කඳු තරණ මංපෙතක අයාලේ…

මා දැනට වෙසෙන කලාපයට නිලවශයෙන් වසන්තය උදාවූයේ මෙයින් දින තුනකට කලින්, එනම් මාර්තු 20වැනිදා ය.
ස්වභාව ධර්මය යනු අප අපේ ඕනෑ එපාකම්වලට හදාගත් දිනදසුනකට යටත්ව තම ඇවැතුම් පැවැතුම් සකස්කරගන්නා සත්තාවක් නොවේ. එහෙත් මිනිස් නිපදවීම් අති බහුතරයක් මෙන් දිනදසුනක් හා ඍතු බෙදීම් බඳු භාවිතාවක් ද උපදින්නේ සියවස් ගණනාවක් තිස්සේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය සොබාදහමෙන් උකහාගත් දැනුම ඇසුරිනි.
ඉදින්, දිනදසුනේ ඍතු බෙදීමටත් සාධාරණයක් කරමින් දැන් දවසක දෙකක පටන් පරිසරය කෙමෙන් උණුසුම් වන්නට පටන්ගෙන තිබේ. ගෙදරක දොරක් කවුළුවක් නැවත විවර කර තබන්නට, හිරු රැසක උණුසුම තරමක් වැඩියෙන් විඳගන්නට, දවස් වසාගෙන සිටි අන්ධකාරයෙන් කෙමෙන් නිදහස් වන්නට හැකියාව ලැබෙමින් තිබේ.
ගහක් කොළක්, තණ බිස්සක් යන්තම් මලක් දෙකක් පුබුදුවන්නට ගත් තැන් පටන්, කඳු මිටියාවත් නිම්න පුරා ඉර එළිය දෝරෙ ගලන්නට ගත් තැන් පටන්, ගෙයක් අස්සේ ගාල්වී සිටීමේ ඉවසීම දෙගොඩතලා යන්නට පටන්ගනී. මඟට බැස ඔහේ ඉබාගාතේ යන්නට එන පෙළැඹවීම හික්මවාගැනීම අසීරු ය.
මම මගේ පරණ පින්තූර පෙට්ටිය අවුස්සා බලමි. එවිට ඇස ගැටුණේ හුදෙකලාව ගිය එක්තරා පා ගමනක සේයාරූ ගොන්නකි.
ඒ ගමන සිදුවූයේ වසන්තයක නොව මෙයින් වසර දෙකකට පමණ පෙර ගිනිගහන ගිම්හානයක ය.
මා තෝරාගත් පා මඟ වූයේ,

ජර්මනියේ රයින් ගඟේ නැගෙනහිර ඉවුරට සමාන්තරව නැඟෙන උස් කඳු ඔස්සේ වැටුණු ‘රයින්ස්ටයිග්’ (Rheinsteig) නමින් හැඳින්වෙන කඳු තරණ මංපෙතයි.

එය මුළු දුර කිලෝමීටර් 320කින් සැදි පා මඟකි. ජර්මනියේ වීස්බාඩ්න් නම් නගරයේ සිට බොන් නගරය දක්වා, රයින් ගඟේ නැගෙනහිර ඉවුර අරා නැඟෙන කඳුපන්ති මතින් මේ කඳු තරණ මංපෙත වැටෙයි.

මගේ ඉලක්කය වූයේ මේ මුළු දුර ඇවිදයාම නොවේ. ඉන් තෝරාගත් කොටසක් දවස් දෙකක් තුළ ගමන්කර බැලීමයි.
වසන්තයේ දී එක යායට කහ රෙද්දක් එලුවාක් මෙන් පෙනෙන රේප්සීඩ් හෙවත් කැනෝලා මල් යායවල් කරකුට්ටන් වී තෙල් සඳහා සිය අස්වැන්න කපාගෙන යනතුරු ගිනිගන්නා අහසට කට අයාගෙන බලාසිටිනු මම දිටිමි.

තිරිඟු යායවල් ද සිටියේ එපරිද්දෙන්ම සිය අස්වැන්න දන්දෙන්නට සූදානමින් පිදුරු වූ ගතින් අප්‍රාණිකව සුළඟේ වැනෙමිනි.

කඳු තරණ මංපෙතේ මේ කොටස වැටෙන්නේ වැඩිමනත් වගාබිම් බවට පත් කඳු මුදුන් මතින් බැවින් මේ පිදුරු බවට පත් බවභෝග යායවල් අනන්ත අහස දක්වා පැතිරෙන සෙයකින් දෑස මුලා කරයි.
පහත ගැඹුරු නිම්නය දිගේ දඟර ගැහෙමින් ඇදී යන රයින් ගඟ, මේ ඉවුරේ මෙන් ම අනෙක් ඉවුරේ ද තැන තැන කඳුමුදුන්වල නැඟුණු මධ්යකාලීන මාලිගා බලකොටු නටඹුන්, කෙත්වතු, මිදිවතු, තණබිම්, මුඩුබිම්, වනාන්තර අතරින් වැටෙන පා මඟ කෙනකු කාලයත් අවකාශයත් අතර අතරමං කරවයි‍.
ඔබ හුදෙකලා සරන්නෙක් නම්, හොඳට හෝ නරකට ඒ අතරමං වීමේ උපරිමය ඔබ ඉදිරියේ දිගහැර තබන්නට රයින්ස්ටයිග් මංපෙත සූදානමින් සිටී.

More From Author

මල් සුවඳ..

හැම විහිළුවෙම කෙළවර …….

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348