සැමුවෙල් බෙකට් යළි කියවමු

උදය ආර්. තෙන්නකෝන්

උදය ආර්. තෙන්නකෝන්

ඉතිං උදය අපි කතා කරමු 2025 දි ඔබ නිෂ්පාදනය කළ මේ නාට්‍ය පිළිබඳ?

මම ස්විස්ටර්ලන්තය දේශපාලන රැකවරණ ලබාගෙන ආව කාලයේ සිටම වාගේ නාට්‍ය කරන්න පටන් ගත්තා. ඒ නාට්‍ය හැම එකක්ම කරන්නට වුණේ විවිධ රටවලින් පැමිණ ඉන්න නාට්‍ය ශිල්පීන් නො වන පිරිසක් එක්ක. රංග කලාව පමණක් නෙවෙයි භාෂාවත් ලොකු අභියෝගයක්. ඒ විතරක් නෙවෙයි නාට්‍යයට සහභාගි වෙන අයගේ මානසිකත්වය, බලාපොරොත්තු, ආකල්ප ආදියත් සැලකිල්ලට අරගෙනයි නාට්‍ය කරන්න සිද්ධ වුණේ. නමුත් නාට්‍ය කරන්නේ ඇයි කියන කාරණයත් එක්ක සලකා බලනකොට මෙතෙක් කරපු හැම නාට්‍යයක්ම කේන්ද්‍රීය වු‍ණේ සංක්‍රමණික ප්‍රශ්න, සාධරණත්වය, යුක්තිය සහ සාමය වැනි දේශපාලනික හා සමාජමය කාරණා මතයි. ඉතිං මේ අරමුණට ඉහත සඳහන් සීමාකම් එක්ක මිනිස්සු කණ්ඩායමක් එක්ක අමුතු තාලයේ නාට්‍ය කරන්න සිද්ධ වුණා. ඒ නාට්‍ය අපි කතා කරන “සුසාධිත” ගණයේ නාට්‍යයට අයිති වෙන්නෙ නෑ කියන එක දැනගෙනමයි මේ වැඩේ කරන්න ගත්තේ. නමුත් වසර ගණනාවක් කණ්ඩායමක් විදිහට වැඩ කරගෙන යනකොට කණ්ඩායමක් විදිහටත් නාට්‍යම විදිහටත් වර්ධනයක් ඇති කරන්න පුළුවන් වුණා කිව්වොත් නිවැරදියි. මේ කණ්ඩායම Theater Thespis නමින් දැන් වැඩ කරනවා. 2025 පෙන්වන මේ නාට්‍යය 2023 වසරේ මැද කාලයේ විතර ඉඳලා පටන් ගත්ත වැඩක්.

අපි එදිනෙදා දකින නරඹන වේදිකා නාට්‍ය අතරින් වෙනස්ම වූ ආකාරයක කතා පුවතක් ඔබ මේ සඳහා තෝරාගෙන තියෙනවා. ඒ වගේම මෙය ඉතා සංකීර්ණ කතා තේමාවක්. මෙය සංක්ෂිප්ත කරමින් මේ ආකාරයට වේදිකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය පිළිබඳවත් අපි කතා කරමු.


