අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය වන සංකේතය වන ළමයා වූ කලී තීරණාත්මක සාධකයකි. 1989 නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කර ගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව ‘නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස අවුරුදු දහඅටට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන් වේ. ස්ත්‍රී හා පුරුෂ බීජාණුවකින් නිර්මිත ලොව විස්මිතම නිමැවුම ළමයා වේ. වර්තමානය වන විට ළමුන් කේන්ද්‍ර කර ගනිමින් මැවෙන පුවත් අතර ‘ළමා ගර්භණීත්වය’ මෑතකාලීකනව වැඩි අවධානයට ලක් වූවකි. ගර්භණීත්වය සමස්ත ලොවක පැසසුම් ලැබීමට තරම් වූ උත්තරීතර පදවියකි. පොදුවේ කාන්තාවන් සියලු දෙනාගේම සිහිනයක් ලෙස මෙම ගර්භණීත්වය හඳුන්වා දිය හැකිය. නමුත් ඒ එම පදවිය නිසි කලට ලැබෙන්නේ නම්ය.

එය සමාජ අවමානයට, අපවාදයට පාත්‍ර වීමට තරම් වූවකි. ළමා ගර්භණීත්වය යනු ලංකාවට ආවේණීක වූවක් නොවේ. එය සමස්ත ලෝකය පුරා විසිර පවතින සමාජ ප්‍රශ්නයකි. නව යෞවන විය නොඉක්මවූ ගැහැණූ දරුවන් ගැබ් ගැනීම ළමා ගර්භණීත්වය ලෙස අර්ථ දැක්විය හැකිය. කාන්තාවක් මවක් වීමට ශාරීරික, මානසික හා ආර්ථිකමය වශයෙන් සූදානමක් පැවතිය යුතු අතර ළමයෙක් තවත් ළමයෙකුට ජීවයක් සැපයීමට තරම් මෙම අංශන්හි සංවර්ධන අවධියකට පැමිණ නොතිබීම ප්‍රධාන වශයෙන් දැකිය හැකි වූවකි. ළමා විය හෝ නොඉක්මවූ දැරියන් මාතෘත්වයට පත් වීම සමාජ විපරිණාමයේ ලක්ෂණයකි.
පසුගිය වසර කිහිපය දෙස විමර්ශනයේදී ප්‍රමාණාත්මකව ගත් කළ ළමා ගර්භණීත්ව අනුපාතයන්හි ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඒ අනුව පසුගිය 2024 වසරේදී ළමා ගර්භණී සිදුවීම් වල ඉහළ යාමක් වාර්තා විය. 2023 වසරේදී 167 ක් ලෙස වාර්තා වූ ළමා ගැබ් ගැනීම් 2024 වසර වන විට 213 දක්වා වර්ධනීය අගයක් පෙන්නුම් කරයි. ශෝචනීයම කරුණක් වන්නේ මෙම වාර්තා වූ දත්තයන්ට අනුව වයස අවුරුදු 10ක ළමා මවක් පිළිබඳවද වාර්තා වේ. නමුත් මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ මෙම දත්තයන් වාර්තා වූ ඒවා පමණක් වන අතර සමාජ අවමානයන්ට ගොදුරු වීමේ බිය, පවුලේ ගෞරවය, නම්බුව වැනි දේ මත වාර්තා කිරීම් සැඟවීමටද බොහෝ දෙනා පෙළඹේ.
දත්ත වාර්තාවන්ට අනුව සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන විසි එකක් ළමා ගැබ් ගැනීම් ලෝකය පුරා වාර්තා වේ. මේ ගැබ් ගැනීම්වලින් මිලියන 12කට පමණ දරුවෝ උපදිති. ඉතිරි දරුවෝ කළල අවස්ථාවේදී, ගබ්සා කිරීම තුළින්, මන්දපෝෂණය නිසා මිය යති. මෙහිදී අවුරුදු 10ත් අවුරුදු 19ත් අතර දැරියන් ගැබ් ගැනීමේදී ඔවුන් විවිධ රෝගයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය. නමුත් මෙවැනි අවධානයකට වයස 20 ඉක්මවූ තරුණියන් ගොදුරු වීම දුලබය. ළමා ගැබිනි මව්වරුන් විසින් ප්‍රසූත කරන දරුවෝ බරින් ඉතා අඩු වෙති. ඇතැම් දරුවන් නොමේරූ දරුවන් ලෙස උපදී. එවැනි දරුවන් ලෙඩරෝග වලට ඉතා පහසුවෙන් ගොදුරු වේ. ප්‍රතිශක්තිය හීන වේ. නිසි අවබෝධයක් නොමැති කල්හි මෙම ළමා ගැබිනි මව්වරුන් දරුවක් කුස තුළ පිළිසිඳ ගත් බව දැන ගන්නේද මාස කිහිපයක් ඉක්මවා ගිය තැනය.
- විවිධ හේතු පදනම් කරගෙන සිදු කරන අනාරක්ෂිත ගබ්සාකිරීම් හමුවේ ගර්භණී මවට මෙන්ම කුසෙහි සිටින දරුවාටද විශාල බලපෑම් සිදුවේ. මේ නිසා ශාරීරික දුබලතා සහිත හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බිහි වීමද සුලබ වූවකි. රෝගාබාධයන්ට ඉක්මනින් ගොදුරු වීම තුළ බොහෝ දරුවන් සිය ළමා විය අවසන් වීමට පෙර මරණයට පත් වේ. මේ නිසා ළමා මරණ අනුපාතය ඉතා ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යයි.
එහෙත් සමාජයක් වශයෙන් ගත් කළ දරුවන් මිය යෑම යනු ඛේදවාචකයකි. සාමාන්‍යයෙන් වර්තමාන සමාජ සම්මතය වන්නේ කිසිදු දරුවකු මිය යා යුතු නැති බවය. ළමා ගැබිනියක් නොමේරූ දරුවකු ප්‍රසූත කර එම දරුවා මියගිය විට ඇය සිය ජීවිත කාලය පුරුවටම එයින් පීඩා විඳියි. මේ නිසා මානසික ව්‍යාකූලතාවයන්ට පත් වීම, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම වැනි දේට ඉතා පහසුවෙන් මොවුන් ගොදුරු වේ.
මෙහිදී වයස අවුරුදු 15 ත් 19 ත් අතර කාන්තාවන්ගේ මරණ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතියේ ගැටළු බලපාන බව පෙන්වා දිය හැකිය. ළමා ගැබ් ගැනීම්වලට බලපාන හේතු අතර මූලික හේතු ත්‍රිත්වයක් දැකිය හැකිය. ලිංගික අපයෝජනය හා දූෂණය, ප්‍රේම සම්බන්ධතා, වැඩිහිටියන්ගේ අවසරය මත ඇතිවන විවාහ වීම් එම හේතු ත්‍රිත්වයයි. ඒ අතර ප්‍රධානත්වයක් දරන තවත් සාධකයක් වන්නේ දුගී දුප්පත්භාවයයි. මිනිසුන් දුප්පත් ජීවිතයක් ගත කරන කල්හි චර්යාවන් ඊට අනුරූපව සකසා ගනී. එහිදී විශේෂයෙන් දෙමව්පියන් මෙම දුප්පත්භාවය නිසා දරුවන් ඉතා අඩු වයසින් මෙහෙකාර සේවයේ යොදවයි. මිනිසුන්ට මුදලට විකුණයි. කර්මාන්තශාලා ආදියේ සේවයන්ට යොමු කරයි. මේ ආශ්‍රිතව එම ස්ථානයන්හි පුද්ගලයන් අතින් මෙම ගැහැණු දැරියන් ලිංගික අපයෝජනයන්ට හා දූෂණයන්ට ලක් වීම තුළ ළමා ගර්භණීත්වය ඉහළ යයි. එමෙන්ම දුප්පත්භාවය පෙරදැරිව දෙමව්පියන් දෙදෙනාම දරුවන් තනිවම, සිය ඥාතීන්ට හෝ හිතවත් අසල්වාසීන්ට භාර දී රැකියාවන්හි නිරත වීම තුළද එම දරුවන් රැක බලා ගන්නා යැයි පවසන මිනිසුන් අතින් මෙම දරුවන් ගර්භණීත්වයට පත්වේ.
තවද නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටක ළමා ගර්භණීත්වය ඉහළ යාම සුලබ දසුනකි. එහිදී විශේෂයෙන් හුදෙක් ආදරය හා හැඟීම් වලට වහල් වන්නා වූ නව යෞවන වියේ පසුවන දැරිවියන් සිය පෙම්වතා අතින් හෝටල් කාමරයක්, අනාරක්ෂිත පාළු හුදකලා ස්ථානයන් තුළ සිය කන්‍යාභාවය පුද කරමින් කාලානුරූපීව ළමා ගර්භණී මව්වරුන් බවට පත් වේ. ඉතාම මෑතකාලීනව අසන්නට ලැබුණු පුවතක් වූයේ වයස අවුරුදු 15 ක පාසල් දැරියක් සිය පෙම්වතා ඇතුළු පාසල් ශිෂ්‍යයන් සය දෙනෙක් අතින් දූෂණයට ලක් වීමේ ශෝචනීය පුවතයි.
පෙම්වතා පමණක් ඔහුගේ ඥාතී මිත්‍රාදීන් අතින් දූෂණයන්ට ලක්වීම තුළ ගර්භණීත්වයට ලක් වන දැරියන් එහි ප්‍රතිඵලයක් ලෙස ළමා මව්වරුන් බවට පත්වේ. ඇතැම් ජන කොටස් වල යල්පැන ගිය සාම්ප්‍රදායික මතවාදීන්ට යටත් වෙමින් සිය දෙමව්පියන් වයස අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන් සමඟ විවාහ වේ. මේවා ළමා විවාහ ලෙස පොදුවේ පිළිගැනේ. එවැනි අවස්ථාවක එම ගැහැණු දරුවන් සිය විවාහක ස්වාමිපුරුෂයාගේ කැමැත්ත මත මවක් වූවද එය නිසි වයස සම්පූර්ණ නොවූ කල්හි අයත් වන්නේ ළමා ගර්භණීත්වයට ය. මීට අමතරව පොදුවේ ගත් කළ බලපාන හේතු සාධක අතර බොහෝමයක් ආර්ථික, සමාජීය, දේශපාලන කරුණු ද අන්තර්ගතය.
මව්වරුන් විදේශගත මෙහෙකාර සේවයට යොමුවීම තුළ බොහෝ ගැහැණු දරුවන් සිය පියා සමඟ කාලය ගත කරන අතර වරින් වර පියා විසින් තම දියණියන් දූෂණයට ලක් කිරීම තුළින්ද සුළු පියා, බාප්පා වැනි පුරුෂයින් තුළින් දූෂණයට ලක් වීම මතද පාසල් යන වියේ දැරියන් මව්වරුන් බවට පත් වේ. බොහෝ විට මෙම ළමා ගර්භණී මව්වරුන් බිහි වන්නේ ළඟම ලේ ඥාතීන්ගෙන් හෝ හිතවත් අසල්වැසියන්ගෙන් ද සිය පෙම්වතා ඇතුළු පිරිස් ඇයගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගිකව අපයෝජනයට හෝ දූෂණයට ලක් කිරීම තුළිනි. මෙම ළමා ගර්භණී මව්වරුන් හුදෙක් පාසල් යන වියේ පසුවන බැවින් මෙවැනි තත්ත්වයකට මුහුණ දීමෙන් පසුව පූර්ණ වශයෙන් අධ්‍යාපන කටයුතු අඩාළ වේ. සමාජ සබඳතා නවතා දමයි. මෙවැනි වපසරියක් තුළ ඉතා පහසුවෙන් මානසික ව්‍යාකූලත්වයට පත් වේ. එමෙන්ම සමාජයේ ඇතැම් ප්‍රදේශයන්හි පුද්ගලයන් පාරම්පරිකව මෙවැනි තත්ත්වයක් උරුම කරන්නාක් මෙන් මව ළමා වියේදීම විවාහ වී දරුවන් ලැබූවේ නම් ඒ ආකාරයටම තම දියණියන්ද පාසල් යන වයසේදීම තරුණයින් හා ඇති වන ප්‍රේම සබඳතා වලට ඉඩ ලබා දෙමින් ඒවායේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ළමා ගර්භණීත්වයට පත් වේ. දෙමාපියන්ට නිසි අධ්‍යාපනයක් සමාජ අවබෝධයක් නොමැති වූ කල්හි මේ තත්ත්වය වර්තමාන සමාජය තුළද දිගින් දිගටම සිදු වේ.
ගැහැණු දරුවෙක් සිය කැමැත්ත ඇතිව හෝ නොමැතිව දූෂණය වීම තුළ ගැබ් ගැනීමේ ප්‍රවණතාව වර්තමානයේදී ඉහළ අගයක් ගනී. මෙහිදී අවුරුදු 16 -18 අතර වයස් පරතර තුළ දියණියන් සිය කැමැත්තෙන් ලිංගික කාර්යයන්හි නිරත වීම අද වන විට සුලබව දැකිය හැකිය. එය 2023 දී 1237 ක් ලෙසත් 2024 දී 1254 ක් ලෙසත් වාර්තා වී ඇත. මේ තුළින් බිහි වන දරුවන් මෙන්ම මාතෘත්වයට පත් වන දැරියන් පවා සමාජයේ වින්දිතයන් ලෙස බොහෝ ගැටළු වලට මුහුණ දෙති. මෙවැති තත්ත්වයන් ගම්බද, ඉතා දුෂ්කර, අධ්‍යාපන මට්ටම අවම, අඩු ආදායම්ලාභී පවුල් වල දැක ගැනීමේ වැඩි ඉඩකඩක් දැක ගත හැකිය.
තවද වර්තමානයේ පාසල් දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් හා නෛතික අධ්‍යාපනයක් ලබා නොදීම දැකිය. ලිංගිකත්වය යනු කුමක්ද? උපත් පාලන ක්‍රම මොනවාද? ඒවායේ ආරක්ෂිත හා අනාරක්ෂිත ක්‍රමවේද මොනවාද? දරුවෙක්ට සිය කැමැත්ත ලබා දීමෙන් ලිංගිකව එක් විය හැක්කේ වයස අවුරුදු කීයේදීද? යනාදී කිසිදු කරුණක් වර්තමාන පාසල් පද්ධතිය තුළ දැක ගත නොහැකිය. ලංකාවේ පවතින නීතිය අනුව දරුවෙක්ට ලිංගික කාර්යයක් සඳහා සිය කැමැත්ත ලබා දිය හැක්කේ වයස අවුරුදු 18 ඉක්මවා ගිය පසුය. නමුත් අවුරුදු 16 දී දරුවෙක් ලිංගිකව එක් වීමෙන් පසුව ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඇයව විවාහ කර දීමට නීතියෙන් අයිතියක් නොමැත. ඇය වයස සම්පූර්ණ වනතෙක් පරිවාස භාරයේ තැබීම නීතියෙන් අනුමත වේ. එමෙන්ම රජයෙන් අනුමත ළමා ගැබිණියන්ට වෙන් වූ නිවාස පවා අද වන විට ඉදි වී ඇත්තේ එවැනි ළමා ගර්භණීත්වයේ ඉහළ යන අනුපාතයන්ට අනුලෝමව ය.
ළමා ගර්භණීත්වය සහමුලින්ම මුළිනුපුටා දැක්වීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. නමුත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමර්ග නිසි පරිදි කිරීම අප සතු යුතුකමකි.
ළමා ගර්භණීත්වය පිළිබඳවත් ඒවා වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් පාසල් හා දෙමාපිය ප්‍රජාව දැනුවත් කිරීම මෙහිදී අනිවාර්ය වේ. පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය පිළිබඳවත් ලිංගිකත්වය ආශ්‍රිතව වන නෛතික පසුබිම පිළිබඳවත් දරුවන්ට දැනුවත්භාවයක් ලබා දීම අත්‍යාවශ්‍ය වේ.

**** දරුවන් කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීමත් මාපිය ගුරු දෙගුරු කාගේත් වගකීමකි. එහිදී විශේෂයෙන් තම දරුවන් ඇසුරු කරන්නන්, රැක බලා ගන්නන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් වේ. එමෙන්ම අනාරක්ෂිත වූ ලිංගික සබඳතා වලින් දරුවන් මුදවා ගැනීමට නම් දරුවන් පාසල් වියේ ඇති කර ගන්නා ප්‍රේම සබඳතා කෙරෙහිද දෙමව්පියන් සොයා බැලිය යුතුය.
ළමා ගර්භණීත්වයේ වින්දිතයන් වූ දැරියන් සමාජයෙන් කොන් නොකිරීමට වැඩිහිටියන් ලෙස සියලු දෙනාටම වගකීමක් පවති. එමෙන්ම ඔවුන්ව නිසි උපදේශනයක් කරා යොමු කිරීමත් වැදගත්ය. ලංකාවේ පවතින නීතිය අනුව දරු ගැබක් විනාශ කළ හැක්කේ දරුවා මවගේ ජීවිතයට තර්ජනයක් වන්නේ නම් පමණි. මීට අමතරව ඇතැම් අවස්ථාවන්හිදී නිරෝගී දරුවෙක් කුස තුළ නොපිහිටන අවස්ථාවන්හිදී එනම් දරුව අසාමාන්‍ය තත්වයක සිටීනම් මවගේ කැමැත්ත සහිතව දරුවා ඉවත් කිරීමට හැකියාවක් පවතින මුන් එය ඉතා සීමිත සති කිහිපයකට සීමා වන බව පෙනී යයි.
- මේ නිසා ඔවුන්ට ගර්භණී කාලය තුළ ශාරිරික මානසික හා සෞඛ්‍යමය වශයෙන් සුව පහසුව ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දීම වැදගත් වේ. කෙසේ වෙතත් තම දියණියන් ළමා ගර්භණීත්වයකට යොමු වීම වළක්වා ගැනීමට අප සියලු දෙනාම වගබලා ගත යුතුය.
එච්. එම්. එන්. දේශානි හේරත්,
සහකාර කතිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය