නිදහස ජනතාව සහ පරමාධිපත්‍යය

“ජනතාව” කියන පොදු නාමකරණයට මේ “මම” කියන ලංකිකයා ඇතුළත් වෙනවද කියන ප්‍රශ්නේ මගෙන් ඇහුවම හරි හැටි උත්තරයක් ලැබෙන්නෙ නෑ.

ඒක එහෙම තියෙද්දී

වන්නිලෑ ඇත්තෝ, උත්තර දේසේ මහ ඇත්තෝ, මළය රට මහ ඇත්තෝ, මේ ආදී කොට ඇත්තෝ ගත්තම ඇත්තටම මේ අය  “ජනතාව” ද කියන  අවුල ඔන්න මගෙ හිතට එන්න ගත්ත. ඇත්තටම න්‍යායාත්මකව ගත්තොත් තුන් දෙගොල්ලමත් ජනතාව තමයි. ඒත් එයාලව නිකං ජනතාව කියන ගොඩට වැටෙන්නෙ නෑ වගේ හැඟීමක් මේ මනස ඇතුළේ තියෙනවා. ඒක මේ මට විතරක් ඇති වෙන දෙයක් ද නැත්තම් මට ඇති වෙනවා වගේ හැඟීමක් ඇතිවෙන තවත් අය ඉන්නව ද කියලා කියන්න හොයලා බලන්න පොඩි සමීක්ෂණයක් කළොත් මොකද කියලත් හිතෙනවා. මයික් එකක් අරන් ගිහින් අහන්න බෑ, ඒත් පොඩි ප්‍රශ්නයක් දෙකක් දාලා බලන්න පුලුවන් සයිබර් අවකාශයට. උත්තර දෙයිද නැද්ද කියලා කියන්න මම දන්නෑ. ඒත් ප්‍රශ්න දෙක තුනක් ලියලා බලමු.

ප්‍රශ්නය

1: ඔබ ජනතාව කියන ගොඩට ඇතුළත් ද?

2: අතුළත් නම් කුමන ජනතාවට ද?

3: නැත්නම් ඒ ඇයි?

4: උත්තර දේසේ මිනිස්සු ජනතාව ද, එවගේම වන්නිලෑ ඇත්තෝ, මළය රට ඇත්තෝ?

මේ ප්‍රශ්නවලට උත්තර දුන්නත් නැතැත්, ඔය “ජනතාව” කියන සංකල්පය ගැන මට දැනෙන දේ කිව්ව කියල දොසක් වෙන එකක් නෑ කියල විශ්වාස කරනව.

රාජ්‍යයක් රටක් වීමට හෝ රටක් රාජ්‍යයක් වීමට තියෙන එක නිර්ණායකයක් වෙන්නේ මේ කියන ජනතාව. රාජ්‍යයක් රටක් කියලා කියන්න ජනතාව අවශ්‍ය නම් ඒක තීරණය කරන්නේ කවුද. කොහෙ ඉඳළ ද?  නිශ්චිත භූමියකට එලියෙන්ද ඇතුළෙන් ද? එහෙමත් නැත්නම් අනෙකාගේ දෘෂ්ටියෙන් ද?

“මගේ ආදරණීය ජනතාව කියලා කිව්වම, කියන “මම” ජනතාවට අයත් වෙනව ද ? අපේ ජනතාව, ඔවුන්ගේ ජනතාව කිව්වම ඒ කියන අයත් ඊට ඇතුළත් ද?

 ඇයි මට එහෙම හිතෙන්නේ?. කවදා ඉඳලද?. ඒකට මට උත්තරයක් නෑ. ඒත් දැන් මට දැනෙන්නෙ නම්, මේ ගොල්ල, ඒ කියන්නේ උතුරේ, බිංතැන්නේ, මළය රටේ ජීවත් වන මිනිස්සු ජනතාව ද කියන ප්‍රශ්නය. මේ හැඟීම ඇති වෙන්නේ හෝ නො වෙන්නේ, තමන් ඉන්න තැන අනුවයි. මම ඉන්න තැන ඉඳළ මේ ගොල්ල ජනතාවද නැද්ද කියලා මට තීරණය කරන්න තියෙන අයිතිය මොකක්ද?‍

ඉන්න තැන භෞතිකව මොන තූත්තුකුඩියේ වුණත්, මානසිකව ඉන්න තැන මත ඇති කරන හැඟීම අර උඩ කාරණයට බලපානවා වෙන්න පුලුවන්. ඒත් ඒ අයිතිය මට දීලා තියෙන්නේ ඉතිහාසයෙන්. ඉතිහාසයේ කවද ඉඳළ ද.

මහාවංසේ ඉඳළ ද.

ඔව්නෙ.

මහවංසේ පටන් ගන්කොටම වන්නිලෑ ඇත්තෝ වෙන් කරනවනේ. එයාලා ආදිවාසින්, වැද්දෝ කියලා. අපේ පූර්වජ මුත්තා ඒ වැඩේ කරලා තියෙනවා. තමන්ගේ අඹුවයි දරුවොයි පන්නල දානව. එයාලා වෙනම දිහාවකට පන්නා යනවා. වෙනම ජීවත් වෙනවා. ඉතින් එදා ඉඳළ එයාලා ජනතාව කියන ප්‍රපංචයෙන් වෙන් වෙනවා. වෙනම අනන්‍යතාවක් තියෙන ජන කොටසක් වෙනවා. එතකොට ජනතාව කියන හැඟීමට මේ “අනන්‍යතාව” කියන එක මානසිකව බලපානවා. භෞතිකය, ඒ කියන්නේ ඔවුන් ජීවත් වෙන භූමියත් ඒකට උදව් කරනවා.

මේ ලියන එකටම අලුතෙන් එකතු  කරන්න හිතුනේ නිදහස් උත්සවේ වෙලාවේ වන්නිලෑ ඇත්තෝ එයාලගෙ කට්ටියත් එක්ක ඇවිත් ඉන්නවා දැක්කම. මහ ඇත්තා සංකේතාත්මකව ඇඟේ උඩ කොටසට ඇඳුමක් නැතුව පොරෝ කොටේ එල්ලාගෙන ඉන්නවා. අනිත් අය, ඒ කියන්නේ එයාගේ පරපුරේ කට්ටිය පෝස්ට් මොඩන් වැදි ජනයා මහ හූරාත් එක්ක ඉන්න කොට තමයි මේ අය ජනතාවද කියන ප්‍රශ්නේ වැදගත් වෙන්නේ.

යූ ටියුබ් පොරක් වෙච්ච ලාල් අහනවා ඔවුන්ගෙන් ප්‍රශ්න ටිකක්.
ඔයාලගෙ කට්ටිය කොච්චර විතර ඉන්නවද කියලා
ලක්ෂ පහක් විතර ඉන්නවලු.
ඔයාලටත් නියෝජනයක් තිබුණා නම් හොඳයි නේද කියලා අහනවා.
ඇත්තටම ඔවුන් නිදහස් උළෙලට ඇවිත්
ඔවුන් නිදහස් ද
කවද ද කාගෙන්ද නිදහස්
මේක ලොකු කතාවක්
එයාලටත් උත්තර නෑ

ඉතින් ආයෙත් පරණ ලියවිල්ලට

උත්තර දේසේ ඉන්න ඇත්තොත්, මළය දේසයේ ඉන්න ඇත්තොත් “ජනතාව” කියන කොටසට නො දැනෙන හේතුව ඒක වෙන්න පුලුවන්. මහාවංසෙම තමයි උත්තර දේසේ මිනිස්සුත් ජනතාව කියන සංකල්පය බෙදන්නේ.

මාලිමා ආණ්ඩුවේ නිදහස් උත්සවේට යාපනේ කට්ටියත් එක්ක රාමලිංගම් චන්ද්‍රසේකරම් සහෝදරයා ඇවිත් ඉන්නවා දැක්කා. කලින්ට වඩා වෙනසක් තියෙනවා වගේ ගතියක් තිබුණට රාමලිංගම් හිටියේ ටිකක් අමාරුවෙන් වාගේයි මට පෙනුනේ. අපිත් දැන් ජනතාව කියන්නාක් වාගේ දෙයක් පෙන්නන්න හැදුවට මිනිහට හරි තෙහෙට්ටුවක් තිබුණු ගතියක් පෙන්නුම් කෙරුවේ.

හැබැයි මළය රට ජනතාව වෙනම කොටසක් කරන්නේ මහවංසය නොවුණත් චූලවංසය වෙන්න පුලුවන් කියලා තර්කයක් ගෙනාවත්, ඒක හරියටම සලකුණු කරන්න පුලුවන් වෙන්නේ සුද්දගෙ කාලේ කියලා කියන හැඟීමයි හිතට එන්නේ. ඒ ගොල්ලෝයි මේ මළය රට වතු ආශ්‍රිතව ජීවත් වෙන දෙමළ බස කතා කරන මිනිස්සු ලංකාවට ගෙනාවේ.

එහෙම වුණත් මට මේ විදිහට හිතෙන්න මම ඉන්න තැන මොකක් ද. මම ඉන්නේ මේ තුන්ගොල්ල ඉන්න තැන නොවන නිසා ද. මම ඉන්නේ ජනතාව කියලා කියන්න පුලුවන් තැන ද. ඒකත් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම හිතෙන්නේ සිංහල හින්ද ද? බොෟද්ධ හින්ද ද? එහෙම දෙයක් ඇති කරලා තියෙනවා. බොරුවක් නෙවෙයි. නැත්තම් උතුරෙන් වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා කියලා කියන්න හේතුවක් නෑ. වතු කම්කරුවන්ට විතරක් දෛනික පඩිය අඩු වෙන්න හේතුවක් නෑ. අවුරුදු තිහක යුද්ධයක් කරන්න හේතුවක් නෑ.

මේ විදිහට බැලුවම මම හිතන එකත්, ඒ මිනිස්සු හිතන එකත් අතර වෙනසක් නෑ. මට තියෙන හැඟීම මයි එයාලටත් තියෙන්නේ. මහා වංසේ ඉඳළා මේ දක්වා ආව ඉතිහාසයේ රස්තියාදුවක් ගැහුවොත්, මේ තුන් ගොල්ල විතරක් නෙවෙයි, තවත් වෙන වෙන මිනිස් කණ්ඩායම්  ඉන්නවා වෙන්න පුලුවන්. වෙන්න පුලුවන් නෙවෙයි ඉන්නවා. ශිෂ්ටාචාරයක් කියන්නෙම වෙන් කිරීමක්. සංස්කෘතියක් කියන්නෙම වෙන් කිරීමක්. භාෂාවක් කියන්නෙම වෙන් කිරීමක්. ආර්ථිකයක් කියන්නෙත් වෙන් කිරීමක්. එහෙම හිටපු, එහෙම වෙන් කරපු මිනිස්සු එක් කරා කියලත් කියන්නේ ඉතිහාසයමයි. එක් කරා කියලා කියනකොටම වෙන් වෙලා හිටියා කියලා කියන්නෙත් ඉතිහාසයමයි.

තැනක් නැතුව තැනින් තැනට ගිහින් ජීවත් වෙන මිනිස්සු පිරිසකුත් ලංකාවේ ඉන්නවා. මෙයාලට සංචාරකයෝ කියලා කියන්නෑ. එයාලට කියන්නේ අහිකුණ්ඨිකයෝ කියලා. මේ මිනිස්සු මොක්කු ද?  මේ අය සිංහලයට අනුව දෙමළට අනුව, මුසල්මානුවට අනුව ජනතාව ද? රටට අනුව ව්‍යවස්ථාවට අනුව ජනතාව ද

එතකොට ව්‍යවස්ථාවෙන් කියන ඔය ජනතා පරමාධිපත්‍යය කියන්නේ මොකක්ද?

ඒක කාට අනුව ද? ව්‍යවස්ථාවේ කියන ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඒක වචන ද නැත්තම් බහු වචනයක් ද?

සුද්දා ඇවිත් රට එකතු කළා කිව්වට ඒ එකතු කිරීම කළේ ජනතා පරමාධිපත්‍යය ගැන හිතල ද? දැන් සමහරු 1931 ලැබුණු සර්ව ජන ඡන්ද බලය ගැන කතා කරනව. ඒක ආසියවත් එක්ක සසඳනව, ප්‍රජාතන්ත්‍රවාදයට ගලපනව. ඇත්තටම වුණේ එහෙම එකක් ද? එහෙම දයෙක් උනා නම් ඇයි මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ ජනතාව කියන කොට වෙන වෙනම හැඟීමක් එන්නේ.

සුද්දා එන්න කලින් එහෙම දෙයක් තිබුණෙ නෑ, කියල කියන ඉතිහාස සාධක තියෙනවා. ලංකාව කිසිම දවසක එකක් විවිදිහට තිබිල නෑ.. එදා රට වැසියා නැත්නම් අද කතා කරන “ජනතාව” කියන සංකල්පයෙන් හිටපු මිනිස්සු ඒකීය අර්ථයකින් හිටිය ද කියන එක නම් මම දන්නෑ. ඒත් මහවසංසේ, සෙල්ලිපි, අර්ථකතන දිහා බැලුවම අපි කැමැති විදිහට හිතා ගන්න පුලුවන් ඉතිහාසයක් තමයි තියෙන්නේ..

මේ මොහොතේ දී මේ “ජනතාව” කියන සංකල්පය ව්‍යවස්ථානුකූලට උඩට ඇවිත් තියෙන්නේ. ඒ ඡන්දයක් හින්දා. ජනතා පරමාධිපත්‍යය උරගාලා පාලකයෙක් පත් කර ගන්න නිසා. ඒ වගේම මේ පරමාධිපත්‍යයෙන්ම ව්‍යවස්ථාදායකයට පත්කරගන්න ඡන්දයක් තියෙන්න නියමිත නිසා. ව්‍යවස්ථාවක් කියන්නේ නීතියක් උනාට ඒ නීතිය හදවතට දැනෙන්න ඕන. එහෙම නැත්තම් ඒක බලහත්කාරයක්. බොරුවක්. ව්‍යවස්ථාව බොරු කරල ද නැතිනම්, ව්‍යවස්ථාවට බොරුකරලද කියන ප්‍රශ්න දෙකෙන් එකක් හෝ දෙකම ඇත්ත නම්, මේ ගැන විශ්වාස කරන කවුරු වුණත් ඉන්නේ විශාල මායාවක.

උඹ හදන්නේ මේ සේරමල අවුල් කරන්න. රාජ්‍යයට ද්‍රෝහීකම් කරන්න. රට බෙදන්න. උඹ ත්‍රස්තවාදියෙක්. එහෙමත් නැත්නම් මොලේ අමාරුකාරයෙක්.

ඔව් ඒ විදිහට කියන්න පුලුවන්. ජාතියට රටට කරන අපහාසයක් වෙන්න පුලුවන්. ඒත් දැන් ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන එකි නොකී අපා දෙපා සියලුම දෙනාත්,  ඡන්දය ඉල්ලමින් ජනතාව ගැන කතා කරන මහත්තුරුත්, ව්‍යවස්ථාවත් අතර වෙනසක් නෑ. ඒ අර්ථයෙන් ඔවුන් ව්‍යවස්ථාවට අවංකයි. එයාලා එක පරමාධිපත්‍යයක් ගැනයි කතා කරන්නේ. ඒත් මට නම් එකක් ගැන හිතන්න තරම් ඇත්තක් තියෙනවද කියන එක හදවතට දැනෙන්නෙ නෑ. ඒ නිසා මම ද්‍රෝහියෙක්  ත්‍රස්ථවාදියෙක්. බෙදුම්වාදියෙක්.

බොහෝ දෙනෙකුට මේ විදිහටත් කියන්න පුළුවන්. ඒත් දෙකක් කියන්න ඕන. පළමු වැන්න සුදු මහත්තුරු දේශ ප්‍රේමීන් වෙති. දෙවැන්න සුදු මහත්තුරු නිසාම මහා වංසය ත්‍රස්තවාදියෙකි.

අලුත් ආණ්ඩුවේ නායකයා උතුරට ගිහින් දකුණට ගිහින්, මලය රටට ගිහින් වඩිග පටුන නටමින් ට්‍රයි එකක් දෙන්නේ මහාවංසය නිවැරදි කරන්න ද, මහාවංසෙන් ගලවා ගන්න ද එහෙමත් නැත්තං මහාවංසෙට කෙලවන්නද කියලත් ඉස්සරහට අහන්න ගනීවි කියල හිතෙනවා.

ඒත් පරමාධිපත්‍යයයි ජනතායි ඔය කියන නිදහසයි අතර නම් කිසිම සම්බන්ධයක් නෑ.. ජනතාව වෙන්න ජනතාවාදී ආණුඩුවක් වෙන්න පුලුවන් ද කියන එක වගේම ජනතාවාදී ආණුඩුවක් වෙන්න ජනතාවාදී රාජ්‍යයක් තියෙනවද කියන ප්‍රශ්නයට උත්තර ඕන කරනවා. එහෙම බලනකොට මෙහෙමත් කොහොමත් උත්තරය ප්‍රශ්නෙට ගැලපෙන්නෙ නෑ…

More From Author

නිදහසින් වසර 75කට පසුව – ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව

77 වන ජාතික නිදහස් දින සැමරුම……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *