පොතක් ලියා එළිදක්වනවාට වඩා අභියෝගාත්මක වැඩකින් “බහිරවයන්ගේ කතාන්දර” නොවැම්බර් 6 වැනිදා.

“Troll Geschichten” (බහිරවයන්ගේ කතාන්දර)  අනුවර්තන ළමා කතා කෘතියේ කර්තෘ ලේඛිකා රුෂිකා ගුරුගේ, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වේ.

රුෂිකා ගුරුගේ-Rushika Guruge

ප්‍රශ්නය : ඔබේ මුල්ම අනුවර්තන ළමා  කෘතිය “බහිරවයන්ගේ කතාන්දර (Troll Geschichten)” පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?

පිළිතුර: මේ පොත මම සිංහලට අනුවර්තනය කලේ ජර්මානු භාෂාවෙන් එළිදැක්වුනු “TrollGeschichten” පිටපතකින්. ඉතින් මේ කතා මාලාවේ ට්‍රොල්ලා කියන්නේ ස්කැන්ඩිනේවියානු ජනකතාවල එන, අපේ ලංකාවේ බහිරවයෝ,වාමනයෝ, නිට්ටෑවෝ වගේ සත්ත්ව කොට්ඨාශයක්. අපේ ඒ උදවිය ගැන අපිට තියෙන්නෙ එක්තරා විදිහක  බියමුසු සතුරු ආකල්පක්.

තමන්ට සමාන නොවන, හැඩහුරුකම් සහ සංස්කෘතින්වල අනෙකුත් මිනිසුන් ගැන මිනිස් ලෝකයේ වැඩිහිටියන් තුළ තියෙන බිය මුසු සතුරු ආකල්ප නවතින්නේ විනාශකාරි යුද්ධයන් බවට පත්වෙලා.

රොල්ෆ් ලිඩ්බේර්ග් කියන ස්වීඩන් ජාතික පරිසරවේදී කලාකරුවා, ස්කැන්ඩිනේවියානු ජනකතා ඇසුරු කරගෙන, පරිසරයේ විවිධත්ත්වය සහ  සුන්දරත්වය කැටිකරගෙන, කුඩා දරුවන්ගේ ලෝකයට මේ අමුතු ජීවින්ව රැගෙන එන්නේ මිත්‍රත්වය , සුන්දරත්වය ,සාමුහිකත්වය වැනි ලස්සන ආකල්ප වගේම සතුට, සිනහව, ප්‍රිතියත් අරගෙන .

ඉතින් අපේ ලෝකයේ ඉන්න තමන්ට වඩා වෙනස්, තමන්ගේ ජන වර්ගයේ  නොවන අනෙක් ජන වර්ග සහ වෙනත් සංස්කෘතින්වල ඉන්න මිනිසුන්ටත් මේ සතුට, සිනහව,ප්‍රීතිය තියෙන්න පුලුවන් මූලික අදහස මෙවන් කතාන්දර තුළින් අපේ දරුවන්ට දෙන්න පුලුවන් නේද කියන අදහස තමයි මේ Troll ජන කතා අනුවර්තනය කරන්න මුල් වුනේ.

තව දුරටත් යමක් එකතු කරනවානම්,

මධ්‍යකාලීන ස්කැන්ඩිනේවියානු කතා වල ට්‍රොල් චරිත ඉතා භයංකාර යෝධ සත්ව කොට්ඨාසයක්. 19 වෙනි ශතවර්ෂය වෙද්දීත් ට්‍රොල්ලා ගැන කථා වෙන්නේ ඒ විදිහටමයි. නමුත් රොල්ෆ් ලිඩ්බෙර්ග් ගේ ට්‍රොල් කතාන්දර වල අපිට පැරණි කතාන්දර වල ඉන්න ට්‍රොල්ලාට සම්පූර්ණයෙන්ම වෙනස් ට්‍රොල්ලා හඳුනාගන්න පුළුවං. ඔහුගේ කතාන්දර කුඩා දරුවන්ට ඔවුන්ගේ ලෝකයට භයංකාර විනාශකාරී විදිට හඳුන්වපු මේ ට්‍රොල් උදවිය ආදරයෙන් බාරගන්න පරිසරයක් නිර්මාණය කලා. කුඩා දරුවන් ට්‍රොල්ලා ලෙස අඳින්න පළඳින්න පවා පටන් ගත් බව නිරීක්ෂණය කරන්න පුළුවන්.

වසර දහසකටත් වඩා ළමා සිත්වල භීතිය ජනනය කරපු ට්‍රොල්ල් ලෝකය තනි පුද්ගලයකු විසින් සොඳුරු ආදරණීය ලෝකයක් බවට තනි මිනිසකු විසින් පත් කලේ සාහිත්‍යය සහ චිත්‍ර කියන ආශ්චර්‍යයන් භාවිතා කරගෙන. ළමා කථා ලෝකයට මේ ට්‍රොල් කථාවන් ආදර්ශයක් කියලා මම හිතනවා.

ප්‍රශ්නය : ඉදිරියේදී පරිවර්තනය කිරීමට ඔබ සැලසුම් කර ඇති කෘති මොනවාද?

පිළිතුර: ඉදිරියේදී රොල්ෆ් ලිඩ්බෙර්ග්ගේ තවත් පොතක් “මිරිවැඩියාව සහ බහිරව ළමෝ” කියන නමින් බහිරවයන්ගේ කතාන්දර මාලාවේ දෙවෙනි කොටස අනුවර්තනය කෙරෙමින් තියෙනවා. රොල්ෆ් ලිඩ්බෙර්ග් උඩවැඩියා සහ හතු වර්ග පිළිබඳ විශේෂඥයෙක්. ඔහුගේ දැණුම විශ්වවිද්‍යාල වැනි ආයතන වලින් බැහැරව ස්වයං හැදෑරීම් වලින් ගොඩ නැගුනු නිසාම අනෙකුත් විශේෂඥයන්ට වඩා මෘදු ගුණයක් ඔහුගේ දැණුමේ දකින්න පුළුවන්.
උඩ වැඩියා මල් වෙනත් මල් වගේ යායට හැදෙන්නේ නැහැ. මේ කථාවේ ඒ වගේ තනිව හැදුනු උඩවැඩියා (Orchid) පැලයකට තමන්ගේ තනි කමෙන් මිදිලා තවත් මල් මිතුරු මිතුරියන් එක්ක පිපෙන්න ට්‍රොල් දරුවන් විසින් ඉඩකඩ හදලා දෙන වික්‍රමාන්විත ක්‍රියාවක් ගැන.

Rolf Lidberg

ප්‍රශ්නය : මෙම කතා මගින් දරුවන්ට ලබා දිය හැකි පණිවිඩය කුමක්ද?

පිළිතුර: ප්‍රධානම කාරණාව තමන්ට වඩා වෙනස් හැඩහුරුකම් තියෙන, වෙනස් ඇඳුම් පැළඳුම් අඳින, වෙනත් භාෂාවන් කතා කරන මිනිස්සුත් අපි වගේම ආදරය, කරුණාව සතුට වගේම නෑ හිත මිතුරන් සමඟ ජීවිතයේ ප්‍රීතිය විඳින්න කැමති බව දකින්න පුළුවන් වෙන එක. ඒ වගේම පරිසරයේ ජීවත් වෙන පවතින, සතුන් සහ ගස්කොලන් ගැන ආදරණීය සම්බන්ධතාවක්  කුඩා ළමුන්ගේ මනස තුල ගොඩ නගන්නත් මේ කතා සමත් වෙනවා.

අපි යුරෝපයේ ජීවත් වෙද්දි අපේම රටේ අපේම සහෝදර සහෝදරියන්ව මුණගැහෙනවා. ඒ අය බොහෝ වෙලාවට දමිල භාෂාව කතා කරන අය. අවාසනාවකට අපිට  අපේ රටේ භාෂාවන් වන සිංහල හෝ දමිළ භාෂාවෙන් එකිනෙකා එක්ක දොඩමළු වෙන්න බැහැ. ඉංග්‍රීසි හෝ ජර්මානු භාෂාව වගේ විදේශීය භාෂාවලින් තමයි අපි ඔවුන් එක්ක කතා බහ කරන්නේ. ඔවුන් එක්ක එහම කතා බහ කලත්, අපි එකිනෙකා ගැන තවමත් ඉතිරිවෙලා තියෙන බිය අත්දකින්න පුළුවන්. හරියට රොල්ෆ් ලිඩ්බේර්ග් ට්‍රොල් කතා ලියන්න කලින් හිටපු නපුරු ට්‍රොල්ලා වගේ තමයි අපිට එකිනෙකාව පෙනෙන්නෙ. නමුත් අපි එකිනෙකා ඇසුරු කරද්දී, එකිනෙකාගේ උත්සව වලට සහභාගී වෙද්දී අපේ ජීවිත අපිට වෙනස් විදිහට පෙනෙන්නට ගන්නවා. කාලාන්තරයක් තිස්සේ අපිට වෙනස් භාෂාවන් සහ සංස්කෘතීන් වල ලාංකීයයන් ගැනත් දැනෙන්නේ හරියට මධ්‍යකාලීන ට්‍රොල්ලා වගේ.

වැඩිහිටියන් අතර තිබෙන සතුරුකාරී  හැඟීම් අපි පරම්පරවෙන් පරම්පරාවට කතාන්දර වලින් අරගෙන යනවා. අපේ අනාගත පරම්පරාවේ රොල්ෆ් ලිඩ්බේර්ග්ලා වගේ ලේඛක ලේඛිකාවන්, කලාකරුවන්  බිහිවෙලා ලංකාවේ ජනතාව අතර තියෙන එකිනෙකා කෙරෙහි තියෙන බියමුසු හැඟීම් දුරු කරලා, ආදරණීය ලෝකයක් හදන්න පාඩමක් මේ කථාවක තියෙනවා.

– මේ කතා මාලාවෙන්  පුංචි පැන්චියන් ඉලක්ක වුනත්, කතාව හඩනගා කියවන වැඩිහිටියන්  වන අපිටත් හිතන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවා. මම කැමතියි (ආදරනීය සිනහවක් එකතු කරගෙන) ආදරයෙන් කියන්න, ඉතින්  මේ පොත කියවන්න.

ප්‍රශ්නය : කුඩා දරුවන් අතර සංස්කෘතික විවිධත්වය පිළිබඳව අවබෝධය ඇතිකර දීම සඳහා කතා පරිවර්තනය කොතරම් වැදගත්ද?

පිළිතුර: විවිධ සංස්කෘතීන් වල සාහිත්‍ය නිර්මාණ දරුවන් අතට පත්වීම අත්‍යවශ්‍යයයි. විවිධ පරිවර්තන කියවනවිට  ජීවිතය සම්බන්ධව විශ්වීය අදහසක් සහ පොහොසත් ආකල්ප ගොඩ නැඟෙනවා. පොත් කියවීම වගේම ඒ ගැන සාකච්චා කිරීමත් පොතක සාරය ජීවිතයට උරාගැනීමට ඉතා වැදගත් වෙනවා. ඒ වගේ දෙයක් ළමා ලෝකය තුල අභියෝගාත්මකයි. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නිර්මාණාත්මක වැඩිහිටියන්ටයි.

ප්‍රශ්නය : ජර්මනියෙහි පදිංචිව සිටින්නෙකු ලෙස, සිංහල කෘති නිර්මාණය කිරීමේදී ඔබට මුහුණ දුන් අභියෝග මොනවාද?

පිළිතුර: මේ බහිරවයන්ගේ කතාන්දර මගේ පළවෙනි  අනුවර්තනය.  මේ පොත පරිවර්තනයක් නොකර අනුවර්තනයක් බවට පත් කරන්න සිදුවීමම ඒ අභියෝගයේ තරම පෙන්වනවා.
යුරෝපයේ සහ ලංකාව අතර පාරසරික වෙනස්කම්, දේශගුණික වෙනස්කම්, ඒ වගේම සංස්කෘතික වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒවා ඒ විදිහටම  පරිවර්තනය කලොත් දරුවන්ට ග්‍රහණය කරගන්න අපහසු වෙන්න පුළුවන් කියලා මම හිතුවා.ඒ වගේම දරුවන්ගේ ලෝකයට මේ කතාවේ ඉතා කුඩා දෙයකින් පවා ලංකාවේ කුඩා දරුවන්ගේ පරිකල්පන ලෝකයට වෙන බලපෑම මට හිතන්න වුනා. ඒක තමා මට තිබිච්ච ලොකුම අභියෝගය.
උදාහරණයක් විදිහට මේ කතාන්දරයේ එක් තැනක  වෙහෙස මහන්සි වෙලා වැඩ කරන ට්‍රොල් වැඩිහිටියන්ටත් දරුවන්ටත් විවේකයට කේක් සහ කෝපි ලැබෙනවා. යුරෝපයට කේක් වගේ දෙයක් අති සුඛෝපබෝගී වෙළඳපොලෙන් මිලදීගන්න උවමනා දෙයක් නෙවෙයි. තමන්ගේ නිවසේම සකසාගන්න දෙයක්. මේ පොතේ එන සාමූහිකත්වය, මහන්සී වී වැඩකිරීමේ සතුට වගේ වටිනාකම් එක්ක සාමාන්‍ය ජනතාවට තමන්ගේ දරුවන්ට පහසුවෙන් දෙන්න බැරි කෑමවර්ගයක් සම්බන්ධ නොකර ඉන්න මම කල්පනා කලා. ඒ විදිහටම පරිවර්තනය කලානම් මේ කතාන්දරය අහන කුඩා දරුවන්ට කතාව අවසානයේ කේක් කන්නට උවමනාවක් ඇතිවෙලා ඒ උවමනාව දෙමවුපියන්ට ඉටු කරන්නට අපහසු උනොත් දරුවන් වගේම දෙමවිපියනුත් දුකට පත්වෙන්න පුළුවන්. මෙහෙම කියද්දී කෙනෙකුට හිනා යන්න උනත් පුළුවන් . වෙළඳපොලේ යමක් විකුනද්දි වටිනා මානව ගුණයන්, භාණ්ඩ හෝ සේවාවන්ට ගැට ගහලා තියෙන වෙළඳ දැන්වීම් ඔබ දැකලා ඇති. ඒ වගේ සංවේදී අවස්ථාවන් ලාංකීය සමාජ දියුණුවට ඉඩ හැදෙන විදිහට කළමනාකරණය කරන්නත් මම උත්සාහ කලා. ඒ සංස්කෘතික සංවේදීත්වය පරිවර්තකයෙකුට හෝ අනුවර්තකයෙකුට ඉතාමත්ම වැදගත්. ඒ නිසාම වෙනත් රටක ළමා පොතක් තවත් රටක භාෂාවකට ගේනවා කියන්නේ ඉතාමත් අභියෝගාත්මක දෙයක්.

ප්‍රශ්නය : අවසාන වශයෙන්, ඔබ පවත්වන්නට සැලසුම් කර ඇති වළපනේ දරුවන් සඳහා වූ වැඩමුළුව පිළිබඳව කෙටි විස්තරයක් සපයන්න.

පිළිතුර: ලංකාවේ ගොඩක් නිර්මාණ කොළඹ හරි ඊට ආසන්න තැනක කරන්න කවුරුත් කැමැත්තක් දක්වනවා. වැඩකට වටිනා කමක් එන්න නම් එහෙම වෙන්න ඕනෑ කියලා අපේ හිත් තුල නොදැනුවත්වම අදහසක් තියෙනවා. ඒක අපි ජයගන්න උවමනා මානසික තත්ත්වයක්. අපි කොළඹින් බැහැරව මේ කටයුත්ත කරන්න හිතමින් ඉන්නකොට තමයි අපි කාලයක් තිස්සේ එකට කටයුතු කරපු “මානව අවකාශ” කණ්ඩායමේ මූලිකයෙක් වන ස්විට්සර්ලන්තයේ ඉන්න අපේ උදය ආර් තෙන්නකෝන් සහෝදරයා මූලික වෙලා රුපහ කොටඹ විද්‍යාලයේ මේ කටයුත්ත කරන්න සූදානම් උනේ. බහිරවයන්ගේ කථා එක්කම මගේ සහෝදරිය ගයනි ගුරුගේ විසින් ලියපු විහඟි විජේනායක කියන පාසැල් දැරියගේ චිත්‍ර වලින් හැඩ වුණ “අත්තම්මාගේ කුස්සිය”ත් මේ එක්කම එළිදක්වන්න අපි සූදානම් උනා.
හීන වලට සීමාවක් නැති නිසා උදය ආර් සහෝදරයා සමඟ කෙරුණු සාකච්ඡාව දුර දිග ගිහින් “සාකල්‍යය” නමින් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ උනා. ඉදිරි අනාගතය පොතක් පරිවර්තනය කරනවාට වඩා, පොතක් කියවනවාට වඩා, පොතක්ගැන කතාකරනවාටත් වඩා ඉතා අභියෝගාත්මකයි. අපේ දරුවන්, අපේ රට ඒ සඳහා සූදානම් කරන එක අපි හැමෝගෙම වගකීමක්.
ඉතින් ‘සාකල්‍යය’- ‘විශ්වයට මොහොතක්’ වැඩ සටහන 06.11.2025 දා රුපහ කොටඹ විද්‍යාලයේදී උදෑසන 08.00 ඉඳන් පැවැත්වෙනවා.

සංවාද සටහන: සුභාෂ්

බහිරවයන්ගේ කතාන්දර| Bahirawayange Kathandara (Troll Geschichten) [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකි

More From Author

ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව

සොක්‍රටීස්ගේ හදවත

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348