හැඟුම් අප සමඟ මිය යා යුතු ය………..

මනුස්ස හිතක් කියන්නෙම රහස් ගුහාවක්. සමහර රහස් අපිව ජීවත් කරවන්න නිහඬවම පණ දෙනවා. විටින් විට හිතේ ඉහළට මතු වෙවී ඒවා ඒකාකාරී ජීවිතය ඇතුළාන්තයෙන් අලුත් කරනවා.
මිනිස්සු මොන තරම් තමන්ගේ හිතේ තියෙන දේවල් තව විශ්වාසවන්තයෙකුට කීවාම නිදහසක් දැනෙනවා කීවත් අපි හිතාමතා හෝ නොහිතා නොකියන කොටසක් අපි ළඟ තියෙනවා .
සමහර සබඳතා ළඟ අපට දැනුන හැඟීම, සමහර හමුවීම් ළඟ අපට ජීවිතයේ කිසිදාක වෙන තැනක නොදැනුන උද්දාමය, ඇස් එකට ගැටුන මොහොතක මුළු සංසාරෙම දැකලා හුරු ලෙස ඇස් හතරක් පැටලැවී ගැට ගැහුණු තත්පරවල දිග, පෙරුම් පුරාගෙන තමන්ට හිමි අනෙකා පපුවට තුරුලු උණ මොහොතක දැනුණු අමා සුවමය සැනසීම …..

එයින් පසු මොන තරම් මිනිස් රූ පහු කළත් හිතින් කිසිදා නොමැකෙනා එක් රුවක හෙන ගහන්නා වැනි විටින් විට මතුව එන මතකය…..
කොතරම් චෝදනා කළ හැකි වුවත් එකී ආදරණීය මිනිස් රුවට වරදක් කියන්න ජීවිත කාලයෙන් එක මොහොතක්වත් වචන ගලා නොඑනා බරපතළ මනුස්ස බන්ධනය……
මෙවන් දෑ කිසි දාක තව එකෙකු ළඟ පොච්චාරණය කළ හැකි හැඟීම් නොවෙයි.
ජීවිත කාලෙ ම එකට ඉන්න පෙරුම් පිරුව සමහර සබඳතා අවාරෙට බිඳ වැටෙද්දී කිසිදා යළි හමු නොවන්න වෙන්ව යන විටදී දැනෙන තට්ට තනිකම, තමන්ගේ ඇතුළෙ හිටිය ප්‍රාණවත්ම මිනිස් ආත්මය මිය ගියා යැයි හැඟුන මොහොත …
මේවා කිසිදා තවෙකෙකුට වචන කළ හැකි ද ?
මොකද, වචන හා හැඟුම් අතර ඇති දුර මැනීමට මෙතුවක් කිසිම මැනුම් ඒකකයක් ගෙන දැක්විය නොහැකි තරම් මිනිස් හැඟුම් බරෙන් වැඩි ම නිසා.
ඉතින් සමහර හැඟුම් වචන කරන්න යාම හිස් උත්සාහයක් විතරයි. වචනයෙන් සිදුවීමක් කිව හැකි වුවත් ඒ සිදුවීම ඇතුළේ අත්වින්ද අප්‍රමාණ හැඟුම්වල දිග, පළල, බර කිසිදා ගණනය කළ නොහැකියි.
ඒ හැඟුම් වරෙක අපව ඇතුළාන්තයෙන් මරා දමයි. වරෙක අපට ජීවත් වන්න පණ දෙයි . ඒවා කොතරම් ප්‍රබල ද යත් මේ හැඟුම් දිනෙක අපගේ කය මියෙන දාක නිහඬව ම අප සමග මිය යා යුතු ය. භෞතික කයට වඩා අපමණ බර හැඟුම් අප දරාගෙන හිටි බව කිසිදා කිසිවෙකු නොදැන ගනු ඇත. ඒවා කිසි දින කිසිවෙකුට කිව යුතු ද නැත.

More From Author

JR ව ඉක්මවා ඉන්දියාවට යටත් වීමට අනුර සූදානම්

 ජන්මයට වඩා  පුරුද්ද ලොකුයි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348