සුනිල් සරත් අතින් ඔප වූ නූතන සිංහල ගීතය….

දර්ශන මේදිස්
11 මාර්තු 2025

  • අප මෙහි පලකරන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමීපව පරිශීලනය කරන පාඨකයෙකු විසින් එවන ලද ලිපියකි.


නොබෝදා උපන් දිනය යෙදී තිබුනු සුනිල් සරත් පෙරේරා වනාහි නූතන සිංහල ගීත සාහිත්‍යයෙහි උන්නතිය උදෙසා අමිල මෙහෙවරක් ඉටු කල ප්‍රතිභාපූර්න කවීන්ද්‍රයෙකි. වසරකට පෙර, එනම්, අසූ වියට පා තැබූ දා සිට ඔහුට උපහාර පිනිස සාහිත්‍ය සම්මන්ත්‍රණ, මාධ්‍ය සංවාද හා විචාර මන්ඩප ආදී නොයෙක් වැඩසටහන් සංවිධානය කෙරුනු බැව් ප්‍රකට කරුනකි. එහෙත්, ඒ සියල්ලම පාහේ කවියාගේ සහභාගිත්වයෙන් පැවති හෙයින් දෝ ඔහුගේ නිර්මාණ අලලා ගත් දෙසුම් හා සාකච්ඡා හුදු වර්ණනා මුඛයෙන් ඔබ්බට ගිය බවක් නොපෙනුනි. එහෙයින්, මේ ප්‍රවීන කලාකරුට දීඝායු පතමින් ඔහුගේ කලාව වඩා විස්තීර්නවද, තුලනාත්මකව ද විමසා බැලීම මේ ලිපියෙහි අරමුණයි.
ගේය පද රචකයෙකු ලෙස සුනිල් සරත් පෙරේරා කල එලි බටුයේ කරුනාරත්න අබේසේකරගේ “ළමා මන්ඩපය” (1965) නමැති සුප්‍රකට රේඩියෝ වැඩසටහන තුලිනි. ඒ සඳහා ඔහු ලියූ “මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්” නමැති අපූරු තේමා ගීය සදා නොමැකෙන සිහිවටනයකි. ඔහුගේ මනරම් ගී පදමාලා බහුතරය රසිකයන් අතරට පැමිනියේ ගුවන්විදුලි සරල ගී හැටියට ය. අඩ සියවසක් පුරා දහසකට ආසන්න ගීත සංඛ්‍යාවක් සඳහා දායක වී ඇති ඔහුගේ සාහිත්‍යක සම්ප්‍රධායට පොදුවේ මානව වර්ගයා ද, වෙසෙසා මෙරට ජන සමාජය දමුහුන දෙන ජීවන තතු – ඔවුන්ගේ හැඟීම් හා මනෝභාව ද, ඔවුන් අත්විඳින සාපේක්ශ සුඛ දුක්ඛද විෂය වී ඇත.
සුනිල් සරත්ගේ ගී රචනා අතරින් වඩා සාර්ථක වනුයේත් නිතැතින් සිහියට නැඟෙනුයේත් ස්වභාව සෞන්දර්යය හා ප්‍රේමය අලලා ගත් නිර්මාන සමූහය යි. “කන්දෙන් ලන්දෙන්”, “අනෝතත්ත විල”, “පෙර දිනයෙක මා”, “ඔබ මා සමඟ”,“ඈත එපිට ගම්මානෙන්”,“දොං තරිකිට”, “සැන්දෑ අහසේ”, “සැන්දෑ කළුවර”, “යසෝදරා”,“මනමාල ගිරව්”, “ඔබ දැකුමෙන්”, “ඇය යන්න ගියා”යනාදී සුමියුරු ගීත ඊට දෙස් දෙයි. විටෙක චිරන්තන පද්‍ය සම්ප්‍රධායෙන් ද, විටෙක සමකාලීන කවි සමයෙන් ද, විටෙක ගැමි ජන වහරින් ද ප්‍රතිශ්ඨාව ලබමින් තනා ගත් ශ්‍රව්‍ය ගෝචර වූත් සුගායනීය වූත් රමනීය පදවැල් ඔස්සේ ඔහු සමාජ යථාර්ථය කලාත්මකව ඥානනය කිරීමෙහි නිරත විය. ප්‍රස්තුත ගී ප්‍රබන්ධයන්හි දී ඔහු විසින් තැනුනු රූපක නැවුම්ය, ධ්වනිපූර්නය. සංක්ශිප්තය. ඔහුගේ ම බසින් කියතොත් ඒ වනාහි “සාහිත්‍යක ලඝු ලේඛනය” යි. එසේ ම, ඔහුගේ ගීතානුභූති සිත් කාවදින සුලුය, නිර්ව්‍යාජය. ඔහුගේ කවිබස මටසිලිටිය. හුදු වාච්‍යාර්ථ ඉක්මවා යමින් ව්‍යංගාර්ථ නංවන එම ගී මගින් රසිකයාගේ භාවමන්ඩලය ශික්ශිත ද, ඥෙය මන්ඩලය පෘථුල ද කෙරේ.

“කෝමළ ගමනින් කෝල හැඟුම් හළ
කාල ගිරෙන් සිතිවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා”
(“අනෝතත්ත විල”, තනුව: වික්ටර් දලුගම,
ගැයුම:අමරදේව හා අමිතා වැදිසිංහ)

“පෑල දොරින් විත් මතකය පුබුදයි
මහලු වියට පත් වසන්ත සඳවත…
ගම සතපාලන නින්ද ඇදෙන විට
අන්දකාර කඳු වැටියෙන් මෙපිටට”
(“ඔබ දැකුමෙන්”, තනුව: ඩන්ස්ටන් ද සිල්වා,
ගැයුම:සෝමතිලක ජයමහ)

“උඩහ ගෙදර රං එතනා
දෝතට දිය බොයි
රත්තරනින් ගිගිරි වළලු
දෑත ම රඟ දෙයි”
(තනුව: අමරදේව, ගැයුම: අතුල සෝමසිරි)

රචකයා ස්වභාව සෞන්දර්යය කෙරෙහි තියුණු ලෙස සවිඥානක වෙමින්, එය ඥානනය කරමින්, ඒ මත සිය සාපේක්ශ ස්වාමිත්වය පතුරුවමින් ඊට කලාත්මක ප්‍රකාශන ලබාදුනි. එසේ ම, එම පදමාලාවන්ට අත්‍යන්තයෙන් උචිත කන්කලු තනු නිර්මානය කල සංගීතඥයෝ ද, සිය සුමධුර කටහඬින් ඊට දායක වූ සියලු ස්ත්‍රී පුරුෂ ගයුවෝ ද එහි පංගුකරුවෝ වෙති.

“රන් දේදුනු නමනමා
රන් බරණින් සැරසිලා
දුල් නිලඹර සැරිසරා
හිරුඑතසිතු සනසලා”
(“දොං තරිකිට”, තනුව: දයාරත්න රනතුංග
ගැයුම: අමරා රනතුංග හා අමරදේව)

සුනිල් සරත්ගේ පෙම් ගී අතිශය හෘදයංගම ය. එහිලා ඔහු සිය ආත්මීය අභිලාශ උත්කර්ශයට නංවයි. ගීතෝක්ති නිර්මානය කිරීමෙහි දී ද, පද සංයෝජනයෙහි දී ද ඔහු දක්වන්නේ නිසඟ කුසලතාවකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ, මඩවල රත්නායකගේ හා මහගම සේකරගේ ආභාසය එහිලා ඔහුට නොමඳ පිටිවහලක් වී ඇති බැව් පෙනේ. එසේ ම, නව ආකෘති ඔප් නැංවෙනුයේ සම්භාව්‍ය සිංහල පද්‍ය පිලිබඳ පරිචයෙහි හා ඉන් ලද සංයමයෙහි ආලෝකයෙනි:

“පුරා උදුළ ඇගෙ වත සොමිපුල්ලා
සරා සඳක් සේ සිත බැඳි ලොල්ලා
නුරා බසක් දී හද එළි දල්වා
පුරා බඳුන් මී සතුට ගෙනැල්ලා”
(“කන්දෙන් ලන්දෙන්”, තනුව හා ගැයුම: අමරදේව)

“කැල්මෙනා සඳසෙ සදිසි ඇයගෙ වත මනා
ගමනිනා මසිත බැඳුනි තිසර රූ මෙනා
ළඟ එනා සීත දුරුතු මහට පෙර දිනා
දෙනු මැනා බහට බහක් මසිත පොබයනා”
(තනුව: දයාරත්න රනතුංග,
ගැයුම: අමරා රනතුංග හා දයාරත්න රනතුංග)

සුනිල් සරත්ගේ නිර්මාන කෙරෙන් ප්‍රකට වන සමාජ දෘශ්ටිය කෙරෙහි අවධානය යොමු කරන කල්හි, මුලින් ම සිහිපත් වනුයේ “රා රා රා බොම්බියේ” නමැති ජනප්‍රිය ගීයයි. විසිවැනි සියවස මුල දී, ගාල්ලට නුදුරු ඌරගහ ප්‍රදේශයේ කඳවුරු ලා සිටි බි්‍රතාන්‍ය හමුදා බලඇනියක් විසින් පෘතුගීසි බයිලාවකට අනුව ගැයුනු ඉංග්‍රීසි ප්‍රයාන ගීයකතාලය (තා රා රා බූම් ඩි යේ) අනුකරනයෙන් තනා ගැනුනු ප්‍රාදේශීය විකටගී ඛන්ඩයක් පැවති බව ආර්. එල්. බ්‍රෝහියර් (Seeing Ceylon) සඳහන් කරයි:

“තා රා රා බොන්ඩියේ
ඌරාගස් මංහන්දියේසුද්දෝ එනවා ජල්ලියේ
දොර වහපන්කෝ නංගියේ”

මෙහි අන්තර්ගත ග්‍රාම්‍ය සෝපාහාසය සුපැහැදිලි ය. විජිතවාදීන්, වෙසෙසා යුද භටයන් විසින් සිදු කෙරුනු ගම්බද ලිංගික අපරාධයන්හි පරිමාව සැලකිල්ලට ගත් විට, ගැමි වහරින් ම කියතොත්, මෙය “ඌරු මාලු ඌරාගේ ම පිටේ තබා කැපීමකි.” ප්‍රස්තුත ගීයට පාදක වී ඇත්තේ “දොර නාරින් අමල්බිසෝ” වර්ගයේ යට කී ගී ඛන්ඩය යි.

“රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
ජපන් මැන්ඩලින් නදකර
අවුරුදු එයි හංදියේ
උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එනඑන බාසේ…
ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ…”
(තනුව: රෝහන වීරසිංහ, ගැයුම: සුනිල් එදිරිසිංහ)

පුරාන ගොවිජන අගහස් මඟුල ගසාකමින් වානිජ රකුසා සංකර ජීවන රටාව ද රැගෙන ගම් වැදීම සුනිල් සරත්ගේ ගීයෙන් සංකේතවත් වෙයි. මව්බස කෙරෙහි පෘතුගීසි හා ඉංග්‍රීසි බලපෑමෙහි ‘විපාකයට’ අමතරව අභිනවයෙන් ප්‍රචලිත වන විදේශීය සංස්කෘතිකාංග (ගීතය ලියැවුනේ ජපන් ධනවතුන්ගේ අනුග්‍රහයෙන් මෙරට තැනතැන පන්සල් හා පෙර පාසල් බිහි වෙමින් පැවති අවදියෙහි ය) ගැන ද ඉඟි කරමින් අනාගත පරපුරට හේ අනතුරු අඟවයි. එහෙත්, ජගත් සංස්කෘතිය කෙරෙහි පොදුවේ අවඥාසහගත ආකල්පයක් ගැබ් වන බැවින් ගීයේ වටිනාකම බාල වී ඇත. ඔහුගේ “සිං සිං ඤෝරේ” ගීය ද මෙකී කෝවෙහිම වැක්කෙරී ඇත. මෙයට පටහැනිව, ඉතිහාසය මුලුල්ලේ ලාංකේය ජනයා අන්‍ය ජාතීන්ගේ සංස්කෘතිය උකහා ගැනුමට නිතර ම සූදානම්ව සිටි වග නොරහසකි. උත්ප්‍රාසාත්මකව, ගීත රචකයාගේ වාසගම මත් පෘතුගීසි නාමයකි!

සුනිල් සරත් හැත්තෑව දශකයෙහි සමගි පෙරමුනු ආන්ඩුවට ආවඩමින් ගී ලියූ බවද ප්‍රකට කරුනකි. ඔහු පමනක් නොව, බොහෝ සුලු ධනේශ්වර කලාකරුවෝ එම යුගය සෞභාග්‍යයේ උදාව ලෙස සැලකූහ. සුනිල් ආරියරත්න හා නන්දා මාලනී එය ගුනාංගීකරනය කලේ “අප වසනා මේ සිංහල දීපය කේතුමතී නම් රාජධානිය යි” යනුවෙනි. මෙහි අක්මුල් පවතිනුයේ, කොල්වින් ආර්. ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ශය (බී.එල්.පී.අයි.) සමාජවාදී සංස්කෘතියක් උදෙසා ඉන්දු උපමහාද්වීපය තුල ගෙනගිය සාධනීය වූත් තීරනාත්මක වූත් අරගලය තුල ය. එහෙත්, පැබ්ලෝවාදයේ බලපෑම යටතේඑම පක්ශය ලංකා සමසමාජ පක්ශය තුල දිය කර හැරීමෙහි අනිටු ඵලයක් වසයෙන් කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනතාව දේශපාලනිකව මංමුලා වූ අතර මෙරට කලාකරුවෝ බහුතරය සම්ප්‍රදායික වාමාංශය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ශය සමඟ සන්ධානගතව මවාපාන ලද ව්‍යාජ සමාජවාදය කෙරෙහි ආසක්ත වූහ. කලා ක්ශේත්‍රය තුල ස්ටැලින්වාදී ජනතා ලේඛක පෙරමුනේ ප්‍රතිගාමී “සමාජවාදී යථාර්ථවාදය” ආධිපත්‍යය ඉසිලූ අතර එහි ප්‍රතිඵලය වූයේ “වගා සංග්‍රාමය” ප්‍රමුඛ අභිනව ආන්ඩුවේ පිලිවෙත් ඔජවඩවන කලාකෘති බිහි වීම යි. සුනිල් සරත් අතින් එවක ලියැවුනු ගී පදමාලා සමහරක් මෙසේ ය.

“සහස කිරණ රන් අහස් ගැබින් එන
නව යුගයක නව මං පෑදී ඇත”
“උදා වුණා හිරු උදාන ගීයෙන්
දෑසේ නිදිගැට මුදා අවදි වෙමු”
“නව ජනරජයක
අබිසෙස් ලැබගෙන
මගෙ රට මගෙ දැය
පෙරට ඇදේ”
“අළුත් ඉරක් අවුත් තිබේ
අහස් කුසේ පිපී
මෙයයි අපේ යුගේ කියයි
යොවුන්ළියක් ඇදී”
“නව යුගයක අරුණ සිනාසේ
ගමින් ගමට සතුට උදාවේ”

යථොක්ත ගී තුලින් අභිප්‍රේත ප්‍රාර්ථනා වැඩි කල් නොයා බිඳ වැටී ගිය අයුරු අපි නුදුටුවෙමුද? එකී අහස් මාලිගා සුනුවිසුනු වූයේ වඩා අඳුරු යුගයකට මං පාදාලමිනි. ඒ හෝ මේ ධනේශ්වර පාලන තන්ත්‍රයක් යටතේ අපේක්ශිත නවයුගය උදා නොවන බව කල්තබා වටහාගැනුමට සුනිල් සරත් අපොහොසත් විය. එහෙයින්, ඔහුගේ පන්ති ආකල්ප ගැබ් කොට ගත් එම ගී, හරය වසයෙන් ගත් කල නිසරු ප්‍රලාප බවට පත් වීම අරුමයක් නොවේ. අනෙක් අතට, ඉහල පෙලේ පරිපාලකයෙකු හැටියට තම වෘත්තීය ජීවිතය පුරා යම්යම් රාජ්‍ය ව්‍යාපෘති සඳහා දායක වීමට ද ඔහුට සිදු විය.

“සිරි සමනොළ සිරසින් මුදුන් වන
දහසක් අපගේ ප්‍රාර්ථනා
මහාවැලිය මහ ගඟ උතුරා යන
සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා”

එහෙත්, දෘඩතර පරිසරවේදියෙකු ද වන ඔහුගේ ගී තුලින් වහනය වන පරිසර හිතකාමී ආකල්ප ධනේශ්වර ආන්ඩු විසින් හුදෙක් ආයෝජකයන්ගේ ලාභ රේට්ටු තකා සිදු කෙරෙන පරිසර නාශක ක්‍රියාකලාපය (එක්සත් ජාතික පක්ශ ආන්ඩුවේ ඊනියා “කඩිනම් මහවැලිය” මගින් මෙය කුලුගැන්විනි) සමඟ ගැටීම අනිවාර්ය විය. මිනිසා සහ පරිසරය අතර පවතින සමවාය සබඳතාව හිතුමනාපයට බිඳ දැමීම ඔහුට ඉවසුම් නොදේ. වස්ගමු වනෝද්‍යානය තුල දී, ‘විප්‍රයෝගයක’ වේශයෙන් ගීයට පෙරැලෙනුයේ එම වේදනාකර අත්දැකීම නොවිය හැකි ද? මෙහි දී, සුනිල් සරත් නමැති ප්‍රචාරකවාදියාට එරෙහිව සුනිල් සරත් නමැති අව්‍යාජ කලාකරු නැඟී සිටී.

“ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා”
(තනුව: එච්. එම්. ජයවර්ධන, ගැයුම: අමරසිරි පීරිස්)

“ඔබ මා සමඟ” යන අතීතකාමී, පශ්චාත්තාපී ගීතයෙහි අනුභූතිය ද සොබා සෞන්දර්යයයි. සමනන්තරව, එක ම ආරම්මනය විශයෙහි ඉඳුරා වෙනස් පරිකල්පනරූප මැවීමෙහිලා රචකයාගේ අති මහත් කුසලතාව කොතරම් ද යත් පූර්වොක්ත රචනාව සේ ම මෙකී ගීය තුලින් ද ඉස්මතු වන ප්‍රේමය නමැති ධ්වනිතාර්ථය සහෘදයාට වඩා සමීපස්ථ ය:

“ඔබමා සමඟ අතිනත ගන්නා දවස
මේ මහකන්ද බැළුවා හිඳ ගම සිරස
ඔබමා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහකන්ද බැලුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදුනෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාං දමයි
මතකයෙ සුවඳ තව මත් මා සිතට දැනෙයි”
(තනුව: රෝහන වීරසිංහ, ගැයුම: අමරදේව)

ප්‍රේමවන්තිය පිටුපෑ නමුදු ගමට උඩින් පෙනෙන මහ කන්ද පෙර ලෙස ම, එතැන ම, අචලව හා නොවෙනස්ව පවතී. කන්ද යනු කාලය හඟවන සංකේතයක් මතු නොව හෘදය සාක්ශියේ ප්‍රකාශනයක් ද වෙයි. පරාජිතයා දෙස කන්ද බැලුම් හෙලනුයේ හොරැහිනි. ගීයේ අපූර්වත්වය රැඳිලා තිබෙනුයේ මෙතැන ය. මේ තනි වචනය මගින් මනෝභාව රැසක් අත්ථුද්ධාරිත ය: ශෝකය, අනුකම්පාව, පාලුව, තනිකම, සාංකාව, ලජ්ජාව හා පසුතැවීම; සමහර විට, නොරිස්සුම, සරදම, උපහාසය නැතිනම් අවඥාව වුව විය හැකි ය. ඒවා සාධාරනීකරනය වනුයේ – වෙනත් විදිහකට කියතොත්, “හොර බැල්මෙහි” නියම අරුත තීන්දු වනුයේ, පෙම්වතුන් යුවල අතර පැවතියේ කිනම් බැඳීමක් ද, ඔවුන්ගේ ප්‍රේමය බිඳී ගියේ කවර තතු යටතේ ද යන කාරනා මත ය. උචිත පරිදි, කථකයා ඒ තොරතුරු සඟවා තබයි. මේ නොකියන තතු පොදු අත්දැකීමක් බවට පත් වී සහෘදයා තුල බහුවිධ හැඟීම්වලියක් ජනිත කෙරේ.

ඔහුගේ ඇතැම් රචනා තුල අඩංගු සමාජ කොන්දේසි හා ඒවා කවර පන්තියක වර්ධනය වෙනුවෙන් පෙනී සිටීද යන වග සැකෙවින් විමසා බලමු.

“ඉහලට යන පලංචියක
අහස් ගව්ව දකින ඔබට
අඳුරු පතල් දෝනා වල
ධන නිධාන සොයන ඔබට
තේ වතුවල දළු නෙළලා
රන් කහවනු ගෙනෙන ඔබට
නැණ නුවණින් කන්තෝරුවෙ
ශ්‍රම ශක්තිය පුදන ඔබට
වේවා සිත් සතුට පිරුණු
සුබ දවසක් වාසනා!”
(තනුව: අමරදේව, ගැයුම: ටී. එම්. ජයරත්න ඇතුලු පිරිස)

ධනේශ්වර සූරාකෑම යටතේ, පරාරෝපිත කම්කරුවාට ශ්‍රමය වැගිරීම යනු හුදෙක් වධ බන්ධනයකි. වැඩ කරන හැම දිනක්ම ඔහුට මූසල දිනයකි. එහෙයින්, ශ්‍රම උත්කර්ශය ප්‍රතිගාමී පන්ති වුවමනා නියෝජනය කරයි. සමාජ ප්‍රශ්න විශයබද්ධව නොදකින ගීයක බොල් බව වටහා ගැනුමට කම්කරු පන්තික සහෘදයෙකුට හසල දැනුමක් අවශ්‍ය නැත.

“දෙදහස් වසරෙක සිංහල උරුමය
පණ ගැන්වී යස ඉසුරු සැදේ”
“විරුවන් දිනු රට පඬුවන් ලද රට
මේ සිංහල රට බාර යි පුතු හට”
“අප පෙරපිනකට ඉපදුණ
රට සිරිලක් දීපය යි…
ජාතිය එක්සත් කරවන
ජය කෙත මෙම භූමිය යි”

දේශාභිමානය හා ජාතිකානුරාගය දනවන යථොක්ත ගීධනේශ්වර ජාතිකවාදය ප්‍රකට කරමින් ජාතික රාජ්‍යයෙහි පැවැත්ම තහවුරු කරයි. ඊනියා ජාතික රාජ්‍යයක අවශ්‍යතාව පවතිනුයේ ධනේශ්වරයට පමනි. ධනපති පන්ති පාලනය යටතේ දේශවාත්සල්‍යය සහ ජාතිමාමකත්වය යනු කම්කරු පන්තියට පරම වසයෙන් සතුරු සංකල්ප වේ. ඒවා, අවසන් විග්‍රහයේ දී, ජාත්‍යොන්මාදය කරා තල්ලු වී යයි. ධනේශ්වර ඒකීය රාජ්‍යය විසින් මෙබඳු ගී උපයෝගී කොට ගනු ලබනුයේ සුලු ජාතීන්ට එරෙහිව යොදන පීඩනය සාධාරනීයකරනය පිනිස ය. මෙකී කර්තව්‍යයට උර දීම වෙනුවෙන් ලංකාවේ ජනාධිපති විසින් ‘දේශාභිමානී’ අභිධානය (2004) සුනිල් සරත් පෙරේරා වෙත පිරිනැමිනි.

සුනිල් සරත් අතින් ලියැවුනු ඇතැම් බොදු ගී තුලින් ප්‍රකාශයට පත් වනුයේ පන්ති සමාජයෙහි පවත්නා දුක්ඛදෝමනස්ස දෙස ආගමික දෘශ්ටිකෝනයෙන් බලන, එකී දුක් පීඩාවලින් විමුක්ත වීමට ලෝකෝත්තරමාර්ගයක් ඇතැයි සිතන, ඉක්බිති එහි පිලිසරන පතන, ඉන් තාවකාලික (මානසික) සහනයක් ද ලබන ඉච්ඡාභංගයට පත් පුද්ගලයාගේහද පත්ලින් නැඟෙන බැතිමත් හැඟීම්ය. මාක්ස් පැවසූ පරිදි, ආගම යනු පීඩිතයාගේ සුසුම යි; හදවතක් නැති ලෝකයේ හදවත යි. එහෙයින්, පූර්වයෙන් සාකච්ඡා කෙරුනු ජාතිකාභිමානී හා ශ්‍රමාභිමානී ගී තුල අඩංගු පුහු ව්‍යාජත්වය මේවායෙහි දැකිය නොහැකිය.

“සමාධි බුදු සිසිලේගලා එන
අමා දහම් ගඟුලේ
නිවීනිවී මානෙත සිත සැනැහේ
සවන් සමිඳු සෙවනේ
නිසංසල මහ මෙවුනා උයනේ”
(තනුව: දයාරත්න රනතුංග, ගැයුම: අමරා රනතුංග)

“පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව
තරණය කළේ අප මහ බෝසතා”
(තනුව හා ගැයුම: ගුනදාස කපුගේ)

“නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුනු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ”
(තනුව: ටියුලින් ජයරත්න,ගැයුම: මාලිනී බුලත්සිංහල)

සමාජයේ නිල දෘශ්ටිවාදය මත ආගම ආධිපත්‍යය උසුලන තාක් කලාකරුවන් එම ජනප්‍රිය විඥානය වැලඳ ගැනුම නොවැලැක්විය හැකි ය. පෙර’පර දෙදිග ආදි කලාකරු සෘජුව ම ආගමෙහි බලපෑමට හසු වූ නමුදු ඔහු සතුව පැවති අසාමාන්‍ය කලාමය නෛපුන්‍යයට පින් සිදු වන්ට උසස් නිර්මාන බිහි විය. වේදේහ ස්ථවිර විසින් පාලියෙන් රචිත සමන්තකූට වණ්ණනා පද්‍ය කාව්‍යය තමා ඉහලින් අගය කරනුයේ එහි එන අද්භූත බුදු සිරිත හෝ දීපාගමනය නිසා නොව සකු කවිසමයෙහි ආභාසය ලද රමනීය සොබා වැනුම් හා පුර වැනුම් කරනකොටගෙන යයි ගුනපාල මලලසේකර ශූරීහු පැවසූහ (්‍History of Pali Literature in Ceylon). සුනිල් සරත් පිලිබඳ තතු ද ඊට නොවෙනස් ය. ඔහුගේ “යසෝදරා” නමැති ගීය සම්මත ආගමික සන්දර්භයෙන් මුදාහල කල්හි වඩා අරුත්බර ය.

එසේවතුදු, පීඩිත අසරන මිනිසුන්ගේ මන් බිඳ, දිරිය බල සිඳ, අදෘශ්‍යමාන හා ගූඪ බලවේගයන්හි පිහිට පැතීම කරා ඔවුන් මෙහෙයවීම ද ආගමික කලාව මගින් සිදු කෙරෙන බව කිවමනාය. සුනිල් සරත්ගේ ප්‍රකට පදමාලාවක් වන “මගේ රටට දළදා හිමි සරණ යි” කදිම නිදසුනකි. සෝවියට් කලා විචාරක ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි (Art as the Cognition of Life) පැවසූ පරිදි, “…ආගම, ජීවිතයෙහි අනෙක් පස දී අපට අහිමිව ගිය නෛසර්ගිකව රමනීය ලෝකය අතීන්ද්‍රිය, අලෞකික ඛගෝලය තුල පිහිටුවයි. එය, පෘථිවිය මත මෙකී ලෝකය උදෙසා ගෙනයන අරගලය බැහැර කරයි. සංයුක්ත වන හැම දෙයක් ම එය විසින් වියුක්ත කෙරෙන අතරලෝකයේ ඉතා ප්‍රකටව පෙනෙන රාගනිඃශ්‍රිත රමනීයත්වය ඉවතට ඇද දමයි… මේ අතර කලාව, සජීවී යථාර්ථයෙහි මෙකී ‘පාරාදීසය’ හඹා යයි, සොයා ගනී, නිර්මානය කරයි.” අන් සියලු සිංහල ගේය පද රචකයන් අභිභවමින් අජන්තා රනසිංහ මේ කාරනාව අපූර්ව ලෙස සනාථ කරයි:

“අරා සිරි යහන් නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්”
(“පෙමාතුර හැඟුම්”, තනුව හා ගැයුම: සනත් නන්දසිරි)
සුනිල් සරත් මත් වරෙක එම කාර්යයෙහි නියැලුනු සැටි බලනු මැනවි!

“ලතා මඬුලු සුළඟ සමඟ
රහස් කියන වන පෙතේ
පෙමින වෙළෙමු පෙමට එරෙහි
ලොව ම අතැර සිතු ලෙසේ”
(“පිපෙන මලට”, තනුව: දයාරත්න රනතුංග,
ගැයුම: අමරා රනතුංග)

දෘශ්ටිවාදීමය ප්‍රතිවිරෝධතා නොතකා ඉන්ද්‍රිය ප්‍රීනනය වර්නනා කෙරෙන යම්යම් නිර්මාන ආදි බෞද්ධ සාහිත්‍යය තුල පවා හමු වන අතර (නිදසුන:“කාලුදායී ගී”) තාන්ත්‍රික හා වජ්‍රයාන පැවිද්දෝ එහිලා හිටිපිනුම් හා බඩපිනුම් ගැසූහ. ඇතැම් මධ්‍යතන ථෙරවාදීන් ශෘංගාර රසය ඉස්මතු කලේ අන්‍යාලාපයෙනි: සෘනාත්මක ආකල්පයට මුවා වෙමිනි; නැතහොත් පස්කම්සැපෙහි ‘ආදීනව’ කියාපාන අටියෙනි. තොටගමුවේ ශ්‍රී රාහුල මෙහිලා ප්‍රමුඛතමයා විය:

රත් සර කැකුළකට තුඬු දී හසෙක් මොළ
සිත් සහතොසින් සෙද විදහා පුබුදු කළ
පත් නූ අනඟ රස අඟනකට කර ලොළ
මත් සලළෙකු ගිය වැනි අවල කෙළි කෙළ
(පරෙවි සන්දේශය)

මේ අනුව, “කලාව ස්වභාවයෙන් ම භෞතිකවාදී ය, අදේවවාදී ය, ආගම් විරෝධී ය. එයකිසි කලෙක ආගම සමඟ සුසංගමයෙන් යුතුව ජීවත් වී නැති අතර ආගමෙහි බලපෑමට නතු වූ කල්හි එය කලාවක් බවට පත් වීමෙන් ඉඳුරා ම වැලකී සානුකම්පික පරාධීනත්වයක් අත්පත් කර ගනී…” (වොරොන්ස්කි, එතැන ම). නීරස බොදුබැති හා කිතුබැති ගීවලින් පිරි සුනිල් සරත්ගේ නවතම කෘතිය වන සඳකත්මිණ (2018) හුදු පිරිත් පොතකට වැඩි යමක් නොවේ. මේවා බොහොමයක් ‘ගැයෙනුයේ’ ජගත් වික්‍රමසිංහගේ මුවිනි. මීට අමතරව, ඇතැම් ප්‍රතිගාමී ඓතිහාසික චරිත (ඇස්. ඩබ්. ආර්. ඩී. බන්ඩාරනායක, ඩී. ඒ. රාජපක්ශ, ධර්මසිරි සේනානායක, අනගාරික ධර්මපාල) සහ ධනේශ්වරයේ අතකොලු බවට රූපාන්තරනය වූ සමසමාජ නායකයන් (ඇන්. ඇම්. පෙරේරා, බර්නාඩ් සොයිසා) පිලිබඳ උපහාර ගී ද එහි සංගෘහිත ය.“මහත් අභිරුචියකින් යුතුව කියවිය හැකි” මේ කෘතියෙන් “සිංහල ගීත සාහිත්‍ය පෝෂණය සඳහා ප්‍රශංසනීය මෙහෙයක් ඉටු වනු නිසැක ය” යනුවෙන් ඊට පෙරවදනක් සැපයූ මහාචාර්ය විමල් දිසානායකගේ ද, හොඳ ම ගී පද සංග්‍රහය ලෙස එයට රාජ්‍ය සම්මානය පිරිනැමූ සාහිත්‍ය අනු කමිටුවේ දකලා රසඥතාවෙහි පරිමාව යමෙකුට සිතාගත හැකි ය.

අනෙක් අතට, සුනිල් සරත්ගේ ගී තුල ප්‍රගතිශීලී සමාජ ආකල්ප ද නැතිවා නොවේ. රචකයාගේ පෞද්ගලික මතිමතීන් ඉක්මවා යමින් කටුක ජීවන යථාර්ථය නිරූපනය වන අවස්ථා අපට ඉඳහිට හමු වෙයි:

“අන්ධකාරෙන් අන්ධකාරෙට
අඳෝනා දෝනාවෙ යන ඔබ
මහා කළු ගලසිදුරු කැරගෙන
දිවෙන මීරම සොයා වෙහෙසෙති
එලිය නොදකින ඔබේ ලෝකය
සදා හිරු සඳුනොම දකින සඳ
ඈත ගිර’ගින්ගමට නැඟ එයි
මලානික වූපෝය පුන් සඳ
ජීවිතේ අරගලෙන් යුද වැද
හෙළන දහදිය මුතු කඳුළු යට
නිදන් වී ඇති රිදී ඉල්ලම
මුණ ගැසේවා ඔබට දිනයෙක”
(තනුව: අමරදේව, ගැයුම: විමලා අමරදේවඇතුලු පිරිස)

මේ වනාහි නිර්ව්‍යාජ පැතුමකි. දුක් විදින කම්කරුවාට පෝය සඳ පවා පෙනෙනුයේ මලානික වස්තුවක් ලෙසිනි. මොහොතකට පෙර, අඳුරු පතල් දෝනා තුල සිරවී ධන කුවේරයන්ට නිධාන මතු කර දෙන කම්කරුවන්ට සුබ දවසකට ආශිර්වාද කල කවියා ම, කම්කරුවාගේ වැඩ දිනය කිසිසේත් වාසනාවන්ත නොවන බව ප්‍රකාශ කිරීමට පෙරට පැමින ඇත.එසේ ම, ගම පිලිබඳව අතීතකාමයෙන් ලියූ බොහෝ ගී (නිදසුන්: “ගම්මානෙ ම කිරි ඉතිරී රබන් සුරල් නඟන සතුට”, “හීන කඩා නිදි යහනේ පාන හිනා ගම්මානේ”, “නිල්ල මැදින් රැල්ල දිවෙන වෙල් එළියේ දුව පනින්න”) තුලින් සුනිල් සරත් ඉස්මතු කරන සමාජ දෘශ්ටිය–එනම්, “ගම සමෘද්ධිමත් ය, ගැමි දිවිය සුන්දර ය”යන ව්‍යාජය කුඩුපට්ටම් කිරීමට ඔහුගේම පන්හිඳ ඉදිරිපත් වෙයි:

“අපේ කඳුළු දහදිය මුසු – මීවිත අත ගෙන
සිදාදියේ පුතු සැරසෙයි – සව්දිය පුරනට…
(තනුව: අමරදේව, ගැයුම: එඩ්වඩ් ජයකොඩි ඇතුලු පිරිස)

“සැන්දෑ කළුවර” ගීතයෙන් කම්කරුවෙකුගේ ඒකාකාරී ජීවිතයේ ශෝකාකූල බව හෙලිදරව් කෙරේ.

“සැන්දෑ කළුවර ගලා හැළෙන විට
සෙනෙහස දැල්වුණු නිවස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාලමි”
(තනුව හා ගැයුම: සනත් නන්දසිරි)

“පිබිදෙන ලොව හා තරග කරන්නට”හේ පසුදා අලුයම පිටව යා යුතුය. ඔහු නිවසේ රඳන කාලය සීමා කෙරී ඇත. ඔහුට මඳකට හෝ ඇති සැනසීම සිය ප්‍රියම්බිකාවගේ ස්නේහය පමනි. එම අවාසනාවන්ත ඉරනමට මිනිසා ඇද හෙලනු ලැබ තිබෙනුයේ ධනේශ්වර සමාජ ක්‍රමය විසිනි යන යථාවබෝධය මෙම ගීය රසවිඳින සහෘදයා තුල උපදී.

“පාන්කිරිත්තෝ” ගීයෙන් කියැවෙනුයේ සරසවි අධ්‍යාපනය සඳහා ගිය පෙම්වතියක පිලිබඳව යි. බලාපොරොත්තුව පමනක් සිත දල්වාගෙන ඇගේ පෙම්වතා අවසානයේදී මෙසේ කියයි:

“සිල්ප සතර දැන එනතුරු
කල්ප කාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්”
(තනුව හා ගැයුම: සනත් නන්දසිරි)

විරහ ගීයක් ලෙස රචනා කෙරී ඇතත් වර්තමානයේ සරසවි සිසුන් මුහුන දෙන දහසක් ප්‍රශ්න හමුවේ මෙහි අගය දෙගුන වෙයි.

“එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා
(“පෙර දිනයෙක මා”, තනුව හා ගැයුම: අමරදේව)

මෙයද විශම සමාජ තතු ප්‍රකට කෙරෙන සාර්ථක විරහ ගීයකි. කථකයාගේ ප්‍රෙමයට බාධා කල බාහිර බලවේග පැවති බව එහිලා ඇඟවෙයි. ඉන් මහත් සේ කම්පාවට පත් වන රසිකයා, එකී බාධක සුන් කර දැමිය යුතුය යන අධිශ්ඨානය ඇති කර ගනී. එංගල්ස් (පවුල, පෞද්ගලික දේපල හා රාජ්‍යයේ සම්භවය) පැහැදිලි කල පරිදි, පෙම්වතුන්ගේ සරන බන්ධන සිහින සැබෑ වනු ඇත්තේ “…ධනේශ්වර නිශ්පාදනයත් එමගින් බිහිවන දේපල සබඳතාත් මුලිනුපුටා දමා, විවාහය කෙරෙහි තවමත් ඉතා දැඩි ලෙස බලපාන සකලවිධ ආර්ථික කොන්දේසි අහෝසි කෙරුනු කාලයක ය.” සුනිල් සරත්ගේ “අපේක්ශාව” නමැති ගීයෙන් මෙකී අදහස වඩා තීව්‍ර ලෙස ඉස්මතු වේ:

“අතුරු මිතුරු දඹ දිවතුරු
පෙම් කළ යුවතිය එනතුරු
එදා පටන් මේ වනතුරු
අතැඟිලි ගණිනෙමි නිරතුරු”
(තනුව හා ගැයුම: අයිවෝ ඩෙනිස්)

එහෙත්, පවත්නා ධනේශ්වර පර්යාය යටතේ තම අපේක්ශා ඉටු නොවන බව කථකයා දනී. හිතකර සමාජ ක්‍රමයක් ස්ථාපිත විය හැක්කේ ප්‍රචන්ඩ විප්වලයක් හරහා පමනි. ඒ ගැනද අතිශයින් දැනුවත් කථකයා ඒ බැව් වක්‍රව ප්‍රකාශ කරනුයේ මෙසේ ය:

“අහස පොළොව උඩු යටිකුරු
වෙන්නෙලු ළඟ දිනෙක නුදුරු
ජන්ම නැකත ලෙස එඅයුරු
අන්න එදින වෙමු එකමුතු”

සැබවින්ම, සමාජ විප්ලවය පිලිබඳව මිනිසා තුල පවතින බලගතු අපේක්ශාව, රචකයාගේ පන්ති දෘශ්ටිය පරයමින් ගීයට ඇතුලු වී ඇත. එය වින්දනය කරන සහෘදයා ද යථාර්ථය ජය ගැනුමෙහි රචකයාගේ පුද්ගලික භාවිතාව සමඟ අනන්‍ය වේ.

සුනිල් සරත් පෙරේරාගේ සුලු ධනේශ්වර ජාතිකවාදී දෘශ්ටිය හා හුදු ආගම් භක්තිය රැගත් ගී කිසියම් රසික පිරිසක් තාවකාලිකව මුලා කිරීමට සමත් වුවද, ඔහුගේ උත්කෘශ්ට ගී අපේ හැඟීම් ප්‍රතිශෝධනය කරමින්, අපේ අධ්‍යාත්මයට පවන් සලමින් චිරාත් කාලයක් මුලුල්ලේ අපට ආස්වාදයලබා දෙනු ඇත.

(උපුටනයන්හි දී හැර අක්ශර වින්‍යාසය ලියුම්කරුගේ අභිමතය පරිදි ය) උපුටා ගැනීම https://Wsws.org

More From Author

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම

කාල් මාක්ස් ගේ 142 අනුස්මරණය අදයි….

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348