ඩබල් ඩෙකර් බස්

මා එංගන්තයට පැමිණි මුල් දිනම මා අතිශයින් සතුටට පත් වූ දසුනක් විය. ඒ නම් පාරේ ගමන් කළ ඩබල් ඩෙකර් බස්ය. අපි පුංචි කාලයේ මහරගම- කොටහේන එකසිය දොළහ ඩබල් ඩෙකර් රතු පාට බස් එකක් තිබුණි. පසුකාලයේ ඒ බස් රූට් එක පවා නැතිවිය. පාසල් ගොස් එන වේලාවට ඒ ඩබල් ඩෙකර් බස් රථය හමුවෙනවා යනු ඒ කාලයේ අපිට තිබූ මහත්ම ප්‍රීති ප්‍රමෝදයයි. එහි උඩ තට්ටුවට නැග පාර දෙස බල බලා එන තරම් සතුටක් තවත් නැත.
මේ රටේ නගර ඇතුළත ගමන් සේවා සඳහා භාවිතා කරන්නේම තට්ටු දෙකේ බස්ය. ඒවායේ විශාල සෙනඟක් ප්‍රවාහනය කළ හැකිය. පොදු ප්‍රවාහන සේවයේ ඇති සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි අවස්ථා මා පුදුමයට පත් කරන සුළු විය. බස් එකේ සීට් දෙකකට එක කණුවක් බැඟින් ඇත. හැම කණුවකම අපගේ පපුව මට්ටමටත් පහළින් සීනුව සවි කර ඇත. එය එබීම කුඩා ළමයෙකුට වුව ද කළ හැකිය. අපේ රටේ බස්වල යන සාමාන්‍ය මිටි අයෙකුට බෙල් එක නාද කිරීම අපහසුය. එවිට ඒ අය කාගෙන් හෝ උදව් ඉල්ලිය යුතුය. දරුවෙක් වඩා ගත් අම්මෙක්ට බෙල් එක ගැසීම අපහසුය. ආබාධිත අයෙකුට එය අපහසුය. අපි ඇතැම් ජන කොටස් ප්‍රධාන ප්‍රවාහයෙන් ඉවත් කර ඇත්තේ එසේය. එහෙත් මේ පද්ධතිය සියලු දෙනාට ප්‍රවේශ විය හැකි ආකාර සකස් කර ඇත.
ඉදිරි අසුන් ප්‍රමුඛ ආසනය. ඒවා වයස්ගත අයට ගැබිණි කාන්තාවන්ට ආබාධිත අයට වෙන් කර ඇත. එම ආසන ඇත්තේ බස් රථයේ මැදට වන්නටය. මුල් ආසන ඇත්තේ පිටුපස ආසන ඇති පැත්තට නොව සිරස් ආකාරයට හැකිලිය හැකි පරිදිය. ඒවා බොහෝ විට හකුලා තබා ඇත. එහි විශාල ඉඩකි. එය ඇත්තේ දරුවන් සමඟ එන ස්ත්‍රීන් සහ රෝද පුටුවෙන් එන ආබාධිත හෝ වයසක අය සඳහාය. මේ අය බසයට ගොඩවන්නේ කෙසේදැයි ඔබ සිතනු ඇත. බස් රථයේ පඩියත් බස් නැවතුමේ පොළොව මට්ටමත් සමානය. බස් රියට පඩි නැග ඇතුල් විය යුතු නැත. එය සමතලාය. බස් රථය නවතන්නේ නැවතුමේ පඩියට ඉතාම සමීපවය. මෙහි දොර දෙකක් ඇත. ඒවා විශාලය මැදින් දෙපසට ඇරෙයි. බස් රථය නවතා රියදුරු දොර ඇරි පසු රෝද පුටුව තල්ලු කරගෙන බස් රථය තුළට ගමන් කළ හැකිය. අම්මලා දරුවන් සහිත ගෝ කාට් එක තල්ලු කරගෙන නඟියි. මෙහි ළමයි එක්කෙනෙක් දෙන්නෙක් වගේම තුන් දෙනෙක් ගෙන යා හැකි ගෝ කාට් ඇත. ඒවා තල්ලු කරගෙන අම්මලා තාත්තලා බස් රථයට නඟී. එවිට හැකිලිය හැකි ඉදිරි ආසන හකුළා ඔවුහු සිය ගෝ කාට් එහි තබයි. ආබාධිත අය සිය රෝද පුටුවෙන්ම එහි සිටී. එවැනි අය මෙන්ම වයසක අය බස් රථයට ගොඩ වූ පසු ඔවුන් නිසි පරිදි වාඩි වෙන තුරු බස් රථය අද්දන්නේ නැත.
මිනිසුන්ට පමණක් නොව බල්ලන් පූසන් පවා මෙම පොදු ප්‍රවාහන සේවයේ ගෙන යා හැකිය. බල්ලා තමා ආසන්නයේ බිම තබාගෙන යාම සිරිතය. පූසෙක් නම් ඌ දමන කුඩා පෙට්ටිය අයිති කරුවා බිම හෝ උකුළ මත තබා ගෙන සිටී.

මෙම බස්වල කොන්දොස්තරවරු නැත. සිටින්නේ රියදුරු පමණි. මිනිසුන් නගින විට ටිකට් ලබා දෙන්නේ රියදුරු විසිනි. ටිකට් ගැනීම බොහෝ විට සිදු කරන්නේ කාඩ් මාර්ගයෙනි. මුදල් ලබා දෙන අවස්ථා ද ඇත. කෙසේ හෝ මෙහි එක් ගමන් වාරයක් සඳහා පවුම් දෙකකි. ඊළඟ නැවතුමෙන් බැස්ස ද ගමනාන්තය දක්වා ගමන් කළ ද පවුම් දෙකකි. අපිට අද දවසේ ගමන් කිහිපයක් ඇත්නම් කළ යුත්තේ ඩේ පාස් එකක් ගැනීමයි. එය පවුම් පහකි. එදින රෑ දෙළහ දක්වා අසීමිත ගමන් වාර ප්‍රමාණයක් එම ටිකට් එකෙන් ගමන් කළ හැකිය. එසේම සතියට ටිකට් එකක් ගත් විට එය පවුම් 12ක් පමණ වේ. එයින් සතිය තුළ අසීමිතව ගමන් කළ හැකිය. එම කාඩ් එක රැගෙන යන ඕනෑම කෙනෙකුට එයින් ගමන් කළ හැකිය. මම බස් කාඩ් එක මිළ දී ගත් විට මම නොයන අවස්ථාවේදී එම කාඩ් එකෙන් මගේ පුතා හෝ මගේ සැමියාට ගමන් කළ හැකිය. එසේම මාසයට මෙන්ම අවුරුද්දට ටිකට් ලබා ගත හැකිය.
සෑම බස් නැවතුමකම එතනින් යන බස්වල අංක සටහන් කර ඇත. එසේම බස් රථය එම නැවතුමට පැමිණෙන වෙලාව සටහන් කර ඇත. එය නගර සභාව විසින් ලොකු චාර්ට් එකක් මඟින් බස් නැවතුමේ වීදුරු තිරය යට අලවා තබයි. බස් නැවතුම්වල කිසිවක් ලියා කිසිවිටක අපවිත්‍ර කර නැත. ඒවා ඉතා පිරිසිදුය. කාල සටහනේ සඳහන් වෙලාවට වඩා එම බස් රථය විනාඩියක් කිසිම අවස්ථාවක ප්‍රමාද වන්නේ නැත. දෙකයි තිස් දෙක ලෙස සඳහන් වු බසයක් කිසිවිටක දෙකයි තිස් තුන වන්නේ නැත. දුම්රිය ද එසේය. පැය දෙක තුන යන ගමනක් වුවද විනාඩියක් හෝ පමා වන්නේ නැත.
බස් එකේ දොර වැසූ පසු යළි එය නවත්වන්නේ ඊළඟ නැවතුමේය. මගින් නවත්වා සෙනඟ ගැනීමක් හෝ බැස්සවීමක් නැත. බසයේ ඉදිරියේත් මැදත් ඇති ඩිජිටල් තිරයක් මත බසය යන්නේ කොහිද ඊළඟ නැවතුම කුමක්ද යන ඒවා සඳහන් වේ. එසේම එය කියවීමට අපහහු අය සඳහා බස් රථය එක් නැවතුමකින් පිටත් යන විට එය දැන් පිටත්වන බව ද අදාල නැවතුමද ඊළඟ නැවතුම ද රෙකෝඩින් එකක් මඟින් ඇසෙන්නට සැලසෙයි. ඊළඟ නැවතුම ආසන්න වන විට යළිත් ඊළඟ නැවතුම කුමක්ද යන්න රෙකෝඩින් එකෙන් ඇසෙයි.
