යුනේකා ලක්මිනි අබෙිරත්ත
Linda Rose සුනාමි ව්‍යසනය වෙලාවෙ ලංකාවෙ සුනාමියෙන් විපතට පත් ළමයින්ට උදවු කරන්න ලංකාවට ආව එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලෙ නාට්යකලාවේදිනියක්.
ඇය 2005 න් පස්සෙත් කිහිප වරක්ම මෙරටට පැමිණියා.
වරක් ඇය මට තෑගි ලෙස ගෙනාවෙ “ ලැවැන්ඩර් ” මල් පොකුරක්. තරමක් වේලිලා තිබුණත් දම්පාට සිහින් කරල් වැනි ඒ මල්වලින් විහිදුනේ අපූරු සුවඳක්. ලැවැන්ඩර් මුලු ලෝකයේම සුවඳ විලවුන් අතර ජනප්‍රියම සුවඳ වර්ගවලින් එකක්. පුංචි ලැවැන්ඩර් ඉති තුන හතරකින් විහිදෙන සුවඳ ගේ පුරාම පැතිරෙනව නම් ලැවැන්ඩර් යායක සුවඳ මොන තරම් සුවඳ ඇතිද කියා මම කීවම ලින්ඩා කීව ලැවැන්ඩර් කාලෙට එංගලන්තයේ කදුකර මිටියාවත් සුවඳින් පිරී ඉතිරෙන බව.
අපි මොනතරම් අවාසනාවන්තද කියනවනම් අපේ පරිසරයේ තිබෙන සංස්කෘතියට එක්කරගත යුතු සොඳුරු අංගයන් බැහැර කර අනවශ්‍යය වෙනත් දෑ තමයි සංස්කෘතිය ලෙස හරගන්වාගෙන තිබෙන්නෙ.
අදත් ඇත්තම කතාව නම් අපි බොහෝ දෙනෙක් ග්‍රාමීය සහ අර්ධ නාගරිකයි. මොකද කොළඹ හැර වෙනත් මහා අග නගරයක් ලංකාවෙ නෑ. ඉතින් අනිත් නගර හැම එකක්ම නගරයෙන් සැතපුමක් දෙකක් එහාට ගිය ගමන් ග්‍රාමීයයි. ඒ නිසා මල් සුවඳට ආගන්තුකයින් අපි අතර ඉන්න බෑ.
මල් සුවඳ කියන්නෙ අපි හැදී වැඩුණු පරිසරයේ පවතින, අපි හැමෝම අත්විඳින සොඳුරු අත්දැකීමක්. මේකෙන් අදහස් කරන්නෙ මල් ඉඹ ඉඹ සුවඳ විඳින එක නොවෙයි. සමහර මල් වර්ග තියෙනව විශාල ප්‍රදේශයකට එකවර සුවඳ පතුරුවා හරින. අන්න ඒ සුවඳ ජීවිතයේ කොටසක් කරගන්න එකයි.
අපේ ගේ පිටිපස්සෙ තියෙන්නෙ කෝපි පඳුරු යායක්. එක පාරටම උදේ ගෙදර ජනෙල් අරින කොටම කෝපි මල් සුවඳ ගලාගෙන එනව. කෝපි මල් කියන්නෙ දවස් දෙක තුනක සැණකෙලියක්. පුන්චි පෙති හීනි සුදුපාට මල් සිය ගානක් පිරිච්ච කෝපි මල් පොකුර ඈතට පේන්නෙ සුදුපාට රවුම් ලොකු මලක් වගේ. වටේම තියෙන ගෙවතු කෝපි මල් සුවඳන් පිරිල.
ඊළඟට රුක් අත්තන. හුඟදෙනෙක් රුක් අත්තන කියන්නෙ ගෙවැටවල්වල පඳුරු හැදෙන කහපාට ලොකු මල් පිපෙන සුලභ ශාකයට. ඒත් සැබෑ රුකත්තන දැව සඳහා ගන්න විශාල ශාකයක්. රුක් අත්තන මල් පිපුනම ගම් හතකට සුවඳ එනව කියලයි කියන්නෙ. ගම් හතකට කෙසේ වෙතත් ගහ අවට සැතපුම් තුන හතරක් අවට මේ මල් සුවඳ පැතිරෙන බව නම් ඇත්තක්. රුක් අත්තන මල් සුවඳ එන්නෙ සුළඟත් එක්ක සැරින් සැරේට. කෝපි මල් සුවඳ වගේ හැමතිස්සෙම පරිසරය පුරා පැතිරෙන්නෙ නැත්තෙ ගස් හුඟක් උස නිසා. අපේ වත්ත කෙළවරේ තියෙන අල්ලපු වත්ත අයිති ” සිරි පතිරගේ ” කියන මේ පළාතෙ ප්‍රසිද්ධ චිත්‍ර ගුරුවරයට. එයාගෙ වැට මායිමේ ඉස්සර රුක් අත්තන ගහක් තිබ්බ. දැන් ඒක නෑ. මල් සුවඳ විතරක් මතකයේ තියෙනව.
ඊළඟට මම විඳල තියෙන මිහිරිම මල් සුවඳක් තමයි බක්මී. බක්මී හුඟක් උස යන විශාල ගහක්. එක දවසක් පිළියන්දල SOS ළමා ගම්මානෙ වැඩ සටහනකට සහභාගී වෙලා ඉන්න අතරවාරෙ සැරින් සැරේට මිහිරි සුවඳක් ඇවිත් යන්න පටන් ගත්ත. මේ සුවඳ ගැන විමසිලිමත් වෙනකොට තමයි දැනගත්තෙ බක්මී ගහක් කියල. SOS ගම්මාන වල ක්‍රමවත්ව සකස් කල උද්‍යානයක ආකාරයට ගස් වර්ග වවන නිසා ඒ බක්මී ගහ නම් තාම ඇති.
පඳුර වටේට සැළකිය යුතු තරම් දුරකට සුවඳ විහිදුවන වැටකෙයියා මල් වගේම ගහ වටේම අවට සුවඳ පතුරුවා හරින දොඹ මලුත් හරි සුවඳයි. නා මල් නම් සුවඳ එන්නෙ ගහ යටට ගියාමයි.
විශාල ප්‍රදේශයකට එකවර සුවඳ පතුරුවන මල් එච්චර ලස්සනත් නෑ. විසිතුරු පාටත් නෑ. හරිම පුන්චියි. ඒත් බමරු, මී මැස්සො, මිනිස්සු ලක්ෂ ගණනක් සතුටු කරල පරවෙල යන මල් සැණකෙලියක් මවන්න ඒ පුන්චි මල් වලට පුලුවන්.
ජීවිතේ වගේමයි.
සුරංගනා කතාවල වගේ යහපත් සුරංගනාවියක් ඇවිත් මගෙන් ඇහුවොත් ඔබ කැමති රෝස මලක් වෙන්නද , කෝපි මලක් වෙන්නද කියල මම තෝරගන්නෙ කෝපි මල…