කිසිදු බාහිර බලපෑමකින් තොරව සිදුවන ස්වාභාවික නෛසර්ගික ශාරීරික ක්‍රියාකාරකම් සහ ප්‍රතීක ක්‍රියාවන් හැරුණු කොට, මානවයාය කියන සත්ත්ව කොට්ඨාශය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ, සිතුවිලි සහ හැඟීම් මගින් ඇතිකරවන උත්තේජනය මතයි.
පරිණාමයේ මුල් යුගයේ පටන් මේ දක්වාම මානව සිතුවිලි හා හැඟීම් අසීමාන්තික වුවත්, ඒවායේ මූල ස්වරූපය පැහැදිලිව නාමකරණය කර- වර්ග කර දක්වන්නට හැකි තරම් පොදුයි. මේ සියල්ල අතිශය සාමාන්‍ය මිනිස් හැඟීම්. මානසික සංවේදන.
අද ඉපදුණු කුඩාම ළදරුවාට පවා, ආරක්ෂාව සහ අනාරක්ෂිත බව පිළිබඳ ඉවක් තිබෙනවා… උණුහුම හා සීතල ගැන- බඩගින්න, රිදුම්, කැක්කුම්, වේදනාවන් ගැන අදහසක් තිබෙනවා… ආදරය, සෙනෙහස සහ අකාරුණික බව පිළිබඳව සංවේදී වීමක් තිබෙනවා…
මේ, අති සාමාන්‍ය මානුෂීය හැඟීම්, කිසිම විටක තමන් තුළ පවා සමබරව පිහිටන්නේ නෑ. තුලිත වන්නේත් නෑ. විටෙක සතුට, විටෙක දුක, තවත් අවස්ථාවක කෝපය, ඇතැම්විට සම්මිශ්‍රණයක් විදිහට හැඟීම් වල මතු වීමත්- පැවතීමත්- ඉකුත් වීමත්- මෙන්න මේ වෙලාවට වෙනවාය කියලා කිසිසේත්ම ඉරක් ගහලා වෙන් කරන්න බැහැ. කොටින්ම, හැඟීමකින් හැඟීමකට මාරු වීමක් අතරේ නිශ්චිත margin එකක් නැහැ.
මේ විවිධ මානසික සංවේදනාවන්ට එක් එක් මනුෂ්‍යයා දෙන බර හෙවත් weight එක අඩු වැඩි වශයෙන් වෙනස්. අන්න එතනිනුයි, ගතිගුණ අතින් එකිනෙකාට වෙනස් වෙනස් මිනිස්සු නිර්මාණය වෙන්නේ.
ඇතැමුන් තුළ කාරුණික බව වැඩියි. ඇතැම් මිනිස්සු හරිම ආදරණීයයි. තවත් අය, නිරන්තරයෙන් කෝප සහගතයි. තවත් මිනිස්සු කපටියි. පිරිසක් අන්ත ආත්මාර්තකාමීයී. තවත් පිරිසක් නිතරම ඉන්නේ අසහනයෙන්. තව කොටසක්, කොයිතරම් විවේකී අවස්ථාවක වුණත් ඉන්නේ බොහොම අවිවේකීව, නොසන්සුන්ව. තවත් කොටසකට, අනෙක් මිනිසුන්ට ගිණි දෙන එක- වළ කපන එක ආගමක්. තව පිරිසක්, ස්වභාවිකවම අහිංසකයි. ඇතැමුන් බියගුළුයි- බයාදුයි. තවත් සමහරු එඩිතරයි- සටන්කාමීයි. තවත් පිරිසක් අධිසංවේදීයී. තව කොටසකට, තමන් බේරිලා අනුන්ට හෙණ ගැහුවත් කමක් නෑ. පිරිසක්, භාවාත්මකයි. ඇතැමුන් හරිම ව්‍යාජයි. පිරිසක්, කලාත්මකයි. සමහරු, ඉරිසියාකාරියි. තවත් අයගෙ ඇලීම් වැඩීයි. ඇතැමුන්, ආගමානුකූලයි. තව පිරිසක් නිරාගමිකයි- භෞතිකවාදීයි. තවත් පිරිසක්, හරිම සැහැල්ලුයි. ඇතැම් අය ගැඹුරුයි, serious. සමහරුන්ට ඕනි සමානාත්මතාවය. තවත් අය වර්ගවාදීයී….
මිනිසෙක් කියන තනි ඒකකය, මේ හැම ලක්ෂණයකම වගේ අඩු වැඩි සම්මිශ්‍රණයක්. ඔබේ සංකල්පනාවන්ගේ වැඩි නැඹුරුව හෝ නැමියාව ඔබ කවුරුන්ද කියා තීරණය කරනවා. ඒ නැමියාව කොයි අතටද කියලා හරියටම දන්නේ ඔබයි. ඒ තුළින් ගොඩනැගුණු සැබෑ මමය කියන මානවයාව හොඳින්ම හඳුනන්නේත් ඔබයි. බාහිර සමාජයේ ඉන්න ඔබගේ අතිශය සමීපතමයෙකුට පමණක් හැකියි ඔබ ගැන යම් ක්ෂුද්‍ර මට්ටමේ evaluation එකක් දෙන්න. ඒත්, ඒක පවා කොහොමටවත් 30%ක්වත් නිවැරදි එකක් වෙන්නෙ නෑ. ඒ නිසා, ඔබ පිළිබඳ සමාජයීය විග්‍රහයන් සහ අර්ථ නිරූපණ වැඩකටම නැහැ. මිනිස්සු එක එක පෝළිම් වලට රොද බැඳෙන්න ආසයි. මිනිස්සු වෙහෙසෙන්න ආස නෑ. අභියෝග භාර ගන්න ආස නෑ. තියෙන පාරක යන එක පහසුයි, අළුත් පාරක් හදන් යන එක අමාරුයි. නායකයෙක් වෙනවට වඩා අනුගාමිකයෙක් වීම පහසුයි. ඒත්, ඔබ එහෙම විය යුතුද? නෑ, ඔබ ඒ පෝළිමේවත්, මේ පෝළිමේවත් යා යුතු නෑ. ඔබට හැකියිනේ ඔබේ පාරේ යන්න.
ඔබ කව්ද කියන එක ඔබ දන්නවා. ඒ නිසා, ඔබ ඔබ වගේ ජීවත් වෙන්න. ඒ, “ඔබ ඔබ වගේ ජීවත්වීම” සමාජවිරෝධී, අනීතික, හානිකර හෝ සදාචාරවිරෝධී නැත්නම් එච්චරයි. සමාජය ඔබව තේරුම් ගත්තත් නොගත්තත්, ඔබ ඒක කොහෙත්ම ගැටළුවක් කර ගත යුතු නෑ. මොකද, “ඔබ අනුන්ට තේරෙන්න ජීවත් විය යුතුයි” කියලා නීතියක් හෝ නියමයක් කොහේවත් නැති නිසා…..
පෝළිමේ නෑ.
මේ පාර වෙනස්.
නමුත්,
සහතික විය හැකියි,
මෙය
විස්මයාකාර ලෙස සුන්දරයි.
තක්ෂිලා වීරසේකර