“1930 දී නීති විද්‍යාලයට ස්ත්‍රීන්ට ඇතුළත් වීමට අවසර දුන්න ද 1934 දී ස්ත්‍රීන් දෙදෙනෙකු ඇතුළත් වන තෙක් නීති ශිෂ්‍යාවන් නො සිටියේ ය. මේ අතර, 1933 දී එක් ස්ත්‍රියක් (එස්ලින් ඔබේසේකර, විවාහයෙන් පසුව දැරණියගල) ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් අතර ඇයව නීතීඥ මණ්ඩලයට බඳවා ගනු ලැබිණි. 1930 ගණන්වල මුල් භාගයේ දී ඉන්දියානු පාර්සිවරියක වන අවභායි මේතා නම් නීතිවේදිණිය කොළඹ නීති වෘත්තියේ යෙදුණාය.”
(පිටු : 3)
“අනෙක් පසින් “පටු ඡන්ද බලයට වඩා ඕනෑම දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී” යැයි පැවසූ ගතානුගතික මත දැරූවන් විය (Russell 1981:52). කාන්තා ඡන්ද අයිතිය ලබාදීම “ඌරන්ට මුතු විසිකිරීම” වැනි යැයි විශ්වාස කළ පොන්නම්බලම් රාමනාදන්, ඩී. එස්. සේනානායක, ආචාර්ය ඩබ්ලිව්. ඒ. සිල්වා, ඩී. බී. ජයතිලක, ඒ. මහදේව වැනි ගෞරවනීය දේශපාලනඥයින් මෙන්ම 1924-25 දී ලංකා ජාතික කොන්ග්‍රසයෙන් වෙන් වූ මහනුවර මහජන සභාවේ සියලුම දේශපාලනඥයින් පාහේ මෙම කාණ්ඩයට ඇතුළත් ය.
ස්ත්‍රී ඡන්දබලයට සහාය දැක්වූයේ ගුණසිංහ හා ජෝර්ජ් ඊ. ද සිල්වා සමග එක් වූ ගාල්ලේ එස්. දහනායක සහ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, උතුරු පළාතෙන් ඒ. පී. තම්බයියා සහ යාපනේ තරුණ සංගමය, කැරලිකාර ඉංග්‍රීසි ජාතික එච්. ආර්. ෆ්‍රීමන් සහ කොළඹ තරුණ සංගමය විසින් පෙල ගැස්වූ රැඩිකල්වාදීන් ය.
කෙසේ වෙතත්, ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිය සඳහා දැඩි සහයෝගයක් ලැබුණේ ඉන්දියාවේ ස්ත්‍රී නියෝජනයේ ප්‍රගතිය ශ්‍රී ලංකාව සමග සසඳන ලද එස්. රාජරත්නම් (උතුරු පළාතේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික) ගෙනි, ” මේ [ව්‍යවස්ථාදායක] සභාවේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට එකඳු ස්ත්‍රියක් නොමැත” යනුවෙන් ප්‍රකාශ කල ඔහු තවදුරටත් මෙසේ පැවසී ය. ”අපි ලංකාවේ කාන්තාවන්ට වහලුන් හා අර්ධ වහලුන් ලෙස සැලකිය යුත්තේ ඇයි? ඔවුන්ට ඡන්දයබලය දීමට අප බැඳී සිටිනවා යැයි අප දැන සිටිය යුතු සේම ඔවුන් ඡන්දය යුක්තිසහගත ලෙස භාවිතා කරනු ඇති බව අප දැනගත යුතුයි.”(Hansard, Vol.III, 1928: 1722).
(පිටු : 14,15)
“1931 නොවැම්බර් 14 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි පළමු ස්ත්‍රිය වූයේ කලින් සිය පියා වූ ජේ. එච්. මීදෙණිය අදිකාරම් ජයගත් රුවන්වැල්ල ආසනයට පියාගේ මරණයෙන් පසු තරග කළ ඇඩ්ලින් මොලමුරේ ය (1890-1977). ප්‍රතිඵලය මෙසේ විය:
ඇඩ්ලින් මොලමුරේ : 13,866
ආර්. එස්. එස්. ගුණවර්ධන : 4,468
ඊ. ඒ. වයි. ද සිල්වා : 1,950
ඇලන් සේනානායක : 718
ඇඩ්ලින් මොලමුරේගේ ඓතිහාසික ජයග්‍රහණය රටේ කැළඹීමක් ඇති කළේ ය. ස්ත්‍රී ඡන්ද බල ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇය ක්‍රියාකාරී නොවූවත්, ඇගේ පියාගේ ඡන්දබල ප්‍රදේශයට තරග කිරීමට ඇය කැමැත්ත පල කර තිබුණි. මීදෙණිය අදිකාරම ‘ වැඩවසම් ‘ පවුලකින් පැවත ආ විශාල ඉඩම්හිමියකු වූ අතර, නම් කළ සාමාජිකයකු ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සිට ඇත. නීතිඥයකු වූ ඇඩ්ලින්ගේ සැමියා, ෆ්‍රැන්සිස් මොලමුරේට බෞද්ධ ‘වැඩවසම් ‘ මූලයක් ද, සැලකිය යුතු තරම් ඉඩකඩම් ප්‍රමාණයක් ද තිබුණි. ඔහු 1924 සිට 1931 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර, 1931 දී දැදිගම ආසනය නිතරගයෙන් ජයග්‍රහණය කර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු කතානායක බවට පත්වි ය. භක්තිමත් බෞද්ධයෙකු වූ මීදෙණිය අදිකාරමගේ සහ භක්තිමත් ඇන්ග්ලිකන් බැතිමතියක් වූ එමිලි සේනානායකගේ වැඩිමහල් දරුවා වන ඇඩ්ලින්, බිෂොප් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර ඇන්ග්ලිකන් බැතිමතියක් විය. ඇගේ බාල නැගණිය ලේක්හවුස් පුවත්පත් සමූහයේ අයිතිකරු වූ ඩී. ආර්. විජේවර්ධන සමග විවාහයට පත් වූ අතර, එයින් ‘ වැඩවසම්’ සහ ධනවාදී අපේක්ෂාවන් සහ බෞද්ධ සහ ක්‍රිස්තියානි පවුල් අතර සම්බන්ධතා ශක්තිමත් විය.”
(පිටු : 89,90)
මුතු විසි කිරීම : ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ඡන්දබල ව්‍යාපාරය – ආචාර්ය මාලතී ද අල්විස් සහ ආචාර්ය කුමාරි ජයවර්ධන
| පසු සටහන
මෙම කෘතිය ශ්‍රී ලංකාවේ ස්ත්‍රිය සිය ඡන්ද අයිතිය දිනා ගැනීම උදෙසා දියත් කල ඉතා සුවිශේෂී අරගලයේ සංක්ෂිප්ත ඉතිහාස කතාව පාඨකයා හට ඉදිරිපත් කරවයි. ස්‍ත්‍රීන්ට ඡන්ද අයිතිය ලබාදීමට එරෙහිව මීට දශක කීපයකට ඉහතදී ඇතිවූ සමාජ විරෝධය සේම අධිපතිවාදී පුරුෂ මූලික දේශපාලන ක්‍රමයේ ස්වභාවය මෙම කෘතිය තුළින් මනාවට නිරූපනය වේ. ඉතිහාසය විසින් සේම කාලය විසින්ද අමතක කරණ ලද හෝ සඟවා දමන ලද එහෙත් මෙරට වර්ථමාන පුරවැසියා දැනගත යුතු අතීත කතාවක් මෙහි ගැබ්ව ඇත. එසේම මෙම කෘතිය තෛභාෂා කෘතියක් වන බැවින් පාඨකයන් හට කිසිඳු ගැටලුවකින් තොරව දැනුම උකහාගත හැකි ලෙස සම්පාදනය වී ඇත.
ගිහාන් ද අල්විස්