ජාතික ජන බලවේග රජය මුහුණ දෙන අභියෝගය :

පශ්චාත් සත්‍ය (Post-Truth) – පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ඉදිරියේ කල යුත්තේ කුමක්ද?

විනිවිදභාවය සහ දූෂණ විරෝධී සාධාරණ පාලනයක් පොරොන්දු වෙමින් බලයට පත්වූ හා ඒ පිළිබඳව ඉතාම සාධනීය ක්‍රියාමාර්ග ගනිමින් සිටින ජා.ජ.බලවේග රජය, සාම්ප්‍රදායික පොදු ජන පෙරමුණු බලවේග හා එ.ජා.පක්ෂ සමග පෙලගැසී සිටින ඇතැම් දේශපාලන කණ්ඩායම් සහ මාධ්‍ය ආයතනවලින් එල්ලවන දැඩි විරෝධයකට මුහුන දෙනු දැකගත හැක. එක පිට එක එල්ලවන මොවුන්ගේ මෙම ප්‍රහාරයන් නොනවතින රැල්ලක් නිර්මානය කරමින් වර්තමාන රජයට අභියෝග පිට අභියෝග කරමින් තිබේ. එක් උදාහරනයක් සලකතොත්, “කාලගුන අනතුරු ඇඟවීම නොසලකා විශාල ව්‍යසනයක් කලා ” යන පුවත දෙරන විසින් නිර්මානය කිරීම මාධ්‍යවේදී දෝෂයක් නොව, රජයේ විශ්වසනීයත්වයට හානි කිරීම සඳහා ව්‍යසනයේ අවුල් සහගත තත්වය උපයෝගී කර ගැනීමට සැලසුම් සහගතව නිර්මාණය කරන ලද සංවිධානාත්මක දේශපාලන ප්‍රහාරයකි. වර්තමාන රජයේ දේශපාලකයින් සහ නිලධාරීන් මෙයට මුහුන දෙන සහ දීමට යන ආකාරය මෙම කුමන්ත්‍රණකාරුවන්ට තවත් ශක්තියක් ගෙන දේ යැයි පෙනෙන්නට තිබේ. මා සිතන්නෙ මේ සැලසුම් සහගත ප්‍රචාරයන්ට පිළිතුරු දීම ප්‍රමාණවත් නැති බවයි. වර්තමාන දේශපාලන සටන පවතින්නේ “සත්‍ය” සහ “අසත්‍ය” අතර නොව, “චිත්තවේග” (Emotions/Affects) සහ “විශ්වාසයන්” (Trust) අතරය. මෙය හුදු ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන “පශ්චාත් සත්‍ය” (Post-Truth) අර්බුදයයි. මේ නිසා ‘පශ්චාත් සත්‍ය – පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී’ දේශපාලන ක්‍රියාකාරකම් වලට මුහුන දියයුතු ආකාරය ගැන ප්‍රගතිශීලී බුද්ධිමත් කොටස් අතර සංවාදයක් ඇති කිරීම අප විසින් ආරම්භ කල යුතුයි.

වැදගත් කාරනය නම්, පැරණි අත්දැකීම් පෙන්වා දෙන්නේ මේවාට පිළිතුරු දීම එතරම් ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බවයි. මෙම ‘පශ්චාත් සත්‍ය පුවත්’ දැන් සමාජය තුළ ක්‍රියාත්මක වන්නේ සත්‍ය /අසත්‍යභාවය මත නොව, එයට ජනතාව මත බලපෑම් හා කලබල කිරීමට ඇති හැකියාව (Affective Power) මතයි. සාම්ප්‍රදායික පිළිතුරු දීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස්, මෙම “යථාර්ථය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට”
(Reality Construction Project) මුහුණ දිය හැකි උපායමාර්ගික ප්‍රවේශයන් අප තෝරා ගත යුතුව තිබේ.

මෙවැනි යෝජනාවන් කිහිපයක් අප මීලඟට සාකච්ඡාවට ගනිමු. අසත්‍ය පුවතක් නිර්මාණයවූ පසු එයට පිළිතුරු දීමට යාම (Debunking) බොහෝ විට අසාර්ථක වන්නේ, එමගින් අදාළ අසත්‍ය පුවතට තවදුරටත් ප්‍රචාරය ලැබෙන බැවිනි. ප්‍රතික්‍රියා දැක්වීම වෙනුවට න්‍යාය පත්‍රය සැකසීම (Set the Agenda, Don’t Chase It), එනම් රජය විසින් තමන්ගේම “සත්‍ය කතන්දරය” (Narrative) නිර්මාණය කළ යුතුය. අර්බුදයක් ඇති විට (උදාහරණයක් ලෙස ගංවතුරක්) , විපක්ෂය එයට අර්ථකථනයක් දීමට පෙර, රජය විසින් බිම් මට්ටමේ සිදුවන සැබෑ මෙහෙයුම ගැන ප්‍රබල දෘශ්‍ය මාධ්‍ය (Visuals) හරහා ජනතාවගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කළ යුතුය. අනෙක් කාරනව භාවාත්මක බලපෑමට
(Affective Power) එරෙහිව “භාවාත්මක සත්‍යය” භාවිතා කිරීමයි. සතුරා සටන් කරන්නේ කරුණු (Facts) සමග නොව හැඟීම් (Affects) සමග නම්, රජය හුදු සංඛ්‍යා ලේඛන හෝ නිවේදන මගින් පමණක් ඊට පිළිතුරු දීම අසාර්ථක බව අප තේරුම් ගත යුතුය. භීතියට එරෙහිව විශ්වාසය ඇති කිරීම අනෙක් කාරනයයි. විපක්ෂය ජනතාව තුළ “භීතිය” (Fear) සහ “අස්ථාවරත්වය” (Anxiety) වපුරන විට, රජය විසින් “බලාපොරොත්තුව”
(Hope) සහ “එක්ව නැගී සිටීම” (Solidarity) යන හැඟීම් ඉලක්ක කරගත් සන්නිවේදනයක් ගෙන යායුතුය. කුමන්ත්‍රණයේ “අන්තර්ගතය” නොව “ක්‍රමවේදය” හෙළිදරව් කිරීම (Expose the Mechanism) තවත් වැදගත් කාරනයකි.
බොරු පුවතක් පලවූ විට “එය බොරුවක්” යැයි කීම ප්‍රමාණවත් නැත. ඒ වෙනුවට එම බොරුව නිර්මාණය කළ යාන්ත්‍රණය (Mechanism) ජනතාවට පෙන්වා දිය යුතුය. අනෙක් වැදගත් කාරනය නම් අප විසින් මාධ්‍ය සාක්ෂරතාවය ආයුධයක් කර ගැනීමට කටයුතු කල යුතු වීමයි. “දෙරණ නාලිකාව බොරු කියනවා” යැයි කියනවාට වඩා, “බලන්න ඔවුන් කොහොමද මේ වීඩියෝව කපා කොටා සංස්කරනය කර ඔබව බිය පත් කිරීමට හදන්නේ” යනුවෙන් එම නිර්මාණ ක්‍රියාවලිය විග්‍රහ කර පෙන්වීම වඩාත් ප්‍රබලය. මේ සියල්ල සමගම කලින් අනතුරු ඇඟවීම (Pre-bunking ) කිරීම ඉතා වැදගත්වේ. යම් සිදුවීමක් සිදු වීමට පෙරම, “ඉදිරි දිනවලදී මේ ආකාරයේ බොරු ප්‍රචාරයන් පැමිණිය හැකිය, ඒවාට නොරැවටෙන්න” යැයි ජනතාවට කල්තියා දැන්වීම (Inoculation) මගින් බොරුවේ බලපෑම අඩු කළ හැක. පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවකදී “නිල රජයේ නිවේදන” කෙරෙහි ඇති විශ්වාසය අඩුය. රජය විසින් ඉදිරිපත් කරන කරුණු ඉතාම සරල, ආකර්ෂණීය ඉන්ෆොග්‍රැෆික්ස් (Infographics ) හෝ කෙටි වීඩියෝ මගින් ඉදිරිපත් කළ යුතුය. එවැනි සංකල්ප භාවිතා කරමින්, සංකීර්ණ දේශපාලන කුමන්ත්‍රණ සරල රූප සටහන් මගින් පැහැදිලි කළ යුතුය.

අවසානයේදී, ඉතාමත් වැදගත් වන තුන්වන පාර්ශවීය හඬක් මතුකර ගැනීම ගැන සලකා බැලිය යුතුය. රජයේ ඇමතිවරුන්ම පැමිණ පිළිතුරු දෙනවාට වඩා, ස්වාධීන වෘත්තිකයන්, සිවිල් ක්‍රියාකාරීන්, හෝ ප්‍රාදේශීය නායකයින් හරහා සත්‍ය තොරතුරු සමාජගත කිරීම වඩාත් විශ්වාසදායකය.

ආරම්භයක් ලෙස සමාජ මාධ්‍ය ජාලයන් බලගැන්වීම මගින් මෙය කල හැක. බුද්ධිමත් කොටස් අතර සංවාදය ගොඩනැගීමට නම්, හුදු දේශපාලන විවාදවලින් ඔබ්බට ගිය “සමාජ විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක” විග්‍රහයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කළ යුතුය. “බුද්ධිමත් සංවාදය” ආරම්භ කිරීමට නම්, අප වටහා ගත යුත්තේ මෙය දේශපාලන සටනක් පමණක් නොව, මනෝවිද්‍යාත්මක යුද්ධයක් (Psychological Warfare) බවයි. ඊට මුහුණ දිය හැක්කේ සිදුවීම් පස්සේ දුවන ප්‍රතිචාරාත්මක (Reactive) ක්‍රමයකින් නොව, සත්‍යය ඉතාම ආකර්ෂණීයව සහ භාවාත්මකව ඉදිරිපත් කරන පූර්ව-ක්‍රියාකාරී (Proactive) ක්‍රමවේදයකින් පමණි.

සම්ප්‍රදායික න්‍යායන් හා දේශපාලන දර්ශනයේදී, භාවයන් (හැඟීම්) බොහෝ විට සලකනු ලැබුවේ තාර්කිකත්වයට (Rationality) බාධා කරන, ආත්මීය (Subjective) සහ විශ්වසනීය නොවන (Untrustworthy) සාධක වශයෙනි. නමුත් පශ්චාත්-සත්‍ය පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයේදී අපට පෙනී යන්නේ, භාවයන්ට මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය (Collective Action) සහ විශ්වාසයන් (Beliefs) සෘජුවම හැසිරවීමට ඇති හැකියාවයි. මේ නිසා ​’භාවාත්මක සත්‍යයන්’ දේශපාලන උපාය මාර්ගයක් ලෙස භාවිත කිරීම පිළිබඳ න්‍යායික හා දාර්ශනික විග්‍රහයක් කර ගැනීම ඉතා වැදගත්ය. අප කළ යුත්තේ භාවයන් (Affects) සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම නොව, ඒවායේ “යථාර්ථය තීරණය කිරීමේ” (Reality-Determining) හැකියාව හඳුනාගෙන, ධනාත්මක දිශාවකට යොමු කිරීමයි. භාවයන් යනු සත්‍යයට වඩා වේගවත්ය. සත්‍ය කරුණු විශ්ලේෂණය කිරීමට කාලය ගතවන අතර, භාවයක් (උදාහරණයක් ලෙස භීතිය) ක්ෂණිකව ක්‍රියාත්මකවේ. කුමන්ත්‍රණකාරී දේශපාලනයේ (Conspiratorial Politics) සාර්ථකත්වය රඳා පවතින්නේ සත්‍යයට පිළිතුරු දීමට ප්‍රථම, හැඟීම් අවුලුවාලීමට (Triggering Affects) ඇති හැකියාව මතය. විපක්ෂය “අස්ථාවරත්වය පිළිබඳ භාවයන් ” නිර්මාණය කරන විට, එය ඔවුන්ට අනුව “සත්‍යයක්” බවට පත්වන්නේ එම භාවයන් අත්විඳින ජනතාවට එය “සැබෑ” වන බැවිනි.

අවධානය යොමු කලයුතු වැදගත් කාරනය නම් ‘භාවාත්මක සත්‍යය’ භාවිතයේ දාර්ශනික අභියෝගයන් ගැන අප ඉතා ප්‍රවේශමෙන් සැලකිල්ලට ගතයුතු වීමයි. ​අප විසින් ‘භාවාත්මක සත්‍යය’
(Affective Truth) භාවිතා කිරීම යනු සතුරාගේ උපක්‍රමයන් සතුරාටම එරෙහිව යොදා ගැනීමකි. එහෙත්, මෙම ක්‍රියාවලියේදී අප විනිවිදභාවය සහ සදාචාර මිනුම් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය.
රජය විසින් ධනාත්මක භාවයන් (බලාපොරොත්තුව, විශ්වාසය) නිර්මාණය කළ යුත්තේ, අසත්‍ය පොරොන්දු මත පදනම්ව නොවේ. එය පදනම් විය යුත්තේ බිම් මට්ටමේ සැබෑ සාර්ථකත්වය සහ විනිවිදභාවය මතයි. ධනාත්මක භාවය, කරුණු (Facts) වලින් සම්පූර්ණයෙන්ම වෙන් නොවිය යුතුය. එනම්, භාවය යනු සත්‍යය ඉදිරිපත් කරන ප්‍රබල ද්වාරයන් (Powerful Gateways) විය යුතුය.

‘භාවාත්මක සත්‍යය’ මගින් අප ඉලක්ක කරන්නේ “තාර්කික පුරවැසියා” (Rational Citizen) නොව, “භාවාත්මක පුරවැසියායි” . භීතිය වෙනුවට විශ්වාසය ආදේශ කිරීම මගින්, අප කරන්නේ එම පුරවැසියාගේ යථාර්ථය අත්විඳින ආකාරය නැවත සැකසීමයි. පූර්ව-අනතුරු ඇඟවීම (Pre-Bunking) මගින් අප කරන්නේ, විපක්ෂයේ නිශේධනීය භාවයන් ජනිත කරන පුවත් සමාජගත වීමට පෙරම, ධනාත්මක භාවාත්මක පදනමක් සමාජය තුල නිර්මාණය කිරීමයි. මෙයින් ජනතාව තුළ ඇතිවන අස්ථාවරත්වයේ භාවයට ප්‍රතිරෝධයක් (Resistance to Affective Instability) ඇති කරයි. ක්‍රියාවලියක් ලෙස මෙය පහත ආකාරයට දැක්විය හැක.

  1. විපක්ෂය විසින් නිර්මාණය කරනු ලබන නිශේධනීය භාවයන් හඳුනා ගැනීම.
  2. එම භාවයන් කලින්ම අපේක්ෂා කිරීම.
  3. එයට ප්‍රතිවිරුද්ධ ධනාත්මක භාවයන් (බලාපොරොත්තුව, ඒකමතිකත්වය) විපක්ෂයට පෙර මුලින්ම සමාජගත කිරීම.

තේරුම් ගත යුතු අනෙක් වැදගත් කාරනය නම් ‘​’භාවාත්මක සත්‍යය’ භාවිතය, අපගේ ක්‍රියාකාරීත්වය “දැනුම බෙදාහැරීමේ ව්‍යාපෘතියකින්” (Knowledge Dissemination) “සමාජ මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක්” (Socio-Psychological Strategy) බවට පරිවර්තනය කරයි යන්නයි. කරුණු (Facts) වැදගත් වුවත්, ඒවා ඉදිරිපත් කළ යුත්තේ භාවාත්මකව ආකර්ෂණීය කතන්දරයක් ( Narrative ) තුළය. රජය වියළි නිවේදන නිකුත් කරන ආයතනයක් වෙනුවට, ජාතියේ බලාපොරොත්තුවේ සහ ප්‍රගතියේ කතන්දරය පවසන ආයතනයක් බවට පත් විය යුතුය. සතුරා විසින් නිර්මාණය කරන ලද “අවුල් සහගත (Chaos) යථාර්ථය” වෙනුවට, රජය විසින් “ස්ථාවරත්වය සහ ඉදිරි ගමන” පිළිබඳ ආකර්ෂණීය යථාර්ථයක් නිර්මාණය කළ යුතුය. ​මෙමඟින් අප ප්‍රමාද වී සත්‍යය පැහැදිලි කිරීමට දරන අසාර්ථක උත්සාහයෙන් මිදී, පූර්ව-ක්‍රියාකාරීව ජනතාවගේ විශ්වාසය සහ චිත්තවේගීය බැඳීම දිනා ගන්නා උපාය මාර්ගයකට මාරුවේ.

මේ ඒ සඳහා සුදුසුම කාලය වේ යැයි මා සිතයි !

More From Author

හේගල්ගෙන් මාක්ස්ව කියවීම

සුබ ගමන් ගාබෝ, මර්සිදීස් -A Fairwell to Gabo and Mercedes

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348