මැක්සිමස්ට ආදරය කරමි

උදේ පාන්දරම අවදිව, තේ එකක් හදාගෙන එද්දී දැක්කේ, රෝස පාට කොබෝලීල .මලක් ජනේලය අයිනට වෙන්න පිපිලා තියෙනවා. ගසේ අතු පෑහුවට පස්සේ මලින් බර වෙලා තිබුණ ගසේ දැන් මල් එක දෙකක් පිපිලා තියෙනවා දැක්කමත් හිතට සතුටුයි.
ඊයේ රෑ ඉඳලම මහ වැස්සක් වැටුන නිසා ගහ කොල හේදිලා තෙත බරිත වෙලා.
මං කොහොමත් තද හිරු රශ්මියට වඩා වැස්සට කැමතියි.  වැහි වැටෙන වෙලාවට ගහ කොල දිහා බලාගෙන ඉද්දී හිතට දෑනෙන්නේ පාලුව මුසු විවේකී බවක්.
තේ කෝප්පය තොල ගාන ගමන්.. මොනවම හරි ලියන්න සිතිවිල්ලක් හිතට ආවේ.
නෝට් පෑඩයේ සටහන් කරන වචන ටික පස්සේ ආයෙම බලද්දී දැනෙන හැඟීමට මං ආසයි.

සෑමදාක උදෑසන, මගේ මූණු පොතේ මතක අතර සැරිසරන මට මීට අවුරුදු පහළොවකට පෙර සිට එක් එක් මානසික තත්වයන් තුල මා විසින් සටහන් කරන්නට යෙදුන, වියත් නොවන නමුත් පුංචි පුංචි පද පේලි කියවීමෙන් අසීමිත සතුටක් ලබමි. එදා සිටි මානසික තත්වයන් තුල අද මා නොසිටින නමුදු, මගේ දරා ගැනීම උදෙසා මා විසින් සටහන් කරන්නට යෙදුන විවිධ සටහන් කියවීමෙන් මම මහත් වින්දනයක් ලබමි. ඒ කිසිසේත් විඳවීමක් නොවන අතර,.. දුර්ග මාර්ග හරහා අද සිටින මේ තැනට පැමිණීම ගැන සියුම් ආඩම්බරයක් මුසු වූ සතුටකිනි.
සෑමදාම ජීවත් වු මට ඒ හා සම්බන්ධ කුඩාම සිද්ධියකින්
ග්ලැඩිඒටර්ස් (Gladiaters) නරඹා මැක්සිමස් චරිතයට ආදරය කරන්නට පෙළඹීම ම ඊට උදාහරණයකි. ඒ හිතේ කොයිතරමට ධාරණය වූයේද යත් පුංචි පද පේලියක් ලියා මගේ මුණුපොතේ බිත්තියේ අලවා ගත්තෙමි.
ඒ ලියා තැබු ලෙසටම තිතක් පවා වෙනසක් නොකර පහත අලවමි.


“දයාබර මැක්සිමස් ට ලියා දන්වන වගනම්….
සිහිනයක් නොවන
සිහිනයක දැවටිලා..
අළුපාට නිල්පාට ..
තිරිගු යාය  සිසාරා..
මද පවනේ එතිලා..
නුබේ ආත්මය සොයාන..
අපි එනතුරු බලන් ඉන්න වග
සැබෑවක් නොවේද…
ආඩම්බරයි නුබ ගැන..
නුබ..
වීරයෙකි..
මට
අපට..
හැමදාම..”

එවකට කුඩා දරුවෙක් වූ මගේ පුතාට, එම චිත්‍රපටය තේරුම් ගියාදැයි නොදනින නමුදු, පසු කාලයෙක අන්තර්ජාලයෙන් බාගත කරගෙන නැවත නරඹන්නට ඇතැයි සිතමි.
ජීවිතය පුදුමාකාර ලෙසට මට දැනෙන අරුම කාරණා කීපයක් අතර, මා පුතු මා සිත කියවන ආකාරය පුදුම සහගතය.
“අම්මා, Gladiators 2 ඇවිදින්. යමු බලන්න.  “
ඉතා ඉහල සිනමා ආශ්වාදයක් මට ලබාදීම උදෙසා, කොළඹ පිහිටි නවීන තාක්ෂණයෙන් සමන්විත සිනමා ශාලාවකදී මගේ පුතු සමග මැක්සිමස් ගේ පුතාගේ කතාන්දරය   නැරඹූයෙමි.

අන්තර්ගතය කෙසේ වුවද.. මැක්සිමස් පුතු ලූසියස් මා ළගින්ම මට දැනුන බවත්, මැක්සිමස් සිය පුතු, ලුසියස් ගේ අභ්‍යන්තර චිත්ත සන්තානය තුලට කාවැදී ඔහුගේ ආත්ම අභිමානය ඉතා ඉහල ස්ථානයක රඳවා ඇති බවත් තේරුම් ගෙන සතුටට උපන් තෙත කඳුල, ඇස් පිහාටු සොලවා, දෑස තුලම වියලා ගත්තෙමි.

More From Author

පිණිස හිස බැඳ

අවසානයේ හඳගම ස්වර්ණාව නැති භංග කළේය.

Leave a Reply

Categories

LDM Columns