රෝසමල් කුමාරයා ගැන ලියවුණුපළමු විචාරාත්මක සටහන

තිඹිරිගේ රෝස මල් කුමාරයා අතට අරගන පැය එකහමාරකින් එක දිගට කියවලා ඉවර කළා. එය ඉවර කළ විගස තමයි මේක ලියන්න ගත්තෙ. පොතක් කියවලා ඒ ගැන යමක් ලියද්දි ඒ පොත මගෙ ඇතුලේ යම්කිසි අභ්‍යන්තර සංවාදයක් ඇති කරලා ඒ සංවාදය තුළින් එන අදහස් තමයි මම ලියන්නේ.

මේක ලොකු ගැඹුරක් සරළව එළිකරන හරිම රහ යොවුන් නව කතාවක්. එහෙම කියන්නේ විවිධ හේතු ඇතුව. මේකෙ භාෂාව හරිම සරලයි. වාක්‍ය හරිම කෙටියි; පැහැදිලියි. කියවන්න ප්‍රියයි. ඒත් මේ පොතෙන් එළියට එන්නේ ගැඹුරු මිනිස් දහමක්. ගුරුවරු ශිෂ්‍යයෝ ගැන ශිෂ්‍යයෝ ගුරුවරු ගැන, වැඩිහිටියෝ දරුවෝ ගැන දරුවෝ වැඩිහිටියො ගැන , තාත්තලා පුතාලා ගැන පුතාලා තාත්තා ගැන නිගමන වලට එන්න කොච්චර නම් හදිසි වෙනවද ? සමහර විට අපි අගතිගාමී විදියට ඒ තීරණවල එල්ලිලා ඉන්නවා. මේක දරුවෝ අතර වාගෙම වැඩිහිටියෝ අතරත් දකින්න තියෙන නරක ලක්ෂනයක්. පොත කියවද්දි අපිට නිරායාසයෙන්ම හැඟෙනවා එබඳු පූර්ව නිගමනවල ඉඳලා අනෙකා දිහා බලන එක කොතරම් අගතිගාමී ද අසාධාරණද වැරදිද කියලා. ඒවාගේම හේතු හොයා නොබලා කෙනෙක් විසින් කරන දෙයක් ගැන එක්වරම නිගමනවලට බැහීම කොතරම් නොමග යවන සුළුද කියලා.

මේ විදියට චරිත කළු සුදු නොකර තීන්දු තීරණවලට නොඑලඹී බී කොහොමද මැදහත් සිතකින් පවතින්නේ කියන පාඩම මේ පොත ඇතුලේ හොඳටම තියනවා. කුලභේදය , වර්ණ භේදය , පංති භේදයෙන් තොරව අනෙකා දිහා බැලීමෙන් කොපමණ මානසික සහනයක්, ජයග්‍රහණක් අත් කරගන්න පුළුවන්ද කියන එකත් මෙහි හොඳටම අපට දනවනවා. ළමයින්ගෙ හා වැඩිහිටියන්ගේ හැසිරීම පිළිබඳ දියුණු නිරීක්‍ෂණයක් සහිත පැසුණු මිනිහෙකුට තමයි මේ විදියට මැදහත්ව චරිත ගොඩනගන්න පුළුවන් කියලා මට හිතෙන්නෙ.
ඒවාගේම ජංගම දුරකථනවාගේ නවීන තාක්ෂණය කෙරෙහි දෙමව්පියන්ගේ විරුද්ධතාවයේ ඇති අන්තගාමී බවත් ඒවා දරුවන්ගෙ සංනිවේදනයට අධ්‍යාපනයට කොච්චර වැදගත්ද කියලත් මේ පොතේ බොහොම ලස්සනට විස්තර කරනවා.
මේ යොවුන් නවකතාව තුළ ඉතා දැනුවත්ව අන්තර්ගත කළ මනෝ විද්‍යාත්මක පදනමකුත් තියෙනවා.
ළමයෙක් මිය ගියත් ඔහු ජීවත්වුණු යහපත් විදියෙන් ලෝකයට ඇති කරන්න පුළුවන් බලපෑම කොච්චරද කියලත් මට හිතුණා. යුද්ධයට පුළුවන් ළමයි මරා දාන්න පමණයි. එහෙත් කිසිම යුද්ධයකට ළමයින්ගේ යහපත් ක්‍රියා හා ඔුවුන්ගෙ ධෛර්ය මරාදාන්න බැහැ.
මේ පොත වැඩිහිටියන් දරුවන් සමග එකතුවෙලා කියවන්න යෝග්‍ය අනර්ඝ පොතක් කියලා බයනැතිව කියන්න පුළුවන් . තිඹිරිගේ දීර්ඝ පොත් නාමාවලිය ඇතුළේ මේක මුතු ඇටයක් තරම් බබලයි කියලා මට හිතෙනවා.

More From Author

ඩබල් ඩෙකර් බස්

චීන සංචාරයෙන් පසු රොයිටර්ලා ලංකාව ගැන දකින ආකාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *