තමන් නොකළ වරදකට මරණයෙන් වන්දි ගෙවන්නට වුණු ‘ පාරිස් අල්කොදෝර්’ ගැන ඇසූ පුවතින් කතුවරයාගේ හදවත කම්පාවෙනවා. නව යෞවනයට පියවර තබමින් සිටි ඒ රෝසමල් කුමාරයාගේ කතාව මේ “රෝස මල් කුමාරයා” කතාවේ අත්දැකීමයි. ඒ අත්දැකීම ප්‍රතිනිර්මාණය වෙන්නෙ අප ජීවත්වන රටේ යථාර්ථයත් එක්ක. ඒ යථාර්ථට කතුවරයා පරිකල්පනය බොහොම සීරු මාරුවෙන් එක්කාසු කරනවා.
සරල සහ කෙටි වැකිවලින් රචනා කර ඇති මෙම පොත කියවීමේ උනන්දුව ඇති කරනවා. භූගෝලීය පසුබිම අන්තර්ගතයට ගැළපෙන ආකාරයට කතාවේ අවසානය තෙක් රඳවාගෙන ඇති අයුරු මනරම්. ඒ හා සමානව මානව හා සමාජ පරිසරය අපූරුවට වියමන් කරමින් පාඨක සිත් කතාවට ඇද බැඳ ගැනීමට සමත්කමක් දක්වනවා.
සපත්තු, පොත්-පත් , ෆෝන් මිලදී ගැනීමට මේ යොවුන් දරුවෝ මල් විකුණන්නෙ. සමවයස් මිතුරන් අතරේ ප්‍රධාන චරිතය වන ශ්‍රී ධරන්ගේ ඒකායන අරමුණ අප්පම්මාව සනීප කරගැනීමයි. ඒ අරමුණ ඉටුකර ගැනීමට යාමේදී ඔහුට හමුවන අභියෝගයන් සහ ඒවාට මුහුනදෙන ආකාරයත් කතාවෙන් විකාශනය වෙයි. ප්‍රබන්ධකරු ප්‍රධාන චරිතයෙන් පමණක් නොව සෙසු චරිත හරහා ද පාඨක සිත පිරිමදියි. හද සංවේදී කරවයි. ගත දිරිමත් කරයි.
උද: දරු සෙනෙහසින් ඔහුගේ හදවත බරවිය. ශ්‍රී ධරන්ගේ මුහුණ තම ළයට හේත්තු වනු ලොකු සර්ට දැනිණ. තම අකීකරු සිසුවාගෙ උණුසුම් සුසුම් මුල්වරට විදුහල්පතිවරයාගෙ ළය කම්පා කළේ ය. ඩිස්පෙන්සරිය දක්වා ඔහු පයින් ම පිය මැන්නේය.”
හොඳ සාහිත්‍ය කෘතියක අඩංගු විය යුතු අරමුණු බොහොමයක් මෙම කෘතියේ ඇති නිසා යොවුන් පාඨකයා පියවර කීහිපයක් ඉදිරියට ගෙනයනු ඇතයි විශ්වාස කරමි.
භාෂාව පැහැදිලිය. නිරවුල්ය. අත්දැකීම යෞවනයාට සමීපය. අන්දකාරයේ යන පාඨකයාට විදුලි එළි විහිදුවමින් සහකම්පනය , අදිෂ්ඨානය, උත්සහවන්ත බව, සහෝදරත්වය, සාමකාමී බව, මිනිසත්බව මනාව පෙන්නුම් කරයි.
කතුවරයාගේ මෙම වියමන තුළ යෞවනයා පමණක් නොව වැඩිහිටියාද කම්පනයට පත්වෙයි. සංවේදී වෙයි.
තනුජා අයගම