මෝහා කෘතිය නොකියවා ලේඛිකාව අමු අමුවෙි මරා දැමීමට තැත් කිරීම.

මෝහා දෙවරක් අකුරෙන් අකුර කියවීමි. එය නවකතාවක් ලෙස අර්ථ දැක්විය නොහැක. කෙටි කතා ලක්ෂණවලින්ද පරිපූර්ණ නොවේ. ඒ අනුව නවකතා සහ කෙටි කතා නොවන, නිර්මාණාත්මක සිතුවිලි දාමයක් මත පදනම්ව නිර්මාණය කළ ග්‍රන්ථයක් ලෙස මෝහා දකිමි. සමලිංගික යන වචනය වැඩි වශයෙන් භාවිත වීම නිසා ලේඛනයේ රසයට බාධා මතු වෙයි. වස්තු විෂය වූ චරිත මගින් ඔවුන්ගේ රුචිකත්වයන් පාඨකයා හමුවේ විදහා දැක්වීමට අවස්ථාව තිබිණ. එහිදී සෘජු ලිංගිකත්ව ආරෝපණය සිදු නොකිරීමේ හැකියාවක් නිර්මාණකරුට පවතී. එහෙත් ශිල්පීය ක්‍රමයක් ලෙස එය භාවිත කර නැත. සමාජය පිළිබඳ සාධනීය අවබෝධයෙහි ඇතැම් ලක්ෂණ මෝහා තුළ දක්නට ලැබේ.
” මේ පොත කියවන ඔයා වගේම මමත් අංග සම්පූර්ණ අය නොවෙයි “
15 වන පිටුවෙහි දැක්වෙයි. මීට එකඟ විය නොහැකි කා හටද ?
” අපි දකින කෝණය වෙනස් කළ දවසට මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම හරි ලස්සනට පේන්න ගන්නවා “
මේ 10 වන පිටුවේ උපුටනයකි.
සියලු සාධක වලට ප්‍රමුඛ වන්නේ සිත බව ශ්‍රී ලාංකේය බහුතර ජනතාවගේ පිළිගැනීමයි. පිළිගැනීම කෙසේවුවද එය ආගමික සංස්කෘතියෙහි මූලිකාංගයකි. ලේඛිකාව සමාජයේ සාමාන්‍ය ස්වභාවය ග්‍රහණය කර, එය අතිශය සරල සුමට ලෙස මෝහාහි ඉදිරිපත් කරයි.

” සමහර මිනිස්සු කුණුහරුපෙන් බනිද්දි, තවත් සමහර මිනිස්සු ලෝකෙ තියෙන ආදරණීයම වචනවලින් අපිට කතා කරනවා. සමහර මිනිස්සු, සමහර දේවල් නිසා අපිව අත හරිද්දි, තවත් සමහර මිනිස්සු අපි වෙනුවෙන් ඒ දේවල් අතහැරියා. මිනිස්සු මොනවද ආදරේ ගැන දන්නෙ ? මං මගෙන්ම අහනවා “

මිනිසුන්ගේ විවිධත්වය සහ අවස්ථානුකූල හැසිරීම් පිළිබඳ සියුම් විග්‍රහයක් පනස් දෙවන පිටුවේ සඳහන් ඉහත කොටසින් නිරූපණය කිරීමට ලේඛිකාව සමත් වෙයි. යෞවන ප්‍රේමයෙහි විසිතුරු විවිධ සිතුවිලිද, ප්‍රේමයක් බිඳවැටීමේ දුක්ඛිත සිතුවිලිද, හැඟීම්ද මෝහා තුළ හමුවෙයි.
මට උඹව දැනුණු තරමට උඹට මාව දැනුණානම් මෙච්චර දුරක් අපි ආපු ගමන උඹ මාව තනි කරලා යන එකක් නෑ “
යනුවෙන් 59 වන පිටුවේ ද,
” හරි පුදුමයි මැණික, උඹ මගේ සෝස මල “
පනස් තුන්වන පිටුවේද සඳහන් වන්නේ එවැනි හැඟීම් ප්‍රකාශන ලෙසයි.

  • මෝහා තුළින් ගුණාත්මක, නිර්මාණාත්මක රචනයට පිවිසිය හැකි ලේඛිකාවකගේ ලක්ෂණ ය පිළිබිඹු වෙයි. පෞද්ගලිකව සිංහල සහ ඉංග්‍රීසි භාෂා මිශ්‍රණයට එකඟ නොවූවද, එය නිර්මාණකරුවෙකුගේ නිර්මාණ කාර්යය සමග බද්ධ වූ සාධකයකි. අක්ෂර වින්‍යාස දෝෂ, භාෂාවෙහි ඇතැම් ගැටලු දක්නට ලැබුණද, මෝහා යනු අවධානයට ලක්විය යුතු නිර්මාණයකි. එය විශිෂ්ට හෝ ප්‍රශස්ත නොවේ. එහෙත් සිතුවිලි දාමයක් නිර්මාණාත්මකව හසුරුවමින්, ලේඛන කාර්යයට පිවිසීමේ ලේඛිකාවගේ ප්‍රයත්නයට පැසසුම් කරමි.

මෝහා එළි දක්වන අවස්ථාවේදී ඒ පිළිබඳ අහඹුව අදහස් දැක්වීමට සිදුවිය. ඊට ද අවධානය යොමු කරමින් පහත කරුණු ග්‍රන්ථය සම්බන්ධ අදහසට එක් කරමි. සමලිංගිකත්වය යනු විද්‍යාත්මක අධ්‍යයනයේදී ස්වාභාවික තත්ත්වයක් බව වර්තමානයේදී පිළිගැනේ. ජාන විද්‍යාඥ Andrea Ganna ( Broad Institute of MIT & Harvard ) ප්‍රමුඛ කණ්ඩායම සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල මෙයට වසර පහකට පෙර ප්‍රකාශයට පත් කෙරිණ. ඇමරිකාවේ සහ එක්සත් රාජධානියෙහි ලක්ෂ පහක පිරිසක් අධ්‍යයනයට යොදාගෙන තිබේ. එහිදී හෙළි වූයේ සමලිංගිකත්වයට නැඹුරු වීම සියයට අටේ සිට සියයට විසිපහ දක්වා පිරිසකට ජානමය හේතු සාධක මත සිදුවන බවයි. සත්ව විශේෂ හාරසිය පනහකට වැඩි සංඛ්‍යාවක සමලිංගික සම්බන්ධතා හඳුනාගෙන තිබේ. ඊට අමතරව මානව සියලු සංස්කෘතිවල සියයට දෙකක් දහයක් අතර සමලිංගික ක්‍රියාවලීන් සිදුවන බව අධ්‍යයනවලින් සනාථ කර ඇත.
ජර්මන් විද්‍යාඥ, ආචාර්ය ගන්තර් ඩෝනර් ඔහුගේ පරීක්ෂණවලින් කියා සිටියේ ගර්භාෂ තරල පරීක්ෂාවෙන් අනාගත දරුවාගේ සමලිංගික නැඹුරුතාව තීරණය කළ හැකි බවයි. සාධක කිහිපයක් එහිදී සලකා බැලේ. Androgen හෝමෝනය සහ Testestoron ප්‍රමාණයද ලිංගික නැඹුරුතාව තීරණයට බලපාන බව අධ්‍යයන වලින් හෙළි වී තිබේ. මොළයෙහි විශේෂිත කලාප හෝ මධ්‍යස්ථාන තුනක් ලිංගිකත්වයට සම්බන්ධ බව ඩෝනර්ගේ අධ්‍යයනවලින් ඔහු පෙන්වා දෙයි. ඒවා මොලයේ ලිංගිකත්වයේ මධ්‍යස්ථානය, ලිංගික සංසර්ගය පිළිබඳ මධ්‍යස්ථානය සහ තම ලිංගයට අයත් භූමිකාව නිරූපණ මධ්‍යස්ථානය ලෙස ඔහු නම් කරයි. ඩෝනර්ගේ නිගමන වලට එකඟතාව පළ කරන ඇමරිකා විද්‍යාඥ Milton diamond මොළයේ ලිංගිකත්වය අදියර හතරකින් ක්‍රියාත්මක වන බව සඳහන් කරයි. ලිංගිකත්වය සහ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් ඉතිහාසය තුළ සිදුව ඇති අතර ඒවායේ පොදු පිළිගැනීම් කිහිපයකි. ලිංගික නැඹුරුතාවට ජානමය හා ජීව විද්‍යාත්මක සාධක බලපාන බව ප්‍රමුඛ පිළිගැනීමයි. එහෙත් සර්වසම නිවුන් දරුවන් එකිනෙකට වෙනස් ලිංගික නැඹුරුතාවන් දැක්වීම මෙම පිළිගැනීමට අභියෝග කරයි. Bailey & Pillard – 1991, Bailey, Pillard, Neale, Agyei – 1993, Hamerhu, Magnuson, Hu, & Pattatucci – 1993, LeVay – 1993, ආදී විද්‍යාත්මක අධ්‍යයනවලින් ජීව විද්‍යාත්මක සමලිංගික නැඹුරුතාව පිළිබඳ සාධක දක්වා තිබේ.

සමාජ විද්‍යාත්මක සාධක ද සමලිංගික නැඹුරුතාවට හේතුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉන් වඩාත් ප්‍රමුඛ සාධක කිහිපයක් පවතී. දරුවෙකු සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීම, දුර්වලයෙකු ලෙස වර්ග කිරීම, අවධානය නොදැක්වීම, ප්‍රචණ්ඩත්වය සහ ඊඩිපස් සංකීර්ණය සම්බන්ධ ගැටලු ඒවායි. ( මොළයේ ලිංගිකත්වය – ඈන් මොයර්, ඩේවිඩ් ජෙසල් ) ඊට අමතරව විරුද්ධ ලිංගිකයන් කෙරෙහි බිය, දිගුකලක් ලිංගික වශයෙන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමෙන් වෙන්ව සිටීම, විෂම ලිංගික ක්‍රියාවලට ඇති සංස්කෘතික සීමා සහ දෙමාපිය කාර්යභාරය හෙවත් දෙමාපිය පෞරුෂ ලක්ෂණ, සමලිංගික නැඹුරුවක් ඇති කිරීමේ සාධක ලෙස අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.

මීට අමතරව ළමා අපචාර සහ අපයෝජන පිළිබඳවද මෝහා සමග අදහස් මතුවිය. අපචාර සහ අපයෝජන යනු සමාජ විද්‍යාත්මකව ක්‍රියා දෙකකි. එය අවබෝධ කර ගත යුතුය. ළමයා යන්නට නීතිමය අර්ථ කථනයක් සහ ජීව විද්‍යාත්මක අර්ථකථනයක් තිබේ. නීතිමය තත්වය අනුව වයස අවුරුදු 18 ට අඩු මානවයෙකු දරුවෙකි. ජීව විද්‍යාත්මකව දරුවෙකු වන්නේ වැඩි වියට පත්වීමට පෙර මානවයෙකි. නිර්මාණ කාර්යයකදී ලිංගිකත්වය සම්බන්ධ අදහස්, සිතුවිලි, සංකල්ප ඇතිවීමට නිශ්චිත වයසක් තිබිය යුතු යැයි අදහස් කරන්නේ නම් එය මුලාවකි. උදාහරණයක් ලෙස අවුරුදු 18 සම්පූර්ණ වූ පළමු තත්පරයේ ලිංගිකත්ව අදහස් ඇතිවීම නිවැරදි යැයි විශ්වාස කිරීමද, 18 සම්පූර්ණවීමට තත්පරයකට පෙර ලිංගික අදහස් ඇතිනොවීම නිවැරදි යැයි විශ්වාස කිරීමද මුලාවකි. ඕනෑම ජන සමාජයක මෙන්ම පුද්ගලයන් තුළ ද අවගමනයන් සහ අපගමනයන් තිබේ. ඒ අනුව දරුවෙකුට තම අදහස් ඉදිරිපත් කිරීමට සාධනීය අවකාශයක් තිබිය යුතුය.

මෝහා මගින් සමලිංගිකත්වය ප්‍රවර්ධන කරන්නේ නම්, ශ්‍රී ලංකාවෙහි වංචා, දූෂණ, හොර මැරකම්, ආදිය නොතිබිය යුතුය. ජනමාධ්‍ය ඔස්සේද, මහජන ඇමතුම් පද්ධති ඔස්සේ ද, පෞද්ගලික අවකාශවලද නිරන්තරයෙන් බණ දහම් ඇසේ. ඒවායෙන් ජනතාව උත්තේජනය වූයේ නම් ශ්‍රී ලංකාව සුර පුරයකි. ග්‍රන්ථයකට සමලිංගිකත්වය ප්‍රවර්ධනය කළ හැකිනම්, මෝහාට එය සිදු කිරීමේ කිසිදු හැකියාවක් නැත. එයට හේතුව අතීත නිර්මාණයි. 1995 ප්‍රකාශයට පත්, ඥානසේන පතිරණ රචනා කළ, ගැහැනියක නොවූ ගැහැනිය කෘතියේ 70 සහ 71 පිටු විමසීමට ඔබට ආරාධනා කරමි. මේ එක් උදාහරණයක් පමණි.

බොහෝ විවේචන සහ අදහස් මෝහා වෙනුවෙන් මතුවිය. උපත ලද විගස ඇවිද ගියේ සිද්ධාර්ථ පමණි. එහෙත් නම් තැබීමේ අවස්ථාවේ රැගෙන ආවේ උසුලාගෙනය. මෑතකදී කළල බන්ධයේ කොටසක් සමග, ආධාරක සහිතව, උපත ලද විගස පියවර දෙක තුනක් ඇවිද ගිය දරුවෙකුගේ වීඩියෝ සමාජ මාධ්‍යයේ සහ ප්‍රවෘත්ති නාළිකාවල පළවිය. සෙසු කිසිවෙකු උපන් විගස ඇවිද නැත. ඇවිදීමට තැත් කරද්දී, මානව සමාජයේ සාමාන්‍ය ක්‍රමය, ඇවිදීමට සහාය දැක්වීමයි. මෝහා ලේඛිකාව ද උපත ලබා ඇත. ඇය සිටුවා, ඇවිදීමට උපකාර කිරීම සමාජමය වගකීමයි. ඒ සඳහා අවශ්‍යවන්නේ සද්භාවය යි.

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 3

හෙගල්ගේ ( මම) අනෙකා

Leave a Reply

Categories

LDM Columns