නටු

භාෂාවට පසු කවිය සහ මාලන් බණ්ඩාරගේ නටු….

කාව්‍යෝක්ති කියන්නේ කවි කියමන්වලට ය. කියමනක් කවි කියමනක් වෙන්නේ කාව්‍ය අලංකාරවලින්ය. උපමා, රූපක, අනුප්‍රාසය…

ආදී අර්ථ – ශබ්ද අලංකාර බොහෝ ය.

ඒවා සංස්කෘත සාහිත්‍යයේ වරනැගීම් ය.

තවමත් බොහෝ දෙනා කවිය යන්න අර්ථ දක්වාගෙන ඇත්තේ ශබ්දාලංකාරයට බර පද රටාවක් ලෙස ය. එලිසමය,  අනුප්‍රාසය, විරිත, රිද්මයට වැඩි අවධානයක් යොමු කරන බව පෙනේ.

නමුත් නිසඳැස පෙරට ගත් සිංහල  කවීන්

මේ ශබ්දාලංකාරවලට යට නොවී ධ්වනිතාර්ථයට තැන දෙමින්  කවි ලියන්නට උත්සාහ ගෙන තිබේ.

“පෙරදිග ගොරහැඩි රකුසෝ

 මගේ ධ්‍යානය ඇයි කඩන්නේ “

  එවැනි කවි කියමනකි.

මේ කියන්නේ ඉර පෑයීමක් ගැන ය.

මෙහි දී සිරි ගුනසිංහ එදිනෙදා ව්‍යවහාර භාෂාව ම කවියක් ලෙස ඉදිරිපත් කර ඇත.

එසේ ඉදිරිපත් කරන්නේ කවි බස යැයි වෙනත් බසක් ඇතැයි බොහෝ දෙනා අදහන මොහොතක වීම ද විශේෂත්වයකි.

අද කවිය, සෞන්දර්යත් අර්ථයත් භාෂාවත් ඉක්මවා ගිය සංරචකයකි.

භාෂාවෙන් කිව හැකි දේ කියන්නට කවියක් අවැසි නැත. කවිය අවැසි භාෂාවෙන් කිව නොහැකි දේ කීමට ය.

භාෂාවෙන් කිව නොහැකි දේ කියන්නට කවියට හැකි වන්නේ එහි ඇති චිත්ත රූපික ගුණය හේතුවෙන්ය. ධ්වනි ගුණය හේතුවෙන් ය.

භාෂාවේ වචන සංයෝජනයේ දී පද දෙකක් අතර වෙනස සහ සම්බන්ධය මඟින් කවිය කියවන්නා අර්ථයක් ප්‍රතිපාදනය කර ගනී.

කවියා රූපයක්  මවා පෙන්වන අතර ඒවා  හැඟවුම්කාරක ලෙස පවතී.හැඟවුම්කරණය කරන්නා ඊට අර්ථ ප්‍රතිපාදනය කරයි.

මේ හැඳින්වීම කළේ මාලන් බණ්ඩාර කපුවත්තගේ  “නටු ” ගැන යමක් ලියන්නට ය.

මේ කෙටි කවි එකතුවේ තෝරාගත් කවි කිහිපයක් සටහන් කරමි.

 “යන එන අය

    ඇරලවන

    රෝහලේ ට්‍රොලිය”

ජීවිතය සහ මරණය ගැන කියූ විදියයි.

“අම්මා ගෙ දුරකතන ඇමතුම

 අතරින් ඇසෙයි

 දුරු රට මගෙ ගමේ

 ලේනකුගෙ ටිං ටිං නද “

අම්මා යනු සංස්කෘතියක්.

අර්චනීය බුදු පිළිමය නම් වස්තුව පාරිභෝගික අර්චනකාමයේ ගොදුරක් ව ඇති ආකාරය කියන්නේ මෙසේ ය.

“සංචාරක අලෙවි සල

උසේ පිළිවෙළට වැඩ හිඳින

දැවමුවා බුදුවරු “

යම් ක්ෂණ භංගුර මොහොතක් භාෂාව තුළට ගේන කෙටි කවි රැසකි.

“වලා පෙළ ඇදගනී

 වන හිස්වල

 හරිත පැහැය “

“ඉර ලකුණු කර යයි

 පළමු ව හෙළන

 තුරු පත “

“විල් දියෙහි පතිත

  සිය තුරුණු රුව නරඹන

  තෙරණියක්”

වියපත් භාවය, අනිත්‍ය සහ ෆැන්ටසිය.

සිය සිරුර අර්චනීවූත් පරිභෝජනවාදීවූත්

සමකාලීන නාසිස්මික ගැහැනියට එරෙහිව තැබූ කවියක්.

“කඹය කඩාගෙන දිවූ

 මීමා

 ඇවිත් හති අරිනවා

 කණුව මුල “

පැවැත්ම (Existence )වෙනුවෙන් ඉඳීම (being ) පාවා දුන් ශිෂ්ටාචාරයේ අසහනය අඟවන කවියක්.

“කහ ගැහුණු ඉර

පැසුණු

 කුඹුරු යායට උඩින් “

ඉර පායා ඇති බව කිවූ විදිය එය යි. ඉර කහ පැහැයෙන් දැකීම තුළින් කවිය ඉපදී ඇත. පැසුණු කුඹුරක් කියන්නේ ශ්‍රමයේ සංකේතයකි. කහ ගැහුණු ඉරේ එළිය මිනිස් ශ්‍රමයේ ආලෝකයයි.

කුඹුරු යාය පැසී ඇත්තේ දේව අනුහසකින් නොවේ. බුජ (බාහු)බලයෙනි.

නටු

ඉර කහ කිරීමෙන් ස්වාභාදහම  මිනිස් ආධිපත්‍යයෙන් සංස්කෘතික කිරීමකි.

“රංචුවේ

 අන්තිම කුරුල්ලා දකී

 පසුපස එන

 අඳුර “

‘එක’  වීම ජයග්‍රහණය ලෙස වර නැඟුණු සමාජයක අන්තිමයා වීම.

මේ විදියට මාලන් විවිධ චිත්ත රූප අප තුළ ප්‍රතිනිර්මාණය කරන අතර ඒවා භාෂාව තුළ ගිල්වා අප විසින් අර්ථ ගන්වා ගත යුතු ය.

එසේ නැතහොත් අප ඒ දර්ශන මනසට කඩා ගන්නේ කෙසේදැයි අපට ම බලාසිටිය හැකිය.

ඒ අර්ථයෙන් මේ කවි කාටිසියානු භාවනාවකට අපට ඇරයුම් කරයි.

More From Author

76 වන  ඉන්දීය නිදහස් සැමරුම

වින්ගීස් අයිතමාව්ගේ

Leave a Reply

Categories

LDM Columns