අනුර බී. සෙනෙවිරත්න:
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) වාර්තාවකට අනුව, ආසියාවේ ඌෂ්ණත්වය ලෝකයේ ඉතිරි භූගෝලීය කලාපවලට වඩා දෙගුණයක වේගයකින් ඉහළ යමින් පවතී. ආසියානු කලාපය තුළ විශාල භූමි ප්‍රමාණයක් පිහිටා තිබීම මෙයට හේතුවක් වන අතර, එනිසා, මුහුදට වඩා ගොඩබිම ඌෂ්ණත්වය වේගයෙන් ඉහළ යන බව එම වාර්තාව පෙන්වා දෙයි. මෙම උණුසුම් වීමේ වේගය, කලාපය පුරා ජීවිත හා ජීවනෝපායන්ගේ විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දෙන අතර, එම කලාපයේ කිසිදු රටකට මෙම ප්‍රතිවිපාකවලින් නිදහස් නොවිය හැකි ය.
ආසියාව අවට ඉන්දියානු සහ පැසිෆික් සාගරවල මතුපිට ඌෂ්ණත්වය ද 2024 පටන් වාර්තාගත මට්ටම් කරා ළඟා වී ඇත. මෙම දිගුකාලීන උණුසුම් තත්ත්වය උණුසුම් වා රැළි ඇති කිරීමටත්, ග්ලැසියර දියවීමටත්, මුහුදු මට්ටම ඉහළ යාමටත් හේතු වී තිබේ.
ආසියාවේ ඇතැම් රටවල් සහ ප්‍රජාවන් වාර්තාගත වර්ෂාපතනයෙන් දැඩි විනාශයකට ලක් වෙමින් සිටී. ඒ සම්බන්ධ ආසන්නතම උදාහරණය ශ්‍රී ලංකාව යි. දැඩි වර්ෂාපතනය නිසා පසුගිය මස අවසානයේ සිදුවූ ජලගැලීම් සහ නායයෑම්වලින් සිදුවූ ජීවිත හා දේපල හානි තවමත් නිශ්චිත වශයෙන් ගණන් බලා නැත. මේ සම්බන්ධයෙන් කල් ඇතිව පළ කළ කාලගුණික දේශගුණික පුරෝකථන අදාල බලධාරීන් නොසලකා හැරීමත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් නොකිරීමත් මෙමගින් සිදුවූ ජීවිත හානි මෙතරම් වැඩි වෙන්නට හේතු වී තිබේ. මෑත කාලයේ සිදුවූ තවත් එවැනි ස්වභාවික විපත් පිළිබඳ රැසක් පිළිබඳ උදාරණ අපට මෙම භූගෝලීය කලාපය තුළින් ම සපයා ගත හැකි ය.

ආසියාව
2024 ජූලි මාසයේ ඉන්දියාවේ උතුරු කේරළ ප්‍රදේශයේ මාරාන්තික නාය යෑමක් සිදු වූ අතර, ඉන් 350 කට අධික පිරිසක් මිය ගිය හ. එසේ ම, ග්ලැසියර දහස් ගණනක් ඇති කසකස්ථානයේ එම වසරේ අප්‍රේල් මාසයේ සිදූ වූ වාර්තාගත වර්ෂාපතනය සහ හිම දියවීම නිසා පසුගිය වසර 70 තුළ සිදු වූ දරුණුතම ගංවතුර තත්ත්වයට එරටට මුහුණ දෙන්නට සිදුවී ය. එමගින් සිදුවූ ජීවිත හානි අවම වුව ද, සිදුවූ ආර්ථික හානිය අති විශාල ය.
ලොව විවිධ කලාපවලට සහ රටවලට දේශගුණික විපර්යාස බලපාන්නේ විවිධාකාරයෙනි. සමහර රටවල් අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවන ගංවතුර හා නායයෑම්වලින් විනාශයට පත් වෙද්දී, තවත් රටවල් ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම නිසා ඇතිවන නියඟයෙන් විනාශයට පත්වෙයි. නිදසුනක් ලෙස, 2022 වසරේ ගිම්හානය පුරා චීනයේ පැවති නියඟය මිලියන 4.76 කට අධික ජනතාවකට බලපෑ අතර, වගා බිම් හෙක්ටයාර ලක්ෂ ගණනකට හානි සිදු කළේ ය.

