හිරු නොදකින අධිරාජ්‍යක මතක සටහන්

1: වැලපෙන විලෝ


ඉන්දියානු චාරිකා සටහන් විසිපහක් විතර අනිද්දා පත්තරේට ලියද්දී මටම ඇති වෙලා මං ඒක නවතා දැම්මා. එහෙත් තව ඉන්දියාව ගැන ලියන්න දේවල් බොහොමයි. හුඟාක් ලස්සන දේවල් පවා මඟහැරුණා කියලා දැන් හිතෙනවා.
අද ඉඳන් අරඹන්නේ එංගලන්ත චාරිකා සටහන් ටිකක් ලියන්න. එංගලන්තයට මං එන්නේ ආචාර්ය උපාධිය සඳහා. ඉන්දියාවට ගියෙත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයකට වුනත් මං ඒක කළේ නැහැ. දැන් මෙහේ මේක පටන් අරන් නිසා වසර හතරක් ඉන්නම වෙනවා. එම වැඩ කටයුතු අතිශයින් ආතතිය ඇති කරවන දේවල් බව ඇත්ත. ඒත් නොලියා ඉන්න හිතෙන්නෙත් නැහැ. මාසෙකට එක දවසක් වගේ තමයි ටිකක් ආතතිය අඩු දවසක් එන්නේ. ඒ මාසෙකට සැරයක් එන ප්‍රගති සමාලෝචන රැස්වීම අවසානය. එදාට තමයි ගෙදර ඇවිත් නිදහසේ නිදියන්නේ. එහෙම දවසට කොලම් හතරක් ලිව්වොත් මාසෙකට ඇති කියලා මට හිතුණා.
හිරු නොදකින අධිරාජ්‍යක මතක සටහන් කියන්නේ ඒකට. මං දැකපු, මං ආස කරපු, මාව මෝහනය කරපු ගස් වැල්, මල් දළු කොළ ඒ අතර තියේවි. ගංගා නිම්න වගේම හිත සසල කළ මිනිසුන්ගේ කතා ඒ අතර තියේවි. මේ පද්ධතිවල වාසි අවාසි ඒ අතර තියේවි.
මුලින්ම මං පටන් ගන්නම් විලෝ ගැන කියලා. මේවා අපේ රටේ විලෝ කියන උස යන ගහ නෙමෙයි.
විලෝ ගස්වල අතු තියෙන්නේ බිමට එල්ලී වැටෙමින්. ඒවාට ඉංග්‍රීසියෙන් කියන්නේ වීපින් විලෝ එහෙමත් නැත්නම් වැලපෙන විලෝ කියලා. ඒ නම ඒ ගහට කොයි තරම් ගැලපෙනව ද කියලා හිතෙනවා ඒ ගහ දකින විට. ඇත්තටම නම් ගස බිමට හිස නමාගෙන වැලපෙනවා වගේ.
වීපින් ෆිලෝසොෆර් කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ ග්‍රීක දාර්ශනිකයෙක් වන හෙරක්ලීටස්. හෙරක්ලීටස්ගේ පිළිම අඹලා තියෙන්නේත් මේ විලෝ ගස් වගේ බිමට හිස නමාගෙන. හෙරක්ලීටස්ගේ දර්ශනයේ තමයි අර ප්‍රසිද්ධ ප්‍රකාශය තියෙන්නේ “එකම ගඟට දෙවරක් බැසිය නොහැක” කියලා. මොකද දෙවනි වතාවේ ගඟට බහිද්දී ගඟ මුල් ගඟ නෙමෙයි. අලුත් වතුර. අපිත් අලුත්. මුලින් ගඟට බැහැපු අපි නෙමෙයි.
මේ ප්‍රවාහී දහම බුදු දහම ඇතුලෙත් තියනවා. ක්ෂණ භංගුරත්වය කියලා ඒකට කියන්නේ. ක්ෂණයක් පාසා ලෝකය අපි සිතිවිලි වෙනස් වීම. වෙනස් වීම ඇතුලේ දුක තියෙන්නේ. මිනිස්සු අඬන්නේ ඒකයි. මුල් එක එහෙමත් නැත්නම් අපේ හිතේ තියන පරමාදර්ශ ඉල්ලා අපි අඬනවා.
ප්ලෝටෝ කියනවා වගේ ආකෘති තියනවා. අපිටත් ආකෘති තියනවා. අපි නොදන්න ලෝකෙක පරමාදර්ශ තියනවා. පරම ආදරය, පරම බිරිඳ, පරම පෙම්වතා යනාදී පරමාදර්ශ. ඒත් ඒවා ඇත්ත ලෝකේ නැහැ. අපි නැති දේවල් ඉල්ල ඉල්ලා අඬනවා.
මිනිස්සු විතරක් නෙමෙයි. ගස් වැල් අඬනවා. මේවා විද්‍යාත්මක පර්යේෂණවලිනුත් ඔප්පු වෙලා තියනවා. ඒත් මේ වගේ මටසිලිටු වියමනකට බරපතල විද්‍යාව ඇදලා අරන් දේවල් ඔප්පු කරන්න යන්න මං ආස නැහැ. එතකොට මේ වියමනේ සිනිඳු බව නැති වෙලා බක පණ්ඩිතකමක් ආරෝපණය වෙනවා. ඒ බකපණ්ඩිතකමට මං ආස නැහැ.
මේ හමන සීත සුළං වගේ නිදහසේ ලියන්න මං ආසයි. මං දකින දේ, මං අසන දේ ගැන තණකොළ වැවෙන්නාක් සේ නිදහසේ ලියන්න මං ආසයි. ආටෝප කියන්නේ රත්තරං ආභරණ ගොඩාක් පැළඳ සිටින ගැහැණු ළමයෙක් වගේ. මං ආස ඒ කිසිවක් නැතිව නිදහසේ ඉන්න. බැබලෙන්න ඕන පිටින් නෙමෙයි. ඇතුළතින්. මේ වියමන් ඇතුලේ ආලෝකයක් තිබුණොත් ඒවා බැබලේවි.
ආයිමත් මං කියන්නම් වැලපෙන විලෝ ගැන. ගස් මුදුන් සිට කඩා හැලෙන අතුවල බිමට එල්ලෙන පුංචි දිගටි පත්‍ර.
බිමට අතු නැමුණු ගස්වලට මම කොහොමත් ආසයි. බිමට මුල් ඇඳුණු නුග වගේ ගස්වලටත් මං පොඩි කාලේ ඉඳන්ම ආසයි. හැමෝම අහස දිහාවට යද්දී එකෙක් දෙකෙක් හරි පොළව දිහාවට එනවට මම කැමතියි.
අද ටිකක් රස්නේ දවසක්. එළියට යන්න කලින් කාලගුණය ගැන බලන එක එංගන්තයේ මිනිසුන්ගේ පුරුද්දක්. ඒ අනුව තමයි ඇඳුම තෝරගන්න වෙන්නේ. උදේ බලද්දී මගේ අන්තර්ජාල සම්බන්ධය බිඳ වැටිලා තිබුණ නිසා මට කාලගුණය ගැන බලන්න බැරිවුණා. මම පුරුදු පරිදි සීත කබාය අතට ගත්තේ දැන් සීතල නැතත් හවස් වෙද්දී සීතල වුනොත් වෙව්ලමින් එන්න සිදු වෙන නිසා.
මේක ලියන්න ගත්තේ ජූලි. මේ ජූලි මාසේ පටන් ගන්න සැරසෙන දවස්. ටික ටික රස්නේ දැනෙන්න අරගෙන. පෙරදා රැයේ නිදන්නට යද්දී සීත කබාය විසි කර නිදා ගන්න වුණේ රස්නය නිසා.
මම පුස්තකාලයේ මගේ පුරුදු අසුනේ වාඩි වී වැඩ කරමින් සිටියා. සුදු ජාතිකයෙක් ඇවිත් ඇහුවා
“මම මේ පුටුවෙන් වාඩි වුනාට කමක් නැද්ද” කියලා.
“ඔව්. ඇත්තතෙන්ම” මොකද මේ පුටු මගෙද? මේ පුස්කතාලය මගෙද? මේ සුද්දන්ට පිස්සු. කොහොමත් සුද්දෝ හරිම ආචාරශීලීයි. හරියට අනෙකාගේ නිදහසට ගරු කරනවා.
මම හිටියේ හදිසි වැඩක. ඉතා ඉක්මනින් යවන්න අවශ්‍ය කරන ලේඛනයක් ලියමින්. මගේ ඉදිරියේ වාඩි වී සිටි මිනිසා දිහා බලන්නට මට වෙලාව තිබුණේ නැහැ.
මම සියලුම වැඩ අවසන් වී ලේඛනය ඊමේල් කර අවසානයේ ලැප්ටොප් චාජරය ගලවන අතර ඔහුගෙන් ඇහුවා,
“ඔබ මේ පුස්තකාලයට නිතර එනවද?”
මොකද අපේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ බිම් මහල සෑම දෙනෙකුටම විවෘත අවකාශයක්. ඉහළ මහළවලට යද්දීයි අපගේ හැඳුනුම්පත ස්කෑන් කළ යුතු වන්නේ. හැඳුනුම්පත ස්කෑන් වූ පසුවයි දොරවල් ඇරෙන්නේ.
“මම ආවා අද මෙහේ තියන මානසික සෞඛ්‍ය වැඩමුළුවකට”
ඔහු එහෙම කියනවාත් එක්කම මට අකුණක් වැදුණා වගේ වුණා. දෙවියනේ මේ මනුස්සයා එක්ක මට කතා කරන්න තිබුණා නේද කියලා මට හිතුණා.
“ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් ඒක බෙදා ගන්න කවුරු හරි ඕන නම් මට වෙලාව තියනවා අහගෙන ඉන්න” මම කිව්වා.
