මිනිසෙක් බිහි විය ( ඔබේ කඳුළ මගේ ද කඳුළය )

  • ( මෙය සිදුවූයේ 1892 රුසියාවේ දුර්භික්ෂය ඇතිවූ වසරේදී ‘කොඩෝ’ ගඟ අසල දී ය. එය මුහුදට ආසන්න ය. සාගතයෙන් පීඩා විඳි මිනිසුන් සමග, වෙනත් භූමියක් කරා පිය නගන ගැටවරයෙකි. ඒ පෙෂ්කොව් මැක්සිම් ගෝර්කි ය)

“මෙසේ ගමන් ගත් මට ශෝකයෙන් හද සසල කරවන කෙඳිරි ගෑමක් පඳුරු අස්සෙන් ඇසිණි. ඒ කුමක්දැයි බලනු පිණිස පඳුරු යටින් රිංගා ගිය මට, වොල්නට් ගසට හේත්තු වී හිඳ සිටින කහ පැහැති ලේන්සුවක් හිසේ ගසාගත් ගැහැනිය දක්නට ලැබුණි.

“මොකද නුඹට තියෙන අමාරුව. කවුරුවත් ගැහුවද?”
“පලයන් යන්න උඹට ලැජ්ජ නැද්ද පලයන් යන්න.”

මම ඒ මොහොතේ ම කාරණය තේරුම් ගතිමි. මෙවන් දෙයක් සිදු වෙනවා මා මීට කලින් දැක තිබිණි. මින් තැති ගත් මා පාර දෙසට දිව ගියෙමි.
ඒ මොහොතේ ගැහැනිය වේදනාවෙන් විලාප නැගුවාය. මම ආපසු හැරී බැලීමි. ඉදිරියට නෙරා ගිය ඇගේ දෑස පිපිරිමට ළං වන තරමටම කඳුළින් පිරී තිබිණි.
ඇය සිටි තත්ත්වය දුටු මට ඇය තනිකර දමා යාම කෙසේවත් කළ නොහැකි විය. එහෙයින් යළිත් ඇය ළඟට ගිය මම, මගේ අතෙහි තිබුණු කේතලය, රෙදි පොට්ටනිය පසෙක තබා ඇය ගස යට උඩුබැලි අතට නිදි කරවා, ඇගේ දෙපා පළල් කොට දනිස් නැමීමට වෑයම් කළෙමි. එවිට මගේ මුහුණටත්, පපුව ටත් අතින් පහර දී මා ඉවතට තල්ලු කර දැමූ ඇය, යළිත් මුණින් අතට හැරී වැලහින්නක මෙන් ගොරවමින් හා සාප කරමින් හතර ගාතයෙන් පඳුරු අතරට රිංගා ගත්තාය.
“තෝ යක්ෂයෙක්. මෘගයෙක්. පලයන් යන්න.” ඇය මට ශාප කළාය.
මෙසේ හතර ගාතයෙන් යන ඇගේ දෑත අප්‍රාණික වූ හෙයින්, ඈ බිම වැටි මුහුණ බිම ඇනුණේ ය. අනතුරුව වෙව්ලන දෙපා කෙලින් කළ ඈ, යටි උගුරෙන් කෑ ගසන්නට වූවාය. මින් කලබල වූ මම මේ කටයුත්ත ගැන මා දැන සිටි හැම දෙයක්ම මෙනෙහි කොට, නැවත වරක් ගැහැනිය උඩුබැලි අතට හරවා කකුල දනහිස් අගින් නැවුවෙමි.
දැනටම වැදෑමහ එළියට පැමිණ තිබිණි.
“දඟලන්නෙ නැතුව ඉන්න තව ටිකකින් දරුව ලැබේවි” ගැහැණියට පැවසූ මම, මුහුද දෙසට දිව ගොස් කමිස අත් උස්සා දෑත හොඳට සෝදාගෙන විත් වින්නඹුකම කිරීමට ආපසු ගියෙමි.
අප දෙදෙනා ටික වේලාවක් එකිනෙකාට බැන ගතිමු. ඇය දත්මිටි කමින් බැන්නාය. මම ඇයට සෙමෙන් දොස් කීවෙමි. ඈ ලැජ්ජාවෙන් හා ඉවසිය නොහැකි ප්‍රසූත වේදනාවෙන්, බැන්නාය. මම අවුල් වූ සිතින් හා ඇය කෙරෙහි උපන් කරුණාවෙන් උණුවු හදවතින් නැගුණු වේදනාවෙන් බැන්නෙමි.

අනේ දෙවියනේ” ඈ වේදනාවෙන් ඇඹරෙමින් රළු හඬින් කෑ ගෑවාය. ඈ වේදනාවෙන් තොල් සපන්නට වූ හෙයින් ඇගේ ලේ සිඳී සුදුමැලි වූ තොල් දත් වැදී තුවාල විය. කට දෙකෙළවරින් පෙන මතු විය. ඇගේ නෙත් වලින් මවක සතු ප්‍රසූත වේදනාවෙන් ගලන කඳුළු නොනැවතී ගලා බැස්සේ ය. වේදනාවෙන් ඇඹරෙන ඇගේ ශරීරය දැන් දැන් දෙකඩ වෙතැයි මට සිතින.
” පලයන් යකෝ යන්න” යි කියමින් මට බනින්නට පටන් ගත් ඈ ඇගේ අප්‍රණික දෑතින් මා තල්ලු කිරීමට වෑයම් කළාය.
“මෝඩ කම් කරන්න එපා පුළුවන් තරම් වෑයම් කරන්න දරුවා ඉක්මනට එළියට ඒවි”. මම ඇයට බැගෑපත් වෙමින් කීවෙමි.
ඈ නිසා හටගත් වේදනාවෙන් මගේ හදවත කකියන්නට විය. ඇගේ දෑසින් ගලා ආ කඳුළු මට දැනුණේ මගේ දෑසින් ගලා එන කඳුළු මෙනි. සෙක්කුවක දමා අඹරන්නාක් මෙන් මගේ හදවත සන්තාපයෙන් හා සංවේගයෙන් මිරිකෙන්නට විය.
බිළිඳා තවම මවු කුසින් එළියට පැමිණියේ නැත. වහා එන ලෙස දරුවාට කෑගා කීමට මට අදහස් විය. මම කෑ ගැසුවෙමි. “එන්න ඉක්මනට එන්න” යි කියමින් මම දරුවාට කෑගසා කතා කළෙමි.
අහෝ බලව…. අන්තිමේදි බීට් රූට් අලයක් මෙන් රතු පැහැති කුඩා පිරිමි මනුෂ්‍යයෙක් මගේ දෑතට ආවේය. මගේ හදවත ප්‍රීතියෙන් පිම්බුණේය. සොම්නස් කඳුලින් දෑස පිරුනේය. මේ මනුශ්‍යයා දැනටම ලෝකය ගැන කළකිරී සිටින බව මම මගේ කඳුළු තුලින් දටිමි. ශරීරයෙන් තවමත් මවට බැඳී සිටින දරුවා අත් පා ගසමින් යටි උගුරෙන් කෑ ගෑවේය. ඔහුගේ දෑස් නිල් පාටය. කුඩා නහය රැලි වැටුනු රතු පාට මුහුණට ඇලුන දෙයක් මෙන් පෙනිණ. කෑගසන විට දරුවාගේ කුඩා තොල් සෙලවුණේ ය. ඔහුගේ සෙවෙල සහිත ශරීරය මගේ දෑතින් ලිස්සා වැටෙතැයි මම තැති ගතිමි.
“පෙකනිය කපන්න” යයි අම්මා රහසක් කියන්නාක් මෙන් සෙමින් කීවාය.
“පිහියකින් කපන්න.”
පිහිය අස්ථානගත වී තිබූ නිසා, කළ හැකි වෙනත් දෙයක් නොතිබුණු හෙයින් පහත් වී පෙකනිය දතින් කපා දැමුවෙමි. දරුවා මරහඬ දී කෑගසන්නට පටන් ගත් අතර, මව සිනාසුණාය. ආශ්චර්යමත් ලෙස ප්‍රාණවත් වූ ඇගේ පතුලක් නොපෙනෙන නෙත්, නිල් ආලෝකයෙන් බැබලෙන හැටි මම දුටිමි.
“මගේ ඇඟට පණ නැහැ. මගේ සාක්කුවේ රෙදි පටියක් තියෙනවා. ඒක අරගෙන පෙකණිය ගැට ගහන්න.”
මම රෙදි පටිය ගෙන පෙකණිය ගැට ගැසුවෙමි. ඈ යලි සිනාසුණාය ඒ සිනාව කොතරම් දීප්තිමත් වීද කියතොත්, එහි ආලෝකයෙන් මගේ නෙත් නිලංකාර විය.
“දැන් ඉතින් හොඳට වාඩි වෙන්න මම ගිහින් දරුවා හෝදගෙන එන්නම්” මම කීවෙමි.
එහෙත් මගේ අතේ දඟලන කුඩා රතු මිනිසාට එතරම් කරුණාවක් හෝ ආරක්ෂාවක් හෝ අවශ්‍ය නැත. ඔහු දෑත මිට මොලවා අත් පා ගසමින් කෑ ගෑවේ, තමා සමඟ සටනට එන ලෙස අභියෝග කරන්නාක් මෙනි.
“ඔන්න ඔහොම තමයි සහෝදරයා කෑ ගහන්න ඕන. ඔය විදියට ටිකක් උඹේ කෙරුවාව පෙන්නපන්. නැතිනම් වැඩි කාලයක් උඹට මේ ලෝකෙ ජීවත් වෙන්න ලැබෙන්නෙ නැහැ. අනෙක් මිනිස්සු උඹේ බෙල්ල මිරි කා දමාවි.”
අනතුරුව මුහුදු වතුරෙන් දරුවාගේ පිටත් පපුවත් අතුල්ලා සෝදන විට ඇස් කරකවා මුලු වෙරම යොදා දඟලමින් කෑ ගෑවේය.
සෝදා පිරිසිදු කරන ලද දරුවා මව ළඟට ගෙන යන විට ඈ නෙත් වසා ගෙන ප්‍රසවයෙන් අනතුරුව ඇතිවන වේදනාවෙන් තොල් සපමින් සිටියාය. එහෙත් මැඩගත් වේදනා වත්, කෙඳිරියත් තුළින් ඇගේ දුබල කට හඬ ඇසිණ.
“මට දරුවා දෙන්න”
“දරුවාට තවම බඩගිනි නැහැ. තව ටික වෙලාවක් හිටපුදෙන්”
“නැහැ මෙහාට දෙන්න”
ඈ වෙව්ලන අස්ථිර අතින් හැට්ටයේ බොත්තම් ගැලෙව්වා ය. සොබාදහම විසින් ඇයට දායාදයක් වශයෙන් දෙන ලද, එක දරුවකුට පමණක් නොව දරුවන් 20 දෙනෙකුට වුවත් පෝෂණය කළ හැකි, දෙතන එළියට ගැනීම පිණිස හැටිටය ඉවත් කිරීමට සහාය වූ මම, අනතුරුව කුඩා කළහකාරයා ඇගේ උණුසුම් ලය මත තැබීමි. කාරණය එකවරම තේරුම්ගත් දරුවා වහා තන පුඩුව කටට ගෙන නිහඬ විය.

උපුටා ගැනිම:
කෘතිය: “මලක සුවඳ යුග ගණනක් ඇසේයා”
පරිවර්තක: සිරිල් සී පෙරේරා.
ප්‍රකාශය:ඇස්.ගොඩගේ සහෝදරයෝ.
සටහන:
පිටු 17 ක් පුරා දිවෙන මෙම කෙටිකතාවේ විශේෂිත කොටසක් පමණක් මම උපුටා දැක්වීම්.
තමාට, තම පවුලේ අයට පමණක් නොව, මුළු මහත් මනුෂ්‍ය සංහතියට ම අප එක සේ ආදරය කළ යුතු වෙමු. නිවැරදි මානයෙන් මනුෂ්‍යත්වය හඳුනා ගැනීමට ‘ගෝර්කි ” ගේ කෘති කියවිය යුතුමය.
මම ජීවිතයේ අඳුරු පතුලෙහි සිට පැමිණියෙක්මි. මගේ හඬ ඒ අඳුරු පතුලෙහි දුගී දුකෙන් පෙළෙන මනුෂ්‍යයන් විසින් නගන ලද අඳෝනාවේ දෝං කාරයයි.මම ඔවුන් විඳින දුක ලෝකයාට කියා පෑම පිණිස ඔවුන් විසින් එවන ලද සාක්ෂි කරුවෙක්මි
“ජීවිතය පිළිබඳ සත්‍යය සොයා පසක් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත හැක්කේ මනුශ්‍යයාට දක්වන අපරිමිත සෙනෙහසින් පමණි.”
මැක්සිම් ගෝර්කි

More From Author

හැම විහිළුවෙම කෙළවර …….

අපේ කාලයේ පිය සටහන්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348