දැදිගම වින්සන් රුද්‍රිගු මහතා සෝවියට් සාහිත්‍ය කෘති ලංකාවේ සිංහල පාඨකයනට සමීප කරවීමට දායක වූ ප්‍රමුඛයා වෙයි. ඔහු විසින් සෝවියට් සාහිත්‍ය කෘති රැසක් හා විවිධ ක්ෂේත්‍ර වලට අදාල කෘති 250 කට වැඩි සංඛ්‍යාවක් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. ඔහු එසේ කර නො තිබෙන්නට, වත්මන් ශ්‍රී ලංකා සමාජය මීටත් වඩා මනුස්සකමින් පිරිහුණු, ආත්මාර්ථකාමී සමාජයක් වන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. ඔහු ලාංකික සමාජය තුළ පරාර්ථකාමී චින්තනය, සහකම්පනික හැඟීම් වගා දිගා කළ අතර, මනුස්සකම වඩාත් ප්‍රායෝගික, හරවත් එකක් කිරීම ට ද සමත් විය.
ඔහු එම කෘති රුසියානු බසින්ම පරිවර්තනය කරනු ලැබීම නිසා, ඒවායේ ජීවගුණය ඒ අයුරින්ම රැඳී තිබිණි.රුසියානු සමාජය කලක් ඇසුරු කර තිබූ නිසා, ඔවුන්ගේ හදගැස්ම පිළිබඳ වැටහීමක් ද ඔහුට තිබුණි. එම නිසා මෙම පරිවර්තන තුළින් සෝවියට් සමාජය නිවැරදිව හඳුනා ගැනීමට ද අපට හැකි විය.
1929.6.25 දින මරදානේ දී උපත ලද දැදිගම වි. රුද්‍රිගු මහතා, දැදිගම ට කිසිදු සම්බන්ධයක් නැත. ඔහු මරදාන සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙකි.
*****. *****
රුසියාවේ (එවකට සෝවියට් දේශය) ලුමුම්බා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට ඔහු සමඟ, රෝහණ විජේවීර, ඔරුවල බන්දු, හා සෝමදාස ද සිල්වා යන අය ද ඇතුලත් විය. වෛද්‍ය උපාධිය ලැබීමෙන් පසු වසර 4 ක් පමණ, රුසියාවෙහි ම ඔහු වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇත.මොස්කව් හි ‘ප්‍රගති’ ප්‍රකාශන මන්දිරය ආරම්භ කර විවෘත කිරීමෙන් පසු, වෛද්‍ය වෘත්තියට සමුදී, පූර්ණ කාලීන භාෂා පරිවර්තකයකු ලෙස, සෝවියට් කෘති සිංහලට පරිවර්තනය කිරීමට අවතීර්ණ විය. එසේ නොකරන්නට, අති බහුතරයක් සිංහල පාඨකයනට, රසවත්, හරවත් සෝවියට් සාහිත්‍ය කෘති මෙතරම් සංඛ්‍යාවක් කියවීමේ අවස්ථාව අහිමි වන්නට ද ඉඩ තිබුණි.එසේ වූයේ නම් එම කෘති වල තිබූ, උසස් පරිත්‍යාගශීලී, මානව හිතවාදී ගුණය, ‘රන් හුයක් සේ’ අපගේ ජීවිත වලට බද්ධ නොවීමටද ඉඩ තිබුණි.
ලංකාවේ සිට පැමිණි ඔහුගේ මිතුරන් හා ඔවුන් යොමු කළ ලාංකික යන්, මොස්කව් ගුවන් තොටුපලට පැමිණි වහාම අමතන්නේ රුද්‍රිගු මහතාටය. එවිට ඔහු වහාම එහි ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවනට සහාය වෙයි.
රුද්‍රිගු මහතා එවකට ආරමිභ කළ මොස්කව් ගුවන් විදුලියේ සිංහල සේවයේ ප්‍රථම නිවේදකයා ද විය.
