අනුර බී. සෙනෙවිරත්න:
මෙරට සිංහල කවියට, කෙටිකතාවට, නවකතාවට, පරිවර්තන සාහිත්‍යයට, සාහිත්‍ය විචාරයට, නාට්‍ය හා රංගකලාවට අනුපමේය මෙහෙයක් සිදුකරමින් සිටින මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා සේවය
අගය කරමින් 2025.10.24 වන දින කොළඹ විශාකා විද්‍යාලයේ පැවැත්වු ‘සොක්‍රටීස්ගේ හදවත’ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර උපහාර උළෙල නිමිත්තෙන් විප්‍රවාසීව සිටින මා
එතුමන්ගේ අසූපස් වන ඡන්ම දිනය වෙනුවෙන් සම්පාදනය කළ මෙම ලිපිය එතුමන්ට උපහාරයක් වේවා !
වසර හැත්තෑවක් පුරා
සිංහල සාහිත්‍යයට, නාට්‍ය කලාවට සහ සාහිත්‍ය විචාරයට අනුපමේය මෙහෙයක් සිදුකරමින් සිටින
ප්‍රාඥයා – මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
‘ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත’ යනුවෙන් අලගියවන්න මුකවෙට්ටි තුමා සුභාෂිතයේ සඳහන් කළ පාඨය බොරු කළ බොහෝදෙනෙකු විවිධ ක්ෂෙත්‍රවල දී අපට හමුවී තිබේ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ද එවැන්නෙකි. ඔහු එක් ක්ෂෙත්‍රයකට කොටු වී නිර්මාණකරණයේ යෙදුන පුද්ගලයකු නොවේ. කවියකු, කෙටිකතාකරුවකු, පරිවර්තකයකු, සාහිත්‍ය විචාරකයකු, නාට්‍ය රචකයකු, ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකයකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු, වියත් දේශකයකු ලෙස පැහැදිලි ප්‍රතිමූර්තියක් ඔහුට ගොඩනගා ගන්නට හැකිව තිබෙන්නේ එහෙයිනි.

1938 ජනවාරි 28 වන දින සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා ලෙස පිළියන්දල දී උපත ලැබූ ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. ඉන්පසු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන අතර, එම පාසලේ ඔහුගේ පන්ති සගයන් බවට පත්වෙන්නේ, පසුකලෙක මෙරට සුප්‍රකට පුද්ගලයන් බවට පත්වන ජේ.බී. දිසානායක, ඩී.බී. නිහාල්සිංහ, බණ්ඩාර කේ. විජේතුංග, අශෝක පොන්නම්පෙරුම සහ විජේරත්න වරකාගොඩ යන ආදීන් ය.
කේ.ඩී. ද ලැනරෝල්, එස්.පී. පෙරේරා යන ප්‍රකට සාහිත්‍යධරයන්ගෙන් සිප්සතර හැදෑරීමේ වාසනාව ලද සුනන්ද මහේන්ද්‍ර සිසුවා සිය ප්‍රථම පරිවර්තනය සිදුකරන්නේ පස්වන ශ්‍රේණියේ සිටිය දී ය. ඒ, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ‘මර්මේට්’ නම් කුඩා කතන්දරය ‘දිය කිඳුරිය’ නමින් සිංහලයට පරිවර්තනය කරමිනි. එය එස්.පී. පෙරේරා ගුරුතුමා සංස්කරණය කළ ‘පාඨකයා’ සඟරාවේ පළවීම සුනන්ද මහේන්ද්‍ර සිසුවාගේ නිර්මාණ ජීවිතයේ ආරම්භය වී ය.
පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු විද්‍යාලංකාර පිරිවෙනට (වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලය) ඇතුළත්වන ඔහු එහි දී ශාස්ත්‍රවේදීි උපාධිය ලබා 1973 සිට 1977 දක්වා යාපනය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ ය. අනතුරුව එංගලන්තයේ ‘ලීස්ටර්’ විශ්වවිද්‍යාලයට අනුයුක්තව ජනසන්නිවේදනය හදාළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර 1987 දී ජනශ්‍රැති අධ්‍යයනය සඳහා පෝලන්තයේ ‘රොක්ලෝ’ විශ්වවිද්‍යාලයට ඇතුළු වී ය. එහි දී ගෞරව ආචාර්ය උපාධියක් ලබාගන්නා ඔහු 1990 දශකයේ දී නැවත සියරට පැමිණ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රවීණ මහාචාර්ය ධූරයට පත්වී ය.
එම වසරේ දී ම ඔහු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා සන්නිවේදන අධ්‍යාපනය සඳහා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ (CAEKAC) ජාතික ලේකම් වශයෙන් සහ භාණ්ඩාගාරික වශයෙන් සේවය කළ අතර, පසුව ඔහු එහි උප සභාපති පදවියට ද පත්වී ය. 1973 වසරේ කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රථමවරට ආරම්භ කළ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ප්‍රථම කථිකාචාර්යවරුන් බවට පත්වූයේ මහාචාර්ය විමල් දිසානායකයන් සමඟ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ය.
පාසල් දිවියෙන් පසුව ඔහු නැවත නිර්මාණකරණයට පිවිසෙන්නේ දිනපතා සහ සතිපතා පුවත්පත්වලට තීරුලිපි රචනා කිරීමෙනි. අනතුරුව ඔහු ‘විනීත හේමා’ යනුවෙන් නාට්‍ය පොතක් ප්‍රකාශයට පත්කළේ ශ්‍රී ලංකාවේ නාට්‍ය ආශ්‍රිත ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කළ ප්‍රථමයා බවට පත්වෙමිනි. ඒ සමඟ ම නවකතාකරණයට ද පිවිසෙන ඔහුගේ මංගල නවකතාව වන ‘හෙවණැලි ඇද මිනිස්සු’ 1964 වසරේ හොඳම නවකතාව සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ය.

1965 දී ඔහු නෝවේජියානු නාට්‍යකරුවකු වන හෙන්රික් ඉබ්සන්ගේ Heddar Gabler නාට්‍යය ‘ගැහැනියක්’ ලෙස සිංහලයට පරිවර්තනය කර නිෂ්පාදනය කරමින් ප්‍රථම වතාවට ඉබ්සන් සිංහල නාට්‍ය වේදිකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමිකර ගත්තේ ය.

හෙන්රික් ඉබ්සන්ගේ The Dall House නාට්‍යය ‘සෙල්ලම් ගෙය’ නමින් 1957 දී සිංහලයට පරිවර්තනය වී තිබුණ ද, එය ඒ වනතෙක් වේදිකාගත වී නොතිබිණි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඉබ්සන්ගේ නාට්‍යවලට මොනතරම් ඇලුම් කළෝ ද කිවහොත්, ‘ගැහැනියක්’ නාට්‍යයට අමතරව ඉබ්සන්ගේ තවත් නාට්‍ය දෙකක් ම සිංහලෙන් නිෂ්පාදනය කරන්නට ඔහු කටයුතු කළේ ය. ඒ, ‘සයුරෙන් ආ ළඳ’ හා ‘ජන හතුරා’ යන නාට්‍ය දෙක ය.


ඔහුගේ අනෙකුත් ස්වතන්ත්‍ර හා පරිවර්තන නාට්‍ය අතර ‘ඊසොප්’, ‘චෙකොව් සන්ධ්‍යාව’, ‘ඔහුගේ ලෝකය’, ‘පොකුරු වැස්ස’ සහ ‘සොක්‍රටීස්’ යන නාට්‍ය ප්‍රධාන වෙයි. ඊට අමතරව ඔහු ගුවන් විදුලි නාට්‍ය හතක් සඳහා නිෂ්පාදනයෙන් දායක වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන්විදුලිය ‘රේඩියෝ සිලෝන්’ නමින් පැවැති කාලයේ පටන් ම එහි වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ සුනන්ද මහේන්ද්‍රයෝ කලක් ලන්ඩනයේ පිහිටි බීබීසී ලෝක සේවයේ වෘත්තීය විකාශකයෙකු ලෙස ද සේවය කළෝ ය. ශ්‍රාවක සිත් ඇද බැඳගත් ‘බීබීසී සංදේශය’ ශ්‍රී ලාංකේය ශ්‍රාවකයන් අතරට ගෙන ඒමේ පුරෝගාමියා ඔහු ය. ‘විශ්ව කීර්තියට පත්වූවෝ’ යනු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනකි. එමගින් ඔහු චාල්ස් ඩාවින්, සොක්‍රටීස්, චාල්ස් ඩිකන්ස්, ප්ලේටෝ, ඩී.එච්. ලෝරන්ස්, බීතෝවන්, ඇන්ටන් චෙකොව්, ගැලීලියෝ ගැලිලි, හෝමර් ආදී විශ්ව කීර්තියට පත් පුද්ගලයන්ගේ ජීවන තොරතුරු සමකාලීන සමාජ දේශපාලන පසුබිමේ ලා සාකච්ඡා කළේ ය. ‘ගීයක රස’, ‘නිර්මාණ වින්දන’, ‘සහන් එළිය’, ‘විශ්ව සරණි’, ‘ලෝකාවලෝකනය’ ඔහුගේ අනෙකුක් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් බවට පත්වී ය.
ප්‍රවීණ ස්වතන්ත්‍ර කවියකු මෙන් ම කාව්‍ය පරිවර්තකයකු ද වන මහාචර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ‘අමාවිල දුටු පිපාසිතයා’, ‘අභ්‍යන්තර ඇසක්’, ‘අසල්වැසියෝ ගොළු වූ හ’, ‘දිවැස් හුල’, ‘එතෙර කවි ඇසුර’, ‘එතෙර මෙතෙර කුරුටු’, ජීවක වත’, ‘ඕඝ තරණය’ සහ ‘පවුරු වළල්ල’ යනු ඔහුගේ කවි අස්වැන්නෙන් සුඟකි.



කෙටිකතා නිර්මාණයෙන් මෙන් ම, කෙටිකතා විචාරයෙන් ද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සිංහල කෙටිකතා ක්ෂෙත්‍රයට කරන ලද සේවය ඉමහත් ය. වෙසෙස් පාඨක විචාරක අවධානයට බඳුන් වූ ‘බිරිඳ සහ මිතුරිය’, ‘දොර කවුළු ඇරලා’, ‘හෙට සුන්දර දවසකි’, ‘රතු ලන්තෑරුම’, ‘සිත්තරාගේ පුත්‍රයා’ ඔහුගේ කෙටිකතා සංග්‍රහ අතරින් කිහිපයකි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සිංහල නවකතාවට සිදුකරන ලද සේවය ද සුළුපටු නොවේ. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ අතර වැඩි ම ප්‍රමාණයක් ඇති නවකතා ගොන්න පමණක් ම ඊට දෙස් දෙයි. ‘හෙවණැලි ඇද මිනිස්සු’ නම් පළමු නවකතාව ලියා රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍රවන ඔහුගේ නවකතා ගමන් මග ‘චායා ප්‍රාන්තය’, ‘එය මෙසේ සිදුවිය’, ‘ගුරුවරයකුගේ කතාව’, ‘ඉඩෝරය’ ‘කාල මේකුළු හඹා ඇදුණා’, ‘නිරාලම්බනය’, ‘නිර්මෝහනය’, ‘නිරුවත් දෙවිවරු’, ‘නුඹ නාඬන්’, ‘සුන්දර බන්ධන’, ‘රාජද්‍රෝහියකුගේ කතාව’, ‘සල්ලාලයකුගේ ගීතය’, ‘උඩගෙදර මහත්මියගේ කතාව’, ‘උණු අළුපල්ල’, ‘වාල්මිකී ඔබට කීවෙ සීතා’, ‘ඉටු දෙවියෝ’, ‘දෙව්දත් මගට මැනවි’, ‘දඟර තරප්පුව’ සහ ‘මග යන්නා’ දක්වා දිවෙයි.
ඊට අමතරව ඔහු යොවුන් නවකතා, සාහිත්‍ය විචාර ඇතුළු විවිධ විෂයයන් යටතේ තවත් ග්‍රන්ථ රැසක් සම්පාදනය කර තිබේ. ‘කොසොල් රජ දුටු බුදුන් වහන්සේ’, ‘භාවාත්මක ආත්මභාෂණය’, ‘සරච්චන්ද්‍ර රැස් වළල්ල’, ‘නොනිමි සන්ධ්වනිය’, ‘වෙද රුවන් වත’, ‘ආනන්දය මේ සිත ප්‍රානස්වරය’, ‘ජීවන දායාද’, කලන්දාගේ ලෝකය’, ‘බුදු දිය දහරක්’, ’නස්රුදීන් හෝජා’, ‘සූක්ෂ්මාත්මතාව සහ නිර්මාණශීලීත්වය’, ‘සන්නිවේදනාර්ථ සංග්‍රහය’, ‘සන්නිවේදනයේ දර්ශනය’ ඉන් කිහිපයකි. ඊට අමතරව Monologues (Prehaps the Words Never Come) වැනි ඉංග්‍රීසි ග්‍රන්ථ ගණනාවක් මෙන් ම, අදටත් අතිශය ජනප්‍රිය ‘කුඩා දේවිකා’ වැනි ගීත ගණනාවක් ම ඔහු අතින් ලියැවී ඇත.




මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ පිය බිරිඳ සීතා මහේන්ද්‍ර, ඔහුගේ පුතුන් වන ආචාර්ය විදුර මහේන්ද්‍ර, වෛද්‍ය රවිඳු මහේන්ද්‍ර සහ පුවත්පත් කලාවේදී සචිත්‍ර මහේන්ද්‍ර යන පවුලේ සාමාජිකයන් සියලුදෙනා ම සාහිත්‍යකරණයට පිවිස සිටීම විශේෂත්වයක් දනවන්නකි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ‘දඟර තරප්පුව’ නවකතාව, සීතා මහේන්ද්‍රගේ ‘සමුගත් සුහදිනිය’ නවකතාව, ආචාර්ය විදුර මහේන්ද්‍රගේ ‘රයිස් ඔෆ් ද විදර්ඩ් ෆ්ලවර්ස්’ ඉංග්‍රීසි කවිසරණිය, වෛද්‍ය රවිඳු මහේන්ද්‍රගේ ‘දිවි ඉම් නිම්නය’ කෙටිකතා සංග්‍රහය සහ පුවත්පත් කලාවේදී සචිත්‍ර මහේන්ද්‍රගේ ‘දිදුලන දුහුවිල්ල’ නවකතාව යන ඔවුන් පස්දෙනා විසින් රචිත ග්‍රන්ථ පහක් 2011 වසරේ දී එකවර නිකුත්වීම එම විශේෂත්වය තහවුරු කරන්නකි.
සිය ජීවිත කාලය තුළ දී සය වතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලබන්නට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ සමත් වෙති. ඒ, ඔහුගේ පළමු නවකතාව වන ‘හෙවණැලි ඇද මිනිස්සු’ නවකතාවට 1964 දීත්, ‘නිරුවත් දෙවිවරු’ නවකතාවට 2002 දීත්, ‘ඕඝ තරණය’ කාව්‍ය සංග්‍රහයට 2006 දීත්, ‘ජන කියමන් පොත’ කෘතියට 2001 දීත්, ‘පුරාණෝක්ති සංග්‍රහය’ කෘතියට 2003 දීත්, ‘කලන්දාගේ ලෝකය’ යොවුන් සාහිත්‍ය කෘතියට 2021 දීත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගනිමිනි.
ඊට අමතරව, ඔහුගේ ‘සොක්‍රටීස්’ වේදිකා නාට්‍යය 1992 දී හොඳම නාට්‍ය පිටපතට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු රාජ්‍ය සම්මාන නමයක් හිමිකර ගත් අතර, ඔහුගේ ‘චායා ප්‍රාන්තය’ නවකතාව 2004 වසරේ හොඳම සිංහල නවකතාවට පිරි නැමෙන ගොඩගේ සාහිත්‍ය සම්මානයත්, ඔහුගේ ‘සුත කවි’ කාව්‍යය 2008 වසරේ දී බෞද්ධ සාහිත්‍ය සම්මානයත් දිනා ගැනීමට සමත් වී ය. තව ද, 1990 දී ලයන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය පිරිනැමූ වඩාත් ම කැපී පෙනෙන පුරවැසි සම්මානයෙනුත්, බෞද්ධ සාහිත්‍ය දායකත්වය සඳහා ජීවිත කාලීන ජයග්‍රහණය වෙනුවෙන් 2010 දී පිරිනැමුණු මහාචාර්ය ගුණපාල මලලසේකර අනුස්මරණ සම්මානයෙනුත් ඔහු පිදුම් ලැබී ය. මීට පෙර කලා කීර්ති සම්මානයෙන් පිදුම් ලැබ සිටි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ පසුගිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ‘සාහිත්‍ය රත්න’ සම්මානයෙන් ද පිදුම් ලැබූ හ.
2025.10.24 දින සිය දිවිසැරියේ අසූපස් වන ඡන්මදිනය සමරන එයින් වසර හැත්තෑවක් ම සාහිත්‍ය කලා, ශාස්ත්‍රීය සේවාවන් වෙනුවෙන් කැපකළ, ප්‍රතිභාව දුටු තැන එය ආරක්ෂා කර වැඩි වර්ධනය කරගැනීම සඳහා දුහුනනට අතදීමේ මහාර්ඝ ගුණයෙන් පිරිපුන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට නිදුක් නි්රෝගී චිරජීවනය උදාවේවා යි පතමු.

අනුර බී. සෙනෙවිරත්න-Anura B. Seneviratne