තමන් විසින් හෝ සමාජය විසින් මරණයට පත්කළ පුද්ගලයෙකු මුල් කරගෙන බහුවිධ ආඛ්‍යානයන් හරහා මිනිස් ක්‍රියාකාරකම් ආත්මීයව සහ වෛශිකව කරන ස්මරණීය පරිසරයක ලෝකයක් ක්‍රමයනුත්, ව්‍යුහත් දිහා බලන යථාර්ථවාදී විකාර රූපී නාට්‍යයක් කියලා කිව්වොත් හරි කියල මට හිතෙනවා. මේ නාට්‍යයට කලින් රූපගත කරන ලද වීඩියෝ දර්ශන ද බෙකට්ගේ හඬ පට ද ඇතුළත් අමුතු තාලේ වැඩක් කිව්වොත් මම වැරැදි නෑ.
ඇත්තටම අනිත් හැම නිර්මාණයක් වගේම මම මේ නාට්‍ය පිටපත ගැන හිතනකොටත් මට දැනෙන සහ අත්දකින යථාර්ථයන් කොහොමද කලාවට යොදා ගන්නේ කියන එක ගැන කල්පනා කරනවා. ලංකාවේ සංස්කෘතිය, දේශපාලනය සහ කලාව එක්ක පාර භෞතිකව සම්බන්ධවෙලා ඒ ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් විදිහට ලංකාවේ ප්‍රශ්න මෙහෙ (ස්විස්ටර්ලන්තයේ) කතා කිරීම ප්‍රායෝගික නෑනෙ.
මම මේ වෙද්දි ජීවත්වන සමාජය ගැන දැනෙන, අත්දකින යථාර්ථයන් එක්ක සලකා බලන කොට යුරෝපයට අද වෙනකොට වැදගත් වන්නේ කුමක්ද කියන කාරණය එක්කයි මම මේ පිටපතට බැස්සේ. එතැන දී තමයි බෙකට්ව හමුවෙන්නේ. ඒ කියන්නේ සැමුවෙල් බෙකට් නම් නාට්‍ය කරුවගෙ එක නාට්‍යක් වන Krap´s Last tape කියන කෘතිය මට මතකයට එන්නේ. එක චරිතයක් වටා දිවෙන මේ නාට්‍යය හරහා මම චරිත 10 ක් විතර ඇති නාට්‍යමය කතාවක් ගොඩ නගනවා. මෙතැන දී, විදේශයක ජීවත් වෙනකොට මතකයන් කියන මානසික තත්ත්වයන් රෝගයක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා ට්‍රවුමා (Trauma) කියලා. ඒක බෙකට්ගේ නාට්‍යයේ ඇති ප්‍රමුඛ තේමාව. අද පවතින යුරෝපයේ සන්දර්භයට අනුව නූතනත්වය, තාක්ෂණය, ධනවාදය තුළ මිනිසා අනෝමීය තත්ත්වයකට පත්කර ඇති ආකාරය මේ සමාජය තුළත් තදින් අත් දකින්න ඇති කාරණයක් නිසා,

මම මේ පිටපතට කිසියම් දාර්ශනික ආස්ථානයක් ගෙනෙන්නට කල්පනා කරනවා. ඒ ඔස්සේ යුරෝපා සංස්කෘතිය, ජීවන රටාව, පරිභෝජනය, ව්‍යුහයන් සහ බලය කියන මෙවලම් මනුෂ්‍යත්වය තුළ ඉඳලා කරන ප්‍රශ්න කිරීමක් හැටියට වේදිකාවට ගෙනෙන්නයි උත්සාහ ගන්නේ. මේ ක්‍රමයට මේ විදිහට තව දුරටත් යන්න බැරි බවත්, දැනටමත් ප්‍රමාද බව අද යුරෝපයට පෙන්වන්නට උත්සාහ කරන දේ.

එතැන දී, මිනිහෙකුට සරණාගතයෙකු බවට පත්වීමට බල පාන යුද්ධය, ගටුම් නිසා කැඩී කුඩු වුණු ජීවිත තුළ මතු වෙන මතකයන් එක්ක නාට්‍යය ගලාගෙන යනවා. මෙතැනදී තවත් වැදගත් දෙයක් වෙනවා. මම මේ පිටපත ලිවීමේ දී, අපේ කණ්ඩායමේ ඉන්න සාමාජිකයන් ගැන සැලකිලිමත් වීමත්, ඔවුන්ගේ ජීවිතයන්ගේ සාධාරණ ජීවන අංශු සම්බන්ධ කරගනිමින් රංගනයේ යෙදෙන කෙනාගේ චරිතය තමන්ගේම ජීවිතයේ කොටසක් ලෙසත් නියෝජනය කරනවා.
නිදසුනක් විදිහට, තුර්කි ජාතික සහෝදරියක් අපිත් එක්ක ඉන්නවා. එයා මාක්ස්වාදී විප්ලවකාරී චරිතයක්. ඒ වගේම ස්ත්‍රීවාදය වෙනුවෙන් මෙන්ම ධනවාදයට විරුද්ධව කෙරෙන ක්‍රියාකාරකම්වල නියැලෙන කෙනෙක්. ඇය රඟපාන්නේ නාට්‍යයට අයිති චරිතය මෙන්ම ඇයට අයිති චරිතය.
තවත් එකක් තමයි අපිත් එක්ක ඉන්න ලංකාවේ දෙමළ සහෝදරයෙක්. එයා කොළඹ ඉපදුන සිංහල කතා කරන කෙනෙක්. එයා නගන ප්‍රශ්නය තමයි. මම ලංකාවේ දෙමළ කෙනෙක් කියලා ඔබ හිතුවට දෙමළ අයට මම දෙමළ නෙවෙයි කියන ප්‍රශ්නය. මේ සංකීර්ණ වාර්ගික සහ මානව අනන්‍යතා ගැටලුව වසර තිහකට වඩා ගහ මාරගත් ලාංකීය සමාජයට අදටත් තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් විදිහට ලංකාවේ දෙමළ සමාජය තුළ පැල පැදියම් වෙලා තියෙන දෙයක්. මේ වගේ ප්‍රශ්න තම තමන්ගේ ජීවිත එක්කම ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි බෙකට් එදා සහ අද ඔස්සේ කරන්නේ. ඇත්තටම මේ නාට්‍ය අපේ කණ්ඩායමට බර වැඩියි. කලින් කරන ලද නිර්මාණවලට වඩා සංකල්පීයවත්, භාෂාත්මකවත්, දාර්ශනිකවත්, රංගමය වශයෙනුත් ඇතුළු හැම අංගයකින්ම ලොකු අභියෝගයක්. විශේෂයෙන්ම ජර්මන් භාෂාව. ඒක අභියෝගයක්. ඒ වගේම නාට්‍යයට දක්වන දායකත්වයේ දී, මෙහි ප්‍රධාන චාරිතය රඟපාන ශිල්පිනිය ස්විස් ජාතික කාන්තාවක් වගේම එයාගේ වයස අවුරුදු 80 ක්. ඇයත් වාමාංශික සමාජ ක්‍රියාකාරිණියක්. ඒ වගේම තෙස්පීස් නාට්‍ය කාණ්ඩායමේ පිරිස අතරට ස්විස් ජාතික‍යින් කිහිප දෙනෙක් ලබාදෙන දායකත්වයත් මේ නිර්මාණයට ලොකු උදව්වක්. ඉතිං ඇත්තටම මම පිටපත ලියලා අධ්‍යක්ෂණය කරාට මේ නාට්‍ය සාමූහික වැඩක්. නාට්‍යය යන්න සාමූහික යැයි කියන අදහසට වඩා සාමූහික වැඩක්. කවුරුත් ලොකු පොඩි නෑ.

සැමුවෙල් බෙකට්ගේ නාට්‍ය කලාව ඔබ කියවා ගැනීම සිදුකළේ කොහොමද?


ලංකාවේ ඉන්න කාලයේදි පවා මම බෙකට්ව දන්නවා. ඒක අද වෙනකොට ලොකු පිටුවහලක් වෙනවා. ලංකාවේ ඉන්නැද්දි විදේශීය කෘතියක් කියවනකොට එන සංස්කෘතික සහ සමාජ දුරස්තබව ඒ සමාජය තුළින් අදත් අත් දකින කොට එදාට වඩා අද බෙකට් වගේ බොහෝ නාට්‍ය කරුවන් මෙන්ම බොහෝ නිර්මාණ මනස ඇතුලේ හොල්මන් කරනවා. මම අමුතුවෙන් කියලා කියවා ගත්තේ ඔන්න ඕකයි. ඒත් එක්ක මේ අයව පෙට්ටගම් වලින් එළියට ගන්නවා අපේ වැඩේට, අරමුණට අනුව.

මේ නාට්‍ය හරහා ඔබ සමාජගත කිරීමට උත්සාහ කරන පණිවිඩය කුමක්ද?


මෙය බෙකට්ගේ නාට්‍ය සම්ප්‍රදායේ පිළිබිඹුවක් පමණක්ම නෙවෙයි. මම මේ හරහා නූතන ලෝකය පිළිබඳ ගැඹුරු පිළිබිඹුවක් ද කරන්න උත්සාහ ගන්නවා.
විවිධ සංස්කෘතික හා දේශපාලන සන්දර්භයන්ගෙන් උකහාගත් විවිධ චරිත හරහා, ගැටුම්, අහිමිවීම් සහ විරසකවීම් හමුවේ පුද්ගලයා අර්ථවත් පැවැත්මක් සඳහා උත්සාහ කරන ආකාරය මම කාලයක් තිස්සේ ගවේෂණය කළා. ඒ අනුව සංස්කෘතික ඛණ්ඩනය සහ සමාජ සාධාරණත්වය යන තේමාවන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් මම ලැබුවා.
ඒ ලබාගත් අත්දැකීම් අනුව මම නූතන ලෝකය පිළිබඳ මෙම කෘතිය මගින් ගැඹුරු පිළිබිඹුවක් කරනවා.
හුදකලාව, තාක්ෂණික දියුණුවේ සීමාව සහ උසස් අර්ථයක් නොමැතිකම මෙහි එන චරිත හරහා මම පුනර්ජීවනය කරනවා. මෙමගින් මානව පැවැත්ම පිළිබඳ දාර්ශනික සාකච්ඡාවක් පමණක් නොව යුද්ධය, සංක්‍රමණය සහ සමාජ අසාධාරණය පිළිබඳ සැබෑ අත්දැකීම් ගැන ද කියැවෙනවා. ධනවාදය සහ සමාජ අසාධාරණය වැනි ගැටලු පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න මතු කරනවා.
වාර්ෂිකව ඔබ නාට්‍යක් නිෂ්පාදනය කරනවා නේද?
ඔව්. 2012 වසරේ පමණ ඉඳලා මම මෙහෙ අවුරුද්දකට එකක් වගේ නාට්‍ය කරලා තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොට දහයක් දොළහක් විතර කරලා ඇති. හැබැයි මේක තමයි යම් කිසි විදිහටකට සම්මත ආකෘතියේ කරන සම්මත ක්‍රමය ප්‍රශ්න කරන නාට්‍යය.
විදේශික මිතුරු මිතුරින් පිරිවරාගෙන වාර්ෂිකව ඔබ මෙවැනි නාට්‍ය නිෂ්පාදනයක් කිරීම තුළින් ගම්‍ය වෙන තවත් කරුණක් තමයි රටකින් රටකට ගියාට අපි තුළ ඉන්න කලාකාරයා වෙනස් වෙන්නෙ නැහැ. වෙනස් කරන්නත් බැහැ කියන එක.
ඔව්නෙ. කැලේ වෙනස් වුණාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නෑ කියලා කියනවනෙ. මම කළ යුතු සහ කළ හැකි යැයි හිතෙන දැනෙන දේ තමයි කරන්නේ.
කලාකරුවා කියලා දෙයක් නෑ..
පොල් කඩනවා
තැඹිලි බානවා, මිරිස්ගල් කොටනවා
වැසිකිළි හෝදනවා
උයනවා, ලියනවා
අගල් කපනවා,
කවි ලියනවා,
තණකොල ගලවනවා,
නාට්‍ය කරනවා,
විඩියෝ කරනවා,
සංස්කරණය කරනවා
සංසාරේ කියලා කියැවෙනවා
දේශපාලනය කරනවා. හිතනවා, ඔහේ බලාගෙන ඉන්නවා.
හීන දකිනවා. ලංකාව වෙනස් කරන්න පුලුවන් ද බැරිද කියලා කතා කරනවා,
කියනවා, ලියනවා, තර්ක කරනවා
අහන්නැති කියන්නැති උනත්.
කියන දේවල් තේරෙන්නෑ.. වැරැද්ද මම මයි කියලා එකම දේ කරනවා
බැණුම් අහනවා
මේක හරි පුදුමාකාර ජීවිතයක්.

ඒ පුදුමාකාර ජීවිතය තුළ දි උදය ආර්. තෙන්නකෝන් කළ අපූරු නිර්මාණය හෙට (2025 – 04 – 12 ) සිට අපට නරඹන්න පුළුවන

සංවාද සටහන : තනූජා සූරියබණ්ඩාර

More From Author

දිනෙන් දින ඉහළ යන ළමා ගර්භණීත්වය

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පැරඩයිස් චිත්‍රපටය ගැන ලෝසවෙඅ සමග සාකච්ඡා කරයි

Leave a Reply

Categories

LDM Columns