මගේ ගෙදර දොර ඉස්සරහාම ළඟ භස් නැවතුම ඇති නිසා අපට බස් රථයේ යාම අපහසුවක් නොවේ. එහෙත් දුර ගමන් සේවාවලදී මෙම පද්ධතිය නිසා මම අපහසුතාවට පත් වෙමි. ලංකාවේදී අප ජීවත් වූයේ නුවර, අනුරාධපුරය, යාපනය ආදී දුර බස් ගමන් කරන පාර අද්දරමය. බස් නැවතුම ගෙදර සිට මීටර් එකසිය පනහක් පමණ දුරිනි. නුවර සිට එන විට බස් රියදුරු ළඟට යන මම ඔහුට කියා ගේ ඉස්සරහින් බස්සවා ගනිමි. එහෙත් දැන් මැන්චෙස්ටර් හෝ ලන්ඩන් හෝ සිට මා එන්නේ මගේ ගෙදර ඇති පාරෙන්මය. දැන් මට රියදුරු ගගාවට ගොස් කියා ගෙදර ඉස්සරහාම ඇති බස් නැවතුමෙන් බස්සවා ගත නොහැක. නගරයේ ප්‍රධාන බස් නැවතුමට යා යුතුය. ඉන්පසුව යළිත් විනාඩි දහයක් ආ පස්සට පැමිණිය යුතුය. එවිට නම් මං එන්නේ මේ විධිමත් පද්ධතියට හිතින් බනිමිනි.
මෙම විශාල බස් පදවන රියදුරන් ගැහැණු වන අවස්ථා බහුලය. එසේම බස් එක ඇතුළත අලවා ඇති දැන්වීම්වල සඳහන් වන්නේ බස් රියදුරන් සඳහා ඇබෑර්තු ඇති බවත් ගැහැණුන්ට ඒ සඳහා වැඩි අවස්ථා පවතින බවත් ස්ත්‍රීන්ට ඒ සඳහා අයදුම් කිරීමට පොළඹවන සුළු වැකියක් ද ඇතුළත් කරමිනි.
කිසිම අවස්ථාවක බස් රථය ඇතුළත කුණු අපද්‍රව්‍ය නොමැති අතර බාහිරව ද බසය කුණු දූවිලි බැඳී නැත. කොටින්ම මේවා ටොයියා බස්ය. මර්සිඩීස් බෙන්ස් වැනි උසස් සන්නාම සහිත ආයතනවල නිශ්පාදනයන්ය. දුර ගමන් බස් රථයක නම් සෑම මඟියෙක්ම සීට් බෙල්ට් පැළඳිය යුතුය. එසේම එවායේ ඉතා පිරිසිදු වැසිකිලි පහසුකම් ඇත. තමා ඉඳගෙන යන ආසනයේ යට හෝ ඇන්ද මත ෆෝන් එක හෝ ලැප් ටොප් එක චාර්ජ් කර ගැනීමට අවශ්‍ය ප්ලග් පොයින්ට් එක ඇත. දුර ගමන් සේවාවල නම් අනිවාර්ය වශයෙන් වයිෆයි ඇත.
තමාගේ ටිකට් එක පවා බසයෙන් බසිද්දී දැමීමට වෙන් වූ විශේෂ ලාච්චුවක කවුළුවක් බසයේ ඇත. කිසිවෙකු බස් ටිකට් ටොපි කොළ ආදිය තැන තැන දමන්නේ නැත.
බසයට නඟින මගීන්ට රියදුරු සුබ පතයි. බසින විට ද සුබ දිනක් ලෙස සුබ පතයි. සෑම මිනිසෙක්ම බසින්නේ රියදුරුට ස්තුති කරමිනි. ආර්ථික පීඩනයක් නැති තැනක මිනිස්සු නිදහසේ සැහැල්ලුවෙන් දිවි ගෙවති.

More From Author

විස්මයාකාර ලෙස සුන්දරයි- තක්ෂිලා වීරසේකර

රෝසමල් කුමාරයා ගැන ලියවුණුපළමු විචාරාත්මක සටහන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *