මේ සසරගත අසපුවයි
ණයට සෑදෙන තුසිතයයි
අකාලික වූ ස්වප්නයයි
සැබෑවක නැති කෙම් බිමයි
සසර සිරගත මිරිඟුවයි
නොකියන්න සොදුර ,
ගසා ගත යුතු බව සිවිලිමක්
දැමිය යුතු බව මල් කවුළුවක්
දුහුවිලිමය කටු බදාමය කොහොමත්
සොයා අඩුම පොලියට ණය
ඇපයටය ලත් ශිල්ප සන්නය
උගසය ඉදිරි පණ නලය
ඉතින් අපිටම රිකිල්ලක් ලදිමු
අසබඩම නන්දන උයනය
දුෂ්කර ම සේවයෙන් ඉනික්බිති
වෙඳැඟිල්ලට ලූ මුදු ද
කර ඉසියුම් රන් හුය ද
බදාමයකට හැරී සින්නවී යා හැක සොදුරිය,
ණය නම් ගෙවී යා යුතුමය
ආටෝප නම් කුමට
නොතෙමේය දැන් හිස
එහෙත් නොතබන ලංසු හදවත
සසර ගත බර පුරවූවක්ය
මිරිඟුවක්මය එය
සිතෙන යළි යළි හඹා යන්නට
“සසර ද කාලය ද ප්‍රේමයෙන් නවතාලිය හැක
දිනූ දිවි සටන් අපමණය “
දෙකොපුල රැළි නගා පවසත
ඉඳහිට උගුළුවා ලූ නර කෙස්
නොගලවන් සොදුර තව
තව්තිසාවත් පිනෙන් පිරිහෙන
වස්සාන කාල එලඹෙත
පිහිටි සිහියෙන් සිහින වුව
දැකිය යුතු එවැනි විටකය
මේ පෙමින් බර අසපුවයි
ණයට සෑදෙන තුසිතයයි
සිහින වියපත් නැති ඉමයි
සොදුර අප සතු නිවහනයි..
සසර සිර ගත මිරිඟුවයි
ගොසින් යළි නොඑනා තැනයි ..!
වත්සලා කන්නන්ගර