඩනගන ලද, සවිඥාණයක් සහිත මමක් ලෙස අපිට හදුනාගත හැකියි.එසේම අභිලාශාවට සාපේක්ෂව සත්ව මම (Animal I) සහ මිනිස් මම (Human I ) ලෙස හේගල් විසින් කණ්ඩනයක් සලකුණු කරනවා.සත්ව මම ජීව විද්‍යානුකූල යථාර්තය තුල තෘප්ත වී හමාරය.නමුත් මිනිස් මම ජීව විද්‍යානුකූල යථාර්තය නිශේධනය කරමින් මිනිස් යථාර්තයක් දක්වා පරිවර්තනය වෙයි.මෙලෙස පරිවර්තනයේ ගාමකය වෙන්නේ අභිලාශාවයි.(බලන්න alchemist මාර්තු /අප්‍රේල් කලාපය 2018 පිටු 36-37-38)

මේ නිසා හේගලියන් මම වනාහි අතීතයේ තිබුන දෙය නිශේධනය කරන වර්තමානයකින් ගොඩනැගෙන අනාගත මමකි. එනම් එලඹෙන (becoming) මමකි. එනම් හේගලියන් මම පවතින්නෙ කාලය තුලය. මෙය අතීතයෙන් ලැබුනු ‘ස්වයං’ (Self) බවින් තෘප්ත නොවේ. ඒ ස්වයං බව නිශේධනය (Negation) කර දමයි. එය විනාශ (Destroy) කොට දමයි. එය පරිවර්තනයට (Transform) ලක් කරයි. එමෙන්ම මෙලෙස මම ක්‍රියාවට (Act) තල්ලුකරන ගාමකය වන්නේ අභිලාශාවයි. ඉතිං මෙලෙස මිනිස් අභිලාශාව තෘප්තිමත් වෙන්නේ සත්ව/ජීව විද්‍යානුකූල යථාර්තය නිශේධනය කිරීමෙනි.එමෙන්ම මේ නිශෙධනය දෙනලද යතාර්තය (Nature) නිරන්තරයෙන් අනාගත එලඹෙන මමක් වෙනුවෙන් නිශේධනය කරයි. එනම් එය නිශේධනයේ – නිශේධනයකි.

එමෙන්ම මේ හේගලියන් මම එලියෙන් ගොඩනැගෙන දෙයකි. එනම් එලිය නිසා ගොඩනැගෙන ඇතුලකි. මේ ඇතුල ( ස්වයං-self) ගොඩනැගෙන්නේ අනෙකත්වයක් මතය.මෙලෙස ‘මම‘ සහ මමහි ‘අනෙකත්වය’ ගැන හෙළිදරව් වීම හේගල් හදුන්වන්නේ ස්ව-සවිඥාණිකත්වයක් (Self – Consciousness) ලෙසයි.එමෙන්ම මේ හේගලියන් මම ගොඩනැගෙන අනෙකත්වය සත්ව යථාර්තයක් නොවේ.එය මිනිස් යථාර්තයකි. මිනිස් අනෙකත්වයකි. එය මිනිස් වැඩ (Human Work) වල යථාර්තයකි. මිනිස් වැඩවල ඉතිහාසයකි. මිනිසාට ස්වභාව ධර්මය මත බලපාන්න පුලුවන් සාමූහිකව පමණි. ඒ නිසා මිනිස් යතාර්ථය සමාජීය දෙයකි.කොටින්ම ස්වභාවික/ජීව විද්‍යානුකූල යතාර්ථය තුල පවතින සත්ව රංචුවට වඩා මිනිස් යථාර්තයක් තුල පවතින සමාජය මුලුමනින්ම වෙනස් ය.සත්ව රංචුව මෙහෙයවෙනු ලබන්නේ ජීව විද්‍යානුකූල අවශ්‍යතාවන්ගෙන් (බඩගින්න/වර්ගයා බෝ කිරීම) වුවත් මිනිස් සමාජය මෙහෙය‍වෙනු ලැබෙන්නේ අභිලාශාවන්ගෙනි.එ නම් මිනිස් යථාර්තය සමාජීය යථාර්තයක් වන්නේම මෙලෙස අභිලාශාවන්ගෙන් උපන් ස්වයං අභිලාශාවන් අතරවන ගැටුම නිසාය. අනෙක් අතට මේ අනෙකත්වය විශාලවන තරමට මම ද විශාලය. මන්ද මේ මම එලියෙන් උරාගත් මමකි. මේ නිසා හේගල්ට අනුව මිනිස් ඉතිහාසයට (මිනිස් අභිලාශාවන්ගේ සහ මිනිස් වැඩවල) පුද්ගලයා සම්බන්ධ තරමට ඔහුගේ මම විශාලය. එය වඩ වඩා මිනිස් යථාර්තයක් දෙසට ගමන් කරයි. පුද්ගලයා මිනිස් ඉතිහාසයෙන් ඈත්වන තරමට ඔහුගේ මමද කුඩාය. මන්ද අනෙකත්වය කුඩා නිසා මම කුඩා වන බැවිනි. එනම් ඒ මම වඩ වඩා කිට්ටු වන්නේ සත්ව මමක් (Animal I) දෙසටය.
ඉතින් මිනිසාට සත්‍යවශයෙන්ම මිනිස් (Human) වීමට අවශ්‍යනම් ඔහු අනිවාර්යයෙන් සත්ව පැවැත්මෙන් වෙනස් විය යුතුවෙයි.එනම් ඔහුගේ අභිලාශාව සත්ව ආශාවන්ලෙස තෘප්ත වීම ඔහු අතහැර දමා තිබිය යුතුය.එනම් අපි බඩගිණි උදාහරණය නැවත ගතහොත් බඩගින්නට-ආහාර යන්න සත්ව ආශාවන් තෘප්ත කිරීමකි.බඩගින්න ‘හිස්බවක්’ (Emptiness) වීම එය පිරවීම බලාපොරොත්තුවක් (Will) වීම එම බලාපොරොත්තුව ආහාර නොවීම මිනිස් අභිලාශයකි.ආරම්භයේදී අභිලාශාවට ඇත්තේ හිස්බවකි. ඒ හිස්බව වැඩිපුර යමක් ජනනය වන අතර එය එලියෙන් (සමාජය) ඇතුලට(පුද්ගලයා) සම්බන්ධයක් ඉල්ලා සිටියි.

ඕනෑම අභිලාශාවක් අවසන් විග්‍රහයේදී වටිනාකමකි. සත්ව මමක අවසන් ආශාව වන්නේ සත්ව ජීවිතයයි. මේ ‘ සත්ව ජීවිතය’ නැමැති වටිනාකම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සත්ව මම ක්‍රියාත්මක වෙයි.නමුත් මිනිස් මම කදී වෙන්නේම අභිලාශාව වෙනුවෙන් සත්ව ජීවිතය අනතුරේ හෙලීමකි. මේ නිසා සත්ව රංචුව තුල හෝ අතර ගැටුම් ඇතිවන්නේ තම සත්ව ජීවිතය ආරක්ෂාකරගැනීම වෙනුවෙනි. මිනිස් සමාජ තුල ගැටුම් ඇතිවෙන්නේ මිනිස් අභිලාශාවන් (Human Desire’s) තෘප්තකරලීම කරලීම වෙනුවෙන් වන ගැටුම් ලෙසය.එහිදී මිනිස් මම වෙනුවෙන් පොරබදන පුද්ගලයා අභිලාශාවන්ගේ වටිනාකම් වෙනුවෙන් සිය ජීවිතය අනතුරේ හෙලයි.
මෙතනදි වැදගත්ම කාරණය වෙන්නෙ අභිලාශාව කියන්නෙම අනිත් කෙනා එම දේට දක්වන ආශාව පිලිඹද අභිලාශාවටය. මේ නිසා අභාලාශාවට අභිමුඛ වෙන්නේ තවත් අභිලාශාවකි. එසේ නැතිව අභිලාශාවට එහිම වූ සුවිසේශී අන්තර්ගතයක් නැත. සරල උදාහරණයකින් ගතහොත් අපි රත්තරංවලට ආශා කරන්නේ රත්තරං තුලම ඇති කුමන හෝ අවශ්‍යතාවයක් නිසා නොවේ. රත්තරංවලට ආශාකරන සමාජයක අපි ජීවත්වන නිසාය. අනිත් අයරත්තරං වල ආශාකරන නිසාය. මේ නිසා රත්තරං නිසා සිදුවන සහ සිදුවෙමින් තියෙන යුධ ගැටුම් මිනිස් සංහාරයන් ඉතිහාසයේ සුලබය. ඉතිං සත්ව ජීවිතයක් අවශ්‍යතාවයන් (Needs) පරිභෝජනය කරන අතර මිනිස් අභිලාශාවන් පරිබෝජනය කරන්නේ වටිනාකම් (Demand) වශයෙන් පවතින තවත් අභිලාශාවන්ය.එනම් මිනිස් ‘මම’ ගොඩනැගෙන අභිලාශාව වන්නේ අනෙකාගේ අභිලාශාවය.මෙලෙස මගෙන් භාහිර අයගෙ අභිලාශාවන් සමග ඇතිවෙන ගැටුම තුල තමයි අපි මිනිස් වෙන්නෙ.වෙනත් විදියකට කිව්වොත් අනිත් මිනිසුන්ගේ ආශාවන් තමං තුලට ගැනීමම සත්ව ජීවිතය අතහැර මිනිස් ජීවිතය අත්පත් කරගැනීම වෙන්නෙ.මේ නිසා අභිලාශාව කියන්නෙම මානව විද්‍යාත්මක (anthropological) සාධකයක් මිසක් ජීව විද්‍යාත්මක (Biological) කාරණයක් නෙවෙයි.
දැං මෙතනදි අපට මේ අනෙකත්වයට සම්බන්ධ ප්‍රධාන කාරණයන් දෙකක් හදුනා ගන්න පුලුවං. එකක් තමයි එය මිනිස් වැඩ (Human work) ඉතිහාසයකින් සමන්විත වීම .අනෙක තමයි එය මිනිස් ගැටුම් (Human Fight) වල ඉතිහාසයකින් සමන්විත වීම.
“මිනිස් ගැටුම” කියන්නෙ අභිලාශාවන් (Desire’s) අතර ඇතිවෙන ගැටුමට. මේ අභිලාශාවන් අතර ඇතිවෙන ගැටුමෙන් තමයි මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ව හදුනගන්නේ.“මම” මනුස්සයෙක් වෙනව කියන්නෙ තවත් මනුස්සයෙක් මාව මනුස්සයෙක් ලෙස හදුනාගැනීමට (Recognize). මේ හදුනාගැනීමේ තුන්වෙනි සාධකය වෙන්නෙ අපි දෙදෙනා අතර අභිලාශාවන් වෙනුවෙන් සිද්ධවෙන ගැටුම. අනෙක් අතට මේ හදුනාගැනීමේ ගැටුම විසින් අභිලාශාවේ අගයන් (Value) නිර්මාණය වෙනව. මේ අගයන් නිශ්චිතවම සමාජීය අගයන්. මෙතනදි තමයි සමාජයක් තුල මිනිස් වැඩ වලින් නිශ්පාදනය වෙන දේවල් වලට ‘වල නිශ්පාදිතයන් වල වටිනාකමට “වැඩිපුර යමක් ”(Excess) එකතු වෙන්නෙ. මිනිස් යථාර්තය නිර්මාණය වෙන්නෙ. ගොඩනැගෙන්නෙ. මේ සමාජ අගයන් වෙනුවෙන් තමයි පුද්ගලයා සිය සත්ව ජීවිතය අවධානමට දැමෙන්නෙ. මේ නිසා මේ ගැටුම මාරාන්තික ගැටුමක්. මොකක්ද මේ මරණය? තමයි සත්ව ජීවිතයේ මරණය. එසේම වැදගත්ම දේ මේ සත්ව ජීවිතයේ මරණයත් ඒ නිසා ගොඩනැගෙන මනුස්ස ජීවිතයත් තමං හදුනා ගැනීම. එය මිනිස් ඉතිහාසය(මිනිස් වැඩ සහ මිනිස් ගැටුම්) තුල තමන්ට එලිදරව් වීම. එය හේගල් හදුන්වන්නෙ ස්ව-සවිඥාණය විදියට. ඉතිං මිනිස් යථාර්තය කියන්නෙ මේ නිසා මිනිස් යතාර්ථය කියන්නෙ ගැටුමින් (Fight) සහ හදුනාගැනීමෙන් (Recognize) නිර්මාණය වෙන දෙයක්.මේ ගැටුම මරණය අනුමාණ කරගෙන සිද්ධවෙන ගැටුමක් නිසා එවැනි ගැටුමක් සත්ව ජීවිතයක වෙන්නෙ නෑ.මොකද සත්ව ජීවිතයේ ඇති එකම වටිනාකම ජීවිතය පිළිඹද වටිනාකම (ජීවිතාශාව) පමණක් නිසා. මේ ගැටුමෙදි ජීවිතය අවදානමට දැමෙන්නෙ “හදුනාගැනීමකට”ඇහැරීමකට” එසේත් නැතිනම් සවිඥාණයක් අත්පත් කරගන්නට.
ගැටුම සිද්ධවෙන්නෙ පාර්ශව දෙකක් අතර. මේ පාර්ශව දෙක මුලදි සමානයි. ඔවුන් ගැටෙන්නෙ තුන්වෙනි සාධකයක් වෙන අභිලාශාව නිසා. එනම් අභිලාශාවන් තියෙන්නෙ මේ පාර්ශව දෙකටම පිටින්. සමාජ අගයන් විදියට. මේ එක් පාර්ශවයක් ඒ එලියේ ඇති සමාජ අගයන්ට ආශා කිරීම නිසා අනෙක් පාර්ශයවයටත් මේ අගයන් ගැන අභිලාශාවක් එනවා. එනම් සමාජ දෙයකට ඇති අනෙක් පාර්ශවයේ අභිලාශාව මේ පාර්ශවය හදුනාගන්නවා. ඒක දෙපැත්තටම වෙනවා. මෙලෙස අනෙකාගේ අභිලාශාවට ආශා කිරීම නිසා එම අත්පත් කරගන්නට පොරබදන ගැටුමක් බවට පත්වෙනවා. එය තම ජීවිතය පවා අවදානමට දමන ගැටුමක්. මේ ගැටුම විසින් පෙරලා අර සමාජ වටිනාකම් වශයෙන් පවතින ගැටුමට සම්බන්ධ දේට නව සමාජ වටිනාකම් එකතු වෙනවා. එනම් ඉතාම තීරණාත්මක ලෙස යමක් පිළිඹදව සමාජ අගයන් හැදෙන්නෙ මේ ගැටුම නිසා.
ඉතිං මේ ගැටුම මරණීය ගැටුමක්. එමෙන්ම එය “හදුනාගැනීම” ගැන ගැටුමක්. ඒ වගේම මේ හදුනා ගැනීම සවිඥාණයක්. එමෙන්ම මේ ගැටුම එක් අයෙකුට මරණය උරුමකරදෙන එක් අයෙකුට විජයග්‍රහණය උරුමකරදෙන ගැටුමක්. එතකොට මොකක්ද මේ මරණය? එනම් පරාජිතයා තමංගෙ ආශාව අත්පත්කරගත නොහැකි නිසා තමා අභිලාශාව තෘප්ත කිරීම හැරදමා අනෙකාගේ අභිලාශාව තෘප්ත කරලීම තමාගෙ වැඩකොටස බවට පත්වීමක්.කොටින්ම එය තමාගේ අභිලාශාවේ මරණයක්. එතකොට මොකක්ද මේ විජයග්‍රහණය? එය අනෙකා අනෙකා සමග ගැටුනු අභිලාශාව අත්පත්කරගැනීමේ විජයග්‍රහණයයි. සත්ව ජීවිතයෙන් නිදහස් වීමේ විජයග්‍රහණයයි. එනම් මුලින් දෙපාර්ශවයම සමානව තම ජීවිතය අවදානමට දමමින් ඇරඹෙන ගැටුම අවසන් වන්නේ ජයග්‍රාහී පාර්ශවයකට තමාගේ අභිලාශාව අත්පත් කරදෙමිනය. පරාජිත පාර්ශවය තමාගේ අභිලාශාව යටපත් කරගනිමින් තමාගේ ආශාව මරාගනිමින් එසේත් නැත්නම් අබිලාශාව අහිමි කරගෙන අනෙකාගේ ආශාව වෙනුවෙන් කැපවීවෙයි.
එනම් ගැටුමේදි පාර්ශව දෙකට සවිඥාණයන් දෙකක් හදුනාගැනීම් දෙකක් මුණගැසෙයි. එක සවිඥාණයක් අනුව ඔහු ගැටුමෙහි අනෙක් පාර්ශවය සෑම අතින්ම අභිබවා ඉහලට පැමිණි ස්වාදීන ආත්මයකි. එය හදුන්වන්නේ ස්වාමි-සවිඥාණය ලෙසය.අනෙක් පාර්ශවය තමංව හදුනාගන්නේ අර ජයග්‍රහණය කල කෙනා වෙනුවෙන් බැඳී සිටින පරාදීන ඒමත යැපෙන ඒ වෙනුවෙන් ජීවිතය ගෙවන වහල්-සවිඥාණයක් ලෙසය.ඇත්තටම ගැටුමේ මේ පාර්ශව දෙක අපි සැලකිය යුත්තේ ගැටුමින් පසු ඇතිවන ප්‍රථිපල දෙකක් ලෙස නෙවෙයි.මේ ගැටුම විසින් ගොඩනගන අනාගත ස්වාමීත්වයක් (Future Master) සහ අනාගත වහල්බාවයක් (Future Slave) ලෙස වන සවිඥෘණයන් දෙකක් හා හදුනාගැනීම් දෙකක් ලෙසය.
ඉතිං මෙතන වැදගත්ම කාරණය ගැටුමයි.එක අතකට මේ ගැටුම ‘නිදහස’ උදෙසාය. සත්ව ජීවිතයෙන් නිදහස් වීම සඳහාය. ගැටුමේදී ස්වාමි සවිඥාණය තමා නිදහස ලැබූ බව හදුනාගනියි. වහල් සවිඥාණය තමා ස්වාමියාට බැඳී සිටින බව හදුනාගනියි. එසේම ස්වාමියා (Master) තම ජීවිතය අවදානමට දමා සටන් වදින්නේ ස්වභාවදර්මයට ඉහලින් තමා ඔසවා තබා ගැනීමටය.ඔසවා තැබීමේ ගෞරවය රැක ගැනීමටය. මේ නිසා ස්වාමියා තමාව ඉහලට ඔසවා තැබීම වෙනුවෙන් සටන් කරයි. නමුත් ඔහු වැඩ නොකරයි. ස්වාමියාව ස්වභාවදර්මයේ ඉහලට ඔසවාතැබීම වෙනුවෙන් වැඩ (Work) ඉටු කරන්නේ වහලාය (Slave) . වහලා ස්වාමියාගේ ගරුත්වය වෙනුවෙන් වැඩ කරයි. නමුත් ඔහු තමාගේ නිදහස (සත්ව ජීවිතයෙන් නිදහස් වීම) වෙනුවෙන් සටන් නොකරයි. මේ නිසා වහලා නිතරම ස්වාමියාගේ වටිනාකම් වනුවෙන් පෙනී සිටියි. ඒ වෙනුවෙන් වැඩ කරයි. එසේම ස්වාමියා තමාගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටියි. ඒ වෙනුවෙන් සටන් කරයි. එනමු වහලා ස්වාමීයාගෙ ස්වාමීත්වය වෙනුවෙන් සේවය කරයි.
එමෙන්ම වහලා තමාව හදුනාගැනීම ස්ව-සවිඥාණිකත්වය (Self – Consciousness) වෙනුවෙන් තමංගෙ ජීවිතය අනතුරේ දමන්නේ නෑ. ඔහු ඔහුගේ පවතින ජීවිතය තහවුරු කිරීමට තව කෙනෙක්ගෙන් (ස්වාමියාගෙන්) ඉල්ලා සිටිනවා. ඔහු ඔහුව හදුනාගැනීමට ඔහුගේ සවිඥාණයට අනෙකා මත යැපෙනවා. ගැටුම ආරම්භයේ ඔහු ඔහුගේ ජීවිතය අනතුරේ අවදානමට දමා කැප වුනත් ඔහු වහලෙක් ලෙස ජීවත්වීමට එකග වී එසේත් නැත්නම් දෙන ලද ජීවිතය ගතකිරීමට එකග වී ජීවිත අවදානම අතහරිනවා. අභිලාශාවන් (Desire) අත්පත් කරගැනීමේ අභිලාශාව අත්හරිනවා. මේ නිසා වහල්බාවය විසින් ස්වාමියා මෙන් ශුද්ධවූ ගෞරවයක් වෙනුවෙන් ජීවිතය අනතුරේ දමන්නෙ නෑ. මේ නිසා වහලාගේ සවිඥාණය වන්නේ ගැටුම ආරම්භයේදී දෙනලද ජීවිතය හා කවලම් උන සවිඥෘණයක්. ඒ වගේම වහලා තමං ගැන හිතන විදිය ස්වාමියා තමං (වහලා) ගැන සිතන විදියමයි. එනම් වහලා තමං ගැන හිතන විදිය තමංව හදුනාගැනීම වෙනුවෙන් අනෙකා (ස්වාමියා) මත යැපුන එකක්.
මේ නිසා වහලා කටයුතු කරන්නේ ස්වාමියාට අනුවයි. ස්වාමියාගේ අභිලාශාව මුදුන් පැමිණවීමටයි. එසේම වහලාගේ සවිඥාණය ස්වභාවික දේවල් මත යැපෙන සවිඥාණයකි (Thingness). මීට ප්‍රථිපක්ෂව ස්වාමියාගේ සවිඥාණය වන්නේ ස්වභාවික දේ නිෂේධනය කිරීම තුලින් විනාශ කිරීම තුලින් පරිවර්තනය කිරීම තුලින් එන සවිඥාණයකි. එනම් එය ස්ව-සවිඥාණය වෙනුවෙන් ජීවිතය අවධානමට දැමීමේ අභිලාශාවන්ගෙන් උපන් සවිඥාණයකි.
ඒ වගේම ස්වාමියෙක් සවාමියා වෙන්නේ වහලා ස්වාමියාව ස්වාමියෙක් ලෙස හදුනාගන්නේ නම් (Recognize) පමණි.ගැටුමේ අපි කතාකල “හදුනාගැනීම” නැමැති සාදකය මෙහිදී තීරණාත්මක වන්නේ මේ නිසයි. ඒ වගේම ස්වාමියා හදුනාගන්නේ ඔහු වෙනුවෙන් වැඩකරන ඔහුගේ අභිලාශාවන් වෙනුවෙන් ජීවත් වෙන වහලෙක් සිටීමයි. මේ නිසා ගැටුමේදී සවිඥාණයන් වර්ග දෙකක් මෙන්ම හදුනාගැනීම් වර්ග දෙකක්ද නිර්මාණය වෙයි. ඒ වගේම මිනිස් නිශ්පාදන ඉතිහාසය කියන්නෙ වහලාගේ “වැඩ වල” ඉතිහාසයට.මාස්ටර් පරිබෝජනය කරන්නේ මේ වහලාගේ “වැඩ වල” නිශ්පාදිතයන්.මේ නිසා වහලා වැඩ කරන්නේ සවාමියාගේ පරිබෝජනය වෙනුවෙන්. එබැවින් ඔහු ගැන සවිඥාණික වීම යටපත් කරනවා.ඔහුට ස්වාමියා වෙනුවෙන් සේවය කරන ස්වයං ක්‍රියාකාරී පැවැත්මක් හිමි වෙනවා.ඉතිං හේගල් ඉතිහාසය කියල කියන්නෙ මෙලෙස ස්වාමියා සිය ගෞරවය වෙනුවෙන් සටන් වදින වහලා වැඩකරන ලද ඉතිහාසයට.මේ ස්වාමියා – වහලා ගැටුම මිනිස් ඉතිහාසය නිර්මාණය වෙන මූලිකම සාදකයක්.
හේගල් මේ ගැටුම හදුනාගන්නෙ දයලෙක්තික ක්‍රියාවලියක් විදියට. ඒ කියන්නේ වහලාට වහල් සවිඥාණයත් ස්වාමියාට ස්වාමි සවිඥාණයත් ලැබීමෙන් මේ ගැටුම නතර වෙන්නෙ නැහැ. මූලිකව හේගල් මේ ගැටුම හදුනාගන්නෙ දාර්ශණික තලයක.ඔහු දාර්ශණික මේ ගැටුම වාදය (Thesis) ප්‍රථිවාදය ( Anti- Thesis) ලෙස හදුන්වනව.මේ ගැටුමේදී ගොඩනැගෙන තුන්වැනි සාදකය සුසංවාදය (Synthesis) ලෙස හදුන්වනව. එනම් ආරම්භයේදී තිබෙන ප්‍රතිපක්ෂයන් අනාගත ස්වාමියා සහ අනාගත වහලා අතර ගැටුමෙන් තමයි අනාගත සමාජ වටිනාකම් ගොඩනැගෙන්නෙ. ඉතින් ස්වාමියා තරම්ම වහලා ලොකුනම් තමයි ගැටුම ලොකු වෙන්නෙ. ගැටුම ලොකුනම් තමයි ගැනුමෙන් ගොඩනැගෙන සුසංවාදී සමාජ නිශ්පාදන වල අගය ලොතකු වෙන්නෙ. හේගල් මෙතැනට එන්නෙ “What am I ?” මම යනු කුමක්ද? නැමැති ප්‍රශ්ණය වර නගමින්. එනම් මගේ ආශාව (වාදය) සහ අනෙකාගේ ආශාව (ප්‍රථි-වාදය) -මට එරෙහිවන දේ අතර ගැටුම තියෙන්නෙ අනාගත අභිලාශාවක් /අනාගත සමාජ අගයන් සහිත (සුසංවාදය) තුන්වැනි අනෙකත්වයක් දෙසට දිශානත වෙලයි.

කපිල ක්‍රිශාන්ත

ඊලඟ කලාපයට…
alchemist මැයි/ජුනි 2018

More From Author

මෝහා කෘතිය නොකියවා ලේඛිකාව අමු අමුවෙි මරා දැමීමට තැත් කිරීම.

ගර්භාෂයට වෙඩි තැබීම

Leave a Reply

Categories

LDM Columns