හර්ෂනී වික්‍රමසිංහගේ ‘ඒ හීනයට අවසරයි’ නම් කුළුඳුල් නව කව මෙවර පොත් වසන්තය සරසන්න ඇවිත්….

යුද බියෙන් ඇලලී ගිය ඊශ්‍රායලයේ දිගු කලක් රැකියාව කරමින් ඉන් ඉසිඹුවක් ලද සෑම මොහොතක ම පොත්පත් සමග ජීවත් වන හර්ෂනී වික්‍රමසිංහ අංකුර ලේඛිකාවගේ ‘ඒ හීනයට අවසරයි’ නම් කුළුඳුල් නවකතාව ‘අකුර’ ප්‍රකාශනයක් ලෙස මෙවර පොත් වසන්තය සරසන්න ඇවිත්.

ඒ නවකතාව හා මටත් තියෙන්නේ දිගු කාලයක සම්බන්ධයක්. හුදු ප්‍රේම කතාවකට එහා ගිය අර්ථවත් බවක් ඒ නවකතාව තුළින් දුටු නිසා ම එහි පෙරවදන ලිවීමේ කටයුත්ත මම භාර ගත්තේ හරි ම කැමැත්තෙන්.

එම පෙරවදන මෙසේ ඔබ හා බෙදා ගන්නේ හර්ෂණී වික්‍රමසිංහ ලේඛිකාවගේ නිර්මාණ දිවියට ඉතසිතින් සුබ පතමින්.

‘නවකතාව යනු ප්‍රබන්ධ චරිත සහ සිදුවීම් ගොඩනංවමින් අනුක්‍රමික කථා පුවතක විලාසයෙන් ගලායන දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයකි. එනිසා ම නවකතාවක් ලිවීම කවි, කෙටිකතා ඈ අනෙකුත් නිර්මාණ සිදුකරනවාට වඩා පහසු කාර්යයක් බව ඇතැම් අයගේ අදහස යි. එහි යම් සත්‍යතාවක් ඇතත්, හොඳ නවකතාවක් ලිවීම සිතන තරම් පහසු කාර්යයක් නොවේ. මන්ද එය කිසියම් කලාවකට අනුව සිදුකළ යුතු කාර්යයක් හෙයිනි.

තම සිතට එන සියල්ල එක දිගට ලියාගෙන යාමෙන් නවකතාවක් බිහිවෙතැයි සිතීම අනුවණ කමකි. ඕනෑම හොඳ. නවකතාවකට ප්‍රබල වස්තුබීජයක් තිබිය යුතු අතර, එය සංවර්ධනය කිරීමේ දී ඊට වැඩි ම මෙහෙයක් සිදුකරන අත්‍යවශ්‍ය චරිත පමණක් තෝරාගත යුතු වේ. එසේ ම, ඒ චරිත නවකතාව තුළ ජීවමාන වෙන්නට නම්, ඒවාට අදාල විශ්වාසනීය චරිත නිරූපනයන්ගෙන් මෙන් ම, සිද්ධි කථනයන්ගෙන් ද එම චරිත හැසිරවිය යුතුවේ. තව ද, නවකතාවේ එන එක් එක් චරිතයට සුවිෂේශ වන දෙබස් හා සංවාද මගින් ද නවකතාවේ ආඛානය හැඩ ගැන්විය යුතු ය.

නවක ලේඛිකාවක වන හර්ශණී වික්‍රමනායකගේ ‘ඒ හීනයට අවසරයි !’ නම් ඇගේ පළමු නවකතාව මෙම කරුණු පිළිබඳ යම් පමණක හෝ අවධානයෙන් යුතුව නිර්මාණය කළ නවකතාවක් ලෙස හඳුන්වන්නට කැමැත්තෙමු. මෙය මුල, මැද, අග අනුපිළිවෙලට රචනා කළ නවකතාවක් නොවීම ඇය නවකතා කලාව මේ යැයි හඳුනන්නියක් බව අපට ඉඟි නරන්නකි. කතාව අතරතුර දී අතීතාවර්ජනයන්ට යන ඇය විටෙක පුද්ගල චරිතවල මනෝභාවයන් මගින් පාඨකයාට සමීප වන්නී ය.

මෙහි ප්‍රධාන පිරිමි චරිතය වන ‘දෙව්දිනු’ පාඨකයාට නවකතාවක මෙතෙක් මුණ නොගැසුන අධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වූ අපූර්වත්වයෙන් යුත් චරිතයකි. හර්ශණී නවකතාව මගින් සමාජගත කරන්නට අදහස් කරන සියලු සාරධර්මතා ඇය අප වෙත⁣ ගෙන එන්නට ඒ අපූර්ව චරිතය උපයෝගී කරගෙන තිබේ.

සරල, සුමග වදනින් නිර්මිත මෙම නවකතාව භාෂා භාවිතයෙන් ද පොහොසත් ය. කිසිදා සජීව ව මුණ නොගැසුන එහෙත්, අධ්‍යාත්මිකව බැඳුනු නිරාමිස ප්‍රේම වෘත්තාන්තයක් වන ‘ඒ හීනයට අවසරයි !’ නවකතාව ‘අල්ලාගැනීමකින් තොරව කරන ආදරය තරම් සුන්දර සංසිද්ධියක් මේ මුළු ලෝකයේ ම නොමැති’ බව අපට කියාදෙයි.

හර්ශණී වික්‍රමනායක ලේඛිකාවගේ මීළඟ නවකතා ප්‍රයත්නය මීටත් වඩා සාර්ථක එකක් වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනය කරමු’

More From Author

මට ඔබ දුන්න ඇගයීම නිසා තමයි පළමු කෘතිය බිහි වී මාස තුනක් ඇතුලත දෙවන කෘතියක් බිහිවුණේ ….

“හිර කූඩු”

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348