එල්.ජේ.එම්.ජී.සී.බණ්ඩාර
ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)
- (ප්‍රවීණ පුවත්පත් කලාවේදී නිමල් අබේසිංහ විසින් රචිත ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය කෘතිය ගැන යමක්….)
ලක්වැසි සියළුදෙනා එක්ව වෙඩි තබා විනාශ කළ යුතු ජාතිවාදී / ආගම්වාදී ගර්භාෂයට තනි වල්ලේ කාණුවකින් වෙඩි තබා තිබේ. ඒ ප්‍රවීණ තීරු ලිපි රචකයෙකු වන නිමල් අබේසිංහ විසිනි. ඒ “ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය“ නම් වූ ඔහුගේ දෙවන කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙනි. ශ්‍රී ලංකාව ජාතිවාදී ආගම්වාදී ගැටුම් නොමැති රටක් වන තෙක් ලක්වැසියාට “ශ්‍රී ලාංකික“ වන්නට නුපුළුවන. එනයින් බලන කළ මෙම වර්ගයේ කෘති එක්තරා ආකාරයකට ජාතික රාජ්‍ය බිහි කිරීමේ ව්‍යායාමයේ කොටසක්ද වෙයි.
මාධ්‍යෙව්දී වෘත්තිය තුළ වඩාත් අවදානම් සහිත භූමිකාව සේ සැළකිය යුතුවන්නේ ගවේෂණාත්මක මාධ්‍යෙව්දී භූමිකාවයි. විසිවන සියවසේ මුල්භාගයේ ඇරඹිණැයි (ඇමරිකාව-1906 Upton Sinclair)

(සැළකෙන මෙම ශානරය මේ වනවිටත් ලෝකයේ වඩාත්ම මහජන අවධානය දිනා ගත් මාධ්‍ය කලාව ලෙස හදුනා ගැනීමට සිදුවේ. එමෙන්ම එය ලෝකයේ වඩාත්ම අවධානමක් සහිත මාධ්‍ය භූමිකාවක්ද වේ. ඇතැම් විටෙක එය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන වෘත්තීයක්ද වේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රකට ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය එයට නුදුරු උදාහරණයන්ය. එමෙන්ම මෙම භූමිකාව කෙළවරක් නැති අනතුරු වලට අත වනන භූමිකාවක්ද වේ. පෝද්දල ජයන්තගේ ඉරණම මෙයට එක් උදාහරණයක් වන අතර මාධ්‍යෙව්දී ඉක්බාල්අතාස් “ශ්‍රී ලංකා ගවේෂණාත්මක ජනසන්නිවේදන මධ්‍යස්ථානයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහුගේ ජීවිතය 99 යෙන් බේරුණු හැටිත්, ඔහු විසින් එක් රැස් කර තිබූ තොරතුරු, ඡායාරූප බොහෝමයක් ගිනි තබන්නට සිදුවූ හැටිත් විස්තර කරන්නේ ඔහුගේ තොරතුරු සම්පාදකයින්ගේ ජීවිත පවා විනාශ වෙන්නට ඉඩ තිබුණු බව සිහිපත් කරමිනි.

ශ්‍රී ලංකාව තුළ මාධ්‍යෙව්දී නිමල් අබේසිංහගේ භූමිකාව වැදගත් මෙන්ම තීරණාත්මක වන්නේ ශ්‍රී ලංකාව තුළ ගවේෂණාත්මක මාධ්‍යෙව්දයට මුහුණ දීමට ඇති ඉහත සදහන් තත්වයන්ද සැළකිල්ලට ගනිමිනි. විශේෂයෙන්ම කෙනෙකු අතගසන්නට බිය විය යුතු මාතෘකාවකට ඔහු ප්‍රවිශ්ඨ වී තිබේ යැයි කිව හැකිය.
ලෝකයේ සංස්කෘතීන් අතර ගැටුම කෙතරම් පැරණිදැයි තේරුම් ගැනීමට බයිබලයේ මුල් පරිච්ඡේද කිහිපය කියවා ගැනීමම ප්‍රමාණවත් වන අතර බාබෙල් කුළුණ නිම කිරීම වැළැක්වීම සදහා භාෂාව එකිනෙකාට නොතේරෙන එකක් බවට පත් කළේය යන්න සන්නිවේදන දුරස්ථභාවය ජාතීන් / වර්ග අතර අනවබෝධය මෙන්ම අවිශ්වාසය ඇති කිරීමට කෙතරම් ඉවහල් වන්නේදැයි පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුළ පවත්නා අවිශ්වාසයටද සන්නිවේදන දුරස්ථභාවය ප්‍රභල හේතුවකි. විශේෂයෙන්ම දියුණු ධනේශ්වර ක්‍රමයක් විසින් විසදිය යුතු වුවත් නොදියුණු වැඩවසම් තාලයේ සමාජ ඇගයීම් පද්ධති සමග විසීමත් එය තීව්‍ර කරයි.
ශ්‍රී ලංකාවේ ආගමික, වාර්ගික ගැටුම් වල ඉතිහාසය ඉතා දීර්ඝ එකක් වන අතර එය ආරම්භ වූයේ මෙතැනින් යැයි නිශ්චිතව කීම අසීරුවේ. එකම ආගමේ භාවිතයන් පිළිබදව මෙන්ම ආගම් අතරද විටින් විට ඇවිල ගිය ගිනි මෙතෙකැයි කිව නොහැක.
සාමාන්‍ය ජනතාවට මෙය බරපතල ගැටළුවක් නොවෙතත් උපක්‍රමශීලී මිනිසුන්ට ඔවුන්ගේ පොදු හෝ පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා සිතුණු වේලාවක මෙම ගිනි ඇවිළවීමේ හැකියාව තිබේ. ඇතැම් ආගම් බිහිවීමේදීම රැගෙන ආ ඇතැම් “ආගමික යුතුකම්ද“ එය වඩාත් පහසු කර තිබේ. මැතිවරණ කාල වකවානු ලංවන විට එය වඩාත් ඇවිළවිය හැකි එකක් වන අතර උත්සව සමයන්හිදීත් එය අවුළුවනු දක්නට හැකිය. මෙය දැනුවත්ව ප්‍රයෝජනයට ගන්නා තක්කඩි පිරිසක් ඕනෑම ආගමකට අයත් ජන කොට්ඨාසයක් තුළ සිටිති.
නිමල් අබේසිංහ විසින් “ගර්භාෂ යුද්ධය“ කෘතිය තුළ ගවේෂණාත්මකව ඉදිරිපත් කරන්නේ කුප්‍රකට පාස්කු ප්‍රහාරයෙන් පසුව ‘ගර්භාෂ යුද්ධයක් පවතින්නේය‘ යන්න මුල් කරගනිමින් රට තුළ ඇති කරනු ලැබූ ප්‍රකෝපකරනයේ දී භාවිතයට ගනු ලැබූ මෙවලම්වල ඇති අවලංගුභාවයයි. නැතහොත් එහි වූ අභූත ස්වරූපයයි.
ඇත්ත වශයෙන්ම ඔහු සිය කෘතිය තුළ උත්සාහ කරන්නේ මෙම ඇති කරනු ලැබූ ප්‍රකෝප කිරීම කොතෙක් දුරට සාධාරණද කොතෙක් දුරට තාර්කිකද යන්න නැවත සළකා බැලීමටය. ඒ සදහා ඔහු ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී භාවිතා කළයුතු ප්‍රභල මෙවලමක් වන සාක්ෂි සොයා යාමට වඩාත් වෙහෙස දරා ඇති බව පෙනී යන අතර එයින් කෘතියේ විශ්වාසනීයත්වයට ඉමහත් ආලෝකයක් ලැබෙන බවද පෙනේ.

ප්‍රහාරයෙන් දෙමසක් පමණ ගතවන විට කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු වන එස්.එස්.එම්. සාෆිට විරුද්ධව වෛද්‍ය කණ්ඩායමක් විසින්ම ආරම්භ කරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් ‘ගර්භාෂ යුද්ධය‘ විද්වත් කථිකාවත ඇරඹෙන අතර ජාතිවාදී දේශපාලකයන් විසින් අතට ගන්නා මෙම ප්‍රකෝපකරණය ඔහුගේ පෞද්ගලික ජීවිතය, පවුලේ අයගේ ජීවිත, සමීපතමයන්ගේ පමණක් නොව, විශාල ජනතාවකගේ ජීවිත වලටද බලපෑ අතර එය තවත් මිනීමැරුම් ගණනාවකට හේතු නොවීමට විචක්ෂණශීලී මාධ්‍යකරුවන්ගේ මැදිහත්වීමද කැපී පෙනෙන සේවාවක් ඉටුකළේය. මෙම කෘතියේ රචකයාද එහි එක් සක්‍රීය කොටස්කරුවෙකි. අනතුරුව කලකට පසු ඔහු එම සිද්ධියේ සුලමුල, අක්මුල් සොයා යෑමට ගත් උත්සාහය අපට ගර්භාෂ යුද්ධය තුළ දැකිය හැකි වන අතර ඔහුගේ උත්සාහය බොහෝ දුරට සාර්ථකව ඇතැයි කිව හැකි වන අතර ඔහුගේ නිර්ධය විවේචන වඩාත් එල්ල වන්නේ ජාතිවාදී මාධ්‍යයන්ගේ භාවිතයට එරෙහිව වේ. විශේෂයෙන්ම ජනතාවගේ තෙවන ඇසක් ලෙස කටයුතු කළ යුතු මාධ්‍ය එසේ නොවී ජනතාවගේ ඇසට ‘වැලි ගසන‘ ආකාරය ඔහුගේ කෘතිය තුළින් ඉතා ප්‍රශස්ථ අයුරින් විවරණය කරයි. එමෙන්ම ඉතා සංකීර්ණ විද්‍යාත්මක කාරණයක් වූ පැලෝපීය නාළය මිරිකීමෙන් ගැහැණියක වදභාවයට පත් කළ හැකිද යන්න පිලිබදව වූ සාකච්ඡාවන්ගෙන් යම් ප්‍රමාණයක්ද සිය කෘතිය තුළට ගෙන ඒම තුළින් එහි අගය වඩාත් වැඩි කර ගැනීමට හෙතෙම සමත් වේ.
මෙම කෘතිය තුළ වඩාත්ම විමර්ශනාත්මක කොටස වන්නේ පොලිස් නිලධාරීන් අතර හුවමාරු වූ ලිපි පිලිබදව සදහන් වන තුන් වන පරිච්ඡේදයයි. ‘පෑනයි පොතයි තියෙන්නේ අපේ අතේ‘ යන පොලීසියේ කුප්‍රකට කියමනද සදහන් කරමින්, බිම වැටී තිබූ කපුටු පිහාටුවක් කපුටන් සියගණනක් වමනය දැමූ මිනිසෙකු පිලිබද කථාව බවට පරිවර්ථනය කිරීමේ “පොලිස් මෙහෙයුම“ පිලිබදව කෘතියේ එන කොටස් සෑම නීතිගරුක පුරවැසියකු විසින්ම අධ්‍යයනය කොට තිබීම වැදගත්ය.
මෙම සටහන කෙටි කළ යුතු වන හෙයින් කතුවරයාගේ මෙම නිර්භීත පියවර පිලිබදව අපගේ ප්‍රසාදය යුතු අතර ජාතිවාදී, ආගම්වාදී විස බිහිකරන ගර්භාෂය එසේම පවතින හෙයින් නිමල් අබේසිංහ එයට තැබූ වෙඩිල්ල පිලිබදව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ගෙන යා හැකි නම් එය උණ්ඩ සියදහසක් බවට පත් කර ගැනීමට හැකි බවද සටහන් තබමි.
ඡායාරූප අන්තර් ජාලයෙන්