කුලාන් මෙත්සරගේ නර්තන ප්‍රතිභානය

නාමල් විමානේ නිබඳව සිටින්නේ
නාමල් ගොතා කරවට පැළඳ ගන්නේ
ඒ මල් ලමින් දුටු සත බිය කරන්නේ
නා මල් කඳ කුමරු කල ලෙඩ හරින්නේ

කළු කුමාර උපතෙහි සඳහන් මේ කවියට අනුරූප නර්තනය ඉදිරිපත් කරන දරුවෙකු සිටින වීඩියෝවක් හදිසියේ නෙත ගැටිණ.සිංහල හින්දු අවුරුදු සමයෙහි තම කිරිඅම්මා කැවුම් උයන කුස්සිය ඉදිරිපිට සිටිමින් නර්තනයෙහි යෙදෙන මේ කුඩා දරුවාගේ දසුන විස්මිත එකක් වූයේ වැඩිහිටි කලා ශිල්පයෙකු ගෙන්වත් දැකගත නොහැකි අන්දමේ නර්තන විලාසයක්,රිද්මයක් සහ සමබරතාවක් පෙනුණු හෙයිනි.

මෙය සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන ගණනක් රසික අවධානයට පත් විය.

සත්‍ය වශයෙන් ම ඒ දරුවාට ඇත්තේ සුවිශේෂ හැකියාවකි.පොලොන්නරුව,පළුගස්දමන සේවාමුක්ත ජාතික පාසලේ ඉගනුම ලබන ඔහුගේ නම කුලාන් මෙත්සර ය.

කුලාන් නැටුමට,කථනයට,චිත්‍ර ඇඳීමට මෙන්ම නවනිර්මාණවලට ද අතිදක්ෂයෙකි.ඒ
සඳහා කුලාන්ට ඇගයීම් රැසක් ලැබී ඇත
.

කුලාන්ගේ මව වන ගනේෂා ලක්මාලි නැටුම් විෂයද සහිතව උසස් පෙළ සමත් තැනැත්තියකි.ඇය මෙසේ කියයි.

යන්තං නැගිටගන්න පුලුවන් කාලෙ ඉඳලා පුතාගෙ කලා හැකියා අපට පෙනුණා.කවුරුවත්ගෙදර නැති වෙලාවට එයා තනියම චිත්‍ර අඳිනවා.හැම වෙලාවෙම මොනව හරි කරන්න තමයි එයාට ඕනෑ.”

නර්තනාචාරිනී අයෝමි විජේසිරිට කුලාන් මෙත්සර හමුවුයේ ඇගේ ෆේස්බුක් පිටුවෙනි.කුලාන් දැන් ඇගේ රංගායතනයෙහි අතිදක්ෂ සිසුවෙකි.

මුලින් ම බුලත් හුරුල්ලක් අරගෙන ආපු දවසේ කුලාන් මට වැඳලා නැටුම් ඉදිරිපත් කළා.මාලක්තම්,බඹරවළල්ල ඒ පුතා ඉදිරිපත් කළේ හරිම අපූරුවට.මේ පුතා මට මැණික් කැටයක් වගේ.පොලොන්නරුව පමණක් නොවේ රටම බබලවන්න පුලුවන් කලා සම්පතක් තමයි මේ.මම දන්නා ශිල්ප සියල්ල මේ දරුවාගේ අනාගතය වෙනුවෙන් මම එයාට දෙනවා.මෙවැනි දරුවෙකුට උගන්වන්න ලැබීම ගැන මට ඇත්තේ අපමණ සතුටක්”

නර්තනාචාරිනී අයෝමි පෙලොන්නරුව ජාතික තරුණ සේවා සභාවෙහි දිස්ත්‍රික් උපදේශිකාව ලෙසද කලක් කටයුතු කළාය.

ඇගේ නිරීක්ෂණ නිවැරදිය.
සමාජ මාධ්‍යයේ සංසරණය වන කුලාන් මෙත්සරගේ නැටුම් කුඩාදරුවාගේ පටන් මෙරට ඉහළම කලාකරුවන් දක්වා විශේෂ අවධානයකට ලක්ව තිබේ.

මගේ සිහිනය මගේ පුතා අනාගතයේ රටට වැදගත් වන කලාකරුවෙකු වනු දැකීමයි.”
කුලාන්ගේ පියාවන  රොෂාන් සංජීව පවසයි.ඔහු යුද හමුදාවේ ⁣සේවය කරයි.
රජරට ,පුලතිසිපුර මහා ගොවිජනපදයේ ගොවි පරම්පරා කිහිපයකට පසු උපන් අනුපවුලක අනාගත බලාපොරොත්තු දල්වන කුලාන් මෙත්සර එපෙති දෙපෙති වී වැඩෙන සුහුඹුල් කලා අංකුරයකි.

සාම්ප්‍රදායික ශාන්තිකර්ම,බෙර රිද්ම හා නර්තන රටා ඇසුරේ තම ප්‍රතිභානය විකසිත කරගනිමින් සිටින කුලාන් මෙත්සර කලා අංකුරයට මෙසේ සුබ පතමි.

දුටු දුටුවන් නෙත පිනවන පුතණුවනි
ඔබ දැකුමෙන් අප පින් කළ බව දැනුණි

More From Author

“පශ්චාත් නූතන ඩමී මනුෂ්‍යත්වයට එරෙහි ශිෂ්ට යුතුකම”

පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාව වෙනුවෙන් ජන අරගල සන්ධානයෙන් ඉදිරිපත්වි ඇති කණ්ඩායම් නායක ශක්ති මාකාවිට මැතිවරනයෙන් පසු තම සන්ධානයන් තේරීපත්වන නියෝජිතයන්ගේ ඉදිරි සමාජ වැඩපිළිවෙළ ඉටු කරන්නේ කෙසේදැයි සටහන් කර අපවෙත එවාඇත.

Leave a Reply

Categories

LDM Columns