දුල්ෂාන් සංජය චන්ද්‍රසිරි:
බොහෝ පුද්ගලයින් ගෙ ජීවිත අපි දකින්නේ, ඔවුන් ගෙ ජීවිතවල ඇති උපස්තර අතරින් ඔවුන් මේ ලෝකය ට විවෘත කරන මතුපිට ඇති උපස්තරයක් හෝ කිහිපයක් හරහා පමණයි. ඉතිරි සියල්ල ම, ඔවුන් ගෙ පුද්ගලික ජීවිතය හා පමණක් තදින් ම බැඳුණු, සිය ජීවිතය ට අතිශයින් ළැදි සමීපතමයින් පමණක් දන්නා උපස්තරයන් වෙනවා. ඒ උපස්තරවල සැඟවුණු, ලෝකයා නො දුටු ඔවුන් ගෙ ජීවිත පැතිකඩ ඇතුළතින්, වඩාත් සොඳුරු, සුන්දර වූ මිනිසෙක් වුව ද මුණගැහෙන්න පුළුවන්. ලෝකයා ට ඔවුන් මොනවා දායාද කළත්, ඒ දායාදය තුළ දියව ගිය, වින්දනය කළ ඔවුන්ගේ ජීවිතයේ හරයාත්මයක වටිනාකම ඇත්තේ, ලෝකයා ට නො පෙනුණු, ඔවුන් ගෙ ජීවිතවල ඒ ඇතුළු උපස්තරවල වෙන්න පුළුවන්.
නොබෙල් ත්‍යාගලාභී, ග්‍රාබියෙල් ගාර්සියා මාකේස් නම් ඒ මහා සාහිත්‍ය දැවැන්තයා මෙලොවින් සමුගන්නේ, සිය පුද්ගලික ජීවිතය තුළ ද, පෙර නොවූ විරූ බැල්මක් හෙළන්නට මිහිරි අමිහිරි මෙන් ම ගැඹුරු දැක්මෙන් ද යුතු දෑ ඉතිරි කරමින්. රොද්‍රගෝ ගාර්සියා නම් ඔවුන් ගෙ පුතෙකු ලියන ‘A Farewell to Gabo and Mercedes’, ග්‍රාබියෙල් ගාර්සියා මාකේස් සහ ඔහු ගෙ බිරිඳ මර්සිදීස් ගෙ ජීවිතවල අවසාන කාලය ගැන ලියැවෙන එක්තරා මතක සටහනක්. මාකේස්, ජීවිතය නැමැති පාලම තරණය කරමින් සිය මරණය ට ඉතා සමීප වෙද්දී, ඒ අවසාන මොහොත දිහා උපේක්ෂාවෙන් බලන රොද්‍රිගෝ, එතෙක් මෙතෙක් සිය පියා ගෙ ජීවිතයෙන් ග්‍රාබියෙල් ගාර්සියා මාකේස් ව කියැවූ පාඨකයා ට විවෘත නොවුණු උපස්තර ගණනාවක් ම, හැඟීම්බර ව විවර කරනවා.

මේ පොත කියවන සල්මන් රුෂ්ඩි (Sir Ahmed Salman Rushdie) වරෙක හරි අපූරු අදහසක් ඉදිරිපත් කරනවා – ‘මෙය අපූර්ව මිනිසුන් දෙදෙනෙකුගේ සුන්දර සමුගැනීමක්. එය මගේ හිත ඇද බැඳ තබාගත්තා. ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස්ගේ කීර්තිමත් සාහිත්‍ය ලෝකය ට මෙතෙක් ප්‍රවිෂ්ට වුණු ඕනෑ ම අයෙක් ව එය සසල කරවනවා’.
රොද්‍රිගෝ ගාර්සියා ලියන මේ මතකාවර්ජනය, රුෂ්ඩි කියන්නා සේ, හදවත සසල කරන්නක්. විශේෂයෙන්, මාකේස් ගෙ වචනවල පහස ලබපු හදවත්. මාකේස් ගෙ කියැවීම් තුළ නිදහස් වෙන පාඨකයා ට, ඔහු ගෙ ලියැවීම් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. යථාර්ථවාදය හරහා කිව නො හැකි දේ, වෙනත් අවකාශයක් තුළින් කීමේ මායා යථාර්ථවාදයේ අග්‍රඵලය වුණු, මාකේස් ගෙ ‘One Hundred Years of Solitude’, ලොව ආශ්වාදයෙන් පුරවා දැමූ බව සැකයක් නැහැ. එවන් යථාර්වාදී මායාවක, සිය පාඨයාව ගිල් වූ ඔහු, සිය ජීවත්වීමේ කාල රේඛාවේ අවසානය ගෙවාදමන්නේ, පිළිකාවකින් පසු ව ඇතිවුණු ඩිමෙන්ෂියා රෝගී තත්වයකින් පෙළෙන ගමන්.
සිය සිහි කල්පනාව ගිලිහෙමින් ඇති බව වටහාගන්නා ඔහු ගෙවා දමන ඒ කාල පරිච්ඡේදය, ගාර්සියා මාකේස්ටත්, ඔහු වටා හුන් සමීපතමයින්ටත් අතිශය පීඩාකාරී, වෙහෙසකාරී කාලයක් වෙනවා. මාකේස් මේ කාලය තුළ ඩිමෙන්ෂියාව හා කරන ගනුදෙනුව, ඔහු වටා ඉන්න පිරිසටත් බලපානවා. විශේෂයෙන් ම මාකේස් ආදරණීය බිරිඳ; මර්සිදීස්, ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගන්නා අයුරු රොද්‍රිගෝ පෙන්වාදෙනවා. වරෙක මාකේස්, සිය පුතු රොද්‍රිගෝ ට කියනවා, ‘මම වැඩකරන්නේ මාගේ මතකය එක්ක. මගේ ආම්පන්නත්, අමු ද්‍රව්‍යත් මගේ මතකේ. මට ඒක නැතුව වැඩ කරන්න බෑ. මට උදව් කරන්න’.
රොද්‍රිගෝ ගාර්සියා මේ ඔබ ඉදිරියේ මේ අවධි කරන්නේ, ආදරය සහ අහිමිවීමේ මතකයක්; එකිනෙකාව දිරිගන්වන පවුලක මතකයක්; ඩිමෙන්ෂියාවේ දරුණුතම අවධියේ දී පවා සිය ගතිස්වභා වෙනස් නො කළ සාහිත්‍යයේ පතාක යෝධයෙකු ගෙ හෘදයාංගම ස්පර්ශනීය මතයක්. රොද්‍රිගෝ ගෙ මේ ලිවීම තුළින්, පවුල් ඒකකයක් හරහා නිවැරදි ඉගෙනුම් පරිසයක් බිහිවීමත්, ඒ පරිසරයෙන් ඉගෙන ගන්නා දෑ සර්වකාලීන වීමත්, දැනගැනීමට වටිනා බොහෝ දේ ඒ පරිසරය තුළින් බිහිවෙන අවියෝජනීය බැඳීම් තුළ තිබීමත් හොඳින් ඉස්මතු ව පෙනෙනවා. අවලස්සන දෑ ගැන ලස්සනට කියන්න තරම් අව්‍යාජ වූ සුභවාදිත්වයකින් යුතු මාකේස් සිය ජීවිතයේ දී, සිය පවුල හා පවත්වන්නේ ගහට පොත්ත සේ බද්ධ වුණු සබඳතාවයක්.
රොද්‍රිගෝ තුළ ඇති ගාර්සියා මාකේස් පිළිබඳ මේ කියැවීම, හරි සියුම් වගේ ම ප්‍රබල එකක්. පිය පුතු සබඳතාවය ඇතුළේ, රොද්‍රිගෝ සිය පියා ව දකින ඒ ආකාරය තුළ ඇත්තේ ම, සිය පියා ගැන වන ආඩම්බරයක් වගේ ම පැහැදීමක්. නමුත් ඒ සියලු මතකාවර්ජනයන් එක්ක, ඔහු සිය මව්පියන් ගෙ සමුගැනීම්වල ට කොයිතරම් සූදානම් වුණත්, හිරු බැස යන ඒ අවසන් දවස්වල දී, රොද්‍රිගෝ ගෙ සුසුමේ ශබ්දය පවා, මේ මතකයෙන් ඔබ ට ඇසෙන්න පටන්ගන්නවා. කලක් අතිවිශිෂ්ට, පෘථුල චරිතයක් ව හුන් මේ විස්මයජනක මිනිසා, දැන් සිය ජීවිතය ට සමුදෙන්න ආසන්න වන කාලය රොද්‍රිගෝ ට දැනෙන්නේ, යම් නිශ්චලතාවයකින් යුතු ව නිහඬ ව ගෙවෙන කාලයක් විදිහට. ඔහු ගෙ ලිවීම තුළින් දැනෙන්නේ ම එවැනි හැඟීමක්. ඔහු සිය පියා ගෙ ජීවිතයේ මින් පෙර කිසිවෙකු නො දුටු ගැඹුරු උපස්තරයන් විවෘත කරන්නේ, ඒ නිහඬතාවයත් එක්කමයි. ඒ උපස්තර අතරින්, පියෙකු ලෙසත්, සැමියෙකු ලෙසත්, කතුවරයකු ලෙසත්, මිනිසෙකු ලෙසත් ගොඩනැගුණු ගාබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් ගෙ පෞරුෂත්වයේ පදනම ගැන විමසුමක් ද කෙරෙනවා.

අවසානයේ දී රොද්‍රිගෝ ගාර්සියා මේ කරන්නේ, සිය ජීවත් ව සිටින පියාත්, සිය මියගිය පියාත්, සිය ලෝ ප්‍රකට පියාත්, සිය කුඩා අවධියේ පටන් හැඳී වැඩුණු පියාත් අතර නො බිඳෙන පාලම් තැනීමක්. මෙය, ‘නිර්මාණශීලිත්වයේ කල්දේරම’ ක් වූ මනසකින් ද, ආශ්චර්යමත් පරිකල්පයකින් ද හෙබි මේ මහා සාහිත්‍යධරයා වෙනුවෙන් පිදෙන උපහාරයක් ම වෙනවා.
1959 වසරේ අගෝ්ස්තු 24 දින කොලොම්බියාවේ උපන් රොද්‍රිගෝ ගාර්සියා (Rodrigo García Barcha), මෙක්සිකෝ සිටි නුවර දී හැදී වැඩෙනවා. රූපවාහිනී සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක්, කතුවරයෙක් වගේ ම හිටපු කැමරා ශිල්පියෙක් ද වෙන ඔහු ගෙ Nine Lives (2005), Mother and Child (2009), Albert Nobbs (2011) Last Days in the Desert (2015) යන විශේෂාංග චිත්‍රපට ද, HBO හරහා විකාශනය වුණු In treatmenr කතාමාලාව ද වඩාත් ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු, රචකයෙක් මෙන් ම අධ්‍යක්ෂකවරයෙක් ද ලෙස කටයුතු කළ, Julia Stiles රංගනයෙන් දායක වූ Blue (2012–2015) වෙබ් කතාමාලාව වෙනුවෙන්, 2014 දී IAWTV සම්මානය ද දිනා ගන්නවා. ගාර්සියා 2021 දී, ‘A Farewell to Gabo සහ Mercedes: A Son’s Memoir of Gabriel García Márquez and Mercedes Barcha’ ප්‍රකාශයට පත්කරනවා.
රොද්‍රිගෝ ගාර්සියා ගෙ මේ ලියමන, ‘සුබ ගමන් ගාබෝ, මර්සිදීස්’ නමින් හරි අපූරුව ට සිංහල බස ට පෙරළන්නෙ, පරිවර්තන කාර්යයේ දක්ෂයෙක් වුණු මහේෂි වීරකෝන්. ඇය ගෙ වාක්‍ය වින්‍යාසයේ ඇති සරල සුමට බව නිසා ම, පාඨකයා ට මේ කියැවීම, පහසු වී තිබෙනවා. ඒ වගේ ම ඇය ගෙ වචන භාවිතය, හදවත ට දැනෙන තරම්. ඒ නිසා ම, එක පැත්තකින් ග්‍රාබියෙල් ගාර්සියා මාකේස් ගෙ පාඨකයින් ට ත්‍යාගයක් මෙන් වූ මේ මතකාවර්ජනය සිංහල බස ට පරිවර්තනය කිරීම වෙනුවෙන් ඇයට ද ස්තූතියක් හිමිවිය යුතුවෙනවා.
අවසාන වශයෙන්,
‘ඔහුගේ සමාජශීලී ස්වභාවයත්, පැහැදිලි ව පෙනෙන ලෙස, ප්‍රසිද්ධ ජීවිතය ගැන ඔහුට ඇති සුවපහසු බවත් කෙසේ වුව ද, තාත්තා බොහෝ පුද්ගලික මිනිසෙකු, පෙළක් වෙලාවට රහසිගත පුද්ගලයෙකු පවා විය. එයින් අදහස් වන්නේ ඔහුට ප්‍රසිද්ධියෙන් සතුටු වීමට නොහැකි වූවා කියා හෝ, වසර ගණනාවක් තිස්සේ ලැබූ අධික ප්‍රශංසාවට පසු ඔහු ආත්ම රාගයෙන් බේරී සිටියා ය කියා හෝ නොවේ. නමුත් හැම විටම ඔහු තුළ කීර්තිය පිළිබඳවත්, සාහිත්‍ය සාර්ථකත්වය පිළිබඳවත් සැකයක් තිබිණි…’

දුල්ෂාන් සංජය චන්ද්‍රසිරි – Dulshan Sanjaya Chandrasiri





