මංජුල වෙඩිවර්ධන
විහිළුවට මං එහෙම කිව්වෙ
ඇත්තට ම ගත්තද?
ඔබ හිටියෙ
අඳුනන්නැති
සෙනඟ ගොඩක් මැද
විශේෂයක් නැති මුහුණක.
මතක තියාගන්න
ඔබට වුණත් පුළුවන්ද
මේපල් ගසක තුරුපත්
වෙන වෙන ම?
අත්තැරුණු තුරුපත්
හම්බවෙන්නත් පුළුවනි
අහම්බෙන් හරි
දිරා නො ගොසින් තිබුණොත්.
කතාව පටන් ගන්නෙ ම
තුරුපත අතට ගත්තම.
මුහුණ ගැන ඉවරයි.
දැන් ඔන්න හිනහව ගැන.
ඔය හිනාවට තැනක් ලැබුණේ
අතපහු වෙච්ච මතකෙක තමයි.
වේදනාව ම ලඹ දෙන අතීතෙක
අමුත්තක් නැති හිනාවක් ගැන
මතක් කර ගන්න
වෙර දරන එක ම
වැදගත් නැද්ද?
මතක් කරගන්න බැරිවද
ඔබ ඉන්න ඇති මතකයෙ.
දුග්ගන්නෝනි හෙට ගැන
අත්තැරලන්න මතකය.
ඔබ හිතන විදිහට
හැම විහිළුවෙම කෙළවර
අන්තිම අවම වශයෙන්
ඉතුරු වෙන්නැද්ද
බාගයක්වත් ඇත්ත.
විහිළුවට මං එහෙම කිව්වෙ
ඇත්තටම ගත්තද?
(නිදිනැති නිර්මල ඇසක අගිස්සක කඳුළක)
(Painting – Alone in a Crowd by Shana Molt)