ළමා කතාවක් මත් නොවේ

පුංචිම ඉස්කෝලෙට ගිය ගංගාදරී ලොකු ඉස්කෝලෙට ආව පලවෙනි දවසෙම කුළෑටි ගති හින්දම කා එක්ක වත් කතා නැතුව පාඩුවේ හිටියා. පහේ ශිෂ්‍යත්වය සමත් වෙන්න ලකුණු දෙකක් මෙහායින් නතර වෙන්න වුණ හින්ද හොදම යාලුවා එක්ක පුෂ්පදානෙට යන සිහිනය බොඳ වුණාම ගංගා යාලුවා නැතුව පුංචි ඉස්කෝලෙ තනියම ඉන්න වෙන එක ගැන හිතේ දුකෙන් හිටියා.

දහම් පාසලේ යාලුවෝ ලොකු ඉස්කෝල වලට ලමයි ගන්න විභාගයක් ගැන කතා වුණා ඇහූණම ඒ විස්තරය හොඳට හිතට දාගෙන ගෙදර ආපු ගමන්ම, ස්වර්ණමාලි, හයිස්කූල් යන්න ඇඩ්මිෂන් ටෙස්ට් එකට පෙනී සිටීම සඳහා ඇප්ලිකේෂන් ගෙනත් දෙන්න කියල අම්මට කිව්වා.

ඒ වන විට වයස අවුරුදු 11 පමණක් වුණාට ගංගා අවට පරිසරය තුල සිදුවෙන සිදුවීම් සඳහා හොඳ අවධානය පවත්වා ගත්ත, තම වයසට වඩා මුහුකුරා ගිය සිතුම් පැතුම් ඇති කුඩා කෙල්ලක වූණා

ඉහල අධ්‍යාපන මට්ටමක් නැති දෙමව්පියන් හා කුඩා සහෝදරයන් දෙදෙනෙකුට වැඩිමහල් සහෝදරිය වූ ගංගා සිය පවුල තුල කටයුතු කලේ වයසින් මුහුකුරා ගිය කෙනෙකු ලෙසිනි.

එසේ හෙයින්ම, දෙමාපියන් අතින් සිදුවිය යුතු සමහර දේවල්, වයස අවුරුදු එකොළහක දැරිය විසින් කරන්නට යෙදීම පුදුමයට කරුණක් නොව සාමාන්‍ය සංසිද්ධියක් ම විය.

නුවර උසස් බාලිකාව ට සිසුවියන් ඇතුලත් කර ගැනීමේ විභාගය සඳහා එවා තිබු ලිපිය පාරේ ඉන්න අයෙක් විසින් ලබාගෙන දවස් කීපයකට පස්සේ ගෙදරට එවලා තිබුණා. ඒ වෙනකොට විභාගය පවත්වා අවසන් වෙලා තිබුණා. ගංගා ට ගොඩාක් දුක හිතුණා. ඒ දුක දැක්ක ගංගාගේ අම්මා උසස් බාලිකාව ට ගොස් විදුහල්පතිනිය හමුවී සිදුවූ දෙය පවසා යම් කිසි සාධාරණයක් කරන ලෙස ඉල්ලා සිටියා.
එය ප්‍රතික්ෂේප වුණා. වැඩි උගත් කමක් නැති අම්මාගේ ඒ ඉදිරිපත්වීම, ගංගාට අදටත් පුදුමයක්.

ගංගා ස්වර්ණමාලි යේ විභාගය සමත් වෙලා ඊට ඇතුලත් වුණා.

කුඩා දැරිය වසරින් වසර, ඉහළ පන්ති වලට සමත් වෙවී ආවා. ගමේ ඉස්කෝලෙන් නගරේ ඉස්කෝලෙට ආව ගංගාදරී හැමදාම පන්තියේ තූන්වෙනියා. පලවෙනියා වෙන්න බැරි එකම හේතුව උනේ ඉංග්‍රීසි විෂයට පැවති දුර්වලතාවය.

ලොකු ලොකු තානාන්තර දරන දෙමව්පියන්ගේ දරුවන් අතර, ඉගෙනීමට දක්ෂ වුනත්, ගංගාදරී කොන් වුණා. ඒ නිසාම ඈ නිතර පොතපත කියවීමට යොමු වුණා.

ආප්ප හදලා කඩේට විකුණලා ලැබෙන සොච්චම් මුදලින් ගංගාදරීගේ අම්මා ගංගාදරීගේ අවශ්‍යතා කෙසේ හො ඉටුකර දෙන්න උත්සාහ කලා. උදේ ගෙදරින් තියෙන දෙයක් කාලා යන ගංගාට ඉස්කෝලේ විවේක කාලයේදී කන්න කෑම පෙට්ටියක් දෙන එක අම්මාට අපහසු කාර්යයක් වුණා. ඒත් අම්මා අල හීනියට කපලා තෙල් දාලා ලස්සන කහපාටට පාන් පෙති හතරක් දාපු කෑම පෙට්ටියක් හැමදාම දුන්නා. දවසක්, පාන් පෙති මැදට උයපු කොස් දාලා කෑම පෙට්ටියක් අම්මා දාලා තිබුණා. ඒක කනකොට දැකපු පිටුපස පේලි වල හිටපු ලමයි ගංගාට උසුලු විසුලු කලා. ගංගා ඉතාම ලැජ්ජාව ට අපහසුතාවයට පත් කලා.

ගංගාදරී ලොකු ළමයෙක් වුණ දවසේ ගංගාදරීගේ කණට කරාබු දෙකක් වැටුනේ අමාරුවෙන් අම්මා එකතු කල සල්ලි වලින්. දවසක් දා කණේ කරාඹුව නැති බව ගංගාදරී දැනගත්තේ ඉස්කෝලෙදී. ගංගා හඬා වැටුනේ හරියට ලෝකෙම නැති වුණා වගේ. කවුරුවත් දැනගෙන හිටියේ නෑ ගංගා මේ තරමට හඬන්නට හේතුව. ගංගාවේ කඳුළු වලට හේතුව වුනේ අම්මා ඒක අරන් දෙන්න කොයිතරම් මහන්සි වුණාද කියලා දන්න නීසයි. ඒ කරාඹුව, ගංගා රෑට නිදියන තැන තිබිලා අම්මා ඉස්කෝලෙට අරගෙන විගසින් ආවේ කරාඹුව නැති බව දැනගත්තම කෙල්ලට දුක හිතෙයි කියලා හිතලමයි.

ගංගා පුංචිම කාලේ නිදා ගත්තේ දෙකට පලපු ගෝනි කඩමාල්ලක. ඊටත් පස්සේ කාලෙක ලෑලි විතරක් තිබුණ පොඩි ඇඳක.

පාඩම් කලේ උසස් පෙලට එනකම් කුප්පි ලාම්පුවෙන්. ටික කාලෙකට පස්සේ ගෙදරට චිමිනි ලාම්පුවක් ආවා. පුංචිම ගෙපැලක ජීවත් වුන ගංගාගේ ගෙදර සිමෙන්ති ගලින් කාමර දෙකක් එක්ක බැඳෙන කාලේ එනකොට ගංගා උසස් පෙල පන්තියේ. ගෙදරට විදුලිය ගත්තේ ඒ කාලේ.

ගංගා ටික ටික ලොකු වෙනකොට, පොඩ්ඩ පොඩ්ඩ යාලු මිත්‍ර සමාගම් හැදුනා. ගංගා සමාජ ඇසුරට පොඩි බියක් දැක්වුවා. සමාජය ඉදිරියේ පෙනී හීටින්නට බැරි චකිතයකින් ඈ මුලු ගැන්වුණා. ඒත් ඈ ටික කාලයකින් විභාග සමත් වෙලා රැකියාවකට ගියා.
සරසවි යාම පිළිබඳව සිහිනයක් වත් ඈ සිතේ තිබුණේ නෑ. හේතුව වුනේම ගෙදර තිබුණ අගහිඟකම්.

ඉතාම පුංචි තැනකින් ආවට, නැණ නුවණ ඇති ගංගා ගුණදම් ඇතිව හැදුනා වැඩුනා. ඉතාම ප්‍රිය මනාප ගති පැවතුම් හා රූ සපුවක් ඈති තරුණියක ලෙස හැදුන වැඩුන ඈ ඉතාමත් ආදරණීය ස්වාමි පුරුෂයෙකු ගේ ආදරණීය බිරිඳ බවට පත්වුණා.

ලොව කාන්තාවකට ලද හැකි ඉතාමත් සුවදායක ජීවිතයක් ඈට උරුම වුවා.

අද ඈ ඉතාම සුඛිත මුදිත ව ජීවත් වෙනවා. වාසනාවන්ත දරු පැටව් ලැබ ආදරණීය මවකගේ භූමිකාවට පණ දෙනවා.

යහපත් ආකල්ප වර්ධනය, යහපත් චර්යා ධර්ම, උගත් කම, ගෑණු ළමයෙකුගේ වටිනාකම හුඟාක් ඉහළ දමනවා.

කතා කරන වචනයක පවා හැදියාව ලෝකයට පෙන්නුම් කරනවා.

සමාජය තුල ප්‍රශංසාව ට පත්වෙන ඈට විශ්වයේ යහපත් ආශීර්වාද නිරන්තරයෙන් ලැබෙනවා. ආකර්ෂණය වෙනවා.

යහපත් මිනිසුන්ගේ ඇසුර ලැබී ඈත ආකාශයේ නොදැවී දැල්වෙන තාරකාවක් සේ ජීවිත ගමනේ දී ප්‍රභාමත් ව දිලෙනවා.

ගල් මුල් අතරින් රිංගා මහ මුහුද තෙක් ඇදෙන ගංගාව අතිශය සුන්දරයි. ගංගාදරී ගේ ජීවිතයත් ඒ වගේ.

More From Author

අශ්ව කඩුලූ

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348