දර්ශනි අබේසිංහ
ගිය අවුරුද්දේ මට මල් පොකුරක් තෑගි ලැබුණා. ඒ තෑග්ගෙන් තෑග්ගක් වශයෙන්.
වේලුණු මල් පොකුරු ගැන ලිව්ව මට ඒ මල් පොකුර ගැනත් ලියන්නට සිත් වූණා.
ඒ දවස අවසානයේ, ආ මේක ඔයාට, මේක ගැලපෙන්නේ ම ඔයාට කියලා ඒ මල් පොකුර මට දෙන කොට මං බොහොම සතුටින් ඒ බාර ගත්තා. හිතට මහ විශාල සතුටක් දැනුණා.
ඒ මල් පොකුර මං ගෙදර ගෙනැවිත් දවස් කීපයක් මල් පෝච්චියක දාලා තියා ගත්තා.
දවස් දෙක තුන යනකොට මල් මැලවිලා. ලස්සන අඩුවෙලා ගියා. ඒ වුනාට ඒ මල් පොකුරේ තිබුණ මල් අතු පැල කරන්න මට හිතුනා. මං ඒ මල් අතු පැල කලා. අද වෙනකොට ඒ මල් අතු වලින් මල් පෝච්චි දෙකක් ම මට තියෙනවා. ඒ දකින වාරයක් පාසා මට ඒ මල් පොකුර දුන්න කෙනාව මතක් වෙනවා. ඇගේ හිතේ මං වෙනුවෙන් තිබුණ ආදරය, කරුණාව, ලෙන්ගතුකම මතක් වෙලා හිතට සතුටක් දැනවෙනවා.
මං මල් දෙන්නත් ආසයි. මල් ලැබෙනවටත් ආසයි. මලක තියෙන්නේ හරිම ආදරණීය බවක්. ඒකනේ අපිට හැමකෙනාටම මල් දෙන්න හිතෙන්නේ නැත්තේ.
මල් ලැබෙන්නේ මල් ලැබිය යුතු අයට. මල් දෙන්නේ මල් වගේ හිත් තියෙන අය. අන් අයගේ සතුට තමන්ගේ සතුටක් ලෙස දකින අය.
- මේ සිද්ධිය හිතට වැටුන දවසේ ඉඳලම, මං ආදරේ අයට මං මල් දෙනවා. ඒ හිතේ පිපුණ මල් වෙන්නත් පුලුවන්.