මව් බිමෙන් බැහැරව සිටියත් තම රටට ඔහු දැක්වූයේ මහත් භක්තියකි. ආදරයකි. ඒ නිසාම ඔහු අප රටේ ජනතාවට යහපත් ලෙස ජීවත්වීමට අවශ්‍ය මානුෂික ගුණාංග තම පරිවර්ත කෘති තුළින් අපට දායාද කළේය.
‘ මැක්සිමි ගෝර්කි, ෂොලහොව්, අයිත්මාතොව්, චෙකොව් දොස්තයෙව්ස්කි, පුෂ්කින් මෙන්ම බෝරිස් පලවොයි,යූරී බොන්දරයෙව් ආදී එවකට සිටි ලේඛකයන් ගේ කෘති ද ඔහු විසින් පරිවර්තනය කර ඇත. එවන් එක් සුන්දර පරිවර්තනයක් වූ ‘ලස්සන වසිලිසා’ කුඩා ළමයින් අතර පමණක් නොව,එදා කුඩාවුන් වූ වත්මන් වැඩිහිටි පරපුරද කියවා ඇත.
![ee](https://lankadailymail.com/wp-content/uploads/2025/02/ee.jpg)
‘වානේ පන්නරය ලැබූ හැටි’, ‘සැබෑ මිනිසකුගේ කතාවක්’ වැනි කෘති කියවීමෙන්, ජීවිතයේ පතුලටම වැටී, ජීවිතය එපාවූ තරමටම කළකිරීමෙන් පසුවන්නන්ට, යළි ජීවත්වීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබාදෙයි. ‘පළමුවන ගුරුවරයා’ (ගුරු ගීතය) හි ‘දූයිෂෙන්’, පරමාර් දර්ශී ගුරු භූමිකාවක් නිරූපණය කරයි. අසීමිත දුක් ගැහැට වලට මුහුණ දුන් මැක්සිම් ගෝර්කි ගේ ස්වයං ලිඛිත චරිතාපදාන යක් බඳු වූ ‘ළමා කාලය’, ‘මිනිසුන් අතර’ ‘මගේ සරසවිය’ නම් වූ කෘති අපගේ ජීවිත වලට පාඩම් දහසක් කියා දෙන අගනා කෘති ත්‍රිත්වයකි.
දැදිගම වි.රුද්‍රිගු මහතා, සෝවියට් කෘති පරිවර්තනය කීමට කොතරම් කැපවීදැයි යන්න ඔහුගේ කණිටු පුත් ‘දිමිත්‍රි’ ගේ මෙම ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ.
“තාත්තා අප නින්දට යන විටත් ලියනවා. අප උදේ නැගිට,පාසැල් යන්න ලේස්ති වන විටත් ලියමින් සිටිනවා.’
මේ මහා කැපවීමේ ප්‍රතිඵල දැන් භුක්ති විඳින්නේ අපය. අනාගතය නිර්මාණය කරන අපේ දරුවන් ය.
***. ***. ***
‘රුද්‍රිගු – ලුද්මිලා ප්‍රේමය’
1957 වර්ෂයේ මොස්කව් හි පැවති ජගත් තරුණ ශිෂ්‍ය සමුළුවේ 6 වෙනි සැසිවාරයට දැදිගම වි. රුද්‍රිගු මහතා ඇතුළු 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි විය. එම සමුළුව නිම වී ආපසු ලංකාවට ආවේ ඉන් 49 දෙනකු පමණි. ඒ දැදිගම වි.රුද්‍රිගු මහතා නොමැතිවය. මාස කීපයක් ගතවත්ම මොස්කව් අසල ගමක එක් නිවහනක තම පෙම්වතිය සමඟ රැඳී සිටි රුද්‍රිගු මහතා, එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ආපසු ලංකාවට එවා ඇත . තම පෙම්වතිය අහිමිවීමේ ලසෝ දුකින් කල් ගෙවූ ඔහු මානසිකව මෙන්ම ශාරීරිකව ද දුර්වල විය. මේ පිළිබඳව සැලකිලිමත් වූ ඔහුගේ මිතුරන් ගේ ද සහායෙන්, ලංකා කොමියුනිස්ට් සංගමයේ අනුග්‍රහයෙන්, උසස් අධ්‍යාපන ලැබීමට ලංකාවෙන් මොස්කව් වෙත යන පළමු ශිෂ්‍ය කණ්ඩායමට එක්වීමට ඔහුට හැකි විය. ඒ අනුව තම පෙම්වතිය වූ ලුද්මිලා වීෂ්කා පොල්ස්කායා සමග විවාහ වීමට ඔහුට හැකි විය. ඒ අනුව, රුද්‍රිගු මහතා රුසියානු යුවතියක් හා විවාහ වූ ප්‍රථම ලාංකිකයාද ඔහු විය. මේ යුවල ට වික්තර් හා දිමිත්‍රි යනුවෙන් පුතුන් දෙදෙනකු ලැබිණ. ඔවුන්ගේ විවාහ දිවිය මනෝරම්‍ය එකක්ම විය. අවු.30 සුන්දර විවාහ දිවියකින් පසු හදිසි හෘදයාබාධයක් නිසා, 1988.11.27 දින රුද්‍රිගු මහතා දිවියෙන් සමුගෙන ඇත. ඒ වන විට ඔහුගේ රුසියාවේ දිවියට අවුරුදු 40 ක් විය. රජයේ අනුග්‍රහයද ඇතිව හිත මිතුරන්ගේ කර මතින් රුසියාවේ මිහිදන් වූ එකම ලාංකිකයා ඔහුය. මිය යන අවසන් තත්පරයේ දී ඔහු ප්‍රිය බිරිඳ ට යමක් කියා ඇත.
” ‘රොඩ්’ මොනවාහරි කියාගෙන කියාගෙන ගියා. අවුරුදු 30 ක් එකට ඉඳලත් සිංහල නොදැනීම ගැන එවෙලේ මට මහා දුකක් ඇතිවුණා. අපි නිවසේ දී කතා කලේ රුසියන් බසින්.”
තවදුරටත් ලුද්මිලා මෙසේද පවසා ඇත.
“මම ලංකාවට මේ අවුරුද්දේ යන්න හිතන් හිටියේ. දැන් මට ගිහින් වැඩක් නැහැ මට දැන් රොඩ් නැතිව ජීවත් වෙලා වැඩකුත් නැහැ.මොස්කව් හි කම්හලක ප්‍රධාන ඉංජිනේරුවරියකුවූ ඇය ද, රුද්‍රිගු මහතා. මියගොස් අවුරුද්දකින් ජීවිතයෙන් සමු ගත්තාය.ඇය මිහිදන් කළේ ද රුද්‍රිගු මහතාගේ සොහොනට යාබදවය.
“අසිරිමත් දෙයකි ලොව ප්‍රේමය නමිනා”
***. ***. ***
ලංකාවේ ඉපිද රුසියාවේ සිට ඔහු තම රටේ ජනතාවට කළ මෙහෙවර අති විශාලය ඔහු මුළු
මහත් ලාංකික සමාජ චින්තනය විශාල පරිවර්තනයකට භාජනය කළේය රුසියාවේ දී ඔහු දිවියෙන් සමුගත්තේ උපන් බිමට ණය නැති උදාර මිනිසකු ලෙසනි.
චන්ද්‍රෙස්න මුතුකුමාරණ
ආශ්‍රිත පොත්:
(1)කෘතිය: අමරණීය මිනිසා – දැදිගම වි.රුද්‍රිගු කර්තෘ: ව.අ.සරත් ලාල් කුමාර.( රු. චනිසියාව ප්‍රකාශනයකි)
(2)’රුසියාව’ සඟරා චන්දුාසේන මුතුකුමාරණ