වේලුනු මල් පොකුරු දැකලා තියෙනවද?

ඒවා තාමත් ලස්සනයි. සුවඳයි. ඒ මල් පොකුරු අතගාන්න ලෝබයි. එහෙම කලාම වේලුණු මල් පෙති බිමට වැටෙයි කියලා දුකයි.
ඒත්,
මද සුළඟට, එක දෙකක් මල් පෙති දුඹුරු පාට මේසය මතට වැටිලා මවලා තියෙන රටාවත් හරි අපූරුයි.
ඒ සොඳුරු නිවස අසබඩින් ගලා යන මහවැලිය පිස හමා එන සුවඳ මදනල මේ මල් පොකුරු වල දැවටිලා,..
සීතලට දැනෙන සුවඳක් මල් මත තවරලා ගිහින්.
අවරගිරින් ඉර බැසගෙන යන වෙලාවට ජල තලය මත වැටුන ඉර එළිය මේ මල් මත වැටිලා දිළිසෙනවා දැක්කම මට හිතුනෙම..
මේ මල් කවදාවත්ම පරවෙන්නේ නෑ කියලමයි .
තාමත් ඒ මල් ජීව ගුණය රඳවගෙන,..
සුවඳට පිපී සැලෙනවා.
හදවතට සතුට ගෙන හැම දේම පණ තියෙන දේවල් විදියට මං දකින හින්ද මට එහෙම හිතෙනවා.
ඒ කොහොමද ඒ.
මල් දුන්න අය දුන්නේ හිතේ ආදරේ පුරවගෙන.
ඈ වෙනුවෙන් ආදරෙන්. ඒ ආදරේ කොයිතරම් කල් පණ ගැහෙනවද,
ඒ තාක්කල් ඒ මල් පිපී සුවඳට සැලෙනවා.
ලස්සන දුඹුරුපාට මල් පොකුරු පොකුරු,
ලස්සන ගේ පුරාවට ලස්සන ලස්සන අහුමුලු, මේස, පොළව පුරාවට අරක් ගෙන ඉන්නවා දැක්කම මට හිතුනෙම ඈ හරිම වාසනාවන්තියක්.
ආදරේ පුරවාගත් ආදරණීය හිත් ගොඩාක් ඈ වටා රැඳිලා ඇති.
ජීවිතයට ඊට වඩා මොනවද?
සතුටින් ඉන්න පුලුවන් නම් වියලී ගිය මල් මිටක් වුවත් ප්‍රමාණවත්.

මටත් මල් මිටක් අරගෙන එන්න.
මාත් ඒ මල් මිට මට පුලුවන් තරම් කල් මං ළඟම තියාගෙන ඉන්නවා.
පරව ගිය මුදු ආදරේ තවරාගත්ත මල් මිට හැමදාම සුවඳට සැලෙනවා සත්තයි.
වියලී පරව සැලී ගියත් ඒ ආදරේ මතක තියෙන තුරා ඒ මල් සුවඳයි.
ලස්සනයි.

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 2

JR ව ඉක්මවා ඉන්දියාවට යටත් වීමට අනුර සූදානම්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348