මේ ආකාරයෙන් වඩ වඩාත් ආන්තික වන මෙම කාලගුණික රටාවන්ට අනුවර්තනය වීමට ඇති එක ම මාර්ගය, ප්‍රජාවන්ට වඩත් ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කිරීම සඳහා වන ධාරිතා ගොඩනැගීම බව පෙන්වා දෙන ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ඒ සඳහා අනිවාර්යයෙන් කළ යුත්තේ, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වඩාත් පුළුල් ලෙස ස්ථාපනය කිරීම බව සිය වාර්තාව මගින් අවධාරණය කරයි.
ජල ගැලීම් අවදානම් ඇතුළු ස්වභාවික ව්‍යසන නිරීක්ෂණය කරන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සවිකිරීමෙන් නේපාලය ලැබූ සාර්ථකත්වය ලෝක කාලගුණ විද්‍යා සංවිධානය එම වාර්තාව මගින් ප්‍රශංසාවට ලක් කරන ලද අතර, මේ සම්බන්ධයෙන් වඩාත් පුළුල් ක්‍රියාමාර්ග තවදුරටත් අවශ්‍ය බව ද එම වාර්තාව කියා සිටී.
2024 සැප්තැම්බර් 26 සහ 28 අතර කාලය තුළ නේපාලයට අතිශය අධික වර්ෂාපතනයක් අත්විඳින්නට සිදු වූ අතර, එය රටේ විශාල ප්‍රදේශවල නායයෑම් සහ ජල ගැලීම් ඇති කළේ ය. මෙම හදිසි දේශගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 246 දෙනකු මිය ගොස්, 178 දෙනකු තුවාල ලැබූ අතර, 200 කට අධික පිරිසක් අතුරුදන් වූ හ.
මෙම අර්බුදයේ බලපෑම අතිශය දරුණු වුව ද, පූර්ව ජල ගැලීම් අනතුරු හැඟවීමේ පද්ධති නිසා ප්‍රජාවන්ට එම ස්ථානවලින් ඉවත් වීම සඳහා සූදානම් වීමට මෙන් ම, අර්බුද සඳහා ප්‍රතිචාර දක්වන්නන්ට දරුණු ලෙස හානියට පත් ප්‍රදේශ කරා ඉක්මනින් ළඟා වීමට ද හැකියාව ලැබිණි.
නැගෙනහිර නේපාලයේ පීඩාවට පත් නගර සභාවක නගරාධිපතිවරයකු වන රමේෂ් කාර්කි කියා සිටියේ, ජල ගැලීම් මෙතරම් දරුණු වූයේ, අවුරුදු 65 කට පසුව බවක්, තම පෙර සූදානම සහ ආපදාවට ලක්වූවන් ගලවා ගැනීමේ ක්‍රියාමාර්ග නිසා මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා නොවූව ද, සිදු වූ හානිය ඉතාමත් බරපතළ වූ බව ය.
WMO පැවසුවේ, මෙම පද්ධති තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා නේපාල රජය සහ අනෙකුත් හවුල්කරුවන් සමග ඔවුන් කටයුතු කරන බව ය.
යුරෝපය
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අයත් භූගෝලීය කලාප අතරින් වෙනත් ඕනෑ ම කලාපයකට වඩා වේගයෙන් උණුසුම් වෙමින් පවතින්නේ, ‘යුරෝපය’ යි. එම ඉහළ යන උණුසුම එහි වෙසෙන ජනතාවගේ සෞඛ්‍යයට දරුණු ලෙස දැඩි බලපෑමක් ඇති කරමින් තිබේ. එම කලාපයේ ඉහළ යන මරණ අනුපාතිකය මෙන් ම, දේශගුණය හා සම්බන්ධ සෞඛ්‍ය දර්ශක පවා මෑත වසරවල දී බෙහෙවින් නරක අතට හැරී ඇත.
දේශගුණික විපර්යාස මගින් මහජන සෞඛ්‍යයට එල්ල කරනු ලබන දිනෙන් දින වර්ධනය වන මෙම තර්ජනයට මුහුණ දීම සඳහා ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ/යුරෝපා කාර්යාලය (WHO/Europe) පසුගිය දා නවතම මුලපිරීමක් දියත් කළේ ය. ඒ, ‘දේශගුණය සහ සෞඛ්‍යය පිළිබඳ පෑන්-යුරෝපීය කොමිසම’ (PECCH) පිහිටුවමිනි.
අයිස්ලන්තයේ හිටපු අගමැතිනිය වන කැට්‍රින් ජැකොබ්ස්ඩොටිර්ගේ සභාපතීත්වයෙන් යුත් මෙම කොමිසම, ක්‍රියාකාරී විසඳුම් සඳහා නිර්දේශ ලබා දීමේ වගකීම ඇති, කලාපය පුරා සිටින ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් 11 දෙනෙකුගෙන් සමන්විත ය.
මනුෂ්‍ය වර්ගයාගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් දේශගුණික විපර්යාසවලට බෙහෙවින් ගොදුරු විය හැකි ප්‍රදේශවල ජීවත් වන අතර, ලෝකයේ තාපයට සම්බන්ධ මරණවලින් තුනෙන් එකක් ම සිදුවන්නේ යුරෝපීය කලාපයේ ය. 2022 සහ 2023 වසර දෙක ම එකතුව ගත් විට යුරෝපීය කලාපයේ රටවල් 35ක් පුරා විසූ 100,000 කට අධික ජනතාවක් තාපය හේතුවෙන් මිය ගිය හ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැට්‍රින් ජැකොබ්ස්ඩොටිර් අගමැතිනිය පවසා සිටියේ, දේශගුණික අර්බුදය යනු පාරිසරික හදිසි තත්ත්වයක් පමණක් නොව, එය වර්ධනය වන මහජන සෞඛ්‍ය අභියෝගයක් ද වන බව ය.
මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස ඌෂ්ණත්වය ඉහළ යාම, වායු දූෂණය සහ වෙනස් වන පරිසර පද්ධති අතර ඇති අන්තර්ක්‍රියාව දැනටමත් යුරෝපීය කලාපය පුරා සහ ලොව පුරා ප්‍රජාවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට බලපාන බව හඳුනා ගත යුතුව ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවා ය.
මෙම කොමිසමට පැවරී ඇත්තේ කාබන් විමෝචනය අඩු කිරීම, සෞඛ්‍යය ආරක්ෂා කරන අනුවර්තන උපාය මාර්ග සඳහා ආයෝජනය කිරීම, අසමානතාව අඩු කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා නිර්දේශ ලබා දීම ය.
වඩාත් ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ සෞඛ්‍යයට දේශගුණික අර්බුදය අසමානුපාතික ලෙස බලපෑම් එල්ල කරයි. දේශගුණික විපර්යාස මගින් බෝවන රෝග ව්‍යාප්ත වීම, තාපය ආශ්‍රිත රෝගාබාධ ඇති කිරීම සහ ආහාර අනාරක්ෂිතතාව වර්ධනය කිරීම දක්වා බලපෑම් එල්ල කරමින් මානව සෞඛ්‍යයට බරපතල හා දිනෙන් දින උග්‍රවන තර්ජනයක් එල්ල කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ/යුරෝපා කාර්යාලයේ (WHO/Europe) දේශගුණය සහ සෞඛ්‍යය පිළිබඳ පෑන්-යුරෝපීය කොමිසමේ (PECCH) උපදේශක ඇන්ඩෲ හේන්ස් පැවසී ය.
ගෝලීය උණුසුම ඉහළ යාම
ගෝලීය දේශගුණික යාවත්කාලීන කිරීම්වලට අනුව, ඉදිරි වසර පහ තුළ 1850–1900 දක්වා වූ පූර්ව-කාර්මික මට්ටම්වලට වඩා සෙල්සියස් අංශක 1.2 සහ 1.9 අතර ප්‍රමාණයක ඌෂ්ණත්වයක් පෘථිවිය අත්විඳිනු ඇතැයි පුරෝකථනය කර ඇත.
2024 දී ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ඇස්තමේන්තු කළේ, සාමාන්‍ය ගෝලීය ඌෂ්ණත්වය පූර්ව-කාර්මික මට්ටම්වලට වඩා සෙල්සියස් අංශක 1.34 සහ 1.41 අතර ඉහළ මට්ටමක පවතිනු ඇති බව යි. එහෙත්, 2015-2034 සඳහා වන අවුරුදු 20 ක සාමාන්‍ය උණුසුම පූර්ව-කාර්මික මට්ටම්වලට වඩා සෙල්සියස් අංශක 1.44 කින් පමණ ඉහළ යනු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) මේ වනවිට පුරෝකථනය කර තිබේ.
ආක්ටික් කලාපය
ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා ආක්ටික් කලාපයේ තත්ත්වය වඩාත් භයානක ය. සෑම වසරක ම නොවැම්බර් සිට මාර්තු දක්වා පවතින ඉදිරි ශීත සෘතු පහ තුළ ආක්ටික් කලාපයේ සාමාන්‍ය ඌෂ්ණත්වය 1991-2020 කාලවල පැවැති සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.4 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය ගෝලීය සාමාන්‍ය ඌෂ්ණත්වයේ වැඩිවීමට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි අගයකි.
විශේෂයෙන් ම බාරන්ට්ස්, බෙරින් සහ ඕකොට්ස්ක් මුහුදුවල මුහුදු අයිස් අඛණ්ඩව හැකිළෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය මුහුදු මට්ටම ඉහළ යාමට සහ ලොව පුරා කාලගුණ රටා කඩාකප්පල් කිරීමට ද හේතු වේ.
ලෝකය මෙම තීරණාත්මක අවස්ථාවට පිවිසෙමින් සිටින හෙයින්, ඉදිරි දශක කිහිපය තුළ ඊටත් වඩා භයානක ලෙස ඉහළ යා හැකි මෙම උණුසුම් වීම වළක්වා ගැනීම සඳහා ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 සීමාවට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට දේශගුණික ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආයතනය ඉල්ලා සිටී.
අප්‍රිකාව
ආන්තික දේශගුණික විපර්යාසවල බලපෑම් අප්‍රිකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයේ සෑම අංශයකට ම බලපාන බවත්, සාගින්න, අනාරක්ෂිත බව සහ අවතැන්වීම එමගින් තව තවත් උග්‍ර කරන බවත් එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ප්‍රකාශ කරයි. එම සංවිධානය සඳහන් කළේ 1991-2020 කාලයේ පැවැති සාමාන්‍යයට වඩා ආසන්න වශයෙන් 2024 දී අප්‍රිකාව පුරා සාමාන්‍ය මතුපිට ඌෂ්ණත්වය සෙල්සියස් අංශක 0.86 කින් ඉහළ ගොස් ඇති බව ය.
උතුරු අප්‍රිකාව 1991-2020 පැවැති සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.28ක ඉහළ ම ඌෂ්ණත්ව වෙනස වාර්තා කළ අතර, එනිසා, අප්‍රිකාවේ වේගයෙන් ම උණුසුම් වන උප කලාපය බවට පත්ව ඇත්තේ, උතුරු අප්‍රිකාව යි. මුහුදු මතුපිට ඌෂ්ණත්වය ද වාර්තාගත ලෙස ඉහළ ම මට්ටමක පවතී. විශේෂයෙන් ම අත්ලාන්තික් සාගරයේ සහ මධ්‍යධරණී මුහුදේ මුහුදු මතුපිට ඌෂ්ණත්වයේ විශාල වැඩිවීම් දක්නට ලැබුන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසයි.
මෙම දත්ත මගින් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දී අප්‍රිකාව අවට මුළු මහත් මුහුදු ප්‍රදේශය ම පාහේ, විශේෂයෙන් ම නිවර්තන අත්ලාන්තික් සාගරය, ප්‍රබල, දරුණු හෝ අතිශය දරුණු මට්ටමේ සාගර ඌෂ්ණත්ව තරංගවලින් පීඩාවට පත්ව ඇති බව ය. දේශගුණික විපර්යාස යනු අප්‍රිකානු මහද්වීපය පුරා ඇති ඉක්මනින් උත්සන්න වන ගැටලුවක් බවත්, සමහර රටවල් අධික වර්ෂාපතනය නිසා ඇති වූ අසාමාන්‍ය ගංවතුරට මුහුණ දෙන අතර, තවත් සමහර රටවල් දිගුකාලීන නියඟ සහ ජල හිඟයකින් පීඩා විඳින බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) ප්‍රධානී සෙලෙස්ටේ සෝලෝ අනතුරු හැඟවී ය.
ෆොසිල ඉන්ධන
බටහිර ජාතීන් ෆොසිල ඉන්ධන දහනය කිරීම නිසා පෘථිවිය උණුසුම් වන අතර, එමගින් අප්‍රිකාවට ඇති විශේෂ අවදානම ඉස්මතු කරමින්, එක්සත් ජාතීන්ගේ මෙම ඒජන්සිය පැවසුවේ, පසුගිය වසරේ ගංවතුර, උණුසුම් තරංග සහ නියඟ හේතුවෙන් මහද්වීපය පුරා 700,000 කට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වෙන්නට සිදුවූ බව ය. 2023 වසරේ දී පැවැති එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුවේ දී ‘ෆොසිල ඉන්ධනවලින් ඉවත් වීම’ සම්බන්ධයෙන් ලොව සියලු ම රටවලින් ඉල්ලීමක් කළ ද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
කාබන් විමෝචනය
ගෝලීය උණුසුම ඉහළ යන්නට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ෆොසිල ඉන්ධන භාවිතය මගින් සිදුවන කාබන් විමෝචනය යි. වැඩි ම කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන රටවල් අතරින් පළමු තැන චීනයටත්, දෙවන තැන ඇමෙරිකවෙටත්, තුන්වන තැන ඉන්දියාවටත් හිමිව තිබේ. එම ප්‍රධාන රටවල් තුන ඇතුළු තවත් බොහෝ රටවල අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ඉහළ යන පරිසර විපර්යාසයන් වත්මන් ලෝකයේ සිදුවන බොහෝ ස්වභාවික විපත්වලට මූලික වී තිබේ.

හාස්‍යයට කරුණ වෙන්නේ ඔවුන් මෙම ස්වාභාවික විපත්වලට බලපාන කාබන් විමෝචනය අඩු කිරීමට ක්‍රියා කරනවා වෙනුවට ලොව කොතැනක හෝ ස්වභාවික විපතක් සිදුවූ වහා ම මානුෂීය ආධාර ලබාදීමට ඉදිරිපත් වීම ය. එසේ කටයුතු කරමින් ම ඔවුහු, තවත් අනාගත ස්වභාවික විපතක් නිර්මාණය කිරීම සඳහා දිගින් දිගට ම කටයුතු කරමින් සිටින බව බොහෝ දෙනා නොදනිති..
කාබන් විමෝචනය අතින් 2022 වන විට රටවල් 206 අතරින් 88 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2024 වනවිට 91 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. එයින් පෙන්නුම් කරන්නේ අප ද ඉවක් බවක් නොමැතිව පොසිල ඉන්ධන දවමින් කාබන් විමෝචනය ඉහළ දමන්නට වැඩි වැඩියෙන් කටයුතු කරමින් සිටින බව ය.
මෙම අයහපත් වර්ධනයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ පසුගිය කාලය තුළ ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යමින් තිබූ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අකර්මණ්‍ය කිරීමට කටයුතු කිරීම ය. එහෙයින් දැන්වත් බහුජාතික විදුලි සමාගම්වල කොමිස් මුදලින් තම තමන්ගේ මඩි තරකර ගැනීම සඳහා මේ සොබා දහමට විණ කිරීම නතර කර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සම්බන්ධ දෙස් විදෙස් ව්‍යාපෘති නොකඩවා ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කළයුතුව තිබේ. එසේ කටයුතු කිරීම පොසිල ඉන්ධන ප්‍රභවයන් නොමැති අපේ රටේ ඇති සොච්චම් විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට මෙන් ම, ගෝලීය උණුසුම ඉහළ යාමෙන් සිදුවන දේශගුණික විපර්යාසවලින් පැන නගින ස්වභාවික විපත් අවදානම අවම කරගැනීමට ද හේතුවනු ඇත.

අනුර බී. සෙනෙවිරත්න – Anura B. Seneviratne





