එක්දාස් නවසිය විසිහතරේ අවුරුද්ද පටන් ගත්තේ ඉතා දැඩි හිම තුෂාරය සහිත ශීතල සමඟ ය. හිමෙන් පිරි බිම මත ශීත සමයේ දැඩි ග්‍රහණය තවත් උග්‍ර වී ය. ජනවාරි මාසයේ දෙවැනි භාගයේ දී හූ හඬ නගන හිම කුණාටු සහ සුළිසුළං ද හමන්නට වී ය.
නිරිත දිග දුම්රිය මාර්ගය හිමෙන් වැසිණි. මෘගයකු මෙන් නැගී සිටි සොබාදහමට විරුද්ධව මිනිස්සු සටන් කළ හ.
හිම අතුගා සුද්ද කරන වානේමය යන්ත්‍ර දුම්රිය මග පිරිසිදු කරන්නට වී ය. හිම කුණාටු සුළිසුළං නිසා විදුලි පණිවුඩ කම්බිවල පවා රැඳුණු හිමකැට අයිස් බවට පත්වූයෙන්, ඒවා කැඩිණි. විදුලි පණිවුඩ මාර්ග දොළහකින් ක්‍රියාකාරී වූයේ තුනක් පමණි.
සෙපතේව්කා – 1 විදුලි පණිවුඩ කාර්යාලයේ මෝස් සංඥා යන්ත්‍ර තුනෙන් පිටවන ඉමක් නැති සංඥා හඬ කියවා තේරුම් ගත හැක්කේ පළපුරුදු කනකට පමණකි.
මෝස් සංඥා කියවන සේවිකාවෝ අලුත සේවයට බැඳුණු තරුණියෝ ය. ඔවුන් සේවයට බැඳුණු දා සිට මෙතෙක් මෝස් සංඥා අනුව ලියා ඇති ටේප්වල දිග දවසකට කිලෝ මීටර් විස්සකට නොවැඩි ය. ඔවුන්ගේ සගයා – පළපුරුදු මහලු සේවකයා ඒ වනවිට කිලෝ මීටර් දෙසීයක් දිගැති ටේප්වල සංඥා ලකුණු සටහන් කර ඉවර ය. ඔහුගේ තරුණ සගයන් මෙන් ඔහු ටේප්වල ඇති සංඥා කියවූයේ නැත. අමාරු වචනයක් කියවීමට බැරිව නළල රැලි ගසා ගත්තේ ද නැත. ඔහු වචනයෙන් වචනය මෝස් සංඥාවෙන් ප්‍රකෘති වචනවලට පෙරළා ක්‍රියා කරවී ය.
ඔහු දැන් තම යන්ත්‍රයට සවන් දෙමින් සිටී. ‘සියලු දෙනාට ම…සියලු දෙනාට ම..’ යන වචන ඔහුගේ කන්හි වැකිණි. එම වචන ලියාගන්නා පළපුරුදු විදුලි පණිවුඩ සේවකයා ‘හිම සුද්ද කිරීම ගැන තවත් චක්‍රලේඛයක් වෙන්නට ඕනෑ..’ යි සිතී ය. විදුලි පණිවුඩ කාර්යාලයේ කවුළුවට පිටතින් කුණාටුව විසින් හිමකැට වීදුරුවට වීසිකරනු ලැබේ. කිසිවකු කවුළුවට තට්ටු කරතියි සිතූ විදුලි පණිවුඩ සේවකයා හැරී බැලී ය. කවුළුවේ ඇති හිම රටාව එතරම් අපූරු ලෙස ඇඳීමට එකදු සිත්තරකුටත් නොපුළුවන.
සොබාදහම විසින් මවන ලද හිමමල් රටාවේ සුන්දර සිරි නැරඹූ ඔහු, මොහොතකට සවන් දීම නැවැත්වී ය. එහෙත්, ඔහුට කියවීමට නොහැකි වූ වචන සොයනු වස් ඔහු ටේප් පටිය අතට ගත්තේ ය.
යන්ත්‍රයෙන් මෙසේ කියැවිණි.
“ජනවාරි විසි එක්වැනි දා සවස හය පසු වී විනාඩි පනහට…” ලැබුණු පණිවුඩය ඉක්මනින් ලියාගත් සේවක තැන ටේප් පටය අතහැර දමා නැවත සවන් දීමට පටන් ගත්තේ ය.
“ඊයේ ගෝර්කිවල දී අභාවයට පත් වී ය….”
විදුලි පණිවුඩ සංඥා සේවකයා සෙමින් ලීවේ ය. ඔහු තම ජීවිතයේ දී ප්‍රීතිමත් හා දුක්බර නිවේදන කොපමණ ලියා තිබේ ද? අනුන්ගේ ප්‍රීතිය හා දුක පළමුවෙන් ම දැනගන්නේ ඔහු ය. අල්ප වචනවල හා වාක්‍ය ඛණ්ඩවල තේරුම් ගැන කල්පනා කිරීම බොහෝ කලෙක සිට අත්හැර දැමූ සංඥා සේවකයා ඒ වචනවලට සවන් දී යාන්ත්‍රික ලෙස කඩදාසියේ ලියුවේ හරය ගැන නොතකමිනි.
දැන් යමකුගේ අභාවය ගැන කිසිවකු විසින් කිසිවකුට දන්වනු ලැබේ.
“ සියලු දෙනාට ම…සියලු දෙනාට ම…” නමැති සිරස්තලය ඔහුට අමතක වී ය. සංඥා යන්ත්‍රයෙන් දිගට ම කියැවිණි.
ව්-ල-දි-මි-ර්-ඉ-ල්-යි-ච් !
මහලු සංඥා සේවකයා හඬ අනුව අකුරු ලියුවේ ය. තරමක් විඩාපත් වූ ඔහු සන්සුන්ව වාඩි වී සිටියේ ය. කොහේදෝ ව්ලදමිර් ඉල්යිච් නමැත්තෙක් මිය ගොසිනි. ඔහු අද ඒ සංවේගාත්මක පුවත කාටදෝ යැවීම සඳහා ලියයි. ඒ පුවත අසන කිසිවකු හඬා වැලපී සුසුම්ලනු ඇත. එහෙත්, සංඥා යන්ත්‍රය මෝස් ක්‍රමයට තිත, ඉර, තිත, ඉර බැගින් හඬ නගයි.
ඔහු හඬ අසා පළමුවැනි අකුර කඩදාසිය මත ලියුවේ ය. “ලෙ” ඊළඟට “නි” තෙවනුව “න්”. ඔහු හල් කිරීම දෙවරක් ම හරිදැයි සොයා බැලී ය.
ඔහු විසින් මේ දැන් ලියා නිම කරන ලද වචනය දෙස නිමේෂයක් නැවතී බලා සිටියේ ය.
“ ලෙනින් ”
සංඥා යන්ත්‍රය දිගට ම හඬ නැඟී ය. එහෙත්, අහම්බෙන් මෙන් ඔහුගේ සවිංඥානය දැක පුරුදු – අසා පුරුදු නම වෙත යළි ඇදිණි. විදුලි පණිවුඩ සේවකයා නැවත වරක් අවසාන වචනය දෙස බැලී ය.
‘ලෙනින් ! මොනවා...? ලෙනින් !’
විදුලි පණිවුඩය සම්පූර්ණයෙන් ම ඔහුගේ මනැස ඉදිරියේ මැවී පෙනිණි. නිමේෂයක් ඔහු කඩදාසිය දෙස බලා සිටියේ ය. දෙතිස් වසරක් වැඩකර ඇති ඔහු පළමුවරට තමා අතින් ලියූ දෙය විශ්වාස කිරීමට මැලි වී ය.
ඔහු විදුලි පණිවුඩය තෙවරක් ම කියැවී ය. එහෙත්, වචන මුරණ්ඩු ලෙස යළිත් කියැවිණි.
“ ව්ලදිමිර් ඉල්යිච් ලෙනින් අභාවයට පත් වී ය.”
මහලු සංඥා සේවකයා ටේප්රෝල අතට ගෙන දෙනෙත් මහත් කරගෙන එදෙස බැලී ය. ඔහුට කොහෙත් ම විශ්වාස නොකළ හැකි දෙය මීටර් දෙකක් පමණ දිග ටේප් පටිය සනාථ කළේ ය. මළමිනියක් සේ සුදුමැලි තම මුහුණ හරවා සංඥා සේවකයා සිය සගයන් දෙස බැලී ය.
“ ලෙනින් මළා...! ” ඔහු බිය වී කෑ ගසන සැටි ඔවුනට පෙනිණි.
හිම කුණාටුවක් වේගයෙන් හමාගොස් එහි සුළි සුළංවලින් දුම්රිය මාර්ගය ද, ස්විච් යතුරු ද වසා දමමින් හිම සහ අයිස් කැට සහිත කුණාටුව දුම්රිය වැඩශාලාවල යකඩ දොරවල් ඉරා දමන්නේ කිනම් වේගයකින් ද, එතරම් වේගයකින් ලෙනින්ගේ මරණය පිළිබඳ පුවත විදුලි පණිවුඩ කාර්යාලයේ සිට දසත පැතිර ගියේ ය.෴
ෆෆෆෆෆෆෆෆෆෆ
නිර්ධන පංති නායක වී.අයි. ලෙනින්ගේ වීරෝදාර ජීවිතය සහ කාර්යභාරය කම්කරු පංති ව්‍යාපාරය උදෙසා, කොමියුනිස්ට්වාදයේ ජයග්‍රහණය උදෙසා සටන් කරන සියලු ම සටන්කාමීන්ට ආස්වාදනීය ආදර්ශයකි. ශ්‍රේෂ්ඨ සටන්කාමියකු සහ චින්තකයකු වශයෙන් ලෙනින් සිය මුළු ජීවිතය ම යෝධ කර්තව්‍යයක් උදෙසා එනම්, ජයග්‍රාහී නිර්ධන පංති විප්ලවය සාක්ෂාත් කිරීම සහ සූරාකෑමෙන්, යුද්ධවලින්, දරිද්‍රතාවයෙන් සහ සුළු ජාතික පීඩනයෙන් තොරවූ ද සමාජයක් ගොඩනැගීම සඳහා කැප කළේ ය.
ඔහුගේ අභාවය වස්තු විෂය කොට ලියැවුණු මේ කෙටි පරිච්ඡේදය නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ නම් වූ ශ්‍රේෂ්ඨ රුසියානු නවකතාවේ ඇතුළත් වන්නකි. නවකතාවක කොටසක් ලෙසින් නොව, උසස් කෙටිකතාවකට අයත් බොහෝ අංග ලක්ෂණවලින් පරිපූර්ණ මෙය ඔහුගේ අභාවයෙන් වසර සියයක් සපිරෙන මේ මොහොතේ අපගේ ආදරණීය සගයා පිළිබඳ සදාදරණීය මතකය තව-තවත් උණුසුම් කරන්නට සමත්වනු නොඅනුමාන ය.෴
අනුර බී. සෙනෙවිරත්න
අගනා ලියමනක් ❤