- අපගේ ලෝකය සාධාරණ ලෙස වෙනස් කොට මානව සංහතියේ ප්‍රගතිය උදෙසා නව මාවතක් විවර කිරීමට නායකත්වය දෙමින් ඉමහත් බුද්ධිමය පරිශ්‍රමයක් සහ පුර්ණකාලින කැපකිරීමක් කරනු ලැබූ කාල් මාක්ස් මෙයට වසර 142 කට පෙර අභාවප්‍රප්ත (05/05/1818-14/03/1883) වුයේ අද වැනි දිනකය.
කාල් මාක්ස්ගේ දේහය එයට වසර දෙකකට පමණ පෙර මිය ගිය මාක්ස්ගේ බිරිඳ වූ ජෙනී මාක්ස් ගේ උතුරු ලන්ඩනයේ පිහිටි හයිගේට් පිහිටි සොහොන් බිම අසල තැන්පත් කරනු ලැබිය. අපේ පරම්පරාව අපේ ගැටවර වයසේ සිට වයෝවෘධත්වයට පත්වන තෙක් දැඩි උත්සාහයක් දරනු ලැබුවේ මාක්ස් විසින් විවර කරනු ලැබූ විප්ලවීය මාක්ස්වාදයේ ගමන් මග අපේ රටේ පිඩිත සහ වැඩකරන පන්තිය වෙනුවෙන් විවෘත කර ගැනීමටය. මේ උත්සාහයේදී අපේ පරම්පරාවේ දහස් ගණනකට දිවි අහිමි විය. අපි අනේක විධ වද බන්ධන වලට ගොදුරු වුවා පමණක් නොව අපේ ගෙවල් වුයේ හිර ගෙවල්ය. සමහරු අප හැරදා ගියහ. නමුත් ඒ උත්සාහය අපි අත නොහරින්නෙමු. අපේ තැන ගන්නට නව පරම්පරාවක් සුදානමින් සිටි.
මේ කෙටි සටහන මාක්ස්ගේ ජීවිතය තුලින් අප ආකර්ශනය ට පත් කල පොදු කරුණු කිහිපයකට පමණක් සීමා කිරීම ට සිදු වෙයි.
දුප්පත්කම සහ දරිද්‍රතාවය
දුප්පත්කම සහ දරිද්‍රතාවය නිසා පිඩා විඳි මාක්ස් සහ ජෙනි මාක්ස් ඇතුළු දරුවන්ට එංගල්ස්ගේ නිරතුරු මුල්‍යාධාර නැති වුනේ නම් ප්‍රාග්ධනය සහ අනිකුත් වටිනා පොත්පත් එලි නොදැක් වීමට හොඳටම ඉඩ කඩ තිබුණි. දුප්පත් කම කොතරම්ද කිවහොත් මාක්ස්ගේ කුඩා දරුවකු මිය ගිය පසු මිනී පෙට්ටියක් ගැනීමට පවුම් දෙකක් සොයා ගැනීමට නොහැකිව එංගල්ස් එනතෙක් ඔව්හු බලා ගෙන සිටි බව වාර්තා විය. පසුව අසල්වැසියෙකු මිනි පෙට්ටියක් ගැනීමට මුදල් දුන් බව කියයි.
මාක්ස්ගේ සොයා ගැනීම්
ඩාර්වින් ඓන්ද්රිය ස්වභාව ධර්මය පිලිබඳ සංවර්ධනයේ නියාමය සොයා ගත්තා සේම, කාල් මාක්ස් මිනිස් ඉතිහාසය සංවර්ධනය පිලිබඳ නියාමය සොයා ගත් බව එංගල්ස් එදා හයිගෙට් හි පැවති අවමගුල් උත්සවය අමතමින් ප්‍රකාශ කළේය. එපමනක් නොව වර්තමාන ධනේශ්වර නිෂ්පාදන මාදිලිය පාලනය කරන චලනය පිළිඹද විශේෂ වූ නියාමය සහ මේ නිෂ්පාදන මාදිලිය නිර්මාණය කොට ඇති ධනේශ්වර සමාජයද මාක්ස් විසින් සොයා ගනු ලැබිණ. ධනේශ්වර ආර්ථික වීද්‍යාඥයින් මෙන්ම සමාජවාදී විවේචකයින් අඳුරේ අතපත ගාමින් මෙය ට පෙර සියලු සමීක්ෂණයන් මගින් විසඳීමට උත්සාහ කිරීමේ ගැටලුවට එකවිටම වාගේ අතිරික්ත වටිනාකම සොයා ගැනීම ආලෝකයක් වූ බව එංගල්ස් තවදුරටත් පෙන්වා දුනි.
ඉතිහාසයේ සංවර්ධන නියාමය
එංගල්ස් විසින් පෙන්වාදෙන ඉතිහාසයේ සංවර්ධනය පිළිබද නියාමය මාක්ස් සහ එංගල්ස් විසින් 1848 පෙබරවාරි 21 දින එලි දක්වනු ලැබූ “කොමියුනිස්ට් ප්‍රකාශනයෙ’හි මෙසේ පෙන්වා දෙයි.”සියලු සමාජයන්ගේ ඉතිහාසය පංති සටන්වල ඉතිහාසයයි. නිර්ධන පංතියේ අනිවාරණිය ජයග්‍රහණය පංති විරහිත සමාජයකට මග පාදනු ඇත”. පංති විරහිත සමාජයට මිනිස් සංහතිය ගමන් කරනු ඇත්තේ සමාජවාදය තුලිනි. අද අප අත් දැකීමෙන් දන්නා පරිදි මේ මාර්ගය පසු බැසීම්, පරාජයන් සහ කටුක අත් දැකීම යුත් මාර්ගයක් මිස සමාජවාදය සඳහා ඇරුණු රජ මාවතක් නොවේ. නමුත් එහි අවසාන ඉලක්කය පන්ති විරහිත මෙන්ම මර්දන කාරී රාජ්‍යක් නැති මනුෂ්‍යත්වය මිස මිනිස් සම්බන්ධකම් වලදී ධනය මත පදනම් වන සමාජයක් නොවේ.
අතිරික්ත වටිනාකම
එංගල්ස් විසින් පෙන්වා දෙන ‘අතිරිකක්ත වටිනාකම’ යනු ධනපති ක්‍රමය ක්‍රියාත්මක වන අභ්‍යන්තරික නියාමයක් වෙයි. කම්කරුවා නිෂ්පාදන ක්‍රිරියාවලිය තුල යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී අතිරික්ත ශ්‍රම වටිනා කමක් එකතු කරයි. මෙය මාක්ස් විසින් පැහැදිලි කරන අයුරු ‘එය භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා අත්‍යාවශය ශ්‍රමය නොවුවද කම්කරුවා සත්තකින්ම සිය ශ්‍රමය වගුරුවනු ලබයි, ඔහු වැඩ කරයි, නමුත් මේ ශ්‍රමය අත්‍යවශ්‍ය නොවන්නේ ඔහු සඳහාම වූ වටිනාකමක් එයින් නොකරන බැවිනි. කම්කරුවා මෙහිදී අතිරික්ත වටිනාකමක් ධනපතියා සඳහා නිර්මාණය කරයි. කොටින්ම කිසිම දෙයක් නොමැතිව යම් කිසි දෙයක් නිර්මාණය කිරීමේ ප්‍රමෝදය ධනපතියා ලබා ගනියි. වැඩ දිනයේ මේ කොටසට මම අතිරික්ත ශ්‍රම කාලය ලෙස නම් කරන අතරම මෙන්න මේ කාලය තුල කම්කරුවා විසින් මම අතිරික්ත ශ්‍රමය ලෙස නම් කරමි” (Capital vol.1,P .325 ). භාණ්ඩය විකිණීමෙන් පසු මේ අතිරික්ත වටිනාකම ධනපතියා විසින් කම්කරුවට නොගෙවා තමන් ළඟ තබා ගනියි. මෙය ධනපති ක්‍රමය තුල තමන් වැය කල ශ්‍රමයට අඩු වටිනා කමක් දෙමින් ශ්‍රම සූරා කෑමකට භාජනය කිරීමකි. ධනපති ක්‍රමය පෙරලා දමන්නේ නැතිව කම්කරුවාට විමුක්තිය ලබා ගැනීමට නොහැකිය. මේ විමුක්තිය සඳහා කම්කරුවා වැටුප් ‘වහල් භාවයෙන්’ මිදිය යුතුය. කොටින්ම කියතොත් වැටුප් වහල් භාවය සහ ප්‍රාග්ධනය අතර ප්‍රතිවිරෝධය ධනපති ක්‍රමය තුල සමහන් කල හැකි ප්‍රථිවිරෝධයක් නොවේ.ධනපති ක්‍රමය පෙරලා දැමිය යුත්තේ එබැවිනි.
විප්ලවීය මාක්ස්වාදය
ධනේශ්වර පාරිලිමේන්තු ජන රජය ප්‍රතිෂ්ටාපනය කිරීම වැරදි සහගත බවත් විප්ලවාදී පක්ෂයක් කල යුතුවන්නේ එය කඩා බිඳ දැමීම බවත් ප්‍රංශ සටන් ඉතිහාසය සාකච්චාවට භාජනය කරමින් 18 වැනි බ්රුමරයේ කාල් මාක්ස් පෙන්වා දෙයි.
“අවසානයේ දී පාර්ලිමේන්තු ජනරජයම විප්ලවයට එරෙහි තම අරගලයේදී උපක්‍රමයන් සහ ආණ්ඩුවේ බලය මර්ධනකාරී පියවරවල් මගින් ශක්තිමත් කිරීමට බලපෑමක් ලබා ගති. සියලුම විප්ලවයන් මේ යාන්ත්‍රනය කඩා බිඳ දමනවා වෙනුවට එය ප්‍රථිෂ්ඨාපනය කරනු ලැබිණ. ආධිපත්‍ය සඳහා තරඟ කල පක්ෂයන් අති විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අත් පත් කර ගැනීම ජයග්‍රහකයාගේ ප්‍රධාන දිනුම වශයෙන් සලකනු ලැබිය.
එමෙන්ම පැරිස් කොමියුනය ගැන කල තුන්වැනි දේශනයේදී මාක්ස් මෙසේ ප්‍රකාශ කරයි. “නමුත් කම්කරු පන්තියට කලින් තනා නිම කල රාජ්‍ය යානත්‍රරයක් තමන්ගේ අරමුණු සඳහා යොදා ගත නොහැකිය. එවකට යුරෝපයේ සාම රටකටම වගේ මෙය පොදු සාධකයක් විය. සත්තකින්ම මෙයින් කියන්නේ සාමකාමී මාර්ගයන් ගෙන් එනම් පාර්ලිමේන්තුවෙන් සමාජවාදයට යා නොහැකි බව නොවේද? කාල් මාක්ස් යුරෝපයේ සාමකාමී සහ නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් අනිවරණිය ලෙස සමාජ විප්ලවයක් කල හැකි එකම රට එංගලන්තය ලෙස මාක්ස් විශ්වාස කල බව එංගල්ස් විසින් ප්‍රග්ධනයේ පළවැනි වෙළුමට 1886 නොවෙම්බර් 5 දින පෙරවදන අවසානයේ සඳහන් කරයි. නමුත් මාක්ස්ගේ මේ නිගමනය ලෙනින් විසින් 1916 ‘රාජ්‍යට සහ විප්ලවය‘ කෘතියේ තවදුරටත් වලංගු නොවන බව පවසයි. ලෙනින් ප්‍රකාශ කරන්නේ ඒකාධිකාරී ධනවාදය යටතේ තව දුරටත් මෙවැනි සාමකාමී පරිවර්තයක් තුලින් ගමන් කල නොහැකි බවයි. ලෙනින්ගේ මේ නිවැරදි කිරීම සැබෑ සාධකයක් වන්නේ එංගලතයේ එවැනි සාමකාමී මාවතක් තවමත් අවුරුදු සියයකටත් වැඩි කාලයක් තිස්සේ සිදු නොවී තිබීමයි.
එමෙන්ම සෝවියට් සංගමයේ විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසුව ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාවේ වාම බලවේග වල නැගිටීම සහ පසු ගිය සියවසේ විප්ලවයන් ජයග්‍රහණය කිරීම විප්ලවීය මාක්ස්වාදයේ පැතිරීම පෙන්නුම් කරයි.
එංගල්ස් විසින් මාක්ස්ගේ අවමගුල් උත්සවය අමතා කල කතාව අවසාන කලේ මාක්ස්ගේ නම සහ කෘතීන් යුගයෙන් යුගයට බලපානු ඇති බව ප්‍රකාශ කරමිනි.
- මෙය ඉතා නිවරැදි පුරෝකතනයක් බව මෙහිදී සටහන් කල යුතු වෙයි. ධනේශ්වර ක්‍රමය විසින් ජනිත කරන දුප්පත් කම, ආර්ථික සහ දේශපාලන අසමානත්වය නැති කිරීමේදී නිර්ප්‍රභූ ජනතාව සටනට කැඳවන මාක්ස්වාදය හැර වෙනත් දේශපාලන භාවිතාවක් සහ න්‍යායක් නොමැති බැවින් එහි පැවත්ම ජනතාව විමුක්තිය කරා ගමන් කිරීමේ එකම සහතිකය වනු ඇත.
දයාපාල තිරානගම