කෙටි කවිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම හයිකු කවි සම්බන්ධයෙන් පල කෙරෙන අදහස් වලදී බෙහෙවින් පැවසෙන එක් කරුණක් වනුයේ ඒ කවි තත් ක්ෂණයෙහි බිහිවන නිර්මාණ විශේෂයක් ලෙසටය. ඒ අනුව යමෙකු තමන් ඇස ගැටෙනා යමක් එසැණින් කවියකට පෙරලීමක් අදහස් වන්නේ යයි හැඟී යා හැකිය. අපේ ජන කවියද බොහෝ විට විස්තර කෙරෙනුයේ එලෙස තමන් මුහුණ පානා අත්දැකීමක් ඒ සැනින් කවියක් බවට පෙරළු නිර්මාණ ලෙසිනි. ඒ අනුව තමන් සිතට නැගෙනා කවර අදහසක් වුව සංක්ෂිප්ත පවින් පවසා සිටීම කවියකැයි සිතන්නට යමෙකු පෙළඹීම ස්වාභාවිකය.
එහෙත් සංක්ෂිප්ත කවිය යනු එලෙස සැහැල්ලුවෙන් ගත හැක්කක් නොවේ. තමන් දකිනා නැතිනම් තම ආකර්ෂණයට හේතුවන කිසියම් නිමිත්තක් හරහා කවියා කෙටි වෙලාවක් තුළ නිර්මාණයකට එළඹීම යනු අස්වාභාවික දෙයක් නොවේ. එහෙත් ඒ ආකාරයට සාර්ථක නිර්මාණයක් කිරීම යනු කවියාගේ පරිණත බව විදහා දක්වන ලක්ෂණයක් බව අප අමතක නොකළ යුතුය. තත් ක්ෂණයෙහි නිර්මාණයක් කිරීමට ඇති සමත්කම යනු කවියකුගේ නිරන්තර අභ්යාකසයෙහි පලයක් බව අප වටහා ගත යුතුව තිබේ.
සරත්චන්ද්‍ර වල්පොල යනු එවන් කවියෙකි. ඉවසිලිමත් අභ්‍යාසයත්, සියුම් නිරීක්ෂණයත්, ස්වකීය දැක්මත්, කවිය කෙරෙහි වන ඇල්මත් නොඅඩුව පලවන සරත්චන්ද්‍රගේ කවි හුදු වදන් හරඹයන් ඉක්මවා අපේ පරිකල්පනය අවදි කරවන නිර්මාණ බවට පත්වන්නේ කවියා තුළ ඇති සමත්කම විදහා දක්වමිනි. ඔහුගේ කවිය පරිසරය මෙන්ම පරිසරය හා බැඳුනු අනෙක් සියළු පාර්ශවයන් ගේ අන්තර් සබඳතා මෙන්ම දේශපාලන කරුණුද නොඅඩුව ග්‍රහණය කරගනියි.
කශේරුකා ඇති පෑනකි
කොඳු නාරටි නැති ලේනෙකි
සරත්ගේ මෙ කව ඔහුගේ දැක්ම ගැන සාක්ෂි සපයන නිර්මාණයකි. අපේ වර්තමානය යනු මෙතෙක් අප විසින් නඩත්තු කරන ලද සියළු කසල කඳුවල එකතුවයි. ස්වාර්ථය මිස පරාර්ථය උත්කර්ෂයට නොනැංවෙන නූතන සමාජය තුළ වැඩියෙන්ම ඇගයුම් ලබන්නේ ප්‍රතිපත්තිගරුක පුද්ලයා නොව එසැණින් සියලු ප්‍රතිපත්ති පාවාදී ලාබය මතම තීරණ තන්නාය. හේ මේ මොහොතේ වීරයෙකි. මැතිවරණ කටක අපට දිනපතා පෙන්වනුයේ ඒ සත්‍යයයි. එයින් කිසිදු කලාපයක් ගැලවෙනුයේ නැත. සමාජයකට මග පෙන්වන්නට ඉමහත් ශක්තියක් ඇතැයි සැලකෙන ලේඛක භූමිකාවෙහි ඛාදනය සරත් අපූරුවට කෙටි කවියකින් විදහා දක්වයි.
මහල්ලෙක්මි
වාරුවෙන් වීරියෙන්
මහගිරිදඹේ නැග්ගෙමි
මනස්කාන්ත තැනිතලාව දකිත්ම
ඉන්ද්‍රජාලික තරුණයෙක්මි
වර්තමාන මිනිසා ස්වභාවයෙන්ම නැඹුරු වනුයේ මගහැර යාමේ පිලිවෙතටමය. අභියෝගයන්ට මුහුණ දීම ජය මෙන්ම පරාජයද වැළඳගෙන යළි පියවරක් ඉදිරියට තැබීම වෙනුවට ඔහු උත්සාහ කරනුයේ හැකි තරම් ඇඟ බේරාගෙන නොපවතින්නෙක් ලෙස පැවතිමටය. එසේ හැකි තරම් කල් ස්වාර්ථයම පවත්වා ගන්නටය. එහෙත් සමාජයක් ඉදිරියට යන්නේ වෙනස්ව සිතනා, අසීරුකම් මැඩ පවත්වමින් අසීරු බිම් තරණය කරන්නට සූදානම් අයමය. සරත් ඒ අසීරු ගමනෙහි අවසන් තෘප්තිදායක මොහොත සිය කවියට ගෙන එයි.
ධනවාදී සමාජය මිනිසා පොළඹවාලන්නේ හැකි තරම් අත්පත් කරගැනීම කෙරෙහිය. භාණ්ඩ පසුපස ලුහු බැඳීම යනු අපේ දෛනික කාර්යයයි. එය පෙමට මෙන්ම අනෙක් සියළු කටයුතු වලට එක සේ අදාලය. සන්තක කරගැනීම උදෙසා මිනිසා නොකරන දෙයක් නැති තරම්ය. එහිදී සදාචාරයන්, සමාජ සම්මතයන්, මනුෂ්යසත්වය, සහකම්පනය යනු අවලංගු දේ පමණි. එකම අරමුණ විය යුත්තේ සතු කරගැනීමය. එහෙත් එසේ නොවී ජීවිතය විඳින්නට බැරිදැයි කවියා අපෙන් විමසා සිටියි.
පිපී හිනැහෙද්දි නටුවෙම
විඳිමි අසිරිය සුවඳ අපමණ
සරත්ගේ ඇතැම් කවියක නොඅඩුව තැවරී ඇත්තේ ආදරයේ වදනින් විස්තර කළ නොහැකි අසිරිමත් නිමේෂයන්ය. ඒ නිමේෂයන්හී අගය අද අන් කවරදාටත් වඩා වටිනාකමින් අනූනය. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පවා ආර්ථික තලයේ තීරණය වන සමාජයක ආදරය යනු දුලබ අත්දැකීමකි. එහෙත් අපට සැමතින්ම දකින්නට ලැබෙනුයේද ආදරයේ ප්‍රකාශනයන්මය. ආදරයේ සැමරුම්ය. ආදරය උත්කර්ෂයට නංවන සංදර්ශනයන්ය. මේ සරත් ආදරයේ ඉසියුම් නිමේෂයක් අල්ලන ආකාරයයි.
හදවතක් සතපවන
නිවහනක් උරහිසක
මේ සරත් අත් දකින අනුරාගී ස්නේහ විඳුමයි.
අයිස් කෝපි තරමටම
සීතල සියොළඟට
උනු කිරි කෝපි තරම්
දෙතොලට හාදු පංකාදුය
සරත් ගේ මේ කවිය පාඨකයා හට සිය පරිකල්පනයේ පොහොසත්කම අනුව නෙක දිශාවන් වෙත විහිදා ලිය හැකි අර්ථ සමූහයක් ජනනය කරන්නකි. කවියාගේ අර්ථ සම්පාදනය ඉක්මවා පාඨකයා හට කවිය සමගින් බොහෝ දුර යා හැකිය. එය ස්ත්රී පුරුෂ සබඳතා, ආර්ථික සාධක, ලිංගිකත්වය ආදී විවිධ කලාපයන් ස්පර්ශ කරනා බහු අරුත් දනවන කවියකි.
සරමෙ ඉඳිකටු තුඩු ඇණී
ගවුමෙ මල් පෙති පෑරුණි
අලංකාරය යනු අප කවුරුත් ඇලුම් කරන්නකි. එහෙත් සැබෑ අලංකාරය යනු කුමක්ද? පරිසරය ඇසුරෙහි අප විඳිනා අලංකාරය සහ අප විසින් එය කඩා බිඳ දමමින් තනාගන්නා අලංකාරය අතර ඇති පරතරය කෙතරම්ද?
ඇතුරුවට රටාවට ලස්සනට
සිරකරපු මල් නොවෙද වට්ටියක
මෙය ඒ සංදර්භයෙන් වෙන්ව ගෙන වෙනත් තලයක පිහිටුවාලූ කල අපට විවෘත වනුයේ වෙනම අර්ථ කලාපයකි. එය තේරුම් ගැනීමට අපේ ශික්ෂණ පද්ධති ගැන කල්පනා කිරීමම සෑහේ. උදාහරණයකට සරසවි වල පැවතිය යුතු විවෘතභාවය වෙනුවට කොතලාවල ඇකඩමියේ විනය ගැන සමාජගත කෙරෙන අදහස් මෙය තේරුම් ගැනීමට සැලකිය යුතු උපකාරයක් සලසයි. සමාජ බ්‍රොයිලර් කරණය හරහා විනය ඇති කිරීම ගැන කෙරෙන වාදයන්ටද මේ කවිය එලෙසින්ම අදාල කරගත් හැකිය.
මේ සරත් දකිනා ටෙලි වැලයි.
මතු සම්බන්ධිත
සංසාර මඩ කළල
මෙගා ටෙලි මාලාවක
සරත්ගේ කවිය යනු ලාංකීය කෙටි කවි අතර අමතක නොකළ යුතු මැදිහත්වීමකි. ඔහු සිය කවිය හරහා මතු කරන නිමේෂයන් ඒ සැණින් මතුව අමතකව යන ආලෝක දහරාවන් නොව කල් පවත්නා මතකයන් සහ විඳුම් ඉතිරි කරන්නකි.