මුස්ලිම් ලෝකය ෂේක්ස්පියර්ගේ ලේඛනයේ හදවතයි !

සියවස් ගණනාවක් තිස්සේ නොසලකා හරින ලද මුස්ලිම්වරුන්ගේ හැඩහුරුව බ්‍රිතාන්‍ය ප‍්‍රමුඛතම චරිතයක් වන විලියම් ෂේක්ස්පියර්ගේ සාරවත් නිර්මාණ තුළ කැපී පෙනෙන ලෙස සටහන්ව තිබේ. එංගලන්තයේ වඩාත් ම ප්‍රසිද්ධ නාට්‍ය රචකයා සහ බ්‍රිතාන්‍යත්වයේ සංකේතය වන විලියම් ෂේක්ස්පියර් (1564-1616), සිය ආදරණීය සාහිත්‍ය කෘති අතිවිශාල ප්‍රමාණය හරහා ඉස්ලාමීය ලෝකයට සමීපව සම්බන්ධ වී සිටියේ ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ‘සසෙක්ස්’ විශ්වවිද්‍යාලයේ පූර්ව-නූතන අධ්‍යයන (ඉංග්‍රීසි) පිළිබඳ මහාචාර්ය මැතිව් ඩිමොක් පවසන්නේ, ඉස්ලාමය නොවන්නට ෂේක්ස්පියර් කෙනෙකු ද නොසිටින බව ය. ඉස්ලාමීය සංස්කෘතීන් සමඟ පොහොසත් හා සංකීර්ණ සම්බන්ධයක් එංගලන්තයේ නොවූයේ නම්, විලියම් ෂේක්ස්පියර් විසින් ලියන ලද නාට්‍ය බෙහෙවින් වෙනස් වනු ඇතැයි ඩිමොක් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්නා දෙයි.

මහාචාර්ය මැතිවි ඩිමොක්

පළමුවන එලිසබෙත් රැජින මුස්ලිම් ලෝකය සමඟ විශේෂයෙන් ම, ඔටෝමාන් අධිරාජ්‍යය සහ මොරොක්කෝ රාජධානිය සමඟ ඇති කරගත් දේශපාලන හා වෙළඳ සන්ධාන හේතුවෙන් එංගලන්තයට මුස්ලිම් සංස්කෘතියේ බලපෑම අතිමහත් වූ අතර, එය සාහිත්‍යය හා රංග කලාවට ද විහිද ගියේ ය.
ලන්ඩනයේ පළමු වාණිජ නාට්‍ය ශාලාව විවෘත වන්නේ, 1576 දී ය. ෂේක්ස්පියර්ගේ නාට්‍ය එහි රඟදක්වන්නට පෙර ද, ඉස්ලාමීය ලෝකය පසුබිම් කරගත් නාට්‍ය එහි තිබී ඇති අතර, මුස්ලිම් අධිරාජ්‍යයන් පිළිබඳව වූ එම කතා විශාල වශයෙන් මිනිසුන් අතර ජනප්‍රිය වී ය. ඇත්ත වශයෙන් ම, 1576-1603 අතර කාලයේ ටර්ක්ස්, මුවර්ස් සහ පර්සියානු වෘත්තාන්ත ඇතුළත් නාට්‍ය 60 කට වඩා එහි රඟදක්වා තිබේ.
මුස්ලිම් උරුමයක් සහිත ප්‍රධාන චරිතයක් නිරූපණය වන ෂේක්ස්පියර්ගේ වඩාත් ප්‍රසිද්ධ නාට්‍යය වන්නේ ‘ඔතෙලෝ’ ය. එහි එන ‘මුවර්’ නමැති චරිතය වැනීසියේ සිට පැමිණි පුද්ගලයෙකු ලෙස විස්තර කර තිබේ. එම නාට්‍යයේ එන ‘මුවර්’ ක්‍රිස්තියානි ආගම වැළඳගත් බව ගම්‍ය වුව ද, ඔතෙලෝ කිසි විටෙකත් ඔහුගේ ඇදහිල්ල වෙනස් නොකළ බවට පිළිගත හැකි සිද්ධාන්ත කිහිපයක් ම එහි ගැබ්ව තිබේ.

ඔත්ලෝ නාට්‍යයේ දර්ශනයක්
  • ඔතෙලෝ ප්‍රායෝගික මුස්ලිම්වරයෙකු බවට වන මෙම විකල්ප දැක්ම ඉදිරිපත් කරන්නේ, 2018 දී ‘ඉංග්‍රීසි සංචාරක රඟහල’ මගින් කළ ‘ඔතෙලෝ’ නව නිෂ්පාදනය අධ්‍යක්ෂණය කළ රිචඩ් ට්විමන් ය. ‘අල් ජසීරා’ රූපවාහිනී සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී රිචඩ් ට්විමන් ප්‍රකාශ කළේ ඉතිහාසඥ ජෙරී බ්‍රටොන් විසින් මෙම විෂයය පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ ඔහුගේ දෑස් විවර කළ බව ය.
  • ‘1492 දී ස්පාඤ්ඤ මුස්ලිම්වරුන් සහ මොරිස්කෝවරුන් බලහත්කාරයෙන් ක්‍රිස්තියානි ආගමට හරවා ගත් ස්පාඤ්ඤයේ මූර්ෂ් රාජධානිය සම්බන්ධ ඉතිහාසය අපි දනිමු. එහෙත්, මම කිසිවිටෙක ඔතෙලෝගේ අධ්‍යාත්මික හා සංස්කෘතික අනන්‍යතාවය හා ඒ ගැන සඳහන් කළ හැකි මුවර් එකට එකතු නොකළෙමි.’ යනුවෙන් ද ට්විමන් පැවසී ය.
  • එහෙත්, මුස්ලිම් ලෝකයට ෂේක්ස්පියර්ගේ තිබූ සහසම්බන්ධය පසුගිය සියවස් කිහිපය තුළ බොහෝ සේ අඩු වී තිබේ. නූතන යුගය විසින් වාර්ගික ගැටුමේ ඛේදවාචකයක් බවට ‘ඔතෙලෝ’ පත් කරනු ලැබ ඇති බවටත්, විසිවන සියවසේ පසුකාලීන නාට්‍ය නිරූපණ මගින් නාට්‍යයක් අවබෝධ කර ගැනීමේ ප්‍රධාන අංගයක් වන අර්ථයේ ඇති සංකීර්ණත්වය මගින් මුස්ලිම් සන්දර්භය අවතක්සේරු කර ඇති බවටත් ඩිමොක් තර්ක කරයි.

අපගේ වර්තමාන අර්ථ නිරූපණයෙන් ගිලිහී ගොස් ඇති මෙම කාල පරිච්ඡේදයේ දී ‘මුවර්’ යන වචනයේ අර්ථයේ කිසියම් ව්‍යාකූලත්වයක් පැන නගින බව පෙනේ. ෂේක්ස්පියර් ලේඛනයේ යෙදී සිටි වකවානුවේ ‘මුවර්’ යන වචනය හුදෙක් අඳුරු පැහැය සඳහා ම යොමු නොවුන ද, එය ඉස්ලාමීය ලෝකයේ ඕනෑ ම තැනක සිටින මුස්ලිම්වරයෙකු හැඳින්වීම සඳහා භාවිත වී ය.
ඉංග්‍රීසි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන එලිසබත් යුගයේ පැවැති ඉංග්‍රීසියෙහි ‘මුස්ලිම්’ යන යෙදුම භාවිත නොවී ය. ඒ වෙනුවට ඉස්ලාමීය ඇදහිල්ලේ අනුගාමිකයන් විස්තර කිරීමට ‘මූරිෂ්’, ‘අරාබි’, ‘සරසන්’ සහ ‘තුර්කි’ වැනි වචන රාශියක් භාවිත කර ඇත. මෙම වචන බොහෝ විට එකිනෙකට වෙනස් ලෙස භාවිත කරන ලද අතර, මෙම පාරිභාෂිතය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් එකල ෂේක්ස්පියර්ගේ කෘතිවලට සහ පොදුවේ ඉංග්‍රීසි සාහිත්‍යයට මුස්ලිම් ලෝකය සහ එහි ඇති වැදගත්කම යම්තරමකට මග හැරී තිබේ.
‘ඔතෙලෝ’ ට අමතරව ෂේක්ස්පියර්ගේ තවත් බොහෝ නාට්‍යවල මුස්ලිම් චරිත, ස්ථාන සහ වස්තු බීජ ඇතුළත්ව තිබිණි. සුප්‍රකට රඟහල කළමනාකරුවකු වන ‘ෂෝන් අයිටා’ පවසන්නේ ෂේක්ස්පියර්ගේ Twelfth Night (දොළොස්වන රාත්‍රිය) නාට්‍යයේ එලිසබෙත් යුගයේ බොහෝ ලක්ෂණ ඇතුළත් වුව ද, ඉස්ලාමීය බවට සාක්ෂි පෙන්වන පසුබිමක් ද එම සංස්කෘතිය තුළ අපට දක්නට ලැබෙන බව ය. මූරිෂ් චරිතයක් ඇති ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් වන ‘ටයිටස් ඇන්ඩ්‍රොනිකස්’ හි ද, ඉස්ලාමීය ලෝකය පිළිබඳ සඳහනක් ඇත. එහි එන ‘ටැමිං ද ෂ්රූ’ යන්නෙන් අදහස්වන්නේ ‘මුතු කැටයම් කර ඇති තුර්කි කුෂන්’ ගැන ය.

Twelfth Night (දොළොස්වන රාත්‍රිය) නාට්‍යයේ දර්ශනයක්


කෙසේ වෙතත්, මෙම සඳහන් කිරීම් යනු මතුපිටින් ස්පර්ශ කිරීම් පමණකි. ඇත්ත වශයෙන් ම, ඩිමොක් ප්‍රකාශ කරන්නේ ෂේක්ස්පියර් ඔහුගේ නාට්‍ය 21 ක ‘ටර්ක්ස් සහ සරසන්ස්’, ‘මහොමෙට්’, ‘මොරොක්කෝ සහ බාර්බරි’ වැනි ඉස්ලාමීය ආකෘතීන් පිළිබඳ සඳහන් කිරීම් 150 ක් පමණ ඇතුළත් කර ඇති බව ය.
එයින් හැඟවෙන යථාර්ථය වන්නේ ෂේක්ස්පියර් සහ දහසයවන සියවසේ ඉංග්‍රීසි ජාතිකයන් මුස්ලිම් ලෝකය ගැන දැන සිටි බව ය. ඔවුනට ඉස්ලාම් දහම නොතේරෙන්නට ඇති නමුත්, මුස්ලිම් ධනය සහ බලය ගැන සම්පූර්ණයෙන් ම දැන සිටියා විය හැකි ය. එකල සන්දර්භය එය වූ අතර, රංග ශාලාව උපකාර වී ඇත්තේ, මෙම දැනුවත්භාවය වඩාත් සුලබ කිරීමට ය.
සමහර ඉංග්‍රීසි ජාතිකයන්ට රාජ්‍ය තාන්ත්‍රිකයන්, වෙළෙන්දන් හෝ අල්ලාගත් වහලු‍න් ලෙස එංගලන්තයට පැමිණි මුස්ලිම්වරුන් හමුවී ඇත. ධනවත් ඉංග්‍රීසි ජාතිකයෝ කාපට්, විදේශීය ආහාර සහ කෝපි ඇතුළු මුස්ලිම් ලෝකයේ භාණ්ඩ හා විනෝදාස්වාදයන් සඳහා නිසැකව ම සමීප වී සිටිය හ. ෂේක්ස්පියර් ලියමින් සිටි එම ලෝකයේ සන්දර්භය සහ ඉස්ලාමයට එහි ඇති සම්බන්ධය ගැන අප සලකා බැලිය යුතු ය. එය වෙනත් ආකාරයකින් නොවිය හැකි ය. මන්ද යත්, ‘මුස්ලිම් ලෝකය යනු ෂේක්ස්පියර්ගේ ලේඛනයේ හදවත ය.’ යනුවෙන් ඩිමොක් පවසන හෙයිනි.
එංගලන්තයේ සහ බටහිර ලෝකයේ සිටින මුස්ලිම් ප්‍රජාවගේ පැවැත්ම ඓතිහාසික කරුණක් මිස 20 වැනි සියවසේ සංසිද්ධියක් නොවේ. 1950 සහ 1960 ගණන්වල පැවැති සංක්‍රමණ රැල්ල සමඟ එක්සත් රාජධානියට පැමිණ පසුව සරණාගතයන් ලෙස සිටින මුස්ලිම්වරුන් වටා මෙම ප්‍රධාන ධාරාවේ කතන්දර වැරදි සහගත ආකාරයෙන් භ්‍රමණය වන්නේ, ඔවුන් බටහිරට පිටස්තරයන් බවට පත්කරමිනි.
මෙම වෘත්තාන්ත මුස්ලිම් ලෝකය සමඟ බටහිරට තිබූ අන්තර්ක්‍රියාවල ගැඹුර මෙන් ම, ඒ කෙරෙහි ඇති දෙවැන්නාගේ දැවැන්ත බලපෑම ද පහසුවෙන් නොසලකා හැර තිබුණ ද, ඉස්ලාමයේ විද්‍යමාන බව විලියම් ෂේක්ස්පියර් වැනි බ්‍රිතාන්‍ය සංකේත තුළ පවා ගැඹුරින් මුල් බැසගෙන ඇත.

  • (පකිස්තානු ලේඛිකා නදියා ඛාන්ගේ The centrality of the Muslim world to Shakespeare’s work නම් ලිපිය ඇසුරිනි)
අනුර බී. සෙනෙවිරත්න

More From Author

මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා සිරදඩුවම

දිවි පෝරණුව ලග මං තාමත් රැදිලා

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348