සමන්ත දසනායක කවියෙක් පමණක් ම නොවන කලාකරුවෙක්. ඔහු සියුම් ඉවසීමක් සහිත අපූර්ව නිර්මාණාකරුවෙක් විදියට හඳුනා ගන්නේ බොහෝ කලකට පෙර. එකී හැකියාවන් විඳගන්නා අතර ම ඔහුගේ කවිය විඳගැනීමට හැකි වීම සතුටක්. 2024 වර්ෂයේ ජනගත වූ ඔහුගේ පළමු කෘතිය වන ” බැරිම තැන ලියූ කවි ” නම් කාව්‍ය සංග්‍රහය අපූර්ව කවි එකතුවකි.
සමන්තගේ කවියෙහි ආදරය, විරහව, සමාජ ප්‍රශ්න, සෞන්දර්ය අදි බොහෝ අද්දැකීම් දැකිය හැකි ය. ඒ අතර ඔහුගේ ‘සිතියම් ගැන’ යන හිසින් යුතු කවිය වර්තමාන සමාජය තුළ ප්‍රචලිත විය යුතු කවියක් ලෙස හඳුනා ගනිමි.
“ඉස්සරම කාලෙක
මම වෛර කළා ලෝක සිතියමට
පුංචිම තිතක් කෙරුවාට
මගේ රට
ඒ කාලෙ මං ආසම
පළාත් සිතියමට
විවිධ හැඩයෙන් ඇඳ
විවිධ පැහැයෙන් සේයා කළ,
ඒත් දන්නවද දැන්
මම වෛර කරනව පළාත් සිතියමට
මොකද මට දැනගන්න ලැබුණා
ඒ ඇතැම් රේඛාවල
කඳුළු සහ රුධිරය ඇති බව
ඉතිං දැන් මට හිතෙනවා
ලෝක සිතියම කොච්චර හොඳද පොඩි තිතක් වුව මගේ රට
තනි පාට සේයා කළ…”
(28. සිතියම් ගැන ; පිටු අංක 45)
වර්තමාන සමාජය යනු කුමන ආකාරයකින් හෝ බෙදීමක් සොයන සමාජයක් ය. එය පාසල් අතර පවා කැපී පෙනෙන තරගයකි. බෙදීමකි. බැක් ටු ස්කූල් නම් සංකල්පයක් ඔස්සේ පසුගිය කාලය තුළ එකී තරගය හේතුවෙන් ගැටුම් පවා ඇති වී ඇති අයුරු දැකගත හැකි විය. එමෙන්ම පළාත් අතර ඇති කර ගන්නා බෙදීම සමාජ මාධ්‍ය තුළ පමණක්නොව සැබෑ සමාජය තුළ ද මතු අවස්ථා අපමණය. ශ්‍රී ලංකාව අතීතයේ සිටම විවිධ අයුරින් බෙදුණු, බෙදෙන රටක් ය. කුල ක්‍රමය, උඩරට පහත රට වශයෙන් මෙන්ම දශක තුනකට වැඩි කාලයල් තිබූ දැවැන්ත ත්‍රස්තවාදය පවා මෙකී බෙදීමේ ප්‍රතිඵලය. කවියා විවේචනය කරන්නේ එකී බෙදීමය. බෙදීම තුළින් අපි හිමි කරගන්නා දෙයක් නැත. ඔහු ලෝක සිතියමට ආදරය කරන්නේ එබැවිනි. කුඩා තිතක් වශයෙන් හෝ එක් වර්ණයකින් සේයා වී සිටීම දැකීම පවා සතුටක් ය. එය සැබෑ ලෝකය තුළද ඇති විය යුතු දෙයක් ය. කවියාගේ ප්‍රාර්ථනය සුබ ය. යහපත් ය. මෙකී තත්ත්වය වඩාත් ගැඹුරින් විග්‍රහ කළ හැකි ය. එය ඒ අයුරින් සමාජ ගත විය යුතු ය. කවියෙකුගේ කාර්‍යභාරය විය යුත්තේ එය ය. ඔහු එම කවිය රූපකාර්ථවත්ව සංකේතවත්ව දක්වා ඇති අයුරුද අගය කළ යුතු ය.
සමන්තගේ කවි කියවන විට ඔහු අපූරු යෙදුම් භාවිතයට ගන්නා උත්සාහය දැකිය හැකි ය. එවන් යෙදුම් තුළින් අපූර්වත්වයක් දැකිය හැකි ය.
“…කළුවර වැහැලා තැනි බිම පිරිලා
අඳුරු නිම්නයට තරු කැට වැටිලා
කවුරු කවුරුහරි ඇහැරන් ඉඳලා
තරු කොටු කරගෙන වට තිර ඇදලා…”
(33. උඩරට මැණිකේ; පිටු අංක 50)
කවියාගේ මෙම යෙදුම් මගින් එම පරිසරය අපේ සිත් තුළ චිත්‍රණය වේ. එය අපූරු විඳීමකට අප රැගෙන යාමට හේතු වේ.
‘අපේ ගාමන්ට් බස් එක’ වැනි කවියකින් ඔහු සමාජ විශමතාව නිරූපණය කිරීමට වෙර දරන අතර ඒ මිනිස්සු විඳින ජීවිතයේ විඳවීම ඉස්මතු කිරිමට උත්සාහ දරා ඇත. ඒ සඳහා ඔහු යොදා ගෙන ඇති බස එයට මනාව ගැළපී ඇත.
“..නාරං වෙරළු ගැවසෙන
ඇඹුලට කඳුළු පිච්චෙන
දුක සැප දෙකෙන් තැම්බෙන
හුමාලය පමණි ඉන්ධන”
තවද ඔහු යොදා ගත් යෙදුම් තුළින් ද මතු වන්නේ එකී සමාජ පන්තියේ අඳෝනාවය. කවිය අවසන කවියෙහි ඉඟියක් පමණක් ඉතිරි කොට කවියා සැඟව යාමද ඔහුගේ කවිවල දැකිය හැකි සුවිශේෂීබවකි. මේ එවැන්නකි.
“… ළා හිරු නැගෙන විට හෙට
පාසැල් යවා තරු කැට
පියඹා ගිහින් නුවරට
සඳ රැස් ගෙනෙමි හවසට.”
(12. අපේ ගාමන්ට් බස් එක; පිටු අංක 29)
ඔහු අපූරු පාපොච්චාරනයක් ස්වරූපයේ කවියක්ද තම කවි එකතුවට එකතු කර ඇත. එය නම් කර ඇත්තේ ‘අනියම’ යනුවෙන් ය. මෙහි කතකයාට අනුව අනියමට හේතුව සිත් වේදනාවන් ය. එම සිත් වේදනාවන් ඉතා දැඩි සහ දිගින් දිගටම සිදු වූ බව කවියෙන් ධ්වනිතය. ඒ අනුව කවියා අප වෙත ගෙනෙන්නේ පණිවිඩයක් ය. එය ගැඹුරින් විමසිය හැකි තත්ත්වයකි. ඒ අනුව කවියා විවර කර ඇත්තේ සමාජ ගැටලුවක් පිලිබඳ ගැඹුරු සංවාදයකට යාමට සුදුසු දොරටුවකි.
මෙතෙක් ඔබ කීතු කළ
හදවතේ තීරු ටික
මා ඇගේ නූලෙන්
මසා ගත්තා පමණි
( 13. අනියම ; පිටු අංක 30)
සමන්ත දසනායක යනු කවීත්වයක් ඇති කවියෙකි. ඔබ ඔහුව කියවා එය විඳ ගත යුතු ය. එමෙන්ම ඔහු කවිය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටිය යුතු කවියෙකි. ඒ වෙනුවෙන් නිති වැඩ කල යුතු කවියෙකි. ඒ මගින් තීව්‍ර වූ කවීත්වයක් සහිතව මතු දිනෙක අප හමු විය යුතු කවියෙකි. සමන්ත දසනායක කවියාටත් ඔහුගේ කවීත්වයටත් සිබ පතමි..
සටහන
ශානක හිත්තැටියගේ