එරික් ඉලයප්පආරචිචි
සුප්‍රසිද්ධ Sight and Sound සිනමා සගරාවට ලබා දරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී සංගීතඥ බර්නාඩ් හර්මාන් බැරෑරුම් කලාව අතහැර දමා ඉල්ලුමට අනුව ලහිලහියේ බිහි කරන, කලාත්මක වශයෙන් දුරදිග නොයන කලාව හදුන්වන්නේ බිකිනි මැසීමක් හා සුරුට්ටු එතීමක් වශයෙනි. සිටිසන් කේන් සිට ටැක්සි ඩ්‍රැයිවර් දක්වාත්, හිච්කොක්ගේ නෝත් බයි නෝත් වෙස්ට් සිට බර්ඩ්ස් දක්වාත් චිත්‍රපටවලට සංගීතය සැපයූ බර්නාඩ් හර්මාන් මේ විවේචනය එල්ල කරන්නේ බටහිර චිත්‍රපට කලාවට හා තරුණ කලාකරුවන්ට ය. මෙය මෙරට සංගීතය, ටෙලි නාට්‍ය, ප්‍රහසන යනාදියට පමණක් නොව වසර කිහිපයක පටන් සාහිත්‍යයට ද අදාළ වෙමින් තිබේ. වඩාත් උත්ප්‍රාසවත් කාරණය වන්නේ එකී සාහිත්‍ය පරිහානිය පසුගිය වසර කිහිපයේ දී මෙරට සාහිත්‍ය වෙළෙද ලෝකයේ (literary marketplace) සිදු වූ දියුණුව සමග අත්‍යන්තයෙන් බැදී තිබීම යි.
එහි දී බැරෑරුම් සාහිත්‍යය අතහැර දමා කලාත්මක වශයෙන් දුරදිග නොයන නවකතා, කවි යනාදිය පාඨක ජනාදරයේ මුල් තැනට පත් කෙරෙන ග්‍රන්ථ සංස්කෘතියක් භාවිතයට ගෙනැවිත් තිබේ. එහි දී එවැනි කෘති වෙනුවෙන් කෘතිම වෙළදපලක් නිර්මාණය කිරීම අද කුප්‍රකට අවභාවිතාවක් වී තිබෙන බව නොරහසකි. අසාමාන්‍ය පාඨක ලෝකයක් නිර්මාණය කිරීමේ සිට සමාජ ජාලා ඔස්සේ යම් කෘතියක පාඨක රුචිය අහස උසට නංවන අන්දමේ මෝඩ භක්තියක් සහ අර්චනයක් ජනනය කිරීම මෙහි දී සිදු වේ. එහි දී අවිදග්ධ පොත් ප්‍රකාශනයේ අනුබල ලබන ලේඛකයින් අතින් සිදු වන්නේ බර්නාඩ් හර්මාන් පවසන අන්දමේ බිකිනි මැසීමක් හා සුරුට්ටු එතීමකි. බරසාර කෘතීන් ප්‍රකාශ කිරීම ප්‍රතිපත්තිය වෙනුවට කෙටි කාලයක් තුළ පාඨක ප්‍රතිචාරය කුළුගන්වා සාහිත්‍ය මාසය හෝ වෙනත් පොත් වසන්තයක් තුළ හැකි තරම් පිටපත් සංඛ්‍යාවක් විකුණා ගැනීමේ ප්‍රකාශන ප්‍රතිපත්තියක් කරා ගමන් කිරීම පොත් ව්‍යාපාරයේ ද විනාශයට තුඩු දෙන්නක් විය හැකි ය.
සිංහල සාහිත්‍ය විචාරයේ අන්ත පරිහානිය ද එම තත්ත්වයට ප්‍රධාන හේතුවකි. එම නිසා අද සාහිත්‍යය ද ප්‍රකාශන ව්‍යාපාරයේ දාසයකු වී තිබේ. විචාරයේ නිහඩවීම නිසා ප්‍රකාශන ව්‍යාපාරයට ප්‍රබුද්ධ වීමේ මාර්ගය ද සම්පූර්ණයෙන් නැති වී ගොසිනි. එයින් ජනනය වන්නේ අහිතකර ප්‍රතිවිපාක බව පෙනේ.
අප්‍රබුද්ධ ප්‍රකාශනය වෙනුවෙන් යෙදවෙන ප්‍රාග්ධනය සංස්කෘතික ප්‍රාග්ධනයක් වන්නේ නැත. විවිධ වෙළෙද උපායන් මගින් බිහි කරන්නේ අතිරික්ත පාඨක (surplus readership)සමාජයකි. එය මහජන පරිධිය (public sphere) තුළ වාර්ෂික සුපිරි තරු පන්නයේ රසික ප්‍රජාවක් විනා කල් පවත්නා ප්‍රඥා සම්පන්න සහෘද ප්‍රජාවක් වන්නේ නැත. විනෝද සංස්කෘතියේ උපමාන මගින් සකස් කරනු ලබන එම වාර්ෂික ප්‍රජාව සාහිත්‍ය පාඨක සමාජයට පරිබාහිරව ඊට අතිරික්ත වශයෙන් පවතියි. සැබැවින් ම ඔවුන් විනෝද ජනෝඝයක් (entertainment mob) පමණි.
ඔවුන් තුළ තිබෙන්නේ සෞන්දර්ය විඥානයක් නොවේ. ඔවුන්ගේ මානසික චර්යාව මනෝවිශ්ලේෂණයට අයත් විෂයක් වන අතර එය තේරුම් ගත හැකි වන්නේ ප්‍රබන්ධිත යථාර්ථයට යොමු වී හිස්ටරිකයින් වීමේ නැමියාව ලෙසිනි. මැජිකල් යථාර්ථවාදයේ විවිධ ලදබොළද අනුවර්තන, කිච් හෙවත් සරුවපිත්තල කලාව (kitsch), රැල්ලේ අදහස් (received ideas), ජනතාවාදය, කවර ශානර වූවත් සිල්ලර මට්ටමට දමන මස්සබාල්දු කලාව බිහිවීම, කලාව ලාභදායි හා පහසු ස්වයංරැකියාවක් බවට පත්වීම, බාල ප්‍රහසන, ග්‍රාම්‍ය ගායන හා නර්තන යනාදිය මගින් එවැනි ප්‍රජාවකට වුවමනා ව්‍යාජ සෞන්දර්ය විඥානය සැපයේ.
සාහිත්‍යයේ ජනප්‍රියවාදය ප්‍රචලිත කිරීම, සාහිත්‍ය රූපය මාධ්‍ය ප්‍රතිරූපයක් බවට පිරිහෙළීම හා සාහිත්‍යකරුවාගේ අදහස ප්‍රකාශකයාගේ අදහස බවට පොලා පැනීම යන කාරණා නිසා කලාකරුවා පිළිබද අදහස උඩුයටිකුරු වේ. එවිට සාහිත්‍ය කෘතියක්, පියානෝ වාදනයක්, චිත්‍රයක් වැනි කලා කෘතියක් පසුපස සිටින්නේ කලාකරුවෙක් ද, හුදු ව්‍යාපාරිකයෙක් ද යන තීරණාත්මක සමකාලීන ප්‍රශ්නය මතු වෙයි. එවැන්නන් අතින් බිහි වන්නේ කලා කෘතියක් ද, එසේ නැති නම් කලා කෘතියක් ලෙසට පෙනී සිටින ව්‍යාජයක් හෝ පිටපතක් ද යන ගැටළුව පැනනැගීම අනිවාර්ය වේ.
විනෝද සමාජය විසින් බිහි කරන ලද එවැන්නෝ අද කොතෙකුත් වෙති. ඔවුන් කලාකරුවන් ලෙස ලේබල් වීම හේතු කොට ගෙන කලා ප්‍රජාව සංගණන එකතුවක් ලෙස විශාල වේ. ඔවුන් අයිති වන්නේ බොහීමියානුවන්ගේ හෝ කැප වූ කලාකරුවන්ගේ පරපුරකට නොවේ. කලාකරුවා කලාව වෙනුවෙන් ජීවත්වන්නකු විනා ජීවත්වීම වෙනුවෙන් කලාවේ නිමග්නව සිටින්නකු නොවිය යුතු ය යන ප්‍රකට මාක්සියානු නියාමය එහි දී අරුත්සුන් ප්‍රලාපයක් බවට පෙරළෙන අතර කලාකරුවා අතිනවීන පන්නයේ වාහන පදවන්නකු හෝ අගනාගරික එපාර්ට්මන්ට් වැසියකු බවට පත් වේ. එවැනි ධනස්කන්දයක් කලාවෙන් ඉපයීම යථාර්ථයක් බවට පත් කරන ලද ලාභදායි ප්‍රවණතාවන් වන්නේ පසුගිය සමාජ පරිහානිය සංස්කෘතික ක්ෂේත්‍රවල සැබෑවක් කළ ප්‍රබන්ධිත යථාර්ථය, හිස්ටරික මාධ්‍ය නැමියාව, සරුවපිත්තල කලාව හෝ රැල්ලේ අදහස් නොවේ නම් ඔවුන් පුද්ගලිකව යෙදුණු ඊනියා කලා ව්‍යාපාර විය හැකි ය.
පසුගිය වසර කිහිපය තුළ සාහිත්‍යය කරා ද ශීඝ්‍ර ප්‍රවිෂ්ටය අරඹා තිබෙන එකී නිර්-කලාත්මක විපරිතයන් පිටුදැකීමේ සදාචාරය අද කලාවේ දේශපාලනය තීරණය කරයි. මොන යම් හෝ උපායකින් සාහිත්‍ය ප්‍රචලිත කිරීම කියා දෙයක් සාහිත්‍ය ලෝකයේ නැත. උසස් කලාවට මෙන්ම උසස් සාහිත්‍යයට ද කැමැත්තක් තිබේ නම් එය සහෘදත්වය සහිත උසස් සංස්කෘතික තලයකි.
රුසියානු විප්ලවය පවා මේ අභියෝගයට ඉතා බරපතළව ම මුහුණ දුන්නේ ය. බොල්ෂෙවික් පක්ෂය සහිත දේශපාලන පෙරමුණ ප්‍රබලතම නූතනවාදී කලා පෙරමුණකින් සමන්විත විය. විප්ලවය සමග කලා ලොවෙහි පෙර නොවූ විරූ පෙරටුගාමී කලාවකට මග විවෘත වූයේ අත ළග සැබෑ ප්‍රතිඵල විදහා පෙන්වමිනි. සෝවියට් රැසියාව තුළ මැලෙවිච්, ටැට්ලින්, ෂගාල් වැනි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පීන් ද, බ්ලොක් හා පැස්ටර්නැක් වැනි කවියන් ද, ප්‍රකෝෆිව් වැනි සංගීතඥයින් ද බිහි වූ අතර එහි විදේශික පෙරමුණ දියාගෝ රිවේරා, ස්ට්‍රවින්ස්කි වැනි ශ්‍රේෂ්ඨයින්ගෙන් සමන්විත විය. පිකාසෝ දක්වා ද එහි කලාත්මක ශක්‍යතා ගලා ගියේ ය.

එය පළවෙනි ගුරුවරයා නවකතාවට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ කලාත්මක විදාරණයකි.
එනමුත් ප්‍රංශ විප්ලවයේ දී මෙන් නොව සාර් රැසියාව තුළ කම්කරු පංතිය බලය ගත්තේ සංස්කෘතිය අත්පත් කර නොගත් පංතියක් ලෙස නිසා සමාජවාදී රැසියාවට තිබුණේ දේශීය වශයෙන් පුෂ්කින් හා ටොල්ස්ටෝයි ප්‍රමුඛ ප්‍රාග්-විප්ලවීය රැසියන් සාහිත්‍යය හා ශේක්ස්පියර් හා සර්වාන්ටේ ප්‍රමුඛ ලෝක සාහිත්‍යය පමණි. ඊට පිටුපාමින් කම්කරු සාහිත්‍යය කියා ව්‍යාජ නිල සාහිත්‍යයක් බිහි කරන්නට ස්ටාලින් ගත් තැත අවසන් වූයේ මහත් ඛේදවාචකයකට හා රුසියාව සාහිත්‍ය ලෝකයේ කළු කුහරයක් බවට පත් කරමිනි.
අද දවසේ සාහිත්‍යයට හා සාහිත්‍යකරුවාට පැවරී තිබෙන වගකීම පසෙක ලා සාහිත්‍ය කර්මාන්තයේ හා ඩිජිටල් ක්ෂේත්‍රයේ අංගයක් බවට සිංහල නවකතාව, කෙටිකතාව හා කවිය පත් වෙමින් තිබෙන බව නොරහසකි. පොත් ප්‍රකාශන කර්මාන්තයට පිටපත් සපයන්නන් බවට සාහිත්‍යකරුවන් පත්වීම මධ්‍යයේ අද තවත් දෙයක් සිදු වෙමින් තිබේ.
එනම් නිහඩ වූ සාහිත්‍ය විචාරයේ රහස්‍ය අංශ මගින් එයට වුවමනා විචාර සේවය ලබා දීම ය. ඊට සුචරිත ගම්ලත් රූපයෙන් විචාර ප්‍රතිචාර දැක්විය හැකි අවකාශයක් ද අද ඉතිරිව නැත. සංගීතඥ බර්නාඩ් හර්මාන් පවසන බිකිනි මැසීම හා සුරුට්ටු එතීම සමකාලීන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ සැබවින් අර්ථවත් වන්නේ මේ කාරණයේ දී ය.
මෙය පුද්ගලයන් පිළිබද ගැටළු ඉක්මවන සංස්කෘතික ගැටළුවක් ලෙස හදුනා ගන්නට ය මේ ලිපියේ ඉතිරි කොටසින් උත්සාහ ගන්නේ. එය කර්මාන්තමය, මානවශාස්ත්‍ර (humanities) හා කර්තෘ – ප්‍රකාශක ඉතිහාසය යන අංශ තුන යටතේ විමසන්නෙමු.
එහි දී පළමුවෙනි කාරණය, එනම් සාහිත්‍ය ධනවාදයට (literary capitalism) පිටපත් වුවමනා වීම හා එහි වර්ධනය සපුරා ලීමට සාහිත්‍යකරුවන් වහා වහා ඉදිරිපත් වීම, මෙම කලාවේ මෙන්ම කර්මාන්තයේ ද මතු අන්ධකාර අනාගතය පෙන්නුම් කරයි.
අද සිංහල රූපවාහිනිය හා ටෙලි නාට්‍ය කලාව මුහුණ දී සිටින ප්‍රශ්නයට සිංහල ප්‍රකාශන කර්මාන්තය ද, සාහිත්‍යය ද මුහුණදීම හුදෙක් කාලය පිළිබද සුළු ප්‍රශ්නයක් පමණි.
සිංහල රූපවාහිනිය අද මුහුණ දී සිටින ප්‍රශ්නය එදිරිවීර සරචිචන්ද්‍ර මතු කළේ මෙරටට ටෙලිවිෂනය හදුන්වා දෙන ලද කාලයේ දී ය. එසේ කළේ විඥාපනයේ ගැටළු යන මෘතෘකාව යටතේ බව මතක ය. සරච්චන්ද්‍ර මතු කළේ දවසින් වැඩි වේලාවක් ක්‍රියාත්මක කළ යුතු රූපවාහිනී සේවාවන් වෙනුවෙන් එතරම් වැඩසටහන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වැනි දිළිදු රටක් නිපදවන්නේ කෙසේ ද යන දුර දක්නා ප්‍රශ්නය බව මතක ය.
එම ප්‍රශ්නය සිංහල සාහිත්‍ය ධනවාදයේ යුහුසුලු කර්මාන්ත ඉදිරියේ ද එම අයුරින් මතුවනු නොඅනුමාන ය. වැඩිවන ප්‍රකාශන සමාගම් සංඛ්‍යාව, දැවැන්ත පොත් සල්පිල්, කර්මාන්තය සිය ගුණයකින් වුව වර්ධනය කරන පාඨක සමාජය, ඩිජිටල් මුද්‍රණය, තීව්‍ර ඩිජිටල් සමාජ ජාලා ප්‍රචාරණය යනාදියට අතිරේක වශයෙන් දේශපාලන කාරණයක් මගින් ද මහත් අර්බුදයක් ජනනය කරන්නට නියමිත ය.
එනම් මෙසේ දියුණු වූ සිංහල සාහිත්‍ය ධනවාදය හා පොත් ව්‍යාපාරයට පාදක කර ගන්නා සිංහල භාෂාව, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුළ ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් හුදකලා කරන ලද භාෂාවක් වීම යි. එහෙයින් මෙය මොනෝලිතික කර්මාන්තයකි.
මෙරට ජාතික සාහිත්‍ය ධනවාදය ගොඩනගන්නට මහත් සේවාවක් ඉටු කළ මානව ශාස්ත්‍ර ද අද මුහුණ දී සිටින අර්බුදය නිසා කර්මාන්තය තව දුරටත් පුම්බාලන්නට විනා එය අනතුරින් ගලවා ගන්නට ශාස්ත්‍රාලය නොසමත් ය. එනමුත් සිංහල සාහිත්‍යය ජාතික අධ්‍යාපනය තුළ පාඨමාලා ගත කිරීම, විෂය නිර්දේශ සම්පාදනය, පොත් නියම කිරීම, සාහිත්‍ය ඉතිහාසය හා වංශකතා ලිවීම, සාහිත්‍ය ඉගැන්වීම, සාහිත්‍ය කැනනය හෙවත් කෘති ධූරාවලිය සැකසීම වැනි පුරෝගාමී කටයුතු ඉටු කරන ලද්දේ පේරාදෙනි, කොළඹ, ජපුර, කැලණිය ප්‍රමුඛ සරසවි විසිනි. කලක එය යාපනය දක්වා පැතිරුණු භාෂා පීඨ සේවාවක් විය. පොන්මනී චිත්‍රපටය බිහි වීම පවා එහි ප්‍රතිඵලයකි.

නිදහසින් පසු, විශේෂයෙන් පනස්හයෙන් පසු ජනිත වූ සාහිත්‍ය ධනවාදයේ නැගීම මෙරට ජාතික රාජ්‍ය සංස්ථාපිතයේ ප්‍රධාන ප්‍රවාහයකි. එහි අර්බුදය සහ ශාස්ත්‍රාලයේ අර්බුදය එකිනෙක සමග අවියෝජනීය වශයෙන් බැදී තිබේ. මෙය මෙරට වෙනත් පීඨ හා දෙපාර්තමේන්තු මුහුණ නොදෙන සංවේදී ගැටළුවකි. පසුගිය දශකය හෝ දෙක තුළ ශාස්ත්‍රාලයට පිටින් අත්පත් කර ගන්නා ලද අලුත් මානවශාස්ත්‍රීය වර්ධන ක්ෂේත්‍ර රැසකි. අද සිංහල සාහිත්‍යය තුළට අලෙවිකරණය අරමුණු කර ගනිමින් ඩිජිටල් තාක්ෂණය හා සමාජ ජාලා මගින් පතුරුවන දුමාරය හා අනිසි ප්‍රකාශනික මැදිහත් වීම සහිත වෙළෙදපළ ප්‍රසාරණ හමුවේ මානවශාස්ත්‍ර සම්පූර්ණයෙන් නිෂ්ක්‍රීය කරනු ලබන්නේ ඩිජිටල් මානවශාස්ත්‍ර (digital humanities ) ද තවමත් ඊට පරිබාහිර නිසා ය. සාහිත්‍ය කේන්ද්‍රීය සිංහල සමාජ ජාලා හා ඩිජිටල් වගාකරණය (digital cultivation) මගින් පාඨක සමාජයට දනවන විපරිත බලපෑම තවමත් මෙරට මානවශාස්ත්‍ර මගින් ප්‍රවිෂ්ට නොවූ බියකරු වනාන්තරයකි. අවසාන වශයෙන් සාහිත්‍ය රචනා කිරීම හැරුණු විට ලේඛකයින් විසින් සාහිත්‍ය ධනවාදය හා ප්‍රකාශනය වෙනුවෙන් ඉතිහාසය තුළ ඉටු කරන ලද සේවාව විමසිය මනා ය. මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක, කේ. ජී. කරුණාතිලක, කරුණාරත්න සපුතන්ත්‍රී වැනි ලේඛකයින් මෙන්ම විද්‍යාලංකාර මුද්‍රණාලය මගින් ඉටු කරන ලද සේවාව වර්තමාන ප්‍රකාශකයින් විසින් නොතකා හරින ලද උරුමයකි. එය නොකෙලෙසිය යුතු උරුමයක් හා සදාචාරයකි. එහි ලා කතුවරුන් විසින් ම සිංහල සාහිත්‍ය ප්‍රචලිත කිරීම සදහා සහ මුද්‍රිත කඩදාසි පිටුවට රූපාකාරය ලබා දෙන්නට අකුරු තෝරා ගැනීමේ සිට ඉටු කරන ලද පුරෝගාමී මෙහෙවර අමතක නොකළ යුතු අතර එකල සාහිත්‍ය මුද්‍රණය හා ප්‍රකාශනය සාහිත්‍යකාමී මහත්මා වැඩක් වී තිබුණි. අලෙවිය හා ලාභය වෙනුවෙන් වියමන් බිලි දීමක් හෝ වියමන් වෙෙශ්‍යකරණයක් එහි නොවී ය. සම්භාව්‍ය සාහිත්‍ය ප්‍රකාශනයෙහි ලා ඉංග්‍රීසි ලේඛක භූමිකාව ටී. එස්.එලියට් හා ලෙනාර්ඩ් වුල්ෆ් දක්වා විහිදෙන අතර ෆ්‍රාන්ස් කෆ්කාගේ අමරණීය සාහිත්‍යය ඔහුගේ අන්තිම කැමැත්තට එරෙහිව පළ කිරීම සදහා ඔහුගේ කල්‍යාණ මිත්‍ර මැක්ස් බ්‍රොඩ් ඉටු කළ මෙහෙවර ද අමරණීය එකක් විය. ඔහු නාසි යුරෝපයෙන් පලස්තීනයට පලා ගියේ කෆ්කාගේ අත්පිටපත් රැගෙන ය.

අල්බෙයා කමූ මියගියේ ඔහුගේ ප්‍රකාශක ගලිමාඩ් පවුලේ කෙනෙකු පැදවූ රියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවක ය. කැමූ මළේ ය. ගලිමාඩයාගේ දිවි බේරුණි.
කතුවරුන් විසින් ම සාහිත්‍ය ප්‍රචලිත කිරීම සදහා සහ මුද්‍රිත කඩදාසි පිටුවට රූපාකාරය ලබා දෙන්නට ඉටු කරන ලද පුරෝගාමී මෙහෙවර හා එමගින් දායාද කළ සදාචාරය අද ලෝක මට්ටමින් සිදුවන සාහිත්‍ය සමාජ විද්‍යා අධ්‍යයනයේ වැදගත් උණුසුම් මාතෘකාවකි.
රෝමාන්ස් භාෂා අධ්‍යයනය තුළ ස්පාඤ්ඤ භාෂාව හා ඩිජිටල් හියුමැනිටීස් පිළිබද මහාචාර්යවරියක වූ නෝරා බෙනඩික්ට් 2021 දී පළ කළ Borges and the Literary Marketplace

නම් සන්ධිස්ථානීය කෘතියෙහි ලා විභාග කරන්නේ ශෝෂ් බොහේස් මහා සාහිත්‍යධරයකු වීමට අතිරේකව සිය වෘත්තිය තුළ පුස්තකාලාධිපතිවරයකු, කැටලොග්කරුවකු, සංස්කාරකවරයකු හා ප්‍රකාශයකු ලෙස ලතින් අමරිකානු සාහිත්‍ය ධනවාදය තුළ ඉටු කරන ලද කෘතහස්ත කාර්යභාරය යි.

(ඡායාරූප : අන්තර්ජාලයෙන්)