දර්ශනී අබේසිංහ
පරිපුර්ණ වශයෙන් නිවැරදි වේවා, නොවේවා, ලස්සනට හදවත් කියවන්න පුලුවන් අය, තමන්ගේ වේවා, අනුන්ගේ වේවා, ජීවිත අත්දැකීම් වචන කරනවා හරි අපූරුවට. ඒ ලියූ වටිනා ලියමන් මේ ලස්සන අවකාශයට මුදා හරිනවා තවත් කෙනෙකුට කියවන්න, ඉගෙන ගන්න, ගැලපේ නම් පිළිගන්න, නොගැලපේනම් මගහැර යන්න තියෙන පූර්ණ අයිතිවාසිකම ඔබටම පවරා දීලා. සමහර වෙලාවට ඒවා අපි අපිම බෙදාගන්නවා, තව කෙනෙකුට කියවන්න අවස්ථාවක් ඇති කිරීමට හෝ, පසුකාලීනව ආපසු බැලීමේ පරමාර්ථයෙන්.
මේ සයිබර් අවකාශය තුල ලියන, ( මං කියවන) බොහොම අය තම තමන් ලියන ඒ කරුණු කාරණා පිළිබඳව වැඩිදුර හැදෑරීම් ඇති, අදාල විෂය පිළිබඳව බොහොම අත්දැකීම් ඇති, මානසික සෞඛ්‍ය පිළිබඳව චිකිත්සක ප්‍රතිකාර පවා ලබා දෙන අයයි.
ඒ අයගේ ලියමන් තුල ගැබ්ව ඇති කරුණු කාරනා පුද්ගලානුබද්ධ විය හැකිය. එසේ හෙයින්ම ඒ ලියන ලද්දේ කා වෙනුවෙන්ද, කා ගැනද යන්න සමාජයට කිසිසේත්ම හඳුනාගත නොහැකි ලෙසට, එහෙත්, ඔබේ මගේ ජීවිත තියෙන තැනින් ඉහලට ඔසවා ගැනීම සඳහා ඉවහල් කර ගැනීමට මග පෙන්වීමක් ඔබට මට ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙන ලියා මුදාහරින ලද වටිනා ලිපි ය. එය වටහා ගැනීමට තරම් නුවණක් අපිට ඇති බව නියත වශයෙන්ම පූර්ව නිගමනයක් ඇතිවය.
මානව චරිත මොනවට විග්‍රහ වන එම ලිපි තව කෙනෙකුන් පෙලීමට, සමච්චලයට ලක් කිරීමට, රිදවීමට, බලාපොරොත්තුවෙන් මේ අවකාශය තුල යම් කෙනෙකුන් ඉලක්ක කර බෙදා හැරීම ඔබගේ අරමුණ වන්නේ නම්, ඔබගේ මානසික තත්ත්වය පිළිබඳව දෙවරක් සිතා බැලීම යුතු බව මගේ හැඟීමයි.
තවත් අවස්ථාවක කෙනෙකුට ඒ තම බිත්තියේ අලවා ගැනීමට තරම් ඉතාම වටිනා නමුත්, පවත්නා තත්ත්වයන් තුල එය බෙදාහැරීමෙන්, වැරදි වැටහීම්, සිත් රිදවීම් ඇතිවේයැයි පූර්වයෙන්ම අවබෝධ කර එසේ නොකරනවා විය හැක. ඒ අවබෝධය ඉතා උසස් මානසික තත්ත්වයක් බව, මානසික චිකිත්සාව පිළිබඳව කිසිවක්ම නොදන්නා කෙනෙකුට වුවද තේරුම්ගත හැකිය. එය උසස් මානව ධර්මයකි’යි ප්‍රකාශිත ය.
සියල්ලටම දෙපැත්තක් ඇති බව තරයේ අදහමි. සත්‍ය අනාවරණය වන තෙක්ම හෝ, අනාවරණය නොවනතාක්, ඔබ නිවැරදි බව සමාජ ගත කිරීමට, විවිධ වූ උපක්‍රම භාවිතා කල හැකිය. එහෙත්, හෘදය සාක්ෂිය ඒ සියල්ල ට පිළිතුරු සපයනවා ඇත.
මානව ධර්ම සුභාවිතය පිළිබඳව, ඔබට ලකුණු ලබා දීම කල හැක්කේ ඔබටම පමණි. ඔබ සිටින ස්ථානය පිළිබඳව ඔබට ම නිගමනයකට එළඹිය හැකිය. ඒ අනුව පවත්නා තත්ත්වය උසස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ඔබටම ගත හැකි බව මගේ දැකීමයි.
යමෙක්, නිෂ්ශබ්දව සියල්ල නිරීක්ෂණය කරන්නේ නම්, එතැන යමක් ඇති බව වටහා ගැනීමට ඔබට මට පුලුවන් විය යුතුය.
සමඟි සම්පන්න බව රැකිය යුතු බැවින් හා එකිනෙකා තුල ඝට්ටන ඇති නොවීමට වග බලා ගත යුතුය යන ගුණවත් පුරුදු ප්‍රගුණ කර ඇති නිසාම, සත්‍ය හෙළි කර කණ්ඩායම තුල තිබිය යුතු, එකමුතුකම බිඳ නොදැමීමේ අරමුණ පෙරදැරිව, අනෙකා මුනිවත රකිනවා විය හැකිය.
- නුවණැස භාවිතය, මානවයන් ට ප්‍රගුණ කල හැකි තත්ත්වයකි.ඒ අනුව හැඩ ගැසීම හෝ නොගැසීම ඔබේ භාවිතය යි.






