නදුන් යසිත:
වැටෙන වැසි අතරමැද
මිදුල මැද හිඳ ඔබ
අඹන්නෙය පිළිමයක්
මැටි…
වැටෙන වැසි පොදෙන් නිති
ඔබ අඹන පිළිමයේ
මැටි දියව යන වග
දැන හෝ නොදැන ඔබ
අඹන්නෙය…
බිම මිදුල කෙමෙන් දිය
උතුරමින් ගලන විට
පිළිමයේ දෙපතුළ ද
සේදි සේදී ගලයි
මේ මහා ලොව සමඟ
පොර බදන මා වැනි
බොහෝ මිනිසුන් නම්
රැගෙන මේ පිළිමය ගේ තුළට
වැස්ස වලකා හැර
අඹනු ඇත උනු ම උනු
තේ එකක් බොන අතර…
ඔබ තෙමී දියබත්ව
පිළිමයේ මුහුණ කට
දියව යන වැසි මොහොතෙ
නිවීසැනසිල්ලේ
තබා ඔබ පිළිමය
ඇවිත් ගෙට
බලාගෙන හිඳී ඒ දියව යන
සිරුර දෙස…
දෙපා සේදී දියව අබලන්ව
ඇද වැටී මිදුල මත
වැස්ස්ටම අවනතව
හිඳිනවිට ඔබ තැනූ පිළිම රුව
ඔබ කෙසේ හිඳින්නෙද
මට සිතාගත නොහැක..
මේ මොහොත ඔබ සිතට
දැනෙන යම් දුක් තෙතක්
මගහැරෙනු යැයි සිතා
මා ගෙනා උණු කෝපි බඳුණද
අප පසෙක නිවීයද්දී
කියවයි ඔබ කවක්
“නොවැලපෙමි ඔබ යන්න”
මට සෙමෙන් මතක් වෙයි
වසර ගණනකට පෙර
ඔබ හැර මා ගිය ඒ මොහොත…
යළි ඔබ වෙත ආ ඒ මොහොත…
නදුන් යසිත – Nadun Yasitha