“ඔබ ඒ සඳහා කොපමණ මුදලක් අය කරනවාද?”
මේ රටේ හැම මඟුලම සල්ලි, සල්ලි.
“නැහැ මම මුදල් අය කරන්නේ නැහැ”
“මම ඩිප්රෙෂන්වලට බෙහෙත් බොනවා. මගේ වෛද්‍යවරයා නිර්දේශ කළා අද මෙහේ තියන වැඩමුලුවට සහභාගී වෙන්න කියලා” ඔහු කිව්වා.
“ඔයාගේ ජීවිතේ හුඟාක් දුක හිතෙන දේවල් තියනවද?” මම ඇහුවා.
එයාගේ නම ස්ටීව්. දැන් එයාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. ඩිප්රේෂන් කියන්නෙම අඬන්න බලාගෙන ඉන්න මිනිස්සු.
“මගේ තාත්තා කව්ද කියලා මම දන්නේ නැහැ. මට දිගටම හිටියේ ස්ටෙප් ෆාද්ර්ස්ලා. එයාලගේ අතින් මම හුඟාක් අපයෝජනයට ලක් වුණා. මගේ කුඩා කාලය ඉතාම දුක්බරයි.”
ඔහු කියාගෙන ගියා.
’‘මම වැඩකලේ කවුන්සිල් එකේ කුණු ලොරියේ. ඒ රස්සාව මම හරියට එන්ජෝයි කළා. (මේ රටේ නගරසභාවේ කුණු ලොරිය යනු එන විට පලාතම ගඳ ගස්සන එකක් නොවේ. සෑම නිවසකම කුණු තෝරා අදාල පාට බින්වලට දැමිය යුතුය. ඉතිරි ආහාර, පොලිතීන් සහ ප්ලාස්ටික්, කඩදාසි යනාදී ලෙස ඒවා වෙන්කර අදාල පාට බින්වලට දැමිය යුතු අතර ඒ ඒ දේවල් එකතු කරන්නට නගරසභාවේ ලොරි එන දවස් වෙනස්ය. අපි අදාල දින ඒවා අදාල බින් එකේ දමා තැබිය යුතුය. ඒවා ග්ලවුස් දමා ගත් මිනිසුන් ලොරියට දමන අතර ලොරියේ ඇති චූෂක පොම්පයක් මඟින් ඒවා ඇතුළට ඇද ගනු ලබයි. වැකියුම් ක්ලීනර් එකකින් දූවිලි ඇද ගන්නවා මෙනි. එම නිසා එය ලංකාවේ මෙන් ගඳ ගසන රස්සාවක් නොවේ. අපේ ගේ ළඟට එන එක් කුණු ලොරියක ලොකු රත්තරන් මාලයක් දා ගත් ලස්සන සුදු ජාතික තරුණියක් සේවය කරයි. ඇය ඉන්නේ නිලියක් මෙන් මේක් අප් කරගෙනය.)
’‘මට සිද්ධ වුණු ලිංගික හිංසා නිසා මට කවදාවත් විවාහ වෙන්න බැරි වුණා. දැන් මම විශ්‍රාමිකයි. හරියට තනිවෙලා මම”
’‘සහෝදර සහෝදරියෝ නැද්ද”
’‘එයාලා විවාහ වෙලා දුර පලාත්වල ඉන්නේ. අම්මා මා එක්ක හිටියේ. අම්මාත් මේ ළඟදී මිය ගියා”
මෙහේ බොහේ මිනිසුන් වැළපෙන විලෝ වැනිය. ඔවුහු තනිකමෙන් වේදනාවට පත් ව ඇත. තනිව හඬන මිනිසුන්ය. කතා කරන්නවත් කිසිවෙක් නැති මිනිසුන්ය. විශාල ප්‍රමාණයක් කෙයා හෝම් ඇත. ඒවායේ වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් සිය ජීවිතයේ අවසන් කාර්තුව විවිධ රෝගාබාධවලින් පෙළෙමින් තනිකමෙන් ගත කරයි. ඒවා ලංකාවේ මහලු නිවාස වගේ නොවේ. ඉතා දියුණු පහසුකම්වලින් යුක්තය. එහෙත් මිනිසුන් තනි වී ඇත.
බිමට නැවුණු විලෝ අතු අඬන්නාක් සේ මට පෙනෙයි.

More From Author

අග්‍රගාමි විප්ලවීය කත – හෙන්රියෙටා පැට්‍රිෂියා හඳපාන්ගොඩ හෙවත් චිත්‍රා බෝපගේ

අන්කෙනෙකුගේ සිතුවිලි අතරින් තමන් සිත තනන දේ සෙවීම – “ඉරේසරීයඉරාවකින්ඉක්බිතිවඉතිරිව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *