චමිල් ජයනෙත්ති
යසිත චන්දිම මාක්ස්වාදී විශ්වවිද්‍යාලයට ප්‍රශ්න යොමුකර තිබුණේ facebook එක හරහාය. ඒ ආචාර්ය සමන් පුෂ්පකුමාර ලියූ ‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතියේ සඳහන් භෞතිකවාදීන් ගැන සඳහන් කරුණු කීපයක් මාක්ස්වාදී විශ්වවිද්‍යාලටය ප්‍රශ්න දෙකක් ලෙස ඉදිරිපත් කිරීමය. ඔහුගේ පැනයට පිළිතුරක් දීම මාක්ස්වාදී විශ්වවිද්‍යාලයේ යුතුකමක් වන නිසා පමණක් ගන්නා උත්සාහයකි මේ ලිපිය.
යසිත් චන්දිමගේ ප්‍රශ්නය –
“යමෙකු නැවත භෞතිකවාදය සොයා යනවා නම් ඔහුට හෙගල් හරහා යාමට සිදුවේ! (පි.220)“
“යම් පුද්ගලයකු තවදුරටත් සමාජ ව්‍යාපාර ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ යුතුය. සමාජ ව්‍යාපාර මට්ටමින් ඔබ්බට ගොස් සමාජ වෙනසක් ගැන සිතනවා නම් ඔහු හෝ ඇය හෙගල් ව වඩාත් හොඳින් ග්‍රහණය කරගත යුතුය. එමෙන්ම යමෙකුට යම් අවකාශයක් තුළ අදහසක් රෝපණය කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය හෙගල් අධ්‍යයනය කළ යුතුය. මෙවැනි කටයුතුවලදී ඔබව මෙහෙයවන දාර්ශනිකයෙකු සිටී නම් ඒ හෙගල් ය. (පි.301)”

මේ කෘතිය අතිමහත් ශ්‍රම වැගිරීමක ප්‍රතිපලයක්. විප්ලවවාදීන්ට මඟහැර යා නොහැකි කෘතියක්. ස්තූතියි සමන් පුෂ්පකුමාර @Anil Rajakaruna (LSSP) @~Dimuth Bhanuka @Nimal Chandrasiri උත්තරයක් ඔනි – යසිත් චන්දිම
මාක්ස්වාදී විශ්වවිද්‍යාලයේ පිළිතුර –
එම ප්‍රශ්නවලට පිළිතුර අපි මෙසේ සටහන් කරමු: (සමන් හෙගල් – හේගල් ලෙස අපි – හඳුන්වන්නේ එකම දාර්ශනිකයාය).
හේගල්ගෙන් මාක්ස්ව කියවීම – හේගල්ගෙන් හේගල්ව කියවීම – මාක්ස්ගෙන් හේගල්ව කියවීම – සමන්ගෙන් හේගල්ව කියවීම – සමන්ගෙන් මාක්ස්ව කියවීම – හේගල්ගෙන් සමන්ව කියවීම හෝ මාක්ස්ගෙන් සමන්ව කියවීම යන කියවීමේ පැති කීපයකින් ප්‍රශ්නයට ප්‍රවිෂ්ට විය හැකිය. මොකද හේගල් කිසිම දවසක පිඩිත ජන අරගලය සඳහා නායකත්වය දුන්නේ නැත. ඔහුගේ දාර්ශනික විඥානවාදී දෘෂ්ටිවාදය බිහිකරමින් සේවය කළේ කාර්මික ධනවාදයේ (ලිබරල්වාදී) මතවාදී දැක්ම සකස් කිරීමටය. ඔහුගේ අභාවයෙන් පසුව හේගල්ගේ අදහස් පද්ධතිය ජර්මනියේදී බලපෑවේ හිට්ලර්ට සහ මුසලෝනි වැනි ඒකාධිපති වියරු පාලකයන්ටය. ඒනිසා ලියා තිබෙන කෘතිවල සහ ලිපිවල ඔහු ඉදිරිපත් කළ විඥානවාදී සටහන් ඇති බව සඳහන් කරමින් ම අපි ඉහත ප්‍රශ්න දෙක පමණක් මේ මොහොතේ සාකච්ඡාවට ගනිමු.


හේගල්ගෙන් මාක්ස්ව කියවීම
හේගල්ගෙන් මාක්ස්ව කියවීම යනු ඉතා පටු අරමුණක් සඳහා වෙහෙසෙන කියවීමක් පමණි. එහි සැබෑ අරුත වන්නේ විඥානවාදයෙන් භෞතිකවාදය කියවීම යන්නයි. එසේ කියවීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න විමසූ විට පෙනී යන්නේ හේගල් විශ්වය ගැන දැරූ විඥානවාදී මත දැක්වීම හේතුවන නිසාය. ඒ ජගත් ආත්මයකින් (පරම ආත්මයකින්) විශ්වය බිහිවිය යන්නෙන් හේගල් ප්‍රකාශ කරන්නේ “දෙවියන්වහන්සේගෙන් විශ්වය බිහිවිය“ යන්න ගැනය (හේගල් Science of Logic – 2 කෘතිය). ජගත් ආත්මය යනු දෙවියන්වහන්සේව සනාථ කරන ප්‍රස්තූතය මගින් විශ්වය මෙහෙයවන්නේ දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කිරීම එම කෘතියේ පවසයි. එවිට විශ්වය මෙන්ම – සෞරග්‍රහ මණ්ඩලය මෙන්ම – පෘථිවිය මෙන්ම – සොබාදහම මෙන්ම – ජීවීන් මෙන්ම මෙහෙයවන්නේ දෙවියන්වහන්සේය.

මේ ප්‍රශ්නයට තමයි මුලින්ම ලුඩ්විග් ෆොයර්බාක් හේගල්ව විවේචනයට ලක් කළ කරුණ වුනේ. ඒවගේම කාල් මාක්ස් ද භෞතිකවාදී හැරවුම් ලක්ෂයකට පැමිණෙන්නේ හේගල්ගේ විඥානවාදී දෘෂ්ටියෙන් වෙන් වීම සඳහාය. මාක්ස් 1841 සිට හේගල්ව විවේචනය කළේ මේ කරුණ මුල්කර ගෙනය. මාක්ස් මේ කරුණ පැහැදිලි කිරීම සඳහා ඔහු ලියූ ආචාර්ය උපාධි නිබන්ධනය හරහා ගොඩනගන ස්වාභාවික භෞතිකවාදී ස්ථාවරය වන (ඩිමොක්‍රිටස්ගේ ස්වාභාවික දර්ශනය හා එපිකියුරස්ගේ ස්වාභාවික දර්ශනය අතර වෙනස) නැමති නිබන්ධනය වැදගත් ම සංධිස්ථානයයි. එම නිබන්ධනයෙහි සඳහන් වන්නේ පරමාණුවලින් විශ්වය බිහිවූ බවයි. විශ්වය පරමාණුවලින් ස්වාභාවිකව බිහිවූ බව ඔහු පැහැදිලි කරයි. එම මතය අද වනවිට “විදාරණයවන විශ්වය“ (big bang theory) යන ස්ටීවන් හෝකින්ගේ න්‍යායෙන් අධ්‍යයනය කළහොත් වටහා ගත හැකිය. එවිට ස්වාභාවිකව බිහිවූ විශ්වය දෙවියන්වහන්සේ බිහිකල (ජගත් ආත්මයෙන්) බව පැවසූ විට ස්වාභාවිකව බිහිවූ විශ්වය ආරූඩ කරනවා දෙවියන්වහන්සේට. හෝගල්ගෙන් මාක්ස්ව හෝ විඥානවාදයෙන් භෞතිකවාදය කියවූ විට සිදුවන්නේ මනසින් මවා ගත් දෙවියන්ගෙන් විශ්වය මැවූ බව නැමැති විඥානවාදය පිළිගැනීමයි. එසේ කරන්නේ නම් එය ස්වාභාවික භෞතිකවාදී දර්ශනය පාවාදීමකි. ස්වාභාවික භෞතිකවාදය පාවාදීමට මාක්ස්වාදීන් කිසි දවසක සම්බන්ධ වන්නේ නැත.

හේගල්ගෙන් හේගල්ව කියවීම
හේගල්ගේ කෘති කියවීම සෑම කෙනෙක්ම කළ යුතු දෙයකි. ඒ විඥානවාදී හෙගලියානු දර්ශනය හඳුනාගැනීම සඳහාය. එය නොකියවා හේගල්ගේ විඥානවාදය හඳුනා ගැනීමට පුලුවන්කමක් නැත. හේගල් ප්‍රකාශ කළ දෙය කියවීම තුළින් පමණයි හෙගලියානුවාදය නිවැරදිව වටහා ගත හැක්කේ. එය මාක්ස්වාදීන් ද අනුමත කරන කියවීමකි. එම කරුණ ගැන ලෙනින් පැවසුවේ මෙසේය: “අසභ්‍ය භෞතිකවාදය කියවනවාට වඩා හේගල්ගේ විඥානවාදය කියවීම උතුම්” කියල ඔහු පැවසුවේය. අසභ්‍ය භෞතිකවාදය යනුවෙන් ලෙනින් පැවසුවේ “ඩූරිං-විරෝධය” කෘතියේ (එංගස්ල් – 1878 ලියූ කෘතිය) සිටි ඉයුජන් ඩූරිං ගැනය. ඒ භෞතිකවාදය විඥානවාදී අයුරින් ඩූරිං විසින් අර්ථ දැක්වීම ගැන විවේචනය කිරීම සඳහා ඉහත ප්‍රකාශය යොදා ගත්තේය. ඒනිසා මාක්ස්වාදීන් තරම් හේගල් ගැන උනන්දු පිරිසක් ලෝකයේ තවත් නැතිව ඇති බවද මාක්ස්වාදීන් වන අපට පැවසිය හැකිය.

මාක්ස්ගෙන් හේගල්ව කියවීම
මාක්ස්ගෙන් හේගල්ව කියවන්නේ නැත. ඒ කියන්නේ භෞතිකවාදයෙන් විඥානවාදය කියවන්නේ මොන කෙහෙල් මලකට ද යන ප්‍රශ්නය මතුවන බැවිනි. ස්වාභාවික භෞතිකය ස්ථාවර වූ පසුව නැවත විඥානවාදය නැති නම් ජගත් ආත්මයකින් විශ්වය බිහිවිය යන්න පිළිගන්නේ ඇයිද යන ප්‍රශ්න වැලක් මතුවන බැවිනි. එසේ කරනවා නම් ඉදිරියට යාමක් නොව සිදුවන්නේ නැවත ආපස්සට යාමකි. ඒවගේම මක්ස්වාදීන් හේගල්ගේ විඥානවාදය හඳුනාගැනීම සඳහා පමණයි හේගල්ව කියවන්නේ. එහෙම නැතිව හේගල්ගේ විඥානවාදය පිළිගැනීමට නොවන බව පැහැදිලිවම අපට ප්‍රකාශ කළ හැකිය.
සමන්ගෙන් හේගල්ව කියවීම
සමන්ගෙන් හේගල්ව කියවීම යනු සමන් ‘හෙගල් විස්තරාත්මක කියවීමක්’ යන කෘතියේ හේගල්ගේ දර්ශනය ගැන අතපත ගා ඇති කෘතියකි. ඒ හේගල්ට පෙර සිටි විඥානවාදී දාර්ශනිකයන් ගැන සහ හේගල්ට පසුව සිටි විඥානවාදී දාර්ශනිකයන්ගෙන් එම කෘතියේ පිටු 371 ක් පුරවා ඇත. එවිට හේගල්ගේ විඥානවාදී දර්ශනය ගැන පැහැදිලි චිත්‍රයක් පාඨකයාට ලබාගත නොහැකි කෘතියක් සමන් ලියා ඇත. සමන් ‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතියේ (පිටුව 345) පවසන්නේ මෙසේය: “හෙගල් සම්බන්ධයෙන් යම් ආකාරයක දැනුමක් ලැබුණේ විශ්වවිද්‍යාලයට පිටතිනි. ඒ 1991-95 කාලයේදී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ආකර්ෂණය වී සිටි සමයේදීය.” එම කාලයේ ඔහු භෞතිකවාදය පිළිගෙන හේගල්ව කියවීමට උත්සාහ දරා ඇත. එය ඉහත මතුකළ හේගල්ගේ විඥානවාදය හඳුනාගැනීමට මාක්ස්වාදී කියවීම යන සංකල්පයෙන් හේගල්ව කියවීම කරමිණි. එය මාක්ස්වාදී සාමාන්‍ය සම්ප්‍රදායයි. සමන් ‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ යන කෘතියේ පෙරවදනේ මෙස් පවසයි: “2008 වර්ෂයේ සිට මම හෙගල් සම්බන්ධයෙන් ලිවීම ආරම්භ කළෙමි.” එවිට ඔහු ගොස් තිබෙන්නේ භෞතිකවාදයෙන් වෙන්ව මහාචාර්ය නලීන් ද සිල්වා නැමැති අසභ්‍ය විඥානවාදියා වෙත ගොස් ඇත (‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතියේ නලීන් ද සිල්වා සමග පැවති සම්බන්ධය ගැන විස්තර බොහෝ ඇත). එවිට සමන් ගොස් තිබෙන්නේ හේගල් වෙත නොවේ අසභ්‍ය විඥානවාදය වෙතය.
දැන් මේ ප්‍රශ්නය මතු කරන යසිත් පෙන්වා දෙන එක් කරුණක් උපුටා ගනිමි: “යමෙකු නැවත භෞතිකවාදය සොයා යනවා නම් ඔහුට හෙගල් හරහා යාමට සිදුවේ! (පි.220)“ යනුවෙන් හෙගල් කෘතියේ පවසන චේදයක් උපුටා දක්වයි. මොන විකාරයක ප්‍රශ්නයක් ද මේ? මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ සමන්ගෙන් මිස මාක්ස්වාදීන්ගෙන් නොවේ. ඒවගේම මේ ‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ යන කෘතිය දොරට වැඩීමේ රැස්වීමේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ – දේවගැති නිලන්ත එදිරිවික්‍රම පියතුමා – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යන අසභ්‍ය විඥානවාදය පිළිගෙන දේශන පැවැත් වූ පිරිසගෙන් විමසිය යුතු ප්‍රශ්න මාක්ස්වාදී විශ්වවිද්‍යාලයෙන් විමසන්නේ මන්ද යන ප්‍රශ්නය ගැන අපට සැක මතුවේ. ඒ සමන්ගේ පොත ගැන ප්‍රචාරක වාසික් ද කියා. මේ දේශකයන්ගෙන් නිලන්න පියතුමාගේ දේශනයෙන් සමන් අවධාරණය කිරීමට උත්සාහ ගෙන තිබුණේ “දෙවියන්වහන්සේ ස්ථාවරව“ සිටින බව දෙවියන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින පියතුමාගෙන් ප්‍රකාශ කරවා ගැනීමටය. ඒ සඳහා ඔහුව කැඳවා තිබුණ බව පැහැදිලිය. ඔහුගේ දේශනයයෙන් එය සිදුවීය. එවිට ඔබ නගන ප්‍රශ්නවලට පිළිතුරු දිය හැක්කේ දෙවියන්වහන්සේ වෙනුවෙන් පැමිණි පියතුමාගෙන් බවද දැන් ඔබට පැහැදිලිව වනු ඇතැයි අපි සිතමු.
සමන්ගෙන් මාක්ස්ව කියවීම
සමන්ගෙන් මාක්ස්ව කියවීම යනු අසභ්‍ය විඥානවාදී ස්ථාවරයක සිට මාක්ස්වාදී (භෞතිකාදී) ස්ථාවරය කියවීමකි. එවිට සිදුවන්නේ අසභ්‍ය විඥානවාදය ඉදිරියට ගෙන යාමට භෞතිකවාදීන්ගේ ස්ථාවරය බොඳ කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර සකස් කර ගැනීමට හැකි වන බැවිනි. ඉහත සඳහන් සමන්ගේ ප්‍රකාශ දෙක (ප්‍රශ්න දෙක) මගින් එම කරුණ පැහැදිලිව සඳහන් වෙයි. මාක්ස්වාදීන් එම කරුණ ගැන හොඳින් වටහා ගෙන සිටිති. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය ඉගන ගන්නා ශිෂ්‍යයන්ට එය වටහා ගැනීමට නොහැකිය. මොකද අසභ්‍ය විඥානවාදය උගන්වන ආචාර්යවරයෙක් වන සමන් මාක්ස්වාදී දර්ශනය ද විෂයක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වන නිසාය. එතකොට ඔහු අසභ්‍ය විඥානවාදයෙන් භෞතිකවාදය උගන්වා, ඉගන ගන්නා ශීෂ්‍යයන්ගේ මනස විකෘති කරන බව නම් සක්සුදක් සේ පැහැදිලි වන කරුණකි. මෙවැනි අසභ්‍ය තීන්දු ගන්නා දර්ශනවාදීන් සිටින රටක ඔවැනි කරුණු විශාල ප්‍රමාණයක් සිදුවිය හැකිය. ඒවා විශ්වවිද්‍යාලවල සිදුවන දුර්වලතාය. ලංකාවේ දර්ශනය ඉගෙන ගන්නා සිසුන්ට සමන්ගේ අසභ්‍ය විඥානවාදී දේවියන්ගේ ආශිර්වාදයෙන් ලබන දැනුම ගැන අබ සරණයි යන්න, එවිට මාක්ස්වාදීන්ට පැවසිය හැකිය. මෙවැනි ක්‍රියා මගින් ලංකාවේ මාක්ස්වාදීන්ට නම් අබමල් රේණුවක සීරීමක් හෝ බිඳවැටීමක් සිදුනොවන්නේ ඔවුන් මාක්ස්වාදය – හෙගලියානුවාදය ගැන සහ භෞතිකවාදය – අසභ්‍ය විඥානවාදය ගැන හොඳ වැටහීමකින් ඉන්නා බැවිනි.
හේගල්ගෙන් සමන්ව කියවීම
හේගල්ගෙන් සමන්ව කියවීම යනු සමන්ගේ ‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතිය කියවූ පසුව පෙනෙන කරුණ නම් සමන් හේගල්ව කියවා හෝ වටහාගෙන නැති බවය. ඔහු කරන්නේ ඉමැනුවෙල් කාන්ට්ට පෙර විසූ විඥානවාදී දාර්ශනිකයන් සහ පසු සිටි ගෝලයන් පැවසූ ප්‍රස්තූත වලින් හේගල් ගැන කරන විග්‍රහයක් එම කෘතියේ අඩංගු කර ඇත. ඒ බව ඔහුගේ ‘හෙගල්’ කෘතිය කියවපු කෙනෙකුට ස්තීරවම පැහැදිලි වනු ඇත.
හේගල් කාන්ට්ව විවේචනය කළේ දරුණු ලෙසය. ඒ බව නොදන්නා සමන් කාන්ට්ගෙන් හේගල්ව කියවා ඇති බව එම කෘතියෙන් පැහැදිලිව වටහා ගත හැකිය. එවිට පැහැදිලි වන්නේ හේගල්ව නොකිය වූ සමන් අපිට හේගල් මෙසේ යැයි පවසන්නේ හේගල්ගේ එක පොතක්වත් සිංහලට පරිවර්තනය නොවූ කාලවකවානුවකය. ඉංග්‍රීසි දන්නා ඉතාම ස්වල්ප දෙනෙක් පමණක් ලංකාවේදී හේගල්ව කියවා ඇත. එතකොට සමන් මොනවා හේගල් ගැන ලියුවා ද යන්න නොදන්නා පාඨකයාට සමන්ව කියවා හේගල්ව තේරුම් ගත හොත් සිදුවන්නේ සමන්ගේ අසභ්‍ය විඥානවාදය කියවා ගැනීම පමණි. එවිට සිදුවන්නේ අසභ්‍ය විඥානවාදය භාවිතාවට දැමීමකි. බොහෙම හොදයි කරගෙන යන්න අපෙන් බාධාවක් නැත.

මාක්ස්ගෙන් සමන්ව කියවීම
මාක්ස්ගෙන් සමන්ව කියවීම යනු නොදන්නාකම කියවීමකි. එය මාක්ස්වාදීන් කරන්නේ නැත. මොකද වැඩකට නැති දෙයකට කාලය දැමීම කාලය අපතේ හැරීමකි. මේ පිළිතුර පවා දෙන්නට උත්සාහ කළේ යසිත ප්‍රශ්නයක් නගපු නිසා ම පමණි. නැත්නම් සමන්ගේ අසභ්‍ය විඥානවාදය ගැන කතා කිරීමවත් මාක්ස්වාදීන්ට වැඩකට නැති වැඩකි. මේ ලියූ පිළිතුරට අසභ්‍ය විඥානවාදියෙක් නම් කෝපාන්විතව ඇවිස්සෙනු ඇත. එය එම මතවාදය පිළිගන්නා ස්වභාවයේ ප්‍රමාණය අනුව සිදුවිය හැකිය. ඇවිස්සී කොතරම් කෑ ගසුවත් මාක්ස්වාදීන් නම් ගණන් ගන්නේ නැති බව පැවසිය හැක්කේ “මාක්ස්වාදීන් භෞතික විමුක්තිය“ පිළිගන්නා නිසා සහ “දෙවියන්වහන්සේගේ විමුක්තිය පිළිනොගන්නා“ නිසාය. ඒ අනුව අසභ්‍ය විඥානවාදය සහ භෞතිකවාදය ඒකාබද්ද කළ නොහැකි බවත් හේල්ගෙන් මාක්ස්ව කියවීමට නොහැකි බවත් මේ පිළිතුරෙන් ඔබට පැහැදිලි නොවුන හොත් ඉදිරියටත් මෙවැනි ප්‍රශ්න නගමින් බෙරිහන් දී දී ඉන්නට සිදුවන බව වටහා ගන්නේ නම් පමණක් වැදගත්ය.

චමිල් ජයනෙත්ති-Chamil Jayaneththi
මාක්ස්වාදී විශ්වවිද්‍යාලය වෙනුවෙන